ප්‍රේමයේ අභිමන් -13

අපරාජිතා මතු මහලට නැගුණේ කේන්තියෙන් පුපුරමිනි. ගෙට ගිය ගමන් ඕ යහන මත හිඳ දේශිකා ට ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේත් ඇගේ හුස්ම කෙටි වූයේ ය. රුධිර සංසරණය වේගවත් වී ඇය සියුම් හතියක් අත්විඳිමින් සිටියා ය.

“ඕ කියනව”

“හැබැයි අරූ මගෙන් කොයි වෙලාවක හරි කනව හොඳේ”

තත්පර කිහිපයක් ගත වන තුරු දේශිකා සිටියේ අපරාජිතා කවුරුන් ගැන කුමක් කියනවා දැයි නිරවුල් කර ගත නො හැකි ය. ඒ කවුරුන් වී ද ඇය ව දැඩි කේන්තියකට පත් කරන්නට ඔහු සමත් ව ඇති බව දේශිකා ට විශ්වාස ය.

“දැං කවුද ඔය අරූ..මොකද්ද වුණේ..”

“ගෙවල් අයිතිකාරය. සසංක”

“ආ…”

“මගෙ පස්සෙන් එන්නෙ මොන වදයක්ද..”

“පස්සෙන් ආව…”

“මං අර ටෙරාරියම් එකට ඕන ෆර්න්ස් ටිකක් ගලෝගන්න නතර වුණා පාර අයිනෙ කාණුව ළඟ. මෙන්න මේකා ඇවිත් ඕවර්ටේක් කරල එතන නතර කළා කා එක”

ඒ මොහොතේ අපරාජිතා සිටියේ කාණුවෙන් එහා පැත්තේ වූ තාප්පයේ කළු ගල් අත්තිවාරමෙහි තැන් තැන් වල ඉස්මතු වූ මීවන පැළ ගලවා ගන්නට උත්සාහ කරමිනි. කාණුව ඒ තරම් පුළුල් නැති වී ද ඒ මතින් තාප්පයට සමීප වෙනවා කියන්නේ තරමක අභියෝගයකි. යන්තම් එහෙ මෙහෙ වුණොත් කාණුවට බහින්නට සිදු විය හැකි නිසා ය. ඇගේ දුර්වලතාවය මතින් පැන නැගී සසංක ඒ මීවන පැළ ගලවා දුන්නේ ය.

“මොකටද මේව..විකුණන්නද..”

හෙතෙම  අවශ්‍යතාවය දැන සිටිය ද සිනහ වී ඇසුවේ නො දන්නා බව හඟවමිනි. ඒ හිනාව සමච්චල් සිනහවක් ලෙස වරදවා වටහා ගත් අපරාජිතා නොරිස්සුම් වූවා ය.

“දැන් කොහෙදිද ඕක වුණේ..”

“මේ ජය පාරෙ”

“ඒ කියන්නෙ ගෙදරට යන පාරෙනෙ…”

“ඔව්”

“ඉතිං එහෙනං කොහොමද කියන්නෙ අර කොල්ල පස්සෙං ආව කියල. යකූ මේක මාර වැඩක්නෙ..ඌ ගිහිං තියෙන්නෙ උගෙ ගෙදරට යන පාරෙනෙ..එතකොට ඔය මැඩම් ඒ පාරෙ යන නිසා කොල්ලට වෙන පාරක් හොයාගන්න වෙයිද දැන්..මොළේ අමාරුවක්ද ආ…”

සසංක අපරාජිතා ගැන උනන්දු වෙන බව එදා ව්‍යාජ උපන් දින සාදය වෙලාවේ ඇයට දැනී තිබි මුත් දේශිකා එවැන්නක් අපරාජිතා ට කීවේ නැත. සිය යෙහෙළිය යනු කවුරුන්දැයි ඇය දැන සිටියා ය. අනිත් අතට ඒ සසංක හා අපරාජිතා අතරේ පැවතිය යුතු හෝ විසඳා ගත යුතු පෞද්ගලික සීමාවේ වන දෙයක් නිසාවෙන් ඇගේ සහායක් දෙපාර්ශවයේ කෙනෙකු ඉල්ලා සිටින තෙක් නිහඬ වීම මැනවැයි ඇය තීරණය කොට ද තිබුණා ය.

අපරාජිතා ට වූයේ වෙන ම ප්‍රශ්නයකි. ඔහු තනිකඩයෙකු බව දැන් ඈ දනී. ඈ දික්කසාදිත බව ඔහු දැන සිටිය ද නො දැන සිටිය ද සසංක ගේ ඇස් වල වන රෝමාන්තික බවක් ඇය ට දැනෙමින් නො දැනෙමින් තිබේ. අපරාජිතා වූ කලී පරිස්සමට ජීවිතය තෝරා ගත් ගැහැනියකි. නමුත් ඒ පරිස්සම ද වැරදී ගියේ ය. සසංක ජය පාරේ කාණුවකට බැස කුළී නිවසේ ස්ත්‍රියක වෙනුවෙන් පර්ණාංග ගලවන බවක් දුටහොත් මිනිසුන් ට කැලෑ පත්තර ගසන්නට ඒ හොඳටම ප්‍රමාණවත් බව ඇය දනී. මිනිසුන් හේතු හොයන්නේ නැත. හේතුඵල වාදයක් ගැන ඔවුන් දන්නේ ද නැත. දැනගන්නට ඕනේ ද නැත. ඇස් වලින් දකිනා දෙයක් විමසා බලා නොව තමන්ට රිසි පරිදි ගන්නට බොහෝ දෙනා කැමැත්තෙන් සිටිති. කුණු රසය බුදින එක තරම් සතුටක් ඔවුන්ට ට නැත. 

“තමා ඉතිං මිනිස්සුන්ට බය නෑනෙ”

දේශිකා ගේ මුවග සිනහවක් විය.

“ඔව්. ඒත් නිකං කතා හදා ගෙන හිතේ සැනසිල්ල නැති කර ගන්න ඕන නෑ. එහෙම වුණොත් ආයෙත් ගෙයක් හොයන්නනෙ වෙන්නෙ”

“වෙලා තියෙන්නෙ තමුසෙට දැන් පිරිමි ඇලර්ජි”

අපරාජිතා තර්ක කරන්නට ගියේ නැත. ඇගේ ගැහැනු පපුවේ සුසුමක් හිර වී තිබිණ.ඈ විසින් ම සිය ජීවිතය මත්තේ අටවා ගෙන තිබූ මෝඩ පැළ ඉණි වැටක් හැමදාමත් ආදරය ඉදිරියේ අවංක වන්නට තිබූ ඉඩ අවුරා දැමූ බව අපරාජිතා දනී. ඒ රහස තැන්පත් ව ඇත්තේ ඇගේ හදවතේ අඳුරු ගුහාවක ය. දේශිකාට වුව කිසි දාක නො කියූ කතා පෙට්ටියක් එහි ඉබි යතුරු ලා තිබේ. 

නාවල පාරේ යන විට ඒ රහස් පෙට්ටියේ වන යමක් ඇගේ හිතට තට්ටු කරනා බව අනන්ත වාරයක් අපරාජිතා අත් විඳ තිබේ. දැන් තෙත් බිම් උද්‍යානය පවත්නා තැන, වැලි පාක් එකේ පේළියට නතර කොට තිබූ වැලි ලොරි අතරේ සීආර් පොතක් අතැති ව රිටක් සේ උස ඔහු ඉන්නවා ඇය ට පෙනේ. සාමාන්‍ය පෙළට ජයනෙත්ති සර් ගේ ගණිත පන්ති ගිහින් කොහුවල තෙක් යෙහෙළියන් ගොඩේ ඇවිද යන ලැජජාශීලී කෙල්ලක වූ ඇගේ ඇස් වලට ඒ දසුන හුරු වෙන්නට වැඩි කල් ගියේ නැත. උසස් පෙළ සිසුවකු සේ පෙනුණ යෞවනයා සිය මිතුරා සමග කතා කරමින් බලා ඉන්නේ ඇය දෙසස ම යයි ඔවුන් පසු කර ගිය කීවෙනි ගමනේ සිට ද මන්දා අපරාජිතා ගේ සිත ඇය ට කොඳුරන්නට විය. එතැන පහු කරන ගමන් ඇය විටින් විට ඔහු දෙස බැලුවා ය. ආයේ ඉවත බැලුවා ය. සිය නව යොවුන් වියෙහි මිහිරි රසවත් බවක්, ඒ හැම ගමනක දී ම ඇගේ හද විඳ ගත්තේ ය. එක දවසක් මිතුරා ඇය ව නවතා ගෙන නවකතා පොතක් දුන්නේ ය.

“එපා”

ඇය අසීරුවෙන් කියා දැමුවා ය. 

“ඇයි..”

“මං නවකතා කියවන්නෑ”

“එහෙනං මේක ගන්න”

ඔහු ඒ තුළ වූ ලා දම් පාට අටට නැවූ කඩදාසියක් ඇය වෙත පෑවේ ය.ඒ ප්‍රේමය විමසනා හසුනක් බව ඇය වහා හැඳින්නා ය.

“මට එපා”

අපරාජිතා දිව ගෙන ගොස් මිතුරියන්ට එක් වූවා ය. ඔවුන් ගේ කෙළි කවට සිනා කතා වලින් කොහුවලට යන තුරුත් බේරී ගන්නට ඇය ට හැකි වූයේ නැත. ඒ පෙම් හසුන ප්‍රතික්ෂේප කළේ අපරාදේ යි ඇය බස් එකේ දී පසු තැවුණා ය. ඇතැම් විට ඇයට උවමනා වී තිබෙන්නට ඇත්තේ ඔහු ප්‍රේමය විමසමින් පසු පසින් ගෙන්වා ගන්නට විය හැක. ඇතැම් විට ප්‍රේමය ගැන නාඳුනන බියකින් ඇය පසු වූවා වන්නට ඇත. ඒ පෙම් හසුන ගෙදරට හසු වී දඬුවම් විඳින්නට වන හැටි ඇය මනස් රූප වල දුටුවා ය. අපරාජිතා තව තවත් බිය ගෙන ඇගේ ම හිතේ අඳුරු මුල්ලක හැංගුණා ය. ප්‍රේමය විෂයේ නව යෞවනයට හිමි ආශාවෙන් ද බියෙන් ද ගැලවී ගන්නට ඇය ට හැකි වූයේ නැත. කෙසේ වෙතත් ආශාවට වඩා බිය මඳක් ඉදිරියෙන් සිටියේ ය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කියන්නට ඇල්ෆා එකට ගොස් එත්දී අහම්බෙන් වාගේ අර හසුන එවූ යෞවනයා ගේ මිතුරා ඇය ට හමු විය. ඔහු ඇය හඹා විත් කතා කළේ ය.

“ඕගොල්ලො මහ ජරා කෙල්ලො. අංජන අසනීප වෙලා හිටියෙ. ඌට තිබුණ එකම සතුට ඔයා ක්ලාස් ඇරිල යන වෙලාවට ඔයාව දකින්න එන එක. පහුගිය දවස් වල ඌ ගොඩක් අසනීප වුණා. ලියුකේමියා කියල මහරගම නවත්තල ඉඳල ටික දවසකින් නැති වුණා. අන්තිමට ඌ මට කිව්වෙ ඔයා එදා ලියුම ගත්තෙ නැති එක හොඳයි කියල”

ප්‍රේමය නිසා ජීවිතයේ ප්‍රථම වරට ඇගේ හදවතට වැදුණ අකුණු පහර ඒ ය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලෙස ලැබී තිබූ විශිෂ්ඨ සාමාර්ථ අටෙහි උත්කෘෂ්ඨ බව හීන කොට දමන්නට ඒ පුවත සමත් වූයේ ය. දින ගණනාවක් යන තෙක් අපරාජිතා ට කෑම කත නො හැකි විය. මරියානා අගාධයටත් වඩා ගැඹුරු ප්‍රේමයේ අගාධයක  ගිලෙමින් ද ගොඩ එමින් ද හුස්ම හිර කර ගනිමින් ද ඈ තමන් තුළ ම දඟලමින් සිටියා ය. ඔහු ට ඇය පෙම් කරමින් සිටි බව පවා නිවැරදි ව ඇය හඳුනා ගත්තේ එසමයෙහි ය. නවකතා පොත් වල වාගේ දිගින් දිගට ම ඔහු ඇය හඹා එනු ඇතැයි බලාපොරොත්තුවක් ඒ නොමේරූ සිත් හි වන්නට ඇත. කෙසේ වී ද එක කඳුළක් හෝ නො හෙළා, කම්පන සංඛ්‍යාත ප්‍රකෝටි ගණනක් තුළ පමණක් හද ගැබෙහි ඕ සිය ප්‍රථම ප්‍රේමය මිහිදන් කළා ය. 

කාලයක් යන තුරු ම වරදකාර හැඟීමක් ඇය ට වද දුනි. ඇය ඔහු ට සේ ම ඇයට ම ද වංචනික වූවා ය!

ඊළඟ වතාවේ තදින් ප්‍රේමයක බැඳෙනා විට ඇය උසස් පෙළ අවසන් කොට පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටියා ය. ඒ අතරේ සුළු මනස් ප්‍රේමයන් ගණනාවක් තිබී ද ඒවා ඒ තරම් වටිනාකමක් දිය හැකි ඒවා නොවේ. මේ පෙමෙහි ඈ බැඳුණේ ඔහු ගේ අවසරයක් නැතිව ම ය. ඇගේ ඇස් නිරතුරු පරිගණක පන්තියේ උන් ඔහු ලුහුබැන්දේ ය. ඇගේ යෙහෙළිය වෙතින් අපරාජිතා තුළ ඔහු කෙරේ වන උමතුව ගැන තරුණයා දැන ගෙන තිබේ. දවසක් පන්තියෙන් පසු ගෑනු ළමයෙකු ගේ අතින් අල්ලා ගෙන ඔහු ඈ ඉදිරියේ සිට ගත්තේ ය.

“කරුණාකරල ඔයා අපි අතරෙ ප්‍රශ්න ඇති කරන්න එපා. ඔයාගෙ හිතේ මොනා තියෙනවද කියල මන්දන්නෑ. හැබැයි මගෙ හිතේ ඔයා ගැන කිසිම අදහසක් නෑ. මේ මගෙ ගර්ල්”

ඔහු ඇගේ අත අල්ලා ගෙන ම නික්ම ගියේ අවීචි මහා නරකාදිය තෙක් ම ඈ පොළොව පළා ගිල්වා ලමිනි. ඒ ප්‍රතික්ෂේප වීම අපරාජිතා කෙරේ දැඩි ව බලපෑවේ ය. ආයේ නම් කිසි දා පෙම් නොකරන්නෙමැයි ඇය තදින් සිතා ගත්තා ය. නමුත් වැඩි කල් නොයා ම ඇය එක ප්‍රේමාරාධනයකට ‘හා’ කීවා ය. එහෙත් හදවත උණුහුම් කරනා කිසිත් එහිදී ඈ අත්වින්දේ නැත. ඒ සම්බන්ධය නතර කරමු කීවේ අපරාජිතා ම ය. කොල්ලා ගේ හොඳ කමට ඔහු මඩ ගැසුවේ නැත. ප්‍රේමය කියන්නේ ම හද පීඩාවට පත් කරනා වෙහෙසක් යයි අන්තිමට අපරාජිතා තීරණය කළා ය.

සසංක හිටියේ අකීකරු සතුටක් විඳිමිනි. කාණුවට මත්තෙන් තාප්පයට කකුලක් ගසා ගෙන ඔහු මීවන ගලවා ඈ අතට පත් කළේ වීරයෙකු සේ ය. ඇය වෙනුවෙන්  වැසි වනාන්තරයක් තරම් වුව මීවන ගෙන එන්නට තරම් ඔහු පෙමාතුර ව සිටියේ ය. නමුත් අපරාජිතා ගේ මූණේ සතුටක් හෝ පොළඹවන සුළු බවක් වූයේ නැත. නමුත් ඉන් අධෛර්යමත් වූයේ සසංක නොවේ.

“මොකටද මේව…”

ඔහු හේතුව දැන දැන ම ඇසුවේ ය.

“වැඩකට”

එපමණකි. ඒ ආඩම්බර ගැහැනිය කෙරේ ඔහු ගේ උමතුව දලු ලමින් ද අතු ඉති ලමින් ද වැඩෙනා බවක් ඔහු ට දැනිණ.

ටෙරාරියම් එකක් ගැන හිතක් නොවන තරමට අපරාජිතා ගේ සිතිවිලි විසිර ගිහින් තිබිණ. ඇය මීවන ටික ප්ලාස්ටික් බඳුනක දමා නොමැරෙන සේ වතුර එක් කොට ඇඳට වැටුණා ය. ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් සන්සුන් වීමේ වෑයමක යෙදී සිටියදී අරවින්ද ගේ නමින් දුරකතනය හැඬවිණ. හූනෙකු සේ ඇය ට ‘චක්’ ගෑවිණි. නමුත් ඕ පිළිතුරු දුන්නා ය.

“අපූ..මගෙ වෙඩින් එක අනිද්දට”

හදිසියේ වතුරකට වැටුණා වන් සංවේදනයක් අපරාජිතා ට දැනිණ. ඇය ටික වෙලාවක් හුස්ම අල්ලා ගෙන සිටියා ය. ඒ දැනෙන්නේ ඊර්ෂ්‍යාවක් නොවන බව ඇය ට විශ්වාස ය. ඔහු ගෙන් වෙන් වන්නට ඕනෑ වූයේ ඇයට ම ය. නමුත් කිසි යම් කටුක හැඟීමක් ඇය විඳින්නට වූවා ය.

“ඉතින්…ඔයාට ඕනද මං වෙඩින් එකටත් එන්න…හරි මං එන්නං”

ඇය හිත තද කර ගෙන හුස්ම අල්ලා ගෙන කියවා ගෙන ගියා ය.

“නෑ නෑ. ඔයා එන්න ඕන නෑ”

අරවින්ද ඉක්මන් කොට කීවේ ය. අපරාජිතා වූ කලී එසේ කරන්නට වුව බැරි නැති තද හිතක් ඇති ගැහැනියක බව ඔහු දනී. 

“අපූ ප්ලීස්…මගෙ දරුවව මගෙන් ඈත් කරන්න එපා”

යහනේ වැතිර සිටි ඕ ඉද්ද ගැසුවා සේ නැගී සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles