සඳ කත් මිණි ඇස් 12

තේ පාණයක් සඳහා ප්‍රවීන් සූර්යා ට ඇරයුම් කොට සිටියේ ය. ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට සතුරෙකු සාදා ගැනීම අනුවණ කමක් බව ඇය ට හැඟිණි. අනිත් අතට දැන් ඈ පොඩි ළමයෙකු නොවේ. ලෝකය පුරා කරක් ගසා, මානව වර්ගයාට හිමි පොදු හා දුර්වල ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා හිඳිනා පරිනත ගැහැනියකි. ඔහුත් එක්ක එකට තේ කෝප්පයක් බීවා කියා ප්‍රවීන් ට යමක් කෙරේ විසල් බලපෑමක් ඇති කළ නො හැකි ය. ඔහු සමගින් සාමාන්‍ය හිතවත්කමක් ඇති බව හැඟවීම, ඇය ඔහු ගෙන් පලා යන්නට තැත් කරනා බව හැඟවීමට වඩා පහසු වග ද සූර්යා දැන සිටියා ය. එතකොට ආලෝක එක්ක ඔහු ගේ හිතේ හංගා ගෙන හිඳිනා කේන්තිය වුව යම් මට්ටමකට සමහන් කළ හැකි වෙතැයි සිතීම, සූර්යා මේ ඇරයුම පිළිගන්නට බලපෑ ප්‍රමුඛ හේතුවකි.

“ඒත් ඒකට සුමන්…අයි මීන්…ආලෝක කැමති වෙයිද…”

සූර්යා මේ තේ පැන් සාදය ගැන නටාෂා ට කී විට ඇය දෑස් ලොකු කර ගෙන ඇසුවා ය.

“තේ එකක් බිව්ව කියල ඉතිං..මුකුත් වෙන්නෙ නෑනෙ…”

“මන්දා. මට ඔය ඉමෝශනල් පිරිමියෙක් ආශ්‍රය කරන්න හම්බ වෙලා නෑ. මං දන්න ගොඩක් උං ලේඩීස්ලව ආස්සරේ කළේ ජස්ට්…මතුපිටින් විතරයි. පපුව ඇතුළට ගත්තෙ නෑ. ඕන වෙලාවක ටටා බායි කියන්න බලං ඉන්නෙ. ඒත් සූර්යා කියන විදිහට ආලෝක ඒ විදිහෙ කෙනෙක් නෙවෙයිනෙ”

“අපි දෙන්නම ප්‍රවීන් ගෙ ටී පාටි එකට ගියොත්…”

“ඊයා…මටනං බෑ”

“ඇයි ඊයා කියන්නෙ…”

“ඉන්විටේශන් එකක් නැතුව යන්න මට බෑ අනේ”

සූර්යා තනිව ඒ තේ පැන් සාදය සඳහා ගියේ නටාෂා නො ආ බැවිනි. ඇය හිතා මතා ම ඒ බව ආලෝක ට නො කියා සිටියා ය. තමන් කරන්නේ වරදක් නොවන බව හදවත දන්නා නිසාවෙන් එසේ කියන්නට අවශ්‍ය නැතැයි සූර්යා සිතුවා ය. කියන්නට යාමෙන් ආලෝක අනවශ්‍ය ලෙස කලබල වන්නට පුළුවන. සූර්යා ට ඕන වී තිබුණේ ඈ ඔහු ඇසුරු කරන්නේ ඔහු ගේ හිතේ ඇති අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් නොවන බව ප්‍රවීන් ට ඒත්තු ගැන්වීමට ය.

සූර්යා කැබ් සර්විස් එකකින් මෝටර් රථයක් ගෙන්වා ගෙන,  සමුද්‍රාසන්න ව පිහිටි තරු පන්තියේ හෝටලය වෙත ගියා ය. ප්‍රවීන් ඇය ව පිළි ගත්තේ එංගලන්ත මහ රැජිණ පිළිගන්නා ආකාරයේ ගෞරවයක් මවා පාමිනි.

“සූර්යා මගෙ ඉන්විටේශන් එක පිළිගත්ත එක මට මාර ආඩම්බරයක්”

“අයියෝ…එක ඒ තරං දෙයක් කියල හිතන්න එපා මිස්ට ප්‍රවීන්. ඔයා නෙවෙයි වෙන කවුරු ඉන්වයිට් කළත්…මං ඉතිං තේ ටිකක් බීල කතා කරල එන්න යයි. දැට්ස් ඉට්”

ප්‍රවීන් ගේ ඇස් වල වන කලබලය සූර්යා හැඳින ගත්තා ය. ඇය හිත යටින් සිනහ පෑවා ය. ගැහැනියක යහනකට ගෙන යන තුරා මේ වාගේ පිරිමින් ගේ ඇස් වල වන මේ කලබලය, ඉන්පසු මළ සොහොන් පිටියක් සේ පාළු වී යන්නේ ය. ආයේ එවන් උද්‍යෝගයක් හෝ කලබලයක් ඔවුන් වෙත පැමිණෙන්නේ තවත් ගැහැනියක හමු වූ විට ය.

“මං සූර්යාට කියන්නෙ…අරයගෙ මෙයාගෙ කතා වලට අහු වෙලා බිස්නස් වලට අත ගහන්න එපා කියලයි. හුඟක් අය බලන්නෙ මෙතන ඒගොල්ලො විතරක් රජ වෙලා ඉන්න. ඉතින් උපදෙස් දෙන්නෙ කෙලවිලා යන්න. අනතිමට අර ඉන්වෙස්ට් කරපු සල්ලි ටිකත් නෑ ඇඩ්වයිස් කරපු උන්දැලත් නෑ”

ප්‍රවීන්, ඔහු කියා ඔහු ම හිනැහුණේ ය. සූර්යා බොරුවට සිනහවක් මවා පෑවා පමණකි.

“සූර්යා මාව විශ්වාස කරං ඉන්න. ඔයාට හ්තා ගන්න බැරි විදිහට ප්‍රොෆිට් එන බිස්නස් එකක මං ඔයාගෙ සල්ලි ඉන්වෙස්ට් කරන්නං..ඔයා කවුරුත් නොහිතපු විදිහෙ ඉන්වෙස්ටර් කෙනෙක් වෙයි”

සූර්යා තේ උගුරක් තොල ගෑවා ය. හැබෑ තේ රසය ඇගේ රස නහර පිනා ගියේ ය. ඇය ට සිහි වූයේ ආලෝක ය. ඔහු මේ මොහොතේ කාර්ය බහුල ව හිඳිනවා විය හැක. ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනය ගැන ඇයට සිහ් විය. ඈ එසේ කළේ ආලෝක ඇමතුමක් ගන්නට ඉඩ ඇති බැවිනි. ප්‍රවීන් එක්ක ඇය තරු හෝටලයක තේ බොමින් හිඳිනා බව දැන ගත හොත් ආලෝක යකා නටනු ඇතැයි බියෙන් අන්තිමට ඕ එසේ කිරීමේ තීන්දුවක් ගත්තා ය.

නමුත් සූර්යා මේ ගමන පැමිණියේ ත් ආලෝක ගැන ම සිතා ය. ප්‍රවීන් ගේ තරහකාරයෙකු බවට ආලේක පත් විය යුතු නැත!

“ඒත්…දැං මං පොඩ්ඩක් බැක්වර්ඩ් වෙලා ඉන්නෙ මිස්ට ප්‍රවීන්. මට හිතෙනව දැන්ම ඉන්වෙස්ට් කරන්න කලබල වෙන්න ඕන නෑ කියල”

ප්‍රවීන් තිගැස්සී ගියා සේ ය. නමුත් ඔහු ඒ බවක් පෙන්වන්නට ගියේ නැත. ආලෝක ඇගේ සිත වෙනස් කොට ඇතැයි ඔහු කේන්තියෙන් යුතු ව සිටියේ ය.

“සූර්යා…සූර්යා…ඕක තමයි මං ඔයාට කියන්නෙ…එක හිතෙන් බිස්නස් එකක් කරන්න යනවනං ඒ ගැන එක එක්කෙනා එක්ක කතා කර කර ඉන්න එපා. මේක ඇතුළෙ ඉන්න එවුං මූණට මූණිච්චාවට පණ දෙන්න වුණාට පෑලියාව. මට පේන විදිහට කවුරු හරි ඔයාගෙ හිත කඩල දාල”

ප්‍රවීන් ගේ මුහුණේ සම්චල් සිනහවක් ඇඳිණ.

“ඔය වගේ වැඩ කරන භයානක ම එකා තමයි සුමනරත්න. දන්නවනෙ නේ…ආලෝක සුමනරත්න…”

උගුරට ගත් තේ බිඳ හිස්මොළයේ ගියා සේ සූර්යා ට දැනිණ. ඕ වහා ම තේ කෝප්පය මේසය මතින් තැබුවා ය.

“ඔය යකා මාර ඊරිසියා කාරය. වෙන කවුරුවත් ඔළුව උස්සනවට කැමති නෑ. කකුලෙං අදින්නම තමයි බලන්නෙ. මට මොන තරං දේවල් කරනවද…ඉන්ටනැෂනල් සිනමන් ටී මාකට් එක උගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් කියලයි ඌ හිතං ඉන්නෙ”

සූර්යා නිකටෙහි අත තියා ගත්තේ පුදුමයෙනි. ආලෝක ගැන චරිත සහතික ඇයට කාගෙන්වත් ඕනේ නැත. ඇය ඔහු ගේ ව්‍යාපාර ගැන දන්නේ නැතිවාට ඔහු ගැන දනී. යම් කිසි පුද්ගලයෙකු ගේ ජීවිතයේ ඕනෑ ස අංගයක් වර්ණ ගැන්වෙන්නේ ඔහු ගේ මිනිස් ගති අනුව ය. ආලෝක කොහොම මිනිසෙකු ද කියා සූර්යා තරම් ඔහු ගේ මව හැර දන්නා කෙනෙකු වෙන සිටිත නො හැකි ය. ව්‍යාපාර නොව මොනවා කළත්, ආලෝක ගේ ආලෝකය එහි ඔහු ගේ මුද්‍රාව තබනු ඇත.

“අලුතෙන් කවුරු හරි මේ ෆීල්ඩ් එකට අඩිය ගහන්න හැදුවොත් මිනිහ කරන්නෙ මෙතන දාල දුවන්න හිතෙන විදිහෙ දේවල් ටිකක් කියල ඒ මනුස්සයගෙ ඔළුව නරක් කරන එක. මට පේන විදිහට ඔයාටත් වෙලා තියෙන්නෙ ඒක”

සූර්යා කට කොනක් ඇද කළා ය.

“අනේ නෑ”

එවර ඇගේ සිනහව පුළුල් ව නැගිණි.

“තාම ආලෝක මාත් එක්ක බිස්නස් ගැන මොනවත් කතා කරල නෑ”

“එතකොට කතා හැදෙන තරමට මීට් වෙවී මොනාද අප්පේ ඔච්චර කතා කරන්නෙ…”

ඒ නම් තනිකර ම මඩ ප්‍රහාරයක් බව වහා සූර්යා හැඳින්නා ය. මේ වාගේ එක පිරිමියෙකු එක ක්ශේත්‍රයකට ප්‍රමාණවත් ය. ක්ෂේත්‍රය ම දුගඳින් වනසා දමන්නට ඔවුහු සමත් වෙති.

“කතා හැදෙන කතාවක් කිව්වෙ මොකද්ද මිස්ට ප්‍රවීන්…මට ඒක එච්චර තේරුණෙ නෑ”

සූර්යා කියන්නේ තවත් සාමාන්‍ය ගැහැනියක සේ දක්න්නට ප්‍රවීන් කැමැත්තෙන් සිටියේ ය. ඕනෑ ම ක්ෂේත්‍රය ක ඉහළට යන්නට කාන්තාවන් ට වන ලොකු ම බාධකය ඔවුන් ගේ ස්ත්‍රීත්වයයි. එකට වැඩ කරන්නට සිදු වන පිරිමින්ගෙන් එල්ලවන බලපෑම වැඩි වෙන තරමට බහුතරයක් කාන්තාවෝ පසු බසිති. විශේෂයෙන් ම කතා හැදෙනවාට ඔවුන් ගේ වන බිය නිසා සිය දැවැන්ත අභිප්‍රායන් පවා හකුලා ගෙන යළි ගෙදර ගිය ගැහැනුන් අපමණ ය. එතැනදී, බටහිර ලෝකයේ සැරිසරා ආ සූර්යා ද තිගැස්සුණා යි ප්‍රවීන් සිතුවේ ය. ඔහු ගේ මෙහෙයුමෙන් අඩක් ම සාර්ථක විණි යයි ඔහු තුටු පහටු වූයේ ය.

“මෙහෙමනෙ සූර්යා. ඔයා සුමනරත්න ව ඔය එහෙදි මෙහෙදි මුණ ගැහෙනවය…එතකොට සුමනරත්න ඔයාගෙ අපාට්මන්ට් එකට යන එනවය කියල කට්ටිය කතා වෙනව. නැත්තං ඉතිං මං ඕව දැන ගන්න විදිහක් නෑනෙ…නේ…”

ඔහු අතින් ද දමා කීවේ එක වතාවක් ආලෝක ගේ මෝටර් රථය සූර්යා ගේ අපාට්මන්ට් එකෙන් පිට වෙනවා දුටු කතාව ය. ඒ ඕපාදූපය බොහෝ දෙනෙකු කතා කරනා එකක් වුණත් සූර්යා ට ඒ ගැන කැළඹීමක් දැනුණේ නැත.

“මෙහෙමයි මිස්ට ප්‍රවීන්. එක එක්කෙනා කියන කතා ගැනනං මං පොඩ්ඩක් වත් වොරි වෙන්නෙ නෑ. මොකද…මං දන්නව මට රටේ ලෝකෙ සේරම මිනිස්සු සතුටු කරන්න බෑ කියල. ඒක නිසා මං ට්‍රයි කරන්නෙ ජීවත් වෙන කාලෙදි මාව සතුටින් තියන්න විතරයි”

සූර්යා එහෙම ම කැබ් රථයක් ඇණවුම් කරන්නට වූවා ය. එය හෝටල් පරිශ්‍රයට පැමිණ ඇති බව දැනගත් ප්‍රවීන් බෙහෙවින් වද වූයේ ය.

“මට ඔයාට ලිෆ්ට් එකක් දෙන්න තිබුණනෙ. කැබ් වල යන්නෙ මොකටද…අපි ඒක කෑන්සල් කරමු”

නමුත් සූර්යා එසේ නොකොට කැබ් රියෙහි ගෙදර ගියා ය.

තනි වූ ගැහැනුන්ට උදව් කරන්නට පිරිමින් හතර අතින් ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයකි. නමුත් උදව් කිරීමෙන් පෙරළා ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් දැයි දැන ගැනීම එකී ස්ත්‍රිය ගේ කාර්ය භාරය වේ. සූර්යා එකී අවබෝධය ඇති ව ජීවත් වන ගැහැනියකි. අනිත් අතට ඈ සිය හදවතෙහි ඇති දැඩි කළ ප්‍රේමය, වෙනත් පුරුෂයන් වෙතින් සපුරා ගන්නට නියපොතු තුඩක අවශ්‍යතාවයක් නොමැති තරමට වැඩුනකි.

ඒ හැන්දෑවේ ආලෝක අපාට්මන්ට් එකට ආවේ ය. හදිසි සාක්ච්ඡා වට කිහිපයක් වූයෙන් දිවා ආහාර සඳහා ඔහු ට එහි යා නො හැකි විය.

“තාම දවල්ට කාල නෑ”

ඔහු ගෙට ගොඩ වූයේ ඒ චෝදනාවත් එක්ක ය.

“ඉතිං ඇයි…ළඟින්වත් මොනාහරි කන්න තිබුණනෙ”

සූර්යා ආලෝක අසුන් ගත් සෝෆාවෙහි ඔහු ළඟින් හිඳ, වෙහෙසට පත් බව පෙනෙන ඔහු ගේ හිස පිරිමැද්දා ය.

“කනවද…නැත්තං ජූස් එකක් බීල ඉන්නවද”

කියමින් සූර්යා නැගිටින්නට ගියා ය. ආලෝක ඇය ගේ අතනින් ඇද ඇය ව නැවත අසුන් ගත කරවූයේ ය.

“ඉතිං බඩගිනි ඇතිනෙ දවල්ටත් කාල නැත්තං”

ආලෝක ඇගේ උකුලෙහි හිස තියා ගනිමින් සෝෆාවෙහි දිගා වූයේ ය. සූර්යා ගේ සිනිඳු දිගු ඇඟිලි තුඩු ඔහු ගේ හිස කේ අතරේ මුදු සුවයක් දනවමින් එහෙ මෙහෙ විය. ආලෝක ගේ ඇස් පියවිණි.

දවසක වෙහෙස නිවා ලන්නට එවන් එක් පිරිමැදුමකට පුළුවන. නමුත් ඇඟිලි තුඩු වලින් ආදරය හිස මත ගැල්විය හැක්කේ ආදරය කරනා ගැහැනියකට ම පමණකි. ඒ අපමණ සුවය ආලෝක ව අඩ හෝරාවක නිදි ලොවකට කැඳවා ගෙන යන ලදී.

ඔහු අවදි කරන්නට ලෝබ කමින් ඇය නො සෙල්වී සිටියා ය. කකුල හිරි වැටීගෙන එනවා සූර්යා ට දැනුණේ ය. නමුත් ඇය හෙළවුණේ නැත. එමිලි හා කැමිල් කුඩා කාලයේ දී ඇය ඔවුන් නිදි ගන්වත්දීත් මේ අත්දැකීම ලැබුවා මතක ය. සමහර දවසක කැමිල් නිදා ගත්තේ ඇගේ ළය මත ය. පුෂ්ටිමත් දරුවෙකු වූ ඔහු ව එසේ තබා ගෙන හිඳීම සූර්යා ට හුස්ම හිර කරවනා අත්දැකීමක් වුණත් ඈ කැමිල් ගේ නින්ද නො කැඩුවා ය.

හදිසියේ හදවත වාං දැමූ ස්නේහ හැඟීමකින් සූර්යා ආලෝක ගේ හිස තදින් සිය ළයෙහි තුරුලු කොට ගත්තා ය. මේ මොහොතේ ඔහු ගැන ඈ සිත්හි ඉපිද තිබුණේ දරුවෙකු ගැන ඇති වෙනාකාරයේ අපරිමිත ස්නේහයකි.

ආලෝක නෙතු හැරියේ ය. ඊළඟට වහා නැගිට සෝෆාවේ හිඳ ගත්තේ ය.

“මට නින්ද ගියානෙ..”

සූර්යා දෙතොල් තෙරපා ආදරණීය සිනහවක් හෙළුවා ය.

“මං කෑම ලෑස්ති කරන්නං”

ඈ කෑම බෙදත්දී ආලෝක පිටුපසින් ගොස් සූර්යා ගේ බඳ වටා දෑත යවමින් ඇය වැළඳ ගත්තේ ය.

“මට අද ඉන්න හිතෙනව”

ඇය යන්තම් හැරී ඔහු ගේ මූණ බැලුවා ය. ‘ඒක ඔයාගෙ කැමැත්තක්’ ය යන අදහස ඇගේ ඇස් මත ලියැවී තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles