අකල් වැහි -6

වෛද්‍යවරයා ගර්භනී භාවය තහවුරු කරන තුරුම හිරුදිට ගැස්මක් නොතිබුණා නොවේ.ඇය බලා හුන්නේ තිගැස්මෙනි.තවත් ජීවියෙකුට ජීවිතය දීම සම්බන්ධයෙන් මේ රටේ අනෙක් මව්වරුන් කොපමණ පීඩනයකින් ඇත්දැයි ඇය සිතුවා ය.ඖෂධ හෝ රෝහල් පහසුකම් ගැන ඇයට බිය නොදැනේ.බිය දැනෙන්නේ එක් දෙයක් ගැන පමණි.

මේ චේතනගේ දරුවෙකි!!

සමාජ අපහාස සහ නින්දා ද සාප කිරීම් ද ඒ හයහතර නොදන්නා දරුවාට පවා උරුම බව ඇය හොඳින් දන්නී ය.

“දේවතිලකලා කියන්නේ ආණ්ඩු පක්ෂෙ ප්‍රබලම කට්ටියක් කියලා නංගිව ඒ මිනිහෙක්ට දෙන්න පිස්සුද අම්මා?”

අක්කා එදවස නවසීලන්තයට වී බැන වැදුණු අන්දම හිරුදිට අමතකව නොයේ.අක්කා වූ සමාධි හුන්නේ නංගි ගැන අප්‍රමාණ වේදනාවකිනි.ඇය නංගිව මේ විවාහයෙන් ගලවා ගන්නට බොහෝ උත්සාහ කළා ය.ඒවා අසාර්ථක වෙද්දී අම්මා සමඟ බොහෝ ගැටුම් ඇති කරගත්තා ය.

“දේශපාලනෙ ඇතුළේ කිසිම දෙයක් සදාකාලික නෑ අම්මෙ.හැමදාම බලය තියෙන් නෑ.ඒ මිනිස්සුන්ට බලය නැති වෙලා ගිය කාලෙක අපේ නංගි නිකම්ම දුක් විඳින්න ඕනද?”

ඇය අනේක වාරයක් එසේ විමසුවා ය.අම්මාට දෙන්නට පිළිතුරු නැති වූයේ නැත.ධනයෙන් ද බලයෙන් ද අන්ධ වූ ඇය සමාධි හිඳින්නේ නැගණිය හා ඊර්ෂ්‍යාවෙන් බව උපකල්පනය කළා ය.ඒ සමාධි විවාහ වූයේ සාමාන්‍ය තරුණයෙකු සමඟ ඇගේ තනි කැමැත්තට වූ නිසා ය.අධ්‍යාපනය හැරෙන්නට ඔහුට ධනයක් නොවී ය.නමුත් අක්කා සතුව ඒ අධ්‍යාපනය නිසා උපයා ගන්නා ධනය ද සැනසීම ද වන බව හිරුදි දන්නී ය.

“ඔයා නිසල් එක්ක මෙහෙට එන්න.අපි සතුටින් ඉමු..”

අක්කාගේ ඒ ඉල්ලීමට සියල්ලම සැකසෙමින් තිබියදී නිසල්ගේ කුඩා කාරය රාත්‍රියක අනතුරට පත් වූ අන්දම හිරුදිට තවමත් සිහිනයකි;බියකරු සිහිනයකි.අම්මා කියනා අන්දමට නිසල් බේබද්දෙකු නොවේ.ඔහුට සිදු වූයේ හිතාමතා සිදු කළ අනතුරක මුහුණ පාන්නට වීමක් මිස හදිසි අනතුරක් නොවන බව හිරුදි තවමත් විශ්වාස කරන්නී ය.

“මේ නිසල්ගේ බබෙක් වුණානම්”

මේ මොහොතේ පවා හිරුදි සිතන්නේ එහෙම ය.ඇයට මේ ගැන ඇති සතුටක් නැත්තේ ද එනිසා ය.චේතනගේ දරුවෙකුට ලේ උරුමයෙන් පැමිණෙන දුසිරිත පලවා හරින්නට තමන්ට ඕනෑවටත් වඩා වෙහෙසෙන්නට වන බව පමණක් ඇය දන්නී ය.

“මෙයා අනිවාර්යයෙන් පුතෙක්..”

ළසඳාගෙන් ආරංචිය ලැබුණු විගස දියණිය දකින්නට ආ හිරුදිගේ අම්මා වූ මල්ලිකා සමරවික්‍රම හැසුරුණේ ඉතා ප්‍රීතියෙනි.අක්කාට පුතෙකු උපන් දා අම්මාට මෙහෙම සතුටක් නොතිබිණ.ඇය ඒ දරුවා කෙරෙහි ආදරයක් ද නැතැයි හිරුදිට සිතේ.නමුත් අම්මා මේ නූපන් බිළිදා කෙරෙහි අප්‍රමාණ ස්නේහයකිනි.ඒ බලය ඇති දරුවෙකු ගැන සිහිනය මිස අන් කිසිවක් නොවන බව හැඟෙද්දී හිරුදිට ඇති වන්නේ කෝපයකි.

“ඔය අනාවැකි කාරයොයි කේන්දර කාරයොයි කියන කතා ඇත්ත වෙන් නෑ.මම ආස දුවෙක්ට..”

හිරුදි එසේ කියද්දී මල්ලිකා දියණිය වෙත රවා බැලුවා ය.මේ විවාහ වී ඉතා ඉක්මනින් දික්කසාද වන බවටත් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන දේවතිලකලා ප්‍රකෝප කරන බවටත් පාරම් බෑ කෙල්ලකි.ඇය දියණියක ප්‍රාර්ථනා කිරීම ද මල්ලිකාගේ කෝපය අලුත් කරන්නට සමත් විණ.

“චේතනගෙ මල්ලිට පුත්තු ලැබුණොත් මේ දේපලත් පිට යනව.මහ මනුස්සයගෙන් එන ඔය දේශපාලන හයියත් පිට යනව.මෝඩියෙක් නොවී ඉන්නව..”

ඇය දියණියට බැන වැදුණේ එසේ කියමිනි.හිරුදි නිසොල්මන්ව ගලක් වී අසා හුන්නා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles