සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති වීම.. මේ ලිපියේ අරමුණ ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩි වීම පාලනය කරීමට හැකි සරල උපක්‍රම කිහිපයක් ඔබට හදුන්වා දීමයි.

ඉතින් ශරීරයේ බර පාලනය කර ගන්න උත්සහ කරන ඔබ අදම මේ පුරුදු ඔබේ දෙයිනික ජීවන රටාවට එක් කර ගන්න.

උදෑසන ආහාරය මග නොහැරීම 

උදෑසන ආහාරය මගහැරීම කැලරි අඩු කර බර අඩු කර ගැනීමට හොඳ මඟක් බවට සමහර අය අතර මතයක් තියෙනවා.මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්.උදෑසන ආහාරය තමයි ඔබේ දවසේ වැදගත්ම ආහාර වේල වෙන්නේ.ඔබ උදෑසන ආහාරය මඟහරිනවා නම් ඔබට වඩාත් වැඩිපුර කුසගින්න දැනෙන්න පටන් ගන්නවා.එවිට ඔබ දහවල් ආහාරය සඳහා අධික ලෙස ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම සිදු කරනවා.ඒ වගේම උදෑසන ආහාර වේල මඟ හැරීම මගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියත් අඩපණ කරනවා.එම නිසා උදෑසන ඔබ අවදි වීමෙන් පසුව පැයක් ඇතුළත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්නට ඔබ වග බලා ගන්නට ඕනෑ 

කිරි තේ වෙනුවට හරිත තේ 

හරිත තේ විශිෂ්ට පරිවෘත්තීය උත්තේජනයක් ලෙස සැලකෙනවා. තේ පානය කිරීම මඟින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන අතර සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරීවන ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරනවා.ඒ වගේම හරිත තේ පානය කිරීමෙන් සතියකට කැලරි 400 ක ප්‍රමාණයක් දහනය කිරීමට ද හැකියාව ලැබෙනවා

සෙමින් ආහාර ගන්න

ඔබ ආහාර ගැනීමට කාලය ගත කරනවා නම්, විශේෂයෙන්ම ඔබ ආහාර හැපීමට වැඩිපුර  කාලයක් ගත කරනවා නම් ඔබ අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට ඉඩ ඇති බව අධ්‍යයනවලින් ඔප්පු වී තිබෙනවා.සෙමින් හපන විට අධික ලෙස ආහාර ගැනීම වැලැක්වෙන නිසා ඔබ ආහාර ලබා ගන්නා විට ආහාර හැපීමට ගතකරන කාලය දීර්ඝ කරන ලෙසයි පෝෂණවේදීන් උපදෙස් දෙන්නේ 

සමබර ආහාර වේලක් ගන්න

ඔබ ගන්නා සෑම ආහාර වේලකම ප්‍රෝටීන , හොඳ කාබෝහයිඩ්‍රේට ( එළවළු , පලතුරු, ධාන්‍ය ) සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු විය යුතුය.ඔබ ඔබේ ආහාර වේල සැලසුම් කරන විට ඔබේ ආහාර වේලට සෑම පෝෂකයක්ම අඩංගු ආහාර කාණ්ඩ කිහිපයක් එකතු කර ගැනීමට සැලකිලිමත් වන්නට ඕනෑ.එවිට ඔබේ ශරීරයට ශක්තිය ලබා දීමට, විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට, ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනවා 

පලතුරු , එළවළු සහ සම්පූර්ණ ධාන්‍ය පරිභෝජනය කරන්න

මේදය සහ කැලරි අධික ආහාර ලබා ගන්නවාට වඩා අඩු කැලරි සහිත පලතුරු සහ එළවළු ඔබේ ආහාර වේලට ඔබ ඇතුළත් කරගත යුතුයි.සෑම දිනයකම අවම වශයෙන් එළවළු වර්ග හතරක්, පලතුරු වර්ග තුනක් , බාර්ලි සහ බඩ ඉරිඟු වැනි සම්පූර්ණ ධාන්‍ය ඔබට පරිභෝජනය කිරීමට හැකියාව තියනවානම් එය ඔබේ ශරීරයේ අනවශ්‍ය බර වැඩිවීම වළක්වනවා

අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් ලබා ගන්න

ඔබේ ආහාර වේලට ඔබ ඇතුලත් කරගත යුතු අනිවාර්ය පෝෂකයක් ලෙස ප්‍රෝටීන් සැලකෙනවා.එයට හේතුව වන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර පරිභෝජනය කිරීම මගින් ඔබට දිගු වේලාවක් පූර්ණ හැඟීමක් දැනීමයි. එමඟින් ඔබට කුසගිනි දැනීම අවම වන අතර ඔබව අධික ලෙස ආහාර ගැනීමෙන් වළක්වනවා.සෑම ආහාර වේලකටම මස්, මාලු හෝ බිත්තර, රටකජු , යෝගට් වැනි ආහාර එකතු කර ගන්න ඔබට පුළුවන් 

ආහාර ලබා ගන්නා විට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න 

බොහෝ දෙනා ආහාර ලබා ගන්නා විට රූපවාහිනිය නැරඹීම , කවුරුන් හෝ සමග කතා කිරීම හෝ වෙනත් කාර්යයක නිරත වීම සිදු කරනවා.මෙයින් සිදු වන හානි දායක ම තත්ත්වය නම් ඔබ විසින් ලබාගන්නා ලබා ගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳව ඔබට දැනීමක් නොමැති වීමයි. එවිට ඔබ අධික ලෙස ආහාර ලබා ගන්නවා. ඒ නිසා ඔබ ආහාර ලබාගන්නා සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කරන්න 

ඇසුරුම් කළ බීම වර්ග පානය කිරීමෙන් වළකින්න

ඔබ කාර්යබහුල වන සමහර අවස්ථාවලදී හෝ වෙන යම් අවස්ථාව වලදී ඇසුරුම් කළ බීම වර්ග පානය කිරීමට යොමු වෙනවා ඇති.වෙළඳපොළෙහි මිලදී ගැනීමට තිබෙන බීම වර්ග , පලතුරු යුෂ වර්ග සහ වෙනත් පාන වර්ග බොහෝමයක අධික ලෙස සීනි සහ කැලරි අඩංගු වෙනවා. ඒ නිසා මේවා පානය කිරීම ඔබේ ශරීරයට ඉතාම අහිතකරයි. අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැරුණු කොට මෙවැනි පාන වර්ග පරිභෝජනය කිරීමෙන් වැළකීම නුවණට හුරුය

මෙවැනි පුංචි උපක්‍රම අත්හදා බැලීම මගින් ඔබේ ශරීරයේ බර වැඩිවීම සහ අනවශ්‍ය බර අඩු කරගන්නට ඔබට පුළුවන්.මේවා අත්හදා බලන ඔබ දිනකට ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කරන්නටත් අමතක කරන්න එපා … ඉතින් අදික කාර්‍යබහුලත්වය නිසාම ව්‍යායාම කරන්න අතපසු වෙනවා නම් මේ පුරුදු හෝ ජීවන රටාවට අදම එක්කර ගන්න. ඒ තුලින් සිරුරේ බර පාලනය වගේම සෞඛ්‍යමත් ජීවිතයක් හිමි කර ගන්න ඔබටත් පුලුවන් . නමුත් සිරුරේ බර අඩු කර ගන්න උත්සහ කරන ඔබ වඩාත් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු වෙනවා නම් මීට අමතරව ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles