ප්‍රේමය ජීවිත වඩවඩාත් සුන්දර කරන්නට පටන් ගෙන තිබිණ.අහස් හිඳින්නේ අප්‍රමාණ සැනසීමකිනි.ඔහු ගැන පළ වූ බොහෝ කතාවල කෙළවර තිබුණේ අයහපත් සම්බන්ධතා ය.ඒ අයහපත් සම්බන්ධතා හන්දා නැතිව ගිය දෑ බොහෝ වුවත් අහස් කිසිවෙකුටත් නොකියූ කතාවක් තිබිණ.
“මං සෑහෙන ප්‍රශ්න දාගත්තෙ ගෑනු ළමයි හින්දා කියන කතාව බොරුවකුත් නෙවෙයි.ඔයාලගෙ අම්මලා මං ගැන වැරදියට හිතපු එක වරදක් නෑ කියලා මං කියන්නෙත් ඒකනෙ.”
සකී කිසිවක්ම නොකියා ඔහු නිවී සැනහෙන සිනාවක් තිළිණ කළා ය.හදන්නට සිතා කිසිවෙකුට ප්‍රේම නොකරන්නැයි ඇය ප්‍රමුඛ කෙල්ලන් රොත්තට උපදෙස් දුන්නේ බාලිකාවේ විදුහල්පතිනිය ය.ඒ ඔවුන් සරසවි වරම් ලැබූ දිනයේ ය.අහස් හදාගන්නා මට්ටමක සිටියානම් ඇය කිසිම දිනක ඔහුට ළං වන්නේ නැත.නමුත් ඔහු සිටියේ හදා ගන්නා මට්ටමක නොවේ.බිඳී ගිය මිනිසෙකු වී ය.ඔහුට ගොඩ නැඟෙන්නට උදව් දීම මිස ඔහුව වෙනස් කරන්නට සකී ක්‍රියා නොකළා ය.
“එහෙම වෙන්න ලොකු හේතුවක් තිබුණා සකී.සියුම් ඇරුණම කවුරුත් දන් නෑ.කාටවත් කිව්වෙත් නැති කතාවක්.”
අහස් සැරසෙන්නේ වේදනාත්මක කතාවක ට ය.සකීට ඔහු සැහැල්ලුවට පත් කරන්නට සිතිණ.
“කාටවත් කියල නැති කතා කියන්න ඕන මට නෙවේනෙ.”
බොහෝ ජනප්‍රිය සම්මුඛ පරීක්ෂණය සිහි වී අහස්ට ද සිනා ඉපදිණ.ඔහු සකීගේ හිස මුදුන අවුල් කර දැමුවේ ඒ සිනාවෙනි.
“අනේ බං..මේක මේ ඌට කියන්න ඕන කතාවක් නෙවේ.කවදහරි ඔයාට කියන්න හිටිය කතාවක්.”
අහස් එසේ කියා නැවත කල්පනාබර මුහුණක් මවා ගත්තේ ය.ඔහු කුමක් හෝ වේදනාවක් සඟවා සිටියි.එය කුමන තරමක එකක් වුණත් ඇය ඒ කතාව අසන්නට කැමති ය.
“එයාගෙ නම හසාරා.”
පාසල් ප්‍රේමය ඇති වී නැති වී යන දේදුන්නක් බව සකී කොහෙන්දෝ අසා තිබුණා ය.නමුත් ප්‍රථම ප්‍රේමය සදාකාලික රිදුමක් ඉතිරි කරන්නක් බව විශ්වාස කරන්නට ඕනෑතරම් සාක්ෂි ඇගේ දෑස් මානයෙන් හමු වී තිබේ.මොනතරමට නිවැරදි ප්‍රේමයක් පසුව මුණ ගැසුණ ද අමතක කරන්නට නොහැකි ප්‍රථම ප්‍රේමයක රිදුම අත්හැර දැමූවන් නොමැති තරම් ය.
“එයාට ඕන වුණේ මාත් එක්ක එයාගේ ගමන යන්න.මට වෙනම ගමනක් තියනවා එයාට වෙනම ගමනක් තියනව කියලා මං මොනතරමට කිව්වත් එයා ඒක විශ්වාසෙට ගත්තේ නෑ.ඒත් මට තිබ්බ එකම ආසාව නැෂනල් ටීම් එකට ප්ලේ කරන එක.එයාට තිබ්බ එකම ආසාව මාත් එක්කම පිටරටකට ඉගෙන ගන්න යන එක.”
හසාරා ඒ අරමුණ සපුරා ගෙන තිබේ.ඇයට ලංකාවේ විශ්ව විද්‍යාලයක කල් මරන්නට ඕනෑ වී නැති අතර මේ වෙද්දී ඇගේ දෙවැනි උපාධිය වෙනුවෙන් වෙහෙසෙමින් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන බව අහස් හෙළි කළේ ය.
“එයා මගෙන් ඈත් වුණේ අකුණක් ගැහුව වගේ.ඒ වේදනාවෙන් මිදෙන්න පුදුම තරම් කාලයක් ගියා.”
පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සිටියදී ම ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබු අහස් ඉලංගසිංහ සකීට සිහි විය.කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් අභියෝගයට ලක් කළ හැකි තරමේ තුන් ඉරියව් දක්ෂතා පෑ ඔහු වසරක් වැනි කෙටි කාලයකදී ඉතා අසාර්ථක වන්නට පටන් ගත් හැකි සකීට අමතක නැත.ඔහුට කුඩා වයසකදී එල්ල වූ පීඩනය ගැන ද ඔහු දක්ෂතා අතර නැති බවට ද විචාර මත පළ විය. එහෙත් ඒ ඔහුගේ යම් පෞද්ගලික මානසික පීඩාවක් බව සකීට නිතරෝම සිතිණ.
දැන් එය සත්‍යයක් බව ඔප්පු වී තිබේ.
“සකී,මං දන්නෑ ඔයාට හෙට මාව දාලා යන්න හිතෙයිද කියලා.මං දන් නෑ අපි මැරි කරලා අවුරුද්දකින් ඔයාට මාව දාලා යන්න හිතෙයිද කියලා.අපිට බබාලත් ඉන්නකොට ඔයාට මාව නොගැළපෙයිද කියන්න මම දන් නෑ.ඒත් මට ඔයාගෙන් ඉල්ලන්න දෙයක් තියනව.”
අහස්ගේ දෑසේ තිබුණේ ආයාචනාත්මක බැල්මකි.සකී ඔහු දෙස පුදුමයෙන් බැලුවා ය.
“මනුස්සයෙක්ව අහසටම යවන්න වගේම බිංදුවටම වට්ටන්නත් ආදරේකට පුලුවන් සකී.ඔයාට මාව එපා කියලා හිතෙන දවසක අපි දෙන්නා ඇත්තටම වෙන් වෙන්න තියන හේතු ගැන කතා වෙලා වෙන් වෙමු.එකපාර අතුරුදහන් වෙන එක තමයි ආදරේ කරපු කෙනෙක්ට දෙන්න පුලුවන් ලොකුම වේදනාව.”
හසාරා අහස්ගේ ක්‍රිකට් ආදරයට අභියෝග කර ඇත්තේ එසේ ය.ඇය නොදන්වාම මව්බිමෙන් නික්ම ගොස් තිබේ.අඩුමතරමේ ඔහුට අවසන් වරට කතා කරන්නටවත් ඇය අවස්ථාවක් දී තිබුණේ නැත.
“මං ඔයාට ආදරෙයි,ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියන කටින්ම අපිට මේ ගමන තවදුරටත් යන්න බෑ අපි වෙන් වෙමු කියන්න මිනිස්සුන්ට බැරි ඇයි.හොල්මනක් වගේ අතුරුදහන් වුණාම අනිත් කෙනා විඳින මානසික පීඩාව ගැන හිතන්න බැරි ඇයි?
වෙන් වෙන එක හරිම සාධාරණ දෙයක්.ඒ වුණාට හේතුවක් වත් නොකියා හැංගිලා යන කිසිම කෙනෙක් ආදරේකට සාධාරණයක් කරන අය නෙවේ.”
රිදීම් සහ බිඳීම් අහස් රැගෙන ආ තැන ගැන සකීට ඇති වූයේ මහත් වේදනාවකි.කිසිවෙක් ම හසාරා ගැන නොදනී.සාරණ්‍යාට වූ සමහර අසාධාරණ තැන් පවා ඇරඹෙන්නට ඇත්තේ හසාරා නිසා බව දැන් සකීට හොඳින් පැහැදිලි ය.
“අපි සමහර දේවල් කිව්වත් ඒවා අහන්න අනිත් අය ලෑස්ති නෑ.ඔයාට ඕන දේ ඔයා කරන නිසා හසාරා එයාට ඕන දේ කරන්න ඇති.අඩුම තරමේ එයා යනවා කියලා හරි කියන්න එයාට යුතුකමක් තිබ්බ තමයි.ඒත් එහෙම කිව්වනම් ඔයා කේන්ති ගනී කියලා හිතුව වෙන්නත් පුලුවන්.ඒ නිසා අපි ඕක අමතක කරමු.අමතක කරලා එයාට සමාව දෙමු.එයාට ඉගෙන ගන්න එක වටින තරමටම ඔයාට ක්‍රිකට් වටිනවා.ඔයා රටේ නම තියන විදියටම දවසක ඩොක්ට හසාරාත් මේ රටට වැදගත් කෙනෙක් වෙයි.එතකොට ඔයාලා දෙන්නා පාරවල් දෙකක ගිය එක මොනතරම් හොඳද කියල ඔයාලටම හිතෙන්න පටන් ගනියි.”
සමු ගැනීමක් නොතිබූ ප්‍රේමයක් හන්දා අහස්ට රිදුණු තරම අමතක කරන්නට සකීට ඕනෑ විය.නමුත් සමහර මතක මහමෙරකට ද බරැති ය.ඒවා බිම නොතබනතාක් ජීවිතය පහසු වන්නේ නැත.අහස් ඒ පාඩම ඉක්මනින් ඉගෙන ගන්නා බව විශ්වාස කරන්නට සකීට ඕනෑ විය.
(අහස්ගේත් සකීගෙත් ආදරයට ඔබේ ආදරය තබා යන්න.)