ආයෙත් අනවශ්‍ය ගැටලුවක් වගේ!! මට එසේ සිතෙන්නට පටන් ගෙන තිබුණා.මගේ සැකය වරදක්ද තිබුණේ නැහැ.
“අන්න කලින් සුධාරකගේ මස්සිනා දාපු පෝස්ට් එකම ටිකක් එහෙන් මෙහෙන් වෙනස්කරලා වෙන ෆේස්බුක් පේජ් එකක යනවා.ඒකෙ ඔයාටයි සුධාරකටයි බැන බැන කට්ටිය කැත විදියට comment කරනවා”
ඒ අනතුරු ඇඟවීම මගෙත් සුධාරකගේත් ලබැඳියන්ගෙන් මට ලැබෙන්නට වුණා.එවැනි දේ ගැන කලබල වීමේ උවමනාවක් මට නැතත් මා ඒ ගැන සොයා බැලුවා.ඔවුන් පැවසූ පරිදිම කලින් පළ කළ මඩ පෝස්ට් එකම තරමක් වෙනස් කර මෙම පිටුවේ පළ කර තිබුණා.
නමුත් කලින් වතාවට වඩා මෙහි යම් බරපතලකමක් ඇතැයි මට සිතුණේ එයට වැටී ඇති කමෙන්ට්ස් කියවන විට.එහි ඉතා නින්දිත ලෙස මා විවේචනය කර තිබුණු අතරම එයට වඩා මට වේදනාවක් ගෙනාවේ ලෙඩ ඇඳේ උන් අසාධ්‍ය රෝගියෙකුට කර තිබූ නින්දා අපහාසයි.ඒ අදහස් පළ කර තිබූ අය අතර මෙතෙක් කාලයක් කරලියේ නොසිටි දිල්හානිගේ හිතවතියන් කීපදෙනෙක් ද වුණා.ෆේක් ගිණුම් කිහිපයකින් බරපතල ලෙස මට අපහාස කර තිබුණා.
දිල්හානි වෙනුවෙන් අමුතු පෙනී සිටීමකට ආ ඔවුන්ගේ කමෙන්ට්ස් කියවා මේ කතාවේ මුල මැද අග කිසිවක් නොදන්නා ෆේස්බුක් පරිශීලකයන් එම අදහස් නැවත නැවත විමසමින් හා විවේචනය කරමින් comments දමන්නටත් එම post එක share කරන්නටත් පටන්ගත්තා.මෙය කලින් ගැටලුව මෙන් ලෙහෙසියෙන් විසඳා ගත නොහැකි බව ඒ වෙද්දී මට වැටහෙමින් තිබුණා.
මා ජීවිතයේ කිසි දාක නිවට ලෙස සිටි ගැහැණියක නෙවෙයි. ඕනෑම ගැටලුවකදී අදාල ගැටලුව නිරාකරණය කරගන්නට ඒ අදාළ පාර්ශවයන් හමුවට ගොස් කෙලින් කතාකර එය විසඳා ගන්නට සමත් වූ ගැහැණියක්.කිසිවෙකුටත් ණය නැති කිසි තැනක බොරු නොකී කිසිවකුට බැගෑපත් වන්නට අවශ්‍යතාවක් නැති මම මේ ෆේස්බුක් පිටුව කරගෙන යන පාර්ශවය අමතන්නට තීරණය කළා.
“හෙලෝ මේ …. පේජ් එක කරන කෙනාද? මම ජෙනරල් සුධාරකගේ පළමු බිරිඳ. ඔයාගේ page එකේ මට සහ මේ නිලධාරියාට අපහාස කරලා post එකක් පළවෙනවා.කරුණාකරලා ඒක අයින් කරන්න.මට නම් ඒක ගැටලුවක් නැහැ ඒත් මේ අපහාස වෙන්නේ මරණය සමග පොරබදන රෝගියෙකුට.ඒක මනුස්සකමක් කියලා මම හිතන්නේ නැහැ.”
මම එසේ කියද්දී මට ලැබුණේ ලැබුණේ අපූරු පිළිතුරක්.
“මම මේ ගැන දන්නෙ නැහැ.මට ඕක පලකරන්න කිව්වේ එංගලන්තයේ සිට කතාකරපු දිල්හානි කියලා කාන්තාවක්.එයා මේ ලිපිය පලකරන්න මට රුපියල් පහලොස්දාහක් දුන්නා”
මට එවිට කාරණය වැටහුණා.සුධාරක සුවකරගන්නට රුපියලක් හෝ වැය නොකළ දිල්හානි මම ඔහුගේ කෙනෙකු නොවන බවත් ඇගේ නීත්‍යනුකූල අයිතියත් පෙන්වන්නටත් හිතක් පපුවක් තබා අඩුතරමේ මොලයක් ඇති ගැහැණියක නොකරන දේ කරමින් සිටියා.මා කතාකල ඒ ෆේස්බුක් පිටුවත් එයට අදාළ වෙබ් පිටුවත් කරගෙන යන පුද්ගලයා ඉතා තරුණ අඩු වයසක සිටින ළමයෙක් බව මට ඔහුගේ කතාවෙන් වැටහුණා.ඒ නිසා මම ඔහුට ඉතා කෙටියෙන් අපේ කතාව පවසා රටක් දැයක් රැක ගන්නට ජීවිතයම කැප කළ රණවිරුවෙකුට අපහාස කිරීම නුසුදුසු බව පෙන්වා දුන්නා.ඔහු ගිලන්වූ අවස්ථාවක මෙසේ අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ජාලයක ලිපි පළ කිරීම මනුෂ්‍යත්වයට සුදුසු නොවන බව පවසා එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.
“මෙහෙමයි මිස්. මට මේක පළ කරනවාට සල්ලි දුන්නා.ඒ නිසා මට එහෙම මේක අයින්කරන්න බැහැ.එහෙම කරනවනම් මම ආපහු ඒ සල්ලි එයාට දෙන්න ඕන. මට ඒ සල්ලි වියදම් වුණා.ඒක නිසා මට කරන්න දෙයක් නෑ”
ඔහු විවිධ හේතු දක්වන්නට පටන් ගත්තා.
“හරි මම ඔයාට ඒ සල්ලි දෙන්නම්.කරුණාකරලා මේ post එක ගලවන්න”
බොහෝදෙනා හිස් මුදුනින් තබා කතාකරන මනුෂ්‍යත්වය,සදාචාරය හා සංස්කෘතිය යන දිශාව ඒ ආකාර එකක්.මේ රට අද මෙසේ වී අවසන්.මුදලට ඕනෑම දෙයක් කරන තරුණ පරපුරක් සමග මේ රට යහපත් ගමනක් නොයන වග පමණක් මට වැටහෙනවා.බොරුව, පලිගැනීම,කුහකකම,වංචාව හා අනාදරය වැනි දේ සංස්කෘතිය සදාචාරය නීත්‍යානුකූල බව සහ විවාහය වැනි වචන වලින් වැසී සමාජගතව ඇති විට මීට වඩා යහපතක් සිදුවේයැයි මට සිතෙන්නේ නැහැ.
මිනිසුන් හදවතට එකඟව ජීවත්විය යුතුයි. තමා අතින් වරදක් සිදුවේ නම් එය තමාගේ වරදක් බව පිළි ගන්නට තරම් සාධාරණ විය යුතුයි.අවාසනාවට ඔබත් මමත් ජීවත්වන්නේ එවැනි සමාජයක නොවෙයි.සුධාරක තමාගෙන් වෙන්වී මා ළඟට පැමිණීමේ වරද දිල්හානි මගේ පාර්ශවයට පැටෙව්වාට අදටත් මම විශ්වාස කරන්නේ මා වරදක් නොකළ බවටයි. මම ඔවුන්ගේ පවුල් සංස්ථාව බිඳ දැම්මේ නැහැ.මට බිඳින්නට එතැන පවුල් සංස්ථාවක් තිබුණේද නැහැ. සුධාරක මා ළඟට පැමිණියේ ජීවිතයක් ආදරයක් සහ සෙනෙහසක් ඉල්ලාගෙන.ඔහු මට අමුත්තෙකු වූයේ නෑ. ඔහු මා කුඩා කල සිට ආදරය කර මා විවාහ කරගත් මගේ පළමු සැමියා. අවාසනාවට වෙන් වෙන්ව ගමනක් යන්නට සිදුවී තිබූ නිසා අප දෙදෙනාම ඒ වනවිටත් ජීවිත විඳවමින් සිටි අය වුණා.ඒ නිසා අප දෙදෙනා එක් වී අපව දරාගැනීම මට අනුව කිසිසේත්ම වරදක් නොවේ
සමාජ සම්මත ගැන කතාකරන කිසිවෙක් අපි විඳවන විට අප සමග සිටියේ නැහැ.දෙපාර්ශවයටම හොරා මේ සම්බන්ධය පවත්වාගෙන යන්නට අප දෙදනාටම හැකියාව තිබියදී එළි පිටම දෙපාර්ශවයෙන්ම වෙන්වී සමාජය ඉදිරියට ගොස් ප්‍රසිද්ධියේ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්නට අප දෙදෙනාටම කශේරුකාවක් තිබුණා.මෙය කියවන ඔබ සමහරක් මා හා එකඟ නොවී මට දොස් කියන බව මම දන්නවා.ඒත් සුධාරක වෙනුවෙන් අදටත් යම් නින්දාවක් අපහාසයක් කෙනෙකු මට කරනවා නම් මම එයටත් මුහුණ දෙන්නේ අප්‍රමාණ සතුටකින්.
මෙම post එකට වැටී තිබූ comments බලනවිට එහි යම් විශේෂත්වයක් මම දුටුවා.මගේත් සුධාරක ගේත් පෞද්ගලික දේවල් ගැන දන්නා අවබෝධය ඇති ගිණුම් කිහිපයකින් ඉතා නින්දිත ලෙස අපව විවේචනය කර තිබුණා.
මම සුධාරකගේ මවට දැන් අයිති විය යුතු නිවසේ බලෙන් සිටින බවත්,සුධාරක මා සමග සිටියේ ලිංගික ආශාවන් නිසා බවත්,මම සුධාරක සමග සිටින්නේ ඔහුගේ ධනයට සහ බලයට බවත,.දිල්හානි හා දරුවන් කිසිත් නොදන්නා ඉතා අහිංසක අය බවත්,සුධාරක ලෙඩ ඇඳේ සිටින අතර මම වෙනත් පුද්ගලයන් ගෙදර තබාගෙන පවුල්කන බවත් තවත් කතා එහි තිබුණා. ගැහැණියකට නින්දා කරන්නට හැකි සියලුම අයුරින් ඉතා නින්දිත ලෙස දිගු comments දමා තිබුණා.
එහෙත් ඒ ෆේක් ගිණුම් දෙස බැලුවිට ඒවායේ යම් විශේෂත්වයක් මා දුටුවා.ඒ සියල්ලේම නම් මට කෙසේ හෝ සම්බන්ධ වන ලෙස සකසා තිබූ ඒවා වුණා”අනුරාධාගේ චමල්” “සුධාරක මට පාලුයි”
වැනි මා සම්බන්ධ වන ලෙස සැකසූ ඒවා අතර මගේ දෙමාපියන්ගේ නිවසේ අංකය ,මාගේ මෝටර් රථයේ අංකය වැනි දේ පවා යොදාගෙන සැකසූ නම් තිබුණා.පෞද්ගලික තොරතුරු බියක් නොමැතිව පිටතට දැමීම නිසා එය කළ කණ්ඩායම පැහැදිලිවම හෙළිදරව් වන බවට වත් ඔවුන්ට බුද්ධියක් තිබුණේ නැහැ.වෛරය සහ පලිගැනීම පමණක් ඔවුන්ගේ ආයුධය වී තිබූ බව මට වැටහුණා.
මගේ පියා නිතර පවසන දෙයක් මට මෙවෙලේ සිහිවෙනවා.මා මෙය කුඩා කාලයේ සිට ඇසූ කතාවක්
“බුද්ධිමත් මිනිහා වගේ නොවෙයි මෝඩයාට උද්දච්චකමයි තණ්හාවයි පලිගැනීමයි වගේ දේවල් ඉහට ගැහුවාම ඒ අය ඒවා යොදාගන්නේ තමන්ගේ පරිහානියටමයි”
පියා පැවසූ මේ කතාව කොතරම් සත්‍යයක් දැයි මට මගේ ජීවිතයේ ලබා ගත් අත්දැකීම් නිසා වැටහුණා.මේ අවස්ථාව වන විට සුධාරකගේ පවුලේ අය මට එය වඩ වඩාත් තහවුරු කරමින් සිටියා.
ඒ මඩ ගැසීමේ ව්‍යාපාරය පොලිසියට යන්නට තරම් දුරදිග ගිය හැටි මම ඔබට හෙට සිට කියන්නම්.