මගේ සිරුර නිර්මිත වූවා වූ සියල් සෛල වල ගැබ් ව තිබුණා වූ විභව ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙමින් පවත්නා බඳු උණුසුමක් මට දැනෙන්නට විය. ගේ දෙසට නැගූ පා නතර කොට ආපසු හැරෙත්දී මගේ හුස්ම වේගවත් ව තිබිණ. ඒ විදිහට තදින් මා අමතන්නට තරම් අයිතියක් නීලිකා නැන්දා ට නැති බව මම දැන සිටියෙමි. චාටු බසක් කියා ගෙන ඇවිත් මගෙන් ම වැඩක් ගත්තා මිස ඇය හෝ මහ ගෙදර ඇත්තන් මට හෝ අපට කර ඇති දෙයක් නම් නැත්තේ ය. එහෙව් එකේ අපට එසේ කතා කිරීමේ හයියක් ඔවුන්ට කොයින්ද?
මගේ ඇස් වල වූ දැඩි බව දැකීමෙන් ද මන්දා ඇය වහා සිය වෙස් මාරු කළා ය.
“අපි මේ ඔයාව හම්බ වෙලා කතා කරන්නයි ආවෙ නිබ්බුතා. අම්ම කිව්ව අපි කරපු යෝජනාව ගැන ඔයා කියපු දේ. අවන්ත අයියව ඔයාට දැනෙන්නෙ අයිය කෙනෙක් වගේ විතරයි කියන එක. ඔයා එහෙම හොඳ ළමයෙක් කියල අපි හොඳටම දන්නව නිබ්බුතා. මෙච්චර ගමේ කොල්ලො හිටියට කවදාවත් ඔයා ඒ කොල්ලෙක් එක්ක පැටලිලා කතාවක් හදා ගත්තෙ නෑ කියලත් අපි දන්නව. ඒකට අර චංචලා”
නීලිකා ඒ අන්තිම ටික කීවේ හඬ පහළ ස්වරයක පිහිටුවා ඇස් කරකවා වට පිට බලමිනි. වසන්ති පුංචීට කේලම කිව හැකි කිසිවෙකු අසලක වෙත්ද යන සැකය මොහොතකට ඇය බියපත් කරන්නට ඇත.
“ඒකමනෙ අපි ඔයාට කැමති. නේද අවන්ත…”
කියමින් ඇය මගේ හිසත් උරහිසත් පිරිමදින්නට වූවා ය. මහත් අප්‍රසන්න බවක් මට දැනෙන්නට විය. නමුත් මම ඒ බවක් නො පෙන්වා මඳහසක් පෑවෙමි.
“අපි දන්නව මෙහෙම දේකට ඔයා එක පාර කැමති වෙන්න ලැජ්ජයි කියල. ලැජ්ජ වෙන්න ඕන නෑ නිබ්බුතා..නෑනයි මස්සිනයිනෙ. දෙන්න එක්ක නිදහසේ කතා බහ කර ගන්න..අපෙන් බාධාවක් නෑ. නේද අක්කෙ…”
අම්මා මදෙස බැලුවේ අසරණ ඇස් දෙකකිනි. ඇය අසරණ බව මම දනිමි. තව දුරටත් මේ දේවල බර අම්මා ගේ හිස මත ද හිත මත ද නො පටවා මා පිළිබඳ වගකීම මගේ අතට ගනිමියි මම හිත හයිය කර ගතිමි.
“නෑ නැන්දෙ…එහෙම ලැජ්ජාවක් නිසා නෙවෙයි කිව්වෙ. ඇත්තටම මට අවන්ත අයිය ගැන එහෙම අදහසක් නෑ”
නීලිකා හඬ නගා හිනැහෙන්නට වූවා ය. ඒ සිනහවේ වූ සටකපට බව මා තුළ ඔක්කාරය ඇති කරන්නා වූ එකකි. නමුත් මා ඉවසිය යුතුව තිබිණ.
“හරි ඉතිං…ඔයාලට එහෙම අදහසක් නොතිබුණ නිසානෙ යෝජනාව අපිම කළේ. දැන් ඉතින් තියෙන්නෙ අදහසක් ඇති කර ගන්න එකයි. අනිත් එක නිබ්බුතා දැං විශ්ව විද්‍යාලෙ යන්න ගත්තට පස්සෙ කොහොමද මේ දර මඩුවෙ ඉන්නෙ…”
“ආ…”
මට එසේ කියවුණේ ඉබේම ය. මගේ මුහුණේ බැලූ බැල්මට පෙනෙනා සමච්චලයක් ඇඳී තිබූ බව විශ්වාස ය.
“මං මාමටත් කිව්වෙ…අපි නිබ්බුතාට විතරක් හරි ඉන්න කාමරයක් මහ ගෙදර ලෑස්ති කරල දෙන්න ඕන කියලයි. ඔයාට මේකෙ ආරක්ෂාවත් මදි..අනික ඔයා දැං මෙහෙම තැනක ඉන්න එක ඔයාගෙ තත්වෙට හොඳ නෑ”
මගේ මුහුණ මත පුළුල් සිනහවක් ඇඳිණි. ඒ සිනහවෙන් නීලිකා උද්දාමයට පත් වූවා ය.
“ඔයාට සතුටුයි නේද නිබ්බුතා…දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙල්ලෙක්ට මෙහෙම මඩුවක ලගින්න පුළුවන්ද…ඔයා ගැන හැම දේම අපි බලා ගන්නං. කොටින්ම ඔයාට ඉගෙනගන්නකල් යන වියදං ඔක්කොම අපි බාරගත්තයි කියල හිතා ගන්නකො. අපේ දොස්තර ලේලිනෙ ඉතිං”
ඇය මගේ කම්මුලක් මත සිය අත්ල තැබුවා ය. මම ඒ අත හෙමිහිට අල්ලා පහළට දමමින් කෙළින් ම ඇගේ දෑස් දෙස බලා ගෙන කතා කළෙමි.
“අනේ නැන්දෙ…අමාරුම කාලෙ අපිට හෙවනක් වුණේ මේ දර මඩුව. මේක මට ලැජ්ජාවක් නෙවේ ආඩම්බරයක්. පින්තූරයක් අරං රාමු කරල තියාගන්නව මං මේකෙ. මෙච්චර කල් නැති මහ ගෙවල් වල දොරවල් දැන් අපිට ඇරෙන්නෙ ඇයි නැන්දෙ…අනික එකට දුක සැප විඳ ගත්ත අම්මයි මල්ලියි නැතුව මං සුර ලෝකෙට කතා කළත් යන්නෑ. මේ අන්තිම කඩුල්ල පැන ගන්න මට අපේ ගේ කිසිම බාධාවක් නෙවේ නැන්දෙ. බොහොම ඉස්තූතියි ඒ යෝජනාවට. නැන්දල අවන්ත අයියට වෙන කෙනෙක්ව හොයල බලන්න. මං ගැනනං බලාපොරොත්තු තියාගන්න එපා”
මා ඒ ටික කියා ගෙන ගියේ හුස්මක් පවා නො ගෙන විය යුතු ය. කිසිදු පෙර සූදානමකින් තොර ව, කවුරුන් හෝ සැරෙන් කතා කළත් ඇස් වලට කඳුළු පුරවා ගන්නා විදිහේ දුර්වල කෙල්ලක වූ මට ඒ තරම් පිළිවෙලට හා සැලසුමක් සහිතව ඒ ටික කියා ගත හැකි වීම ගැන ඒ මොහොතේ ම මම පුදුම වුණෙමි. නීලිකා ගේ මූණ බලා සිටියදී කළු වී ගෙන ගියේ ය. ඇය අම්මා වෙතට දැඩි බැල්මක් හෙළුවා ය.
“මං කියන හැම දේම තනිකරම මගෙ අදහස් නැන්දෙ. ඒව ගැන මං වගකීම ගන්නව. ඒ කිසි දේකට අම්මගෙ සම්බන්ධයක් නෑ”
“එහෙමද නෝනා…”
ඇගේ ඇස් වල ගිනි මැලයක් ඇවිළුණ බව සහතික ය.
“ඇයි තමුං හිතන් ඉන්නෙ ඉංජිනේරු මහත්තයෙක්ව කසාද බැඳගන්න පුළුවන් වෙයි කියලද…”
අවන්ත මගේ මුහුණ ළඟට ම ඇවිත් මූණට එබී ගෙන තර්ජනාත්මක ව විමසී ය. ඔහු ගේ දබරැඟිල්ල මගේ නාස් තුඩෙහි ගෑවෙන තරමට ලං වූයෙන් මම හිස තරමක් පසුපසට කළෙමි.
“ඇයි ඇයි මොකද ඔය…”
කියමින් මල්ලී එතැනට කඩා පැන්නේ ඒ වෙලාවේ ම ය. ක්ෂණික පසුතැවීමක් මට දැනිණ. මා කොහොම වුණත් මල්ලී මේවාට පැටලෙන එක ඇඟට ගුණ නැත. මගේ මූණට ඇඟිල්ල දිගු කර ගෙන උන් අවන්ත ගේ අත ද මල්ලී විසින් ඇද පසෙකට තල්ලු කරන ලදී.
“මේ මේ සුදූට පාට් දාගෙනනං එන්න එපා. කතා කරන දෙයක් කටිං හොඳේ. අත පය දික් කරන්න ලෑස්ති වෙන්නෙපා ගෑනුන්ට”
“අනේ පුතේ ඕක නවත්තහල්ල බං. මොන කරුමයක්ද දෙයියනේ ඒ ගමන අපිට සැනසිල්ලෙ අපේ පාඩුවෙ ඉන්නත් නෑනෙ”
“එනව අවන්ත අපි ගෙදර යන්න. යකෝ හොඳක් කරන්න ආවහම අපේ කරට නගින්නනෙ හදන්නෙ. බලමුකො කුමාරිහාමි කොච්චර දුර ඉගිල්ලෙයිද කියල”
තවත් මොන මොනවාදෝ කියවමින් නීලිකා නැන්දා අඩි පාර දිගේ නික්ම ගියා ය. අවන්ත නම් දෙතුන් විටක් හැරී පිටුපස ද බැලුවේ ය. සිහින් බියක් හිතේ තැවරී නො තිබුණා ම නොවේ. නමුත් මට චිත්ත ප්‍රීතියක් ද දැනිණ. අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්නට අපට හැකි වූයේ ය.
“මොනවද දරුවනේ උඹල මේ කර ගත්තෙ…අපිට යන එන මං නැති වුණොත් මොන දෙයියන්ටයි කියල කියන්නද…”
අම්මා පපුවේ අතක් තියා ගෙන උළුවස්ස උඩ හිඳ ගත්තා ය. ඇගේ ඇස් වල වූ බොර පැහැයෙන් මට ඒ හිතේ ඇවිලෙනා ගින්න ගැන මිනුම් කළ හැකි විය.
“යන එන මං යකාට ගියාවෙ. තව චුට්ටෙන් අරූ කනව මගෙන්…මතකනෙ පොඩි කාලෙත් සැරයක් සුදූට පාට් එක දාං ඇවිත්…මං තල්ලු කරපු පාරට ඕකා වැටිලා අතට මැහුම් දාන්නත් වුණා. සෙවලයා වුණාට මහ කැඳයා”
“වෙන දෙයක් වුණාවෙ. කියන්න තියෙන දේ අම්මයි පුතයි දෙන්නම ඉස්සරහ මං බොහොම හොඳින් කිව්වනෙ”
මගේ පපුවේ ගැස්ම ඒ වෙත්දීත් සාමාන්‍ය අතට හැරී තිබුණේ නැත. ආත්ම අභිමානය වෙනුවෙන් නැගී සිටීම වූ කලී වෙනම ම ආත්ම තෘප්තියක් දනවනා සිදුවීමකි. අවන්තගේ බිල්ලක් වනවාට වඩා ඊට එරෙහි ව නැගී සිටීමට වූ ශක්තිය ගැන මම මා ගැන අදට ද ආඩම්බර වෙමි.
ආපසු හැරී මගේ අතීතය දෙස බලත්දී අවන්තව ප්‍රතික්ෂේප කිරීම යනු මා මගේ ජීවිතය සොයා ගැනීමට ගත් ප්‍රථම ව්‍යායාමය කියා සිතමි. ලෝචන මදුරාපුර ගේ ප්‍රේමය යොවුන් දැරියක ලෙස මා චමත්කාරයට පත් කළ ද, මා ඒ දිව්‍යමය සිහිනය හඹා යා යුතු ය යන අදහස මා තුළ ඉතා තදින් කිඳා බසිනා ලද්දේ ඒ වෙලාවේ ය. ලෝචන කියන්නේ මට නෙලා ගත නො හැකි තරම් උස අත්තක පිපුණ මලක් බව ඇත්ත ය. නමුත් නෙලා ගන්නට උත්සාහ කරන්නේ හෝ නැතිව එය මග හැර නොයා යුතු බවට හැඟීමක් මගේ හද බිත්ති මත ගැඹුරට කාවැදී ලියැවුණේ ඒ වෙලාවේ ය.
මධාරා අක්කා ගේ විවාහ උත්සවය වෙනුවෙන් වෙඩින් කේක් සෑදීම යෙදී තිබුණේ ඉන් දින දෙකකට පසුව ය. ඒ කටයුත්ත සිදු කෙරුණේ ඇගේ මිතුරියක විසින් වන අතර කේක් එකට අවැසි පළතුරු වර්ග කැපීම වෙනුවෙන් මධාරා අක්කා මටත් උදෙන් ම එන්නට කීවා ය. විශාල රට ඉඳි තොගයක් කැපීමෙන් පසු විවේකයක් ගනු වස් මම නැගී සිටියෙමි. එදා අම්මාට ද වැඩ බහුල වූයේ ය. වැඩ වලට පැමිණි හිතවතුන් කිහිප දෙනෙකු ම සිටි බැවින් විශේෂයෙන් කෑම සැකසිය යුතු වූයේ ය.
“තේ එකක් බොමුද…”
කියා ලෝචන මගෙන් විමසූවේ ඒ ගැන අම්මා ට කරදර කිරීමට ඔහු ට හිත් නොදුන් නිසා විය හැක. කේක් සැදීමේ කටයුත්තෙහි නිරත මධාරා අක්කා ගේ මිතුරියන්ට ද සමගින් ම මම තේ වත් කළෙමි. තේ ගෙනෙන බව දැන දැන ම ලෝචන උඩු මහලට ගොස් තිබිණ. ඒ වෙලාවේ මදුරාපුර මැතිණිය නිවසේ නොමැති බව දැන සිටියෙන් මම චකිතයකින් තොර ව එහි ගියෙමි. ලෝචන සිටියේ පරිගණක තිරයෙහි ගොඩනැගිල්ලක සැලැස්මක් දෙස නෙතු යොමාගෙන ය. අසුනින් නැගිට ඔහු තේ එක ගත්තේ “මොකද්ද දැං අරගොල්ලො කියන්නෙ” කියා අසා ගෙන ය. ඔහු තේ උගුරක් බොමින් වසා දමා තිබූ විශාල වීදුරු ජනේලයක් වෙත පිය නැගුවේ ය. මම බන්දේසිය එක අතක තියා ගෙන ම ඔහු පසු පස වැටුණෙමි.
“මං කිව්ව ඉතිං…මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල”
මම නීලිකා නැන්දලා කී දේවල් සඟවා ගෙන මගේ තීන්දුව පමණක් ඔහු වෙත දැනුම් දුනිමි.
“මං ඕනෙනං අම්ම එක්ක කතා කරන්නං”
ඔහු කීවේ ජනේලයෙන් ඈත මහ මග පැත්තේ ඇස් රඳවා ගෙන ය. මම ඇස් පිය නො සලා ඒ මුහුණ දෙස බලා ඉන්නට වීමි. සංසාරය දිගු කරවනා ප්‍රේමයේ ලෝභී සිතිවිලි සේනා මා වට කර ගනිමින් තිබිණ.
“අම්ම කිව්වෙ…”
“ඔයාගෙ අම්ම එක්ක..”
“අනේ එපා එපා අයියෙ. එයාගෙ පපුව පැලිල එහෙමම ජීවිතේ නැති වෙන්න වුණත් පුළුවන්. අම්මට එහෙම දෙයක් හීනෙකින්වත් හිතා ගන්න බෑ. අම්මට නෙවෙයි මට වුණත්…ඒත්…”
කියා ගන්නට ගිය දේ නවතා මම මොහොතකට ඇස් පියවා ගතිමි. ඒ අතරේ ලෝචන ගේ ඇස් මගේ මුහුණ මත පායා තිබිණ.
“ඒත් කියල නතර කළේ…මොකද්ද කියන්න ගියේ නිබ්බුතා…”
මම හිස සලා බිම බලා ගතිමි. ලෝචන මගේ නිකටින් අල්ලා ඔසවා මූණට එබුණේ ය.
“ඒත් මට ආදරෙයි නේද…ම්…”
ඉකි ගසා අඬන්නට ඕනකම පපුවට දැනුණත් මම කඳුළකට හෝ උනන්නට ඉඩ නොදුණෙමි.
“මන්දන්නෑ මට පුළුවන් වෙයිද කියල මේ හීනෙ ඇත්තක් කර ගන්න…ඒත්…අන්තිම මොහොත වෙකකල් ෆයිට් කරන්න මං ලෑස්තියි අයියෙ. මට මොනාත්ම නැති වුණත්…මට ඔයාව විතරක් දෙන්න කියල මුළු ලෝකෙත් එක්කම වුණත් මං සටන් කරනව…”
“අපි දෙන්නෙක් ඉන්නව ඒ ෆයිට් එකට”
“මුළු ලෝකෙත් එක්කම සටන් කරල ආවත්…අන්තිමට ඔයාගෙ අම්ම මාව පරාද කරන්න පුළුවන්”
“එතනදිත් මං ඔයාව අත්අරින්නෑ නිබ්බුතා”
මා ඉපදී තියෙන්නේ ඔහු මත්තේ ජීවත් වෙන්නට බැරි නම් ඔහු මත්තේ ම මියැදෙන්නට යයි තද සිතිවිල්ලක් කොහේ හෝ සිට විත් මා ළය පසාරු කර ගෙන ගියේ ය. ලෝචන මගේ අත්ලෙන් යන්තම් අල්ලා ගෙන ඉක්මනට කම්මුලක් සිප ගත්තේ ය. මම ඒ අතක් ගෙන මගේ දෙතොල් එහි තබා තද කොට සිප ගෙන ආපසු හැරී පිය ගැට පෙළ දිග දිව ගියෙමි.