පාරමී හිඳින්නේ විශාල ජයග්‍රහණයක් ලැබූ පරිද්දෙන් වීම හිමාෂාට ගැටලුවක් නොවී ය.රවිඳු හිමිවිය යුත්තේ ඇයට නම් දෛවය එය සිදු කරන බව ඇය දැන සිටියා ය.දැන් පාරමී මංගල යෝජනාවක ස්වරූපයෙන් රවිඳුගේ නිවස වෙත ගොස් තිබේ.ඇයට අකමැති වන්නට රවිඳුගේ නිවැසියන්ට කිසිම හේතුවක් නොතිබෙන බව ඉඳුරාම දැන සිටි හිමාෂා සිටියේ රවිඳුව හදවතින් පිටමං කරන සටනක ය.
“මං ඔයාට ආදරේ කරපු බව ඔයා කිසිම දවසක නොදැන හිටිය එක ගැන මට සතුටුයි.”
හිමාෂා එසේ සිතා හිත හදා ගන්නට වෙර දැරුවා ය.මිත්‍රත්වය වෙනුවෙන් ළං වූ ඔහුට ආදරය කරන්නට යාමේ වරද ඇය අත ය.ඈ එසේ සිතමින් හිත හදා ගන්නට උත්සාහ කළා ය.රාජකාරි කටයුතුවල දී හැරෙන්නට රවිඳු සමඟ කතාබහ අවම කරන්නට හිමාෂා දැඩි පරිශ්‍රමයක් ගත්තා ය.ඔහු පාරමී පැවසූ කාරණා කිසිත් නොදන්නා අයුරින් හිඳින්නට උත්සාහ කරයි.ඔහු ඒ බව පවසා පණිවිඩයක් එවූ බව සත්‍යයකි.නමුත් හිමාෂාට ඒ බව ඕනෑවට වඩා විශ්වාස කරන්නට අසීරු ය.
ගලා යන නදියක් තරමේ සැහැල්ලුවකින් ජීවත් වී හිම කන්දක් බවට පත් වීම පහසු කාරණාවක් නොවේ.හැඟීම් විරහිතව මිදී යාම ගැහැනියකට කෙතරම් අසීරුදැයි හිමාෂා දනියි.නමුත් නැවත නැවතත් වේදනාවට පත් වීමට වඩා මේ මාවත තෝරා ගැනීම පහසු බව ඇය අනතුරුව තීරණය කළා ය.
ගෙවී යන්නට වූයේ හිම තරමට හැඟීම් මිදී ගිය කාලයකි!
ඒ නිහඬතාවය බිඳී යන්නට වූයේ පාරමී දින ගණනාවක් කාර්යාලයට නොපැමිණීමෙනි.ඇය නිවාඩු ඉල්ලා තිබූ අතර ඒ පෞද්ගලික කාරණාවක් බව පවසා තිබුණා විනා කිසිවක් ම දැනගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත.
“පාරමීට සනීප නෑලුද හිමාෂා.”
අන් අය එසේ අසද්දී පිළිතුරක් සොයා ගැනීමට අපහසුවෙන් හිමාෂා වචන ගලපන්නට වූවා ය.පාරමී සමඟ ගැටලුවක් ඇති බව කෙනෙකුට කියන්නට ඇයට සිත් නොදේ.අනෙක් අතට ඒ ගැටළුවට හේතුව කාර්යාලීය වැසියන්ට තලුමරා රසවිඳින්නට හේතුවක් වග ද ඇය දනී.
“ඔයාට ඊයේ කතා කළාට පස්සෙ ආයේ කතා කළේ නැද්ද හිමා? දැන් අඩුයිලුද?”
රවිඳු එසේ ඇසුවේ ඈ ගලවා ගන්නට ය.නමුත් පාරමී උණ රෝගයෙන් පෙළෙන බව රවිඳු දැන හිඳින වග හිමාෂා සිතුවා ය.ඒ ඇයට අලුතෙන් හිත රිදවා ගන්නට කාරණාවක් විය.නමුත් එසේ හිත රිදවා ගනිමින් බොහෝ දවස් ගෙවන්නට වූයේ නැත.පාරමී ඇය ඇමතුවා ය.කාර්යාලයේ හිඳින මොහොතක ආ ඒ ඇමතුමට පිළිතුරු දෙන්නට හිමාෂා වහා පටු සඳැල්ල වෙත ගියා ය.ඇතැම්විට ඇය මේ අමතන්නේ විවාහ උත්සවය ගැන කියන්නට පවා විය හැකි බව හිමාෂා අනුමාන කළා ය.
“අනේ හිමා..”
පාරමී එසේ පවසා ඉකි බිඳිමින් හඬන්නට වූවා ය.සහන් ඇති කළ අප්‍රමාණ හිත් පීඩා නිසා පාරමීගේ උරහිසට හිස ගසා වැළපුණු අතීත දවස් හිමාෂාට තිබේ.ඇය ඒ දවස් වහා සිහි කර ගත්තා ය.ඉතා මෑතකදී අමනාප වූ පාරමීට වඩා ඒ දිනවල ළඟ සිටි පාරමී සිහි කිරීම ම හිමාෂාට පහසුවකි.
“ඇයි පාරෝ.කියන්න ඔයාට මට ඕනම දෙයක් කියන්න පුළුවන්නේ.”
එසේ අසා වාක්‍යයේ ඉතිරි අඩ සම්පූර්ණ කරන්නට හිමාෂා සිතුවා ය.දැන් ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමයෙන් පළ නොවේ.කළ යුතු වන්නේ මිතුරියට ඇගේ ප්‍රේමය දිනා ගන්නට උදව් දීම ය.රවිඳුට සතුටින් ජීවත් වීමට ඉඩ හැරීම ය.
“රවිඳු එක්ක ප්‍රශ්නයක් ද?”
හිමාෂා එසේ අසද්දී පාරමීගේ හැඬීම උස්ව නැගී ආවේ ය.තමන් ආදරය කරන මිනිසාටම ආදරය කරන තවත් තරුණිය ඔහු ගැන පවසන වේදනාව අසා හිඳින්නට හිමාෂා සිත ශක්තිමත් කර ගත්තා ය.