ප්‍රේමය වරදක් වූ නිසාම විලියම් කුමරුට මරණයෙන් වන්දි ගෙවීමට සිදුවුනාද ?

0
2919

එලිසබෙත් රැජිනගේ අභාවය නිසා මේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි වශයෙන් කතා කරන කාලයක්. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කතා කරද්දි අපකීර්තිමත් සිදුවීම් අතර ඩයනා කුමරියගේ මරණය ඉහළ තැනක තිබෙනවා.ඩයනාගේ මිය යාම පසුපස රජ පවුල හිඳින බව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතයක් තිබෙනවා.මෙවැනිම කතාවක් මීට පෙර පැතිර ගියේ Prince William of Gloucester නිසා.


අප කවුරුත් දන්නා විලියම් කුමාරයා හැරුණුවිට ඉතිහාසයේ එතරම් සඳහන් නොවන එහෙත් කතාබහට ලක් විය යුතු මරණයක් ඉතිරි කර ගිය විලියම් කුමාරයකු ගැන ඔබ සමහර සමහරවිට දන්නේ නැතුව ඇති.අප දන්නා විලියම් කුමාරයාට නම තැබෙන්නේ ද ඔහු සිහිවීම පිණිස.ඔහුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැළලී ගිය මතකයක් මේ ආකාරයෙන් යලිත් ජනතාව අතර කතාබහට ලක් වෙනවා.

ඔහු හැඳින්වූයේ  Prince William of Gloucester ලෙසට.1947 දෙසැම්බර් දහ අට උපන් මේ කුමරු එලිසබෙත් රැජිනගේ විවාහ උත්සවයේ මල් කුමාරයෙකු ද වූවා.විලියම් කුමරු ගුවන්යානා බලපත්‍රයක් තිබූ රාජකීයයෙක්.ඔහු ගුවන් යානා පැදවීමට සම වේගයෙන් මෝටර් රථ ධාවනයට ප්‍රිය කළා.වගේම ඔහු අතිශයින් කාන්තා ඇසුර ප්‍රිය කළ බවද කියවෙනවා.ඔහු ජපානයට යන්නේ ඒ අතර කාලයකයි.රජ පවුලේ උරුමය ඇති ඔහු සුදුසු විවාහයකට එළඹෙතැයි රජ පවුලේ අයගේ අපේක්ෂාව වුණා.

නමුත් ප්‍රේමය පහළ වන්නේ සියලුම භෞතික කාරණා සම්පූර්ණ කර නොවේ.ඔහුගේ සිත ගැනීමට සමත්වූයේ දෙවරක් දික්කසාද වූ ඔහුට වඩා වසර කිහිපයක් වැඩිමහල් තරුණියක්.Zsuzsi Starkloff නම් ඇයට පෙර විවාහයක දියණියක ද සිටියා.ඇය ඒ කාලයේ ජීවත් වූයේ ජපානයේ.එක්තරා සාදයකට විලියම් කුමරුට ආරාධනා කරන ස්ටාර්ක්ලොෆ් ඔහු නොමැති සාදය සාදයක් නොවන බව ලියා අත්සන් කළේ සින්ඩරෙල්ලා යන නමින්.ඇය හංගේරියාවේ නිරූපිකාවක් සහ හිටපු ගුවන් සේවිකාවක් වුණා.

ඒ සාදයේදී ඔහු ජේම්ස් බොන්ඩ් තරමට කඩවසම් ව දිස් වූ බව ස්ටාර්ක්ලොෆ් පවසා තිබුණා.ස්ටාර්ක්ලොෆ්ට මුලින්ම උවමනා වී තිබුණේ හොඳ මිත්‍රත්වයක් පමණයි.නමුත් හොඳ මිත්‍රත්වය වටහා ගැනීම ප්‍රේමයකට හැරී තිබුණා.එය සැලසුමකින් තොර වූ අතර එවැනි ප්‍රේම සම්බන්ධයක් ඇති වීම ඔවුන් දෙදෙනාට පුදුමයක් වී තිබුණා.ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින වර්ධනය වූයේ ඉතා සුන්දරව.”ආදරය මෙතරම් සුන්දර විය හැකි යැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි.” ඇය ඒ සම්බන්ධය ගැන පැවැසූයේ ඒ ආකාරයෙන්.ඔවුන් නිවසක් කුලියට ගත් අතර එක්ව ජීවත් වීමට පටන් ගත්තා.ස්ටාර්ක්ලොෆ් කියන්නේ කුමාරයා සෑම දිනකම පාහේ ඇගේ උදෑසන ආහාරය පිසූ බවක්.

විලියම් කුමරු ස්ටාර්ක්ලොෆ් සමඟ විවාහ වීමට අදහස් කර තිබුණා, නමුත් සියවස් ගණනක් පැරණි බ්‍රිතාන්‍ය නීතියක සඳහන් වී ඇත්තේ සිංහාසනයට අනුප්‍රාප්තික ඕනෑම කෙනෙකුට විවාහ වීමට රැජිනගේ අනුමැතිය අවශ්‍ය බවයි.

මේ ආදර සම්බන්ධය පිළිබඳව බකිංහැම් මාලිගාව කන වැටෙනවා. එලිසබෙත් රැජිනගේ සහෝදරිය වූ මාග්‍රට් කුමරිය වෙළඳ සමුළුවකයැයි පාලනයට පැමිණෙන්නේ ඒ කාලයේදී.නමුත් ඒ ගමනේ සැබෑ අරමුණ වී ඇත්තේ විලියම් කුමාරයාගේ සම්බන්ධය පිළිබඳ සොයා බැලීම.ඇය නැවත එංගලන්තයට ගිය පසුව එය සම්බන්ධ කාරණා විලියම් කුමාරයාට ලියා එවූ බවද සඳහන්.

70 දශකයේ මුල් කාලයේ දී විලියම් කුමාරයා සුසී ස්ටාර්ක්ලොෆ් සමඟ විවාහ විය යුතු බව තීරණය කරන්නේ ඇය ඔහුට හොඳින්ම ගැළපෙන සහකාරිය බවට තීන්දු කරමින්.ඔහුගේ පියා ඔහුට නැවත එංගලන්තයට පැමිනෙන්නට ආරාධනා කරන්නේ ඉන්පසුව.ගේම් ඒ ගමනේ යන්නේ සුසී ද රැගෙන.සුසීට අනාගතයේ ජීවත් වීමට සිදුවන පරිසරය ගැන ඇයට පෙන්වීමට විලියම් කුමරුට දැඩි උවමනාවක් වූ බව කියවෙනවා.සුසී ස්ටාර්ක්ලොෆ්ට රජ පවුලේ නිලනාම කිසිසේත් අවශ්‍ය වුයේ නැහැ.ඇයට අවශ්‍ය වූයේ අත්‍යන්ත ප්‍රේමයක් පමණයි.එය ලබා දෙන්නට රාජ කුමාරයාට හැකි බව ඇය දැන සිටියා.

විවාහයක් වෙනුවෙන් රැජිනගේ අනුමැතිය අවශ්‍ය නිසා නියම කුමරු තමන්ගේ ඥාති සහෝදරිය වූ  එලිසබෙත් රැජිනට ලිපියක් ලියන්නට වග බලා ගන්නවා.ඇය ඉතා කරුණාවන්ත ලෙස පිළිතුරු එවූ බව විලියම් කුමරු සුසීට පවසා තිබුණා.”හදවත පවසන දේ කරන්න” රැජිනගේ අදහස වූයේ එයයි.නමුත් බොහෝ රාජකීයයන් මේ විවාහයට එරෙහි වී තිබුණා.විලියම් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වීම සුසීට ද දැඩි මානසික පීඩාවක් වී තිබුණා.ඔහුට දිගින් දිගටම සුසී සමග රැඳී සිටිය යුතු බව හොඳින්ම දැන සිටියේ සුසී.නමුත් එය පහසුවක් නොවන බවද ඔවුන් දැන සිටියා.නමුත් ඔහුගේ උරහිස මත පැටවී ඇති වගකීම් ගැන ඇය නොදැන සිටියා නොවේ.

මේ සම්බන්ධය මඳකට නවතා දමන්නට අනතුරුව උත්සාහ ගන්නා විලියම් කුමරු සුසීට නිව් යෝර්ක් වෙත යන්නට ඉඩ හරිනවා.නැවත කෙදිනක හෝ මුණ ගැසෙන විශ්වාසයකින් ඔවුන් සමුගන්නේ ඉතාමත් හැඟීම්බරවයි.සුසී පවසන අන්දමට කුමරු විශාල අව් කණ්නාඩි යුගලයක් පැළඳගෙන තමන්ගේ හැඟීම් සඟවන්නට දැඩි උත්සාහයක් ගත් බව පැවසෙනවා.1972 දී නියම කුමරු සිහින දුටු ලෙස සුසීව විවාහ කර ගැනීමේ සිහිනය එසේ බොඳ වී යනවා.

“මම ගුවන් යානා පැදවීමේ තරගයකට සහභාගි වීමට සිතාගෙන සිටිනවා.මාත් එක්ක ඒ තරඟෙට සහභාගී වෙන්න එනවද?”

වෙන් වී සිටි පෙම්වතියගෙන් එසේ අසා විලියම් කුමරු ඇමතුමක් ගන්නේ ඒ අතරයි.නමුත් සුසී ඒ වෙද්දි දැඩි කාර්ය බහුල තත්ත්වයක පසුවනවා.ඒ නිසා ඇයට ඒ සඳහා සහභාගී වන්නට ලැබෙන්නේ නෑ.එය එක්තරා ආකාරයක දෛවයේ තීරණයක්.සුසීගේ ජීවිතය රැකීම පිණිස දෙවියන් ගත් තීරණයක්.ඒ තරගයේදී අනතුරට පත් වූ ගුවන් යානය කඩා වැටී විලියම් කුමරු ජීවිතක්ෂයට පත්වෙනවා.ඒ 1972 අගෝස්තු 28 වෙනිදා.එවිට ඔහු තිස් හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.සුසීට අවමඟුලට සහභාගි වීමට තරමටවත් මානසිකත්වයක් තිබී නැහැ.ඇය ඉතාම මානසික පීඩනයෙන් බොහෝ කාලයක් ගෙවූ බව සඳහන් වනවා.

තමන්ගේ ඥාති සහෝදරයා සම්බන්ධයෙන් එවකට විසි තුන් හැවිරිදි වූ චාල්ස් කුමරු දැඩි ලෙස ශෝක වී තිබෙනවා.වර්තමාන රජ පදවිය උසුලන ඔහු තමන්ගේ පළමු පුතුට විලියම් 1982 දී ලෙස නම තබන්නේ ඥාති සහෝදරයා සිහිවීම පිණිස.ඒ විලියම් කුමරුට ඔහුගේ ආදරය දිනා ගන්නට ලැබීම මියගිය විලියම් කුමරුගේ ආත්මයට සැනසීමක් ගෙනා සිදුවීමක් වන්නට ඇති.2020 වසරේදී සුසී මිය යන අතර ඇය මිය යාමට ප්‍රථම විලියම් කුමරු සහ ඇගේ ආදරය සම්බන්ධයෙන් වාර්තාමය වැඩසටහනට සහභාගි වී තිබුණා.ඇය නැවත කිසිදා විවාහ නොවූ බවද සඳහන් වෙනවා    

ඩයනා කුමරියගේ මරණය සහ මේ කුමරුගේ මරණය සම්බන්ධයෙන් රජ පවුලේ සමහර විචාරකයින්ට ඇත්තේ එකම අදහසක්.නොගැලපෙන ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඔවුන් අවසානයේ ගන්නා තීරණය මෙබඳු එකක් බව කියැවෙනවා.සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද ප්‍රේමයක් මරණයෙන් කෙළවර කළ හැකි බව සිතනවානම් එය තරම් කෲර සිතුවිල්ලක් තවත් තිබෙන්නට බැහැ.

සත්‍ය සිදුවීම කිසිදිනක හෙලි නොවුණ ද තවත් රාජකීය අඳුරු කතාවක සෙවණැලි ඉතිහාසය දරා සිටින්නේ ඒ ආකාරයෙන්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here