“මං අහන්න හිටියේ පුතේ..කලබල අස්සෙ එහෙම අහන්න මට වෙලාවක් නැති වුණා.”
එක්තරා හවස් වරුවක සකීගේ අම්මා එසේ ඇසුවේ ඇය බොහෝ දිනකට පසු නිවසට ගොස් සිටිය දී ය.අම්මා ඇගෙන් බරපතල ප්‍රශ්න අසා නැත.සකීගේ ජීවිතය එක් රිද්මයකට ගලා ආ අතර තාත්තාගේ අසනීප තත්ත්වය නොවන්නට අම්මා සහ ඇය අතර ගැටුම් ඇති නොවුණු තරම් ය.
“තාත්තගෙ ඔපරේෂන් එකට කැම්පස් ළමයි සල්ලි එකතු කරලා නෑ නේද පුතේ? ඒක මට නොකිව්වෙ ඇයි?”
මේ ප්‍රශ්නයට පිළිතුරු කිහිපයක් ඇති බව සකී සිතුවා ය.පළමුවැන්න සත්‍ය පැවසීම ය.දෙවැන්න ඇය ද ඒ ගැන නොදන්නා බව පැවසීම ය.තෙවැන්න එය පැවසීමට වෙලාවක් නොවූ බව ය. හතරවැන්න මේවා අහස්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් බව පැවසීම ය.
“කැම්පස් එකේ අයියා කෙනෙක්ගෙ හොඳම යාලුවා අම්මේ අහස් කියන්නෙ.එයා මේ වගේ වැඩ කරනවලු.කට්ටිය හදිසියේ සල්ලි හොයන්න හදනකොට අහස් උදව් කරලා.”
ඒ කතාව අසත්‍යයක් ද නොවේ.එවැන්නක් සිදු වූ බව ඇත්තකි. අම්මා සුසුමක් හෙළුවා ය.ජීවිතයේ සමහර අවස්ථා වලදී නොදන්නා මිනිසුන්ගෙන් පවා උදව් ගන්නට සිදු වෙන අවස්ථා පැමිණේ.මේ එවැනි අවස්ථාවකි.
“එයාට ස්තූතියි කියන්නවත් වෙලාවක් ආවද පුතේ?”
සකී හිස වැනීමකින් පිළිතුරු දුන්නා ය.ඇයට අම්මාට ඕනෑවට වඩා බොරු කියන්නට ඇත්තේ ලැජ්ජාවකි.
“ඔයාට මේ වගේ වෙලාවකදි හයියක් වෙන්නවත් කෙනෙක් ඔයා හොයා ගන්නෙ නෑනෙ පුතේ.මම කියන්නෙ සල්ලි ගැන නෙවෙයි.හිතේ හයියට ළඟ ඉන්න කෙනෙක්.”
රේල් පීල්ල මාරු වූ බව ඇත්තකි.නමුත් ඒ මාතෘකාවේ ද හිඳින්නේ අහස් බව නොකියා සකී කල්පනාවට වැටුණා ය.සියුම් නිරන්තරයෙන් ම සකී වෙනුවෙන් වෙහෙසුණ ද ඔහුගේ පෙම්වතිය ද බොහෝ අවස්ථාවල ඔවුන් සමඟ විය.ඒ හන්දා ඒ මිත්‍රත්වය බව අම්මා දනියි.සකීට ඇය දරා ගන්නා ආදරයක් තිබීම වරදක් නොවේ. එහෙත් ඇය එවැනි දෙයකට උනන්දු බවක් පෙනෙන්නට ද නැත.
“ඔයාට කවුරුත් නැද්ද?”
දන්නා කාලයේ පටන් අසන ප්‍රශ්නය අම්මා නැවත වතාවක් ඇසුවා ය.සකී හිස වනා පිළිතුරු දුන්නා ය.
“දැන් ඉතිං එහෙම කවුරුත් ඔයා ගාව ඉන්නවනම් හොඳයි.තාත්තා වුණත් අසනීප වෙනවනෙ.”
අහස් ට තමන් අසල රැඳෙන්නට සැබෑවටම හැකිදැයි සකී සිතුවේ ඒ මොහොතේ ය.ඇය නැවත නැවතත් ඒ ගැන සිතන්නට වූවා ය.ඔහු ඕනෑම මොහොතක පවා ඔහු නැතුව ඉන්නට සිදු වන ආදර කතාවක් ඇයට උරුම වී තිබේ.
“අහස් උදව්වක් කරපු එක හොඳයි.ඒක අපිට කවදාවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් දේකුත් නෙමෙයි.කෙනෙක් පින් තකා කරන දෙයක් ආයි ගෙවෙන එක හොඳත් නෑ තමයි.ඒත් ඒ වගේ අයත් එක්ක ඕනවට වඩා යාළුකං තියාගන්නත් උත්සාහ කරන්න නම් එපා පුතේ.”
අම්මාගේ කතාවේ ද තැවරී ඇත්තේ සාම්ප්‍රදායික බිය බව සකී තේරුම් ගත්තා ය.
“දකින දකින ගෑනු ළමයි කැමති වෙන ජාතියෙ කොල්ලන්ට හැම ගෑනු ළමයම සෙල්ලං බඩුවක් ගාණයි.”
අම්මා ඇගේ අවංක අදහස එසේ ප්‍රකාශ කරන්නට නො මැලි වූවා ය.ඒ ගැන මහත් අකමැත්තක් දැනුණ ද සකී සැබෑ කතාව විහිළුවක ආකාරයෙන් කරන්නට සිතුවා ය.
“හරි අහස් මා එක්ක යාළු උනයි කියමුකො.අම්මා ඇයි අකමැති.”
ඕනෑවට වඩා ජනප්‍රිය මිනිසුන් ගැන විශ්වාසය තැබීම අපහසු ය.විශ්වාසය බිඳ දමන්නට ඔවුන්ට ඉතාම ස්වල්ප මොහොතක් සෑහෙන බව අම්මා ප්‍රකාශ කරද්දී සකීට දැනුණේ වේදනාවකි.ඔහු නරක කොල්ලෙකු නොවන බව දන්නේ ඈ ය.නමුත් මුදල සහ ජනප්‍රියත්වය මත ආදර කතාවක තීරණයක් ලබා දීම ඉතාම අයුක්ති සහගත බව ඇයට සිතේ.
“වෙන්නේ නැති කතා කියලා විහිළු කරන්න එපා පුතේ.මටත් ඉතිං අහස්ට කතා කරලා ස්තූතියි කියන්න තිබ්බානම් හොඳයි.ඒත් ඒ මිනිස්සුන්ට මොනතරම් වැඩ ඇතිද?”
අම්මා කතාව අරඹන්නට පෙර ද පුහුණුවීම් අවසන් කර ඉසිඹුලමින් සිටි අහස් සමඟ සංවාදයේ නිරත වී සිටි බව සකී නොපැවසුවා ය. අම්මාගේ විනිශ්චය නොවූවානම් ඔහුට ඈ සමඟ කතා කරන්නට ඇමතුමක් රැගෙන දෙන්නට පවා සකීට සිතී තිබිණ.නමුත් අම්මා ඉක්මනින්ම විනිශ්චය කරන සුළු බැවින් ඇය ඒ අදහස අත්හැර දැමුවා ය.
“මිනිස්සුන්ගෙ නරකට ජනප්‍රියකම වත් වෙන මොකවත් හේතු වෙන්නේ නෑ අම්මේ.ඒවා එන්නේ මිනිස්සුන්ගෙ පුරුදුවලින්මයි.සමහර වෙලාවට ජානවලින් වෙන්නත් ඇති.ඒ මොනව වුණත් අපට උදව් කරපු කෙනෙක් ගැන නරකට හිතන එක නම් නරකයි.”
දියණියක ඕනෑවට වඩා කියවා ගන්නට හැකියාව ඇත්තේ අම්මාට ය.අම්මා සකී දෙස මොහොතක් බලා සිටියා ය.උදව් අවශ්‍යම මොහොතක උදව් කරන්නට පැමිණි දේව දූතයා ගැන සකීගේ හදවතේ බොහෝ දේවල් පවතින්නට හැකියාව තිබේ.නමුත් දේව දූතයන් පොළොවට නොඑන බව ඇය වටහා ගත යුතුයැයි අම්මා සිතුවා ය.
“ඒකටනම් කමක් නෑ.අම්ම හිතන්නෙ පරණ තාලෙටනෙ.අලුත් තාලෙට හිතන උඹත් ඔය අහස්ව සැක කරන්නෙ.”
සකී කිහිපයකට පෙර ඇල්ලූ නාඩගම අමතක කරන්නට අකමැති නිම්නා එසේ ලියා එව්වේ සකී අම්මා එහෙමෙහෙ වන තුරු හිඳ කේලම ඇයට ලියා යැවූ හන්දා ය.
“මට මේ කතාව දිනන්න අමාරු කතාවක් කියලා හිතෙනවා.”
සකී එසේ කියන්නේ විස්සෝපයෙනි.ඇයට සැබෑවටම මහත් කණගාටුවක් දැනේ.අහස් ගැන හෙළි කළ යුතු දිනක් කවදා හෝ පැමිණෙන්නට ඉඩ තිබේ.නමුත් ඒ දවස අම්මා දරා ගන්නා ආකාරය ගැන දැන් ඇය සිතන්නටවත් කැමති නැත.
“සකී,අහස් ඔයාව දැකලවත් නැති කාලේ ඔයා ඒ මනුස්සයව ඔයිට වඩා විශ්වාස කරා.මේ අපිම කෙළවරක් නැතුව අහස්ට මඩ ගහනකොට ඔයා එයා වෙනුවෙන් පෙනී හිටියා.එයාව ආරක්ෂා කරා.බලන් ගියාම ඔයා ඒවා කරලා තියෙන්නෙ ආදරේට.එහෙම කරපු ඔයා දැන් දවසෙ පැය විසි දෙකක් විතර කරන්නෙ මේක නැති වෙයි කියලා නාහෙන් අඬන එක.මොන විකාරයක්ද මේ?”
පසුගිය දිනවල සිදු වූ දෙයින් පසු සකීට තදින් ඉන්නට නිම්නා සිතා ගත්තා ය.
“ඒ කාලේ අහස් මගේ නෙවෙයිනෙ.සමහර දේවල් අයිති වුණාට පස්සෙ තමයි නැති වෙයි කියලා බය හිතෙන්නෙ.”
සකීට සැබෑවටම එසේ දැනේ.අහස් තමන්ගේ වන බව ඇය සමහර මොහොතක තදින් විශ්වාස කළ ද එය සැබෑ නොවන සිහිනයක් බව සිතූ කාලයක් තිබිණ.ඒ කාලයේ ඇයට විශ්වාස කරන්නට තිබුණේ ඔහුගේ හැකියාව ය.නමුත් දැන් ඔහුගේ ප්‍රේමය විශ්වාස කළ යුතුව තිබේ.
“ගැළපෙන් නෑ කියල නාහෙන් අඬන්නයි,නැති වෙයි කියලා බයෙන් ඉන්නයි ඕන නෑ සකී.එහෙනම් ඈත් වෙන්න.ඔයාට අර හීනෙ දකින ගාණට පරිස්සමින් ඉන්න කියලා අහස්ට කියන්න බැරිකමක් නෑනෙ.එහෙම කියන්න බැරිතරමට අහස් අමනුස්සයෙක් නෙවේනෙ. කවදාවත් නැති තරම් බයෙන් දුකෙන් ඉන්නවට වඩා ඒක පහසුයි.”
සකීට ඇගේ හදවත ඇතුළෙන් එසේ ඇසෙන්නට විය.ප්‍රේමය කියන්නේ පහසු මාතෘකාවක් නොවන බව ඇයට සිතෙන්නට විය.
(සකී- අහස් ගමන නවතී ද? ප්‍රතිචාර තබා යන්න)