(අ)හිමි සිහින -184

තමන්ගේ ළඟම ඥාතියා ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් රෝහලක සයනයක් මත ජීවිතය අවිනිශ්චිතව සිටිද්දී ඔබ කරන්නේ කුමක්ද? ඔව් ඔබ ඒ ජීවිතය බේරාගන්නට ඕනෑම දෙයක් කරාවි.මහපාරට වී රෝගීන්බේරා ගන්නට හිඟමන් යදින්නන් අප ඕනෑතරම් දැක තිබෙනවා. ඒවා සියල්ලම සත්‍යය නොවිය හැකි වුණත් එකක් හෝ සත්‍යයක් විය හැකියි.ඒ වගේ තමන්ගේ ආදරණීයයාගේ ජීවිතය වෙනුවෙන් ඔබ හ නොකරන දෙයක් නැතිවේවි.ඒත් ඔබ වැනි ඥාතීන් සුධාරකට සිටියේ නැහැ.

ඔහුගේ මවටත් සහෝදරියන්ටත් දිල්හානිටත් ඊට වඩා බරපතල ගැටලුවක් තිබුණා.ඒ “කොහොමද අනුරාධා ව නවත්වන්නේ? කොහොමද අනුරාධාව මේ කතාවෙන් සදහටම අතුගාලා දාන්නේ?” නම් ගැටලුවයි.ඒත් ඔවුන් කිසිදා වටහා නොගත් දෙයක් තිබුණා.සසර ගනුදෙනු එසේ ලේසියෙන් ගලවා දමන්නට නොහැකියි එසේම පාඩුවේ ජීවත් වූ සියලුම දුක් කරදරවලදීත් හිනාවෙන්ම ජීවිතයට මුහුණ දුන් අනුරාධා තුළ තිබූ ආත්ම ශක්තිය ඔවුන් වටහාගෙන නොතිබුණා.ඒ නිසාම ඔවුන් නොයෙක් දේ අත්හදා බලමින් මා මානසිකව වට්ටන්නට කල හැකි උපරිම දෑ කරන්නට පටන් ගත්තා.

සුධාරක ගිලන්වු තැන් පටන් මා මගේ Facebook ගිණුමේ ඔහු වෙනුවෙන් තැබූ සටහන් වලට ලැබෙමින් තිබුනේ ඉතා ඉහළ ප්‍රතිචාරයි.ඔහුට ඉක්මන් සුවය පතා ඔහු වෙනුවෙන් තැබූ සටහන් වලින් මගේ ෆේස්බුක් ගිණුම් පිරී තිබුණා.අප බෝධිපූජාවක් තබා  කොඩි වැලක් එල්ලන්නේ එය දකින කියවන හැමෝගෙන්ම  ලැබෙන සෙත් පතාගෙන බව ඔබ දන්නාඅ.දහසක් දෙනා සුධාරකට ඉක්මන් සුවය පැතූහොත් ඉන් එකක් හෝ ඔහුට ලැබේවි කියා මට සිතෙමින් තිබුණා. එහෙත් මා සුධාරක හමුදා නිල ඇඳුමෙන් සිටින කිසිදු පින්තූරයක් පළ් නොකරන්නට පරෙස්සම් වුණා. 

ඒ ඔහුගේ ආයතනය විසින් එය තහනම් කර තිබූ නිසා.සුධාරක යනු වසර තිස් හතරමාරක් වූ හමුදා ජීවිතය තුළ කිසිදු කලු පැල්ලමක් සිදුකර නොගත් අයෙක්.පෞද්ගලික ජීවිතයේ තිබූ ප්‍රශ්නය යොදාගෙන දැලිපිහියෙන් ඔහුගේ බෙල්ල කපන්නට බලා සිටි අය කොතෙක් සිටියත් ඔහු සිය රාජකාරි අකුරටම නීතියට විනයට ඉටු කළ අයෙක්. ඒ නිසා ඔහු සිහියෙන් සිටියදී වාගේම ඔහුගේ සිහිය නොමැති මේ අවස්ථාවේ දී මා වඩාත් ඔහු සුරක්ෂිත කරගෙන සිටිය යුතු බව මා විශ්වාස කළා.ඒ හැරෙන්නට මගේ උත්සාහය හා  පැතුම වූයේ ඔහු කෙසේ හෝ නැගිටවා ගතයුතු බවත් ඔහු මේ ව්‍යවසනයෙන් කෙසේ හෝ ගොඩයන බවත් පමණයි. එසේ සිතා ඒ වෙනුවෙන් සියලු දෙයම කරමින් සිටින අතර දිනක් මගේ දුරකථනයට නොකඩවා ඇමතුම් පැමිණියා.

 මා ගැන හොඳින් දන්නා මා ගැන මගේ ආරක්ෂාව ගැන විමසිල්ලෙන් ඇස ගසා සිටින අය ඉතා විශාල සංඛ්‍යාවක් මට සිටිනවා. ඔවුන් සියලුදෙනා මට පැවසුවේ එකම දෙයක්.

” අනූ,ඔයා ෆේස් බුක් එක බැලුවෙ නැද්ද? අන්න ඔයාගේ මස්සිනා දිග හෑල්ලක් දාලා ඔයා සුධාරකගේ කවුරුවත් නෙවෙයි ඔයා පිස්සු ගෑනියෙක් කියලා.ඒ ගැන බලන්න”

සුධාරක අසනීප වූ විට මා ඔබට කියා ඇති පරිදි මාගේම මෝටර්රථයෙන් අනුරාධපුරයට ගිය පුද්ගලයා වූ සුධාර ගේ වැඩිමහල් නැගණියගේ සැමියා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඉතා දිගු ලිපියක් පළ කර තිබුණා. මීට පෙර සුධාරක ගේ නැගණියන් මස්සිනාලා හා දරුවන් මගේ ෆේස්බුක් ගිණුමට එක්වී සිටියත් මේ වන විට ඔවුන් සියලුදෙනා මා block කර තිබුණා. තමන්ගේ හිත්වල හොර අදහස් ඇති විට එවැනි දේවල් මිනිස්සු කරනවා.

මා block කර මා ගැන සියල්ලන්ටම පෙනෙන පරිදි දැම්මාට තාක්‍ෂණය ඔවුන් හිතනවාට වඩා එහාට ගිය එකක් බව වටහාගන්නට වත් ඔවුන්ට බුද්ධියක් නැහැ.මා බ්ලොක් කළ නමුත් වෙනත් ගිණුමකින් මා ඒ ලිපිය කියවූවා.එහි සැකෙවින් තිබුණේ මේ ආකාරයටයි.

“මෙම කාන්තාව සුධාරකගේ බිරිඳ ලෙස පෙනී සිටිමින් ඔහුට අපහාස කරමින් සිටිනවා. මේ නිලධාරියාගේ දයාබර බිරිඳ සහ දරුවන් මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිනවා. මේ අනුරාධා නමැති ගැහැණිය මානසික රෝගියෙක්.” 

සාරාංශය මෙය වූවත් එහි මාගේ හා මගේ කුඩා දියණියගේ සත්‍ය නම් හා ජයාරූපත් ඔවුන් යොදා තිබුණා.වඩාත්ම හාස්‍යයට කරුණ නම් මාගේ මුහුණු පොතින්ම ලබාගත් සුධාරක මා සිපගෙන සිටින ඡායාරූපයක් ද ඔහු මාත් දියනියත් තදින් බදා වැලඳගෙන සිටින ජායාරූපයක් ද දමා මා පිස්සු ගැහැනියක බවත්. සුධාරක මා හා කිසිදු සම්බන්ධයක් නැති බවත් පුන පුනා පවසා තිබීම.තමාට කිසිදු සබඳකමක් නැති ගැහැණියක හා දියණියක මහත් ආදරයෙන් වැලඳ ගෙන සිටින්නට ඔහුට මානසික රෝගයක් තිබුණේ නෑ.අප ආදරයෙන් සිටින ඡායාරූප එක් කරමින්ම  අප ඔහුගේ අය නොවේ යැයි පවසන්නට තරම් ඒ ඥාතීන් මා හා  අහේතුක වෛරයකින් පෙළෙමින් සිටියා.

ඔහුගේ විවාහක බිරිඳ බව පෙන්වීමට දිල්හානි ඒ වනවිටත් අක්‍රිය කර දමා තිබූණු ඇගේ මුහුණු පොතේ ගිණුමේ තිබූ ඉතා පැරණි ජායාරූප කිහිපයක් ද ඔවුන් එහි දමා තිබුණා. එය ඇය විසින් ඔවුන්ට ලබාදෙන්නට ඇති.කාලයක් තමාව පිලිකුල් කර පන්නාගත් සුධාරකගේ පවුලේ අයගේ මේ අමුතු ආදරය ඇය මහා ඉහළින් ඉහට ගන්නට ඇති. ඒත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට දිල්හානි හා ඇගේ දරුවන් කෙරෙහිවත් මා හා මගේ දියණිය කෙරෙහිවත් තිබූ ආදරයක් කරුණාවක් නැහැ.

ඔවුන්ගේ සියලු අවධානය තිබුණේ සුධාරකගේ දේපොලවල භාරකාරත්වය ලබා ගැනීමටයි. දිල්හානි සරණාගත රැකවරණය පතා පැනගොස් තිබූ ආකාරයට ඇයට දිවි තිබෙනතුරු කිසිදිනෙක මව් රටෙහි පස් පාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මට සුධාරකගේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. එසේ වූ විට භාරකාරත්වයයැයි කියා ඔහුගේ දේ තමන් සතු කරගන්නට ඔවුන්ට උවමනා වී තිබුණා.

මේ සටහන මට දැඩි කලකිරීමක් හා පිළිකුලක් ගෙනාවා.මිනිස්සුන්ට මෙහෙමත් බොරුකාර ජීවිත ගතකරන්නට පුලුවන්දැයි මා සිතුවා..”නංගී…දුවේ..පුංචි”කියමින් සිටි මගෙන් අප්‍රමාණ ලාභ ප්‍රයෝජන ලබාගත් පසු මට මෙසේ අපහාස කරන්නට ඔවුන්ට ලැජ්ජාවක් නැද්ද? ඇරත් මේවාද දැන් මොවුන් කරන්නට ඕනෑ.? හරිනම් සුධාරක සුව කරගැනීමට මා දරන උත්සාහයට ඔවුන්‍ මට උපකාර කළ යුතුමයි.

දිල්හානි පසෙක තබමු. සමහරවිට ඇය සුධාරක වැටුණු විට ඇගේ පලිය ගන්නට හිතන්නට ඇති.ඇයට කිසිදා ඔහු ගැන කැක්කුමක් තිබුණේ නැහැ.ඒක ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. ඒත් සුධාරකගේ අම්මා සහ සහෝදරියන්? මෙවන් රටක් වටින මිනිසෙකු මෙවන් පවුලක ඉපදෙන්නට කළ කරුමය කුමක්දැයි මට සිතාගන්නට නොහැකි වුණා

නයෙකු වුණත් ඉඳහිට හෝ පෙණය පුප්පා තමන් නයෙකු බව පෙන්විය යුතුයි නැතහොත් නයා දරමිටියට තබා බඳිනු ඇති බවට අපේ පැරණි කියමනක් තිබෙනවා.එහෙයින් දැන් නිහඬව සිටියා ඇතැයි මම තීරණය කළා.එසේම ඉතා ඉහළ මට්ටමක පවතින මගේ ඉවසීමේ සීමාවේ  රතුකට්ට ද ඒ වනවිට පැනගොස් තිබුණා.

එසේ තීරණයට එලඹි මා කරන්නට යෙදුණේ කුමක්දැයි මම ඔබට හෙට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles