හිරු ගිනිකන වැටෙන මද්දහනක කලබල වීදියකට වී මේ සොඳුරු තරුණියට හදවතේ ඇති ප්‍රේමය පවසන හදිසි සිතුවිල්ලකින් රවිඳු පිරී ගියේ ය.නම අමතක මලයාලම් සිනමා නිර්මාණයක දර්ශනයක් ඔහුගේ සිතේ ඇඳී මැකී ගියේ ය.
“මොනවා හරි බොමු?”
සහන් හමු වූ මොහොතේ සිට මහත් පිපාසයකින් පසුවුවත් හිමාෂා හිස වනා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.නමුත් රවිඳුගේ මුහුණ අඳුරට හැරෙන්නට නොදී හේතුව පවසන්නට ද ඇය අමතක නොකළා ය.
“මං අම්මට කිව්වා බබාව ගන්න යන්න එපා කියලා.මං එයාව ගන්න ඕන රවිඳු.”
ඇය එ පමණක් පැවසූයේ නම් හිමාෂා තවමත් සිටින්නේ තමන් සමඟ කතාබහ කරන්නට අකැමැත්තෙන් බව රවිඳුට සිතෙන්නට තිබිණ.නමුත් ඇය ඊළඟ මොහොතේ පැවසූ කතාව ඒ හැඟීම අහකට ම විසි කර දමන්නට සමත් විය.
“අපිට දූත් අරගෙනම යන්න තිබ්බා.ඒ වුණාට එයා ඉන්නේ චුට්ටක් අසනීපෙන්.මොන්ටිසෝරි එකේ කොන්සර්ට් එකක් තියෙන නිසා නැටුම් පුරුදුවෙන්න අද එන්නම ඕන කිව්ව.ඒ නිසා ඔය එක්කන් ආවේ.”
ඒ නැටුම බලන්නට තිබුණානම් මැනවියැයි රවිඳු පැවසුවේ නිකමට ය.හිමාෂා පෙරපාසල් උත්සවය බලන්නට ඔහුට ආරාධනා කළා ය. උරහිසේ හැපී යන මිනිසුන් අතින් ඒ ආරාධනාව විසි වන්නට නොදී ඔහු එය තදින් අල්ලා ගත්තේ ය.
“සහන් ආවොත් හරි නෑනේ?”
ඒ කාලය මල්මිගේ දරුවා ලැබීමට නියමිත කාලය බවත් දිනාරා වෙනුවෙන් වැය කරන්නට සහන්ට කාලය නොමැති බවත් හිමාෂා කියද්දී තමන් පැමිණිය යුත්තේ සහන්ගේ ආදේශකය ලෙස දැයි අසන්නට තරම් හිතක් රවිඳුට ඇති විය.
නැත!
ආදේශකයක් විය යුතු නොවේ!!
මේ අම්මාගේ දියණියගේත් ජීවිතවලට ආදරය පිරවීම එකම සිහිනය බවට පත්වී තිබීම සැබෑවක් වුවද සහන්ගෙ ආදේශකය වන්නට තමන්ට නුවුමනා බව රවිඳු සිතන්නට විණ.ඔහු ඉඳහිටක යුතුකම් සිහි වෙන ජාතියේ මිනිසෙකි.නමුත් ආදරය කියන්නේ එවැනි සිල්ලර දෙයක් නොවේ.
“බෝනික්කෙකුත් හොයාගෙන මම එන්නම්කො.”
රවිඳු පැවසුවේ හිනැහෙමිනි.දිනාරාට සමීප වී ඇයට ආදරය කරමින් ඈ හරහා හිමාෂා දිනා ගන්නට ද ඔහුට අවැසි නොවේ.
“මං ඔයාට ආදරෙයි.ඔයා මොකද කියන්නේ?”
බොහෝ සරලව එසේ අසන්නට හිමාෂා කියන්නේ යෞවනියක නොවේ.ඇය ජීවිතයේ අප්‍රමාණ හිත් රිදීම් දරා ගත් තරුණ ගැහැනියකි.එනිසාම ඇයට ජීවිතය ගැන සැක සංකා අප්‍රමාණව ඇති බව ඔහු දනියි.එනිසා මුවට එන වචන කරන්නට ඔහු බොහෝ වෑයමක් දැරුවේ ය.
“මට ඔයාට කියන්න දේකුත් තියනව රවිඳු.”
ඇය එසේ කියද්දී ඒ පාර මී ගැන දැයි අසන්නට රවිඳු නිර්භය විය.එතැනින් නොනැවතී ඔහු එක්තරා කාරණයක් ගැන ඇයට අනතුරු අඟවන්නට ද අමතක නොකළේ ය.
“ඔයා ඕනේ තරම් යාලුවෝ ඇති කරගන්න පුලුවන් ජාතියෙ කෙනෙක්.ඒත් මට තේරෙන්නේ ඔයා පාරමීව ඔය තරමට ලං කරගෙන ඉන්නේ ඇයි කියලා.මම දැකපු ආත්මාර්ථකාමීම කෙනෙක් එයා.පාරමී තමන්ගේ සතුට වෙනුවෙන් අනිත් කෙනෙක්ගෙ හිත රිද්දන්න ඕනෙම දෙයක් කරනවා.අන්න ඒක දැනගෙන ජීවත් වෙන්න.”
හිමාෂා එබසට කෝප නොගත්තා ය.කියන්නට ඇති දේ පාරමී ගැන නොවන බව පැවසූ ඇය ඔහුගෙන් සමුගත්තේ මඳහසක් ඉතිරි කරමිනි.
“මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා, හැබැයි ඒත් පාරමී ගැන නෙමෙයි.”
හිමාෂා ත්‍රීරෝද රථයකට ගොඩ වන්නට සැරසෙද්දී ම රවිඳු පැවසී ය.ඔහු ඇයට පවසන්නට යන දේ ගැනත් ඇය ඔහුට පවසන්නට යන දේ ගැනත් සිත් දෙකක ඉතිරි වූයේ කුතුහලයකි.ඉවසීමෙන් බලා හිඳීම ම ප්‍රේමය නොවේදැයි හිමාෂා සිතන්නට වූවා ය.