රාජකාරී කටයුතුවලට අදාළ අය හැරුණු විට පෞද්ගලික ජීවිතයට සම්බන්ධ අය සහන් හමුවීමට කාර්යාලයට පැමිණීම සාමාන්‍යයෙන් සිදු වන්නක් නොවේ.නමුත් තමන් මුණගැසෙන්නට අමුත්තියක පැමිණ ඇතැයි යන පණිවිඩය ඔහුට පැමිණියේ කාර්යාලයේ රැඳී හිඳිද්දී ය.ඇගේ නම පණිවිඩයේ සඳහන්ව තිබූ නිසා ඈ මෙහි එන්නට හේතු වූ කාරණාව ගැන සැක සිතින් ඔහු ඇය දකින්නට පැමිණියේ ය.
“ඔෆිස් එකට ආවේ?”
සහන් එසේ අසද්දී හිමාෂා ආගන්තුක සිනාවක් පෑවා ය.මේ මිනිසාට ප්‍රේමණීය සිනා දුන් දවසක් ගැන ඇගේ මතකයේ නැත.ආදරය කිරීම වෙනුවට හොඳින් ජීවත්වීමට ඇය තීරණයක් ගත්තේ අම්මා නිසා ය. ආදරයෙන් නොවුවත් සහන් සමග සමඟ හොඳින් ජීවත් වූ දින අපමණ තිබේ.දිනාරා උපන් දවස වැනි අප්‍රමාණ සංතෘෂ්ඨියක් දවස් තිළිණ වූයේ ඔහු සමඟ රැඳී සිටියදී බව සිහිවෙද්දි සියල්ල කතා කළ යුතු වන්නේ කෝපයෙන් තොරව බව හිමාෂා සිතුවා ය.
“අපිට එළියෙදී මුණ ගැහෙන්න තිබ්බනේ.”
විසල් නිවසක තනිව හිඳිය දී තමන්ව එක් දිනක්වත් පිටතට රැගෙන යන්නට සිහිපත් නොවූ සහන් දැන් මෙවැනි දේ පැවසීම එක්තරා ආකාරයක විහිළුවක් බව හිමාෂාට සිතෙයි.ඇය එය වචන කළ හැකි වඩා යහපත් ක්‍රමයක් කල්පනා කළා ය.
“අත් අත ඇරිලා ගියාට පස්සේ ආපහු යාළුකමකටවත් ඒ අත් අල්ලා ගන්න උත්සාහ කරන එක කිසිම තේරුමක් නැති වැඩක්.අපිට එහෙම කතා කරන්න ඉස්සර ඕනතරම් දවස් තිබුණා.ඒත් අපි අතින් ඒ දවස් මඟෑරුණා.දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ හදිසි පණිවිඩ ගැන කතා කරන්න විතරයි.”
සහන් කිසිත් නොකියා ඉන්නට උත්සාහ කළේ ය.නමුත් හිමාෂා සමග බැඳීම සහමුලින්ම අවසන් වූ ගොස් නැති බව ඔහුට සිතිණි.ඒ ඔහුගේ කුළුඳුල් දරුවාගේ අම්මා ය.දියණිය සමඟ බැඳීම අත නෑරෙන තුරු හිමාෂා සමඟ ඇති බැඳීම ද අත් හරින්නට නොහැකි බව ඔහු කල්පනා කරන්නට වූයේ ය.
“ඔයා එක වතාවක කිව්වනේ දුව ඔයාට ඕනේ කියලා.මම ආවේ යෝජනාව කොහොමටවත් පිළිගන්න බෑ කියලා කියන්න.”
හිමාෂා අතීතයේ සිටි ළදල්ලක් මෙන් සසැලෙන තරුණ ගැහැනිය නොවන බව සහන් සිතන්නට වූයේ ඇගේ නොසැලෙන බැල්මට දෑස් අලවාගෙන ය.එහි කිසිම නීතිමය පදනමක් නැති බවත් ඔහුට දියණිය උවමනා නම් නීති මාර්ගයට යොමුවිය යුතු බවත් හිමාෂා පවසන්නේ ස්ථිරසාර හඬකිනි.
“තමන්ටම කියලා දරුවෙක් ඉන්නකොට මම හිතන්නේ නෑ ඔයාගෙ වයිෆ් මගේ දුව බාරගනීවි කියලනම්.”
ඒ යෝජනාව මල්මි වහා ඉවත දමන්නට තිබූ බව සහන් හොඳින්ම දැන සිටියේ ය.නමුත් කුමක්දෝ කාරණාවකට හිමාෂාගෙන් දියණිය ඉල්ලා සිටීමේ දරුණු චේතනාවක් ඔහු සතු වී තිබිණ.හිමාෂා ඉන්දිය පත්වේයැයි සිතුවද ඇය මෙහි ප්‍රායෝගික තත්ත්වය ගැන මෙපරිද්දෙන් කතාවකට පිවිසෙන්නට ඉඩ ඇතැයි ඔහු සිහිනයකින්වත් සිතා සිටියේ නැත.මේ හිඳින්නේ ඔහු අසල සිටි අහිංසක යුවතිය නොවන බව ඔහුට වැටහෙන්නට විය.එක් අතකට මේ ධෛර්යමත් ගැහැනිය රැක ගන්නේ ඔහුගේ දියණිය ය.කේ ගැන සිතා සතුටු වන්නට සහන් අන්තිමේදී සිතා ගත්තේ ය.
“මල්මිට බබා ලැබුණාම මම එන්නම් දුවත් එක්ක.”
දැනුම් දෙන්නට ආ කාරණාවට පසු හිමාෂා එසේ පැවසුවා ය.නමුත් යන්නට තවත් කාරණාවක් ඇති බව දැන සිටියේ ඈ පමණි.ඇය ඒ පුවත වචන කරන්නට ධෛර්යය ගනිමින් මොහොතක් පමා වූවා ය.
“මම ආයෙ මැරි කරන්න හිතුව.සමහරවිට ඒක ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්.එහෙම වුණා කියලා ඔයාට දුව ගැන තියෙන අයිතියට බලපෑමක් නෑ.දුව වැඩියෙන් ආදරේ කරන්නෙ කාටද කියලා අනාවැකි කියන්න මට මට බැරි වුණත් එයාගේ මුළු ජීවිත කාලෙම ඔයා තාත්තා හැටියට එයා ළඟ ඉන්නවට මම කැමතියි. එයාගෙ අලුත් තාත්තා වෙන කෙනා ඔයාට වඩා දූ ගැන හිතන බව මං හොඳටම දන්නවා.ඒත් මම ආවේ මල්මිවත් එයාවත් නිසා දූ අපි දෙන්නගෙම ඈත් වෙන්න ඕනේ නෑ කියන එක ඔයාට මතක් වෙලා යන්න.”
මේ මොහොත ඇත්තේ හිමාෂා වැලඳගෙන හෝ අත දිගු කර ඇයට සුබ පතන්නට බව සහන් දනියි.නමුත් එවැන්නකට සිත එකඟ කර ගන්නට ඔහුට හැකි වූයේ නැත.ජීවිතයට අයත්ව තිබූ මහාර්ඝ වස්තුවක් හදිසියේ අහිමි වී ගිය හැඟීමකින් ඔහු දැවෙන්නට පටන් ගත්තේ ය.