එදා රට ගියේ ගෘහ සේවිකාවක් හැටියට , ඒත් අද ඇය දක්ෂ ව්‍යවසායිකාවක්

 

ඇය නමින් නිලුෂිකා ජයවීර. කලකට ඉහත දී ඇයට ඇගේ මව්පියන් දෙපළම අහිමි වුණා. ඉන් පස්සේ ඇගේ සහෝදර සහෝදරියන් සිව් දෙනා රැකබලාගැනීම ඇයට අභියෝගයක් වුණා. ඔවුන් සියලු දෙනාගෙ ජීවිත ගතවුනේ අනාථ නිවාසයක් තුළයි. තමන්ගෙ සහෝදර සහෝදරියන්ට යහපත් අනාගතයක් උදාකරන්න නම් තවදුරටත් අනාථ නිවාසයක් තුළ සිටීමෙන් කිසිවක් සිදු නොවන බව වටහාගත් ඇය එතැනින් එළියට ඇවිත් ජීවිතයේ පළමුවෙනි කඩුල්ල පනින්න තීරණය කළා. ඒ අනුව 2001 අවුරුද්දෙදි ඇය ගෘහසේවිකාවක් හැටියට සිංගප්පූරුවට එන්නට තීරණය කළා. ඒ තමයි ඇගේ කතාවෙ ආරම්භය. ගෘහසේවිකාවක් හැටියට ජීවිතේ විඳින්න තියෙන කරදර දුක්ගැහැට අඩුවක් නැතිවම ඇයටත් විඳින්න සිදුවුණා. එයින්ම ජීවිතය දිනාගන්නට අවශ්‍ය දිරිය සවිය ලබාගත් ඇය වසර 15 ක් ඇතුළත තමන්ගෙ රැකියාව සහමුලින්ම වෙනස් කරගන්නට සමත් වුණා.

ගෘහසේවිකාවක් හැටියට රස්සාවට ආව නිලුෂිකා සිංගප්පූරුවේදී ම දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වෙන හැටි සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක්. බාධක හමුවේ නොසැලී ඉදිරියට ම යන ශක්තිය, කඳුලු වේදනා අමතක කර දියුණුව වෙනුවෙන් නැගී සිටීමේ උනන්දුව, ඇගේ ජයමග ඇයට සකස් කර දුන්නා.  ගත වූ වසර 15 තුළ ඇය ඇගේ ජීවිතයේ දැවැන්ත පරිවර්තනය ස්වෝත්සාහයෙන් ම ඇති කරගන්නා හැටි ඇත්තටම ප්‍රශංසනීයයි.

ඇය අද වනවිට ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් වන තේ කොළ ඇසුරුම් කර විදේශීය රටවලට බෙදාහැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ශීත කඳුකරයේ තේ වතුවලින් නෙළාගත් ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු තේ කොළ උසස් ප්‍රමිතියෙන් ඇසුරුම්කර අන්තර්ජාතික වශයෙන් බෙදාහැරීම ඉතා වගකීම්සහගත කටයුත්තක්. ඒත් නිලුෂිකාට ඒ භාරදූර වගකීම හරියටම ඉටු කරන ශක්තිය සහ හැකියාව දැන් තියෙනවා. සිංගප්පූරුවෙ ගතකළ කාලය තුළ ඇය නිකන්ම නිකන් ගෘහසේවිකාවක් ලෙස කටයුතු කළේ නෑ. ලැබෙන හැම අවස්ථාවෙන්ම ඇය ප්‍රයෝජන ගත්තා, හැම වෙලාවෙම අලුතෙන් යමක් ඉගෙන ගත්තා. ඒ විදිහට තමයි ඇය“අයිඩා” නම් රාජ්‍ය නොවන සංවිධානය සමඟ එකතුවෙන්නෙත්. ව්‍යාපාරයක් ආරම්භකිරීම, පවත්වාගෙනයාම,මූල්‍ය පරිපාලනය ඇතුලු තාක්ෂණික කරුණු ඇය හදාරන්නෙ ඒ තුළින්. දැන් ඇය වයස අවුරුදු 36ක විවාහක කාන්තාවක්. අත්දැකීම්වලින් මුහුකුරා ගිය සාර්ථක ව්‍යවසායිකාවක්.

ඇගේ කතාව දියුණුවෙන්න උත්සහ කරන හැම කෙනෙක්ටම ආදර්ශවත් කතාවක්. මේ නිසා ඇයට සිංගප්පූරුවේ පැවති බොහෝ වැඩසටහන් සඳහා දේශන පැවැත්වීමටත් ආරාධනා ලැබෙන එකේනම් අඩුවක් නෑ. ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, විද්වතුන්, ප්‍රභූන් සමඟ සම අසුන් ගන්න තත්වයට දැන් ඇය පත්වෙලා. ඒ වගේම ඇය ඇගේ සාර්ථකත්වය බොහෝ දෙනෙකුට බෙදාදෙන්න උත්සාහ කරන කාන්තාවක්. තමන් වගේ ම පහළ ම තැනින් පටන්ගන්න බොහෝ දෙනෙකු‍ට අත්වැල සපයන්න දැන් ඇය දිරිමත්. නිලුෂිකා මේවෙනකොටත් ලංකාවේ අඩු ආදායම් ලබන දිරිය කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට ඇය ලබාගත් දැනුම ලබා දෙමිනුයි සිටින්නේ. ඉදිරියේ දී ඒ කාන්තාවනුත් තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කරන්න සූදානමින් ඉන්න බව තමයි අපට දැනගන්නට ලැබුණේ.

උත්සාහය සහ ශක්තිය තියෙන ඕනෑම කෙනෙකුට තමන්ගෙ ජීවිතේ සාර්ථකත්වය ගැන තියෙන සිහින සැබෑ කරගන්න අසීරු නැහැ. නිලුෂිකා වගේ ස්මාර්ට් කාන්තාවක් ඔබ තුළත් ඉන්නවා. ඔබ ඉතා ඉක්මණින් ම ඇයව හඳුනාගන්න. ඇයට අයිති වාසනාවන්ත ජීවිතය මගඇරෙන්න දෙන්න එපා.

ඔබ දුප්පත්ව ඉපදුනානම් ඒක ඔබේ වරදක් නොවෙයි. ඒත් ඔබ දුප්පත්ව මිය යනවානම් ඒක ඔබේ වරදක්. ශ්‍රේෂ්ඨ ඉන්දීය නායක අබ්දුල් කලාම් කියල තියෙන ඒ ප්‍රකාශය නැවත නැවතත් සිහිපත් කරගන්න.

අතීතය ගැන පසුතැවෙන්නට, අතීතයේ වැරදුණු තැන් ගැන කතාකරකර ඉන්නට ඔබේ කාලය අපතේ යවන්න එපා. අද දවසේ හොඳම මොහොත මේ වෙලාවයි. මේ දැන්ම මෙතැන් සිට පටන්ගන්න. ජීවිතේ ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා බලන් හිටියා ඇති.

ස්මාර්ට් ලේඩි කෙනෙක් හැටියට ස්මාර්ට් තීරණයක් ගන්න. ජීවිතේ අලුත් කරගන්න. මේ හැමදේම කරන්න පුළුවන් වෙන්නෙ අසීමිතව ජීවිතයට ආදරය කරන එහි වටිනාකම අවබෝධ කරගෙන කටයුතු කරන අයට විතරයි.

නිලුෂිකාගෙන් ඔබේ ජීවිතයටත් අලුත් පාඩමක්  එකතු වුණා නේද?

 

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles