මිනිස්සු ජීවිතේ ගැන මොනතරම් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන හිටියත් ඒ හැම එකක්ම ඉටුවෙයි කියලා කිසිදා හිතන්නට බැහැ. අපි අපේ අවසන් කටයුතු මෙසේ සිදුකරන්නට යැයි ලියා තබන හෝ ලඟම අයට පවසා තබන අවස්ථා තිබෙනවා.ඒත් තමා සිතන විදියටම එය එසේ විය හැකියැයි කිසිදා සිතන්නට එපා.
සුනාමි ව්‍යසනයෙන් ලංකාව පුරා විසිරී සිටි නානාවිධ තරාතිරමේ මිනිසුන් දහස්ගනනක් මෘත ශරීරය පවා සොයාගත නොහැකිව අතුරුදහන් වුණා.බොහෝ අය ලොකු පොඩි , ඇති නැති, ගැහැණු පිරිමි බේදයක් නැතිව සමූහ මිනී වලවල් වල මිහිදන් වුණා.ඒක තමයි යථාර්ථය. මෑතකාලීනවත් කොවිඩ් නිසා අප දැක්කේ එසේ වූ මරණ. ඒත් මේ ඒ කිසිවක් නිසා සිදුවූ මරණයක් නොවෙයි. ඒනිසා සුධාරකගේ දේහයට හිතාමතා කළේ විශාල අසාධාරණයක්.
කිසිම මිනිසෙක් ඔහුගේ ගේදොර වත්පොහොසත්කම් වලින් මනින්නට මා කැමති නැහැ.මිනිසෙකුගේ මනුස්සකම තරම් වෙන වටිනා කිසිවක් ද නැහැ. නමුත් ගරා වැටුණු කුඩා නිවසක සුධාරක ගේ දේහය තබන්නට අවශ්‍යතාවයක් තිබුණේ ද නැහැ.ඔහුට ඔහු විසින් දුක්මහන්සියෙන් ඉපයූ මුදලින් සෑදූ ඔහු ජීවත්වූ නිවස තිබුණා.
හමුදා ප්‍රධානියා සුධාරකගේ දේහය දිල්හානිගේ බලකිරීම මත එම නිවසේ තබා අවසාන දවසේ බොරැල්ලේ අවමංගල්‍ය ශාලාවක තබා එතැන් සිට පූර්ණ ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදුකරන්නට යැයි අණ දී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණා.ඒ අනුව ජනෙල් දොරවල් ගැලවී ගරා වැටී තිබූ දිල්හානිගේ “මහගෙදර” යුධ හමුදාව විසින් කඩිනමින් පිළිසකර කර තීන්ත ගා අවමංගල්‍යයක් කිරීමට අවශ්‍ය අවම වටපිටාව සකසා දෙන්නට යෙදුණා..
මේ අතර සුධාරක සැබෑවටම ජීවත්වූ නිවසේ ඔහුට ලබැඳි ඔහුගේ මිනිසුන් ගෙන් පිරීයමින් තිබුණා සේම මගේ දුරකථනයද ඉස්පාසුවක් නැතිව හැඬවෙමින් තිබුණා.මේ සෑම දෙනාටම තිබුණේ එකවගේ ගැටලු බව මට වැටහුණා.
“කවදාද කොහේද කීයටද අවසන්කටයුතු කරන්නේ”
“ඇයි සුධාරකගේ මිනියෙනුත් දිල්හානි පලිගන්නෙ”
” සුධාරක යන්නටවත් කැමති නැති ඒ ගෙදරට අපි මොකටද යන්නේ”
ඔවුන් ඇසුවා
“ඔයා මරණයට යනවද” දැයි මගෙන් අසන්නටත් ඔවුන් අමතක කරේ නෑ.
දිල්හානි කිසිදාක වත් ආදරයක් සෙනෙහසක් හදවතේ තිබුණාදැයි ප්‍රශ්නයක් ඉතිරි කළ කාන්තාවක්. සුධාරකට ඇගේ හිතේ තිබූ පලිගැනීමට මෙහෙම කලා යැයි සිතන්නට පුළුවන්.එකම දරුවා වී දෙමව්පියන්ගේ ලෙඩට දුකටත් ගිලන්වූ විටත් ඔවුන්ගේ මරණ වලටත් ඇය ආවේ නෑ.දැන් සුධාරකරගේ මරණයටත් ඇය ඇත්තේ නෑ.සුධාරක ගේ මවත් සහෝදරියන්ටත් තමන්ගේ කම කෙසේවෙතත් වැරදිලා හෝ මනුස්සකමක් තිබුණා නම් තමන්ගේ පුතා ,සහෝදරයාගේ අවසන්කටයුතු සිදු කරන්නට දේහය ඔහුගේ මහගෙදරට ගෙනියන්නට තිබුණා.නමුත් එසේ වූයේත් නෑයුද්ධය දිනා රට එක්සේසත් පැමිණි මේ යුධ විරුවා ඔහුගේ ගමේ මිනිසුන් විසින් පිළිගෙන තිබුණේ පෙරහර පවත්වමින්.සුධාරකගේ පවුලේ කිසිවෙකු ගැන ගමේ එතරම් ප්‍රසාදයක් නොතිබුණත් ඒ සියලු දෙනා සුධාරකට ඉතා ගෞරව සහ ආදරය දැක්වූවා. ඒ නිසා කිසිවෙකුත් පදිංචි නැති අත්හැර දැමූ නිවසක මේ මරණය ගන්නවාට වඩා එය ඔහුගේ නිවසේ තබන්නට බැරිනම් ඔහුගේ ගමට හෝ ගෙනියන්නට තරම් මානුෂික බවක් හෝ හිතක් පපුවක් සුධාරක ගේ මවට හෝ සහෝදරියන්ට තිබුණේ නැහැ.ගමේ මිනිසුන් එයට අදටත් ඔවුන්ට දොස් නගනවා.
ඒත් රටක් ගෞරව කල තම එකම පුතාගේ මරණය හෝ ඔහුට අගෞරව නොවන ලෙස පවත්වන්නට ඒ මවට උවමනාවක් තිබුණේ නැහැ.ඒ නිසා තමයි මම ඔබට පවසන්නේ ඔබේ අන්තිම කැමැත්ත තිබුනා හෝ නැතා ඔබේ අවසානය ඔබ පතන ලෙසම ඉටුවේ යැයි සිතිවිල්ලක් හෝ තියාගන්නට එපා.එය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබේ අයිතිය යැයි කියාගන්නා මිනිස්සුන්ගේ මානුෂිකත්වය මත පමණයි.
සුපුරුදු ලෙස සුධාරක ගේ දේහයට සිදුවන දේ මට ඡායාරූප මගින් වීඩියෝ ඇමතුම් මගින් සුපුරුදු ලෙස ගලා ආවා.ඔවුන් නොදන්නවාට ඒ හැමතැනම නිහඬව සිටියේ සුධාරකටත් මටත් හිතවත් මිනිසුන්.සුධාරක ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස බලාගෙන සිටි මට හිතුණේ ඒ ඉන්නේ සුධාරක නොවන බවයි.ඔහු ඒ තරම්ම වැහැරී ජීර්ණය වී ගොස් තිබුණා.ප්‍රතාපවත් සිංහ සෙයියාව තිබූ ඒ ජවසම්පන්න සිරුරේ තිබුනේ ඒ ගාම්භීර බවේ නටබුන් විතරයි.
රාජකාරි වෙබ් අඩවියේ සුධාරකගේ මරණය ගැන පලකර තිබූ විස්තරය තිබුණේ ඔහුගේ දේහය හොරණ තැබෙන බවත් අවසන් කටයුතු බොරැල්ලේ දී සිදුකරන බවත්. සුධාරක ගේ මරණය සඳහා සියලු මාධ්‍ය හා දැන්වීම් සඳහා යොදාගෙන තිබුනේ මා විසින් ඔහුගේ අවසාන උපන්දිනය දා පෙලපාලිය දිනයෙ මගේම දුරකථනයෙන් ඡායාරූපයයි. අදටත් සියලු තැන්හි යොදාගන්නා ඒ ඡායාරූපයේ පූර්ණ අයිතිය ද මා සතුයි.එයත් හරිම දෛවෝපගතයි.
රාජකාරි ආයතනයේ වියදමින් පිළිසකර කල දිල්හානිගේ නිවසට ගෙන ගිය දේහයේ පෙට්ටිය දිගහැරිය විට හතර වටේ මිනිස්සුන්ට ඉන්නට පවා ඉඩක් තිබුණේ නැහැ.හමුදා උසස් නිලධාරියෙකුගේ අවමංගල්‍යයයක දී ඒ නිලධාරියාට ගෞරව පිණිස ලැබෙන “guard turnout” එක පවා සුධාරකට එයින් අහිමි වූවා.නිලධාරියෙකුගේ දේහය හතරකොනේ තුවක්කුව අතින්ගෙන හිස බිමට නැඹුරුකරගත් සෙබලුන් සතරදෙනෙකු තැබෙනවා එය ඔහුට හිමිවන ගෞරවයක්.guard turnout එක ලෙස හැඳින්වෙන්නේ එයයි.නමුත් ඉඩකඩ නොමැති නිසා එසේ කරන්නට දිල්හානිගේ නිවසේ හැකියාවක් ලැබුණේ නැහැ.මට මෙය කම්පාවක් වූයේ නැහැ
පෙලපාලි ගනනාවක ගෞරවය ඇතුව මේ රණවිරුවා ඇවිද ගියා.ඔහුගේ අවසන් උපන්දිනයත් අවසන්වූයේ ආචාර පෙලපාලියකින්මයි.එය අතිශය දුර්ලභ අවස්ථාවක්.ඒ නිසා ඇරුණු ඇසට අනන්තවත් බුහුමන් ලද ඔහුගේ වැසුණු ඇසට ගෞරව නොලැබුණා කියා ඔහුට ඉන් වැඩක් නැහැ.නමුත් ඒ අවසන් ගෞරවයේ අභිමානය ඔහුගෙන් පසු ඉතිරිවන්නන්ටයි.ඔවුන්ට එයට පිනක් තිබුණේ නැහැ.
“මරණයට ඔයා යනවාද” සියලුදෙනා මගෙන් විමසනවා.දිල්හානිට උවමනාවන්නට ඇත්තේද එය වන්නට ඇති. මා ඒ නිවසට ඒවි කියා ඇය සිතන්නට ඇති එක්කෝ මට මළගමට හෝ එන්නට නොහැකි කරවන්නට ඇති. නමුත් දිල්හානි පැදුරටත් නොකියා පලාගියාට අනුරාධා කිසි තැනකින් පලා ගියේ නැහැ.අදටත් සුධාරක වෙනුවෙන් ඔහු ගැන ප්‍රසිද්ධියේ කතාකරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටින අනුරාධාට විරුද්ධව නැගී සිටින්නට වත් දිල්හානිට හෝ කිසිවෙකුට හැකියාවක් නෑ.
නීතිය ඉදිරියට යන්නට බය වැරදිකාරයෝ මිසක් නිවැරදි කාරයෝ නොවෙයි.සියලු සාක්ෂි වලින් සන්නද්ධ වී සිටින අනුරාධා අදටත් කොන්ද කෙලින් තියාගෙන ඇගේ ගමන යමින් සිටින අතර දිල්හානිටත් සුධාරකගේ පවුලේ අයටත් කරන්නට හැකිව තිබෙන්නේ ඒ දිහා කට වසාගෙන බලා සිටීමත් හැංගී සිට ගල් ගැස්වීමත් පමණයි. ඒ ලෙසම අනුරාධා සුධාරකට අවසන් ගෞරව දක්වන්නට යෑම නවත්වන්නට ද සමතෙක් එදා මෙලොව සිටියේ නැහැ.
මම ඒ ගමන ගිය හැටි ඔබට හෙට කියන්නම්