වෙඩින් කේක් ඔතන දවසේ නිවාඩු දමා සඳනි ලෝචන ලාගේ ගෙදර ආවා ය. කේක් දැමූ බව මගෙන් දැන ගත් ඇය, පාරේ දී මධාරා අක්කා හමු වූ වෙලාවක “කිව්වනං මාත් එනවනෙ” කියා තිබේ.
“එහෙනං කේක් ඔතන දවසට එන්න. එදාට වැඩ ගොඩයි”
මධාරා අක්කා එසේ කියා ඇත. සඳනි එදා එහි ආවේ ඒ අනුව ය.
ඇත්තටම ඒ කේක් එතීම සියුම් වූ කුඩා වැඩ අටෝරාශියක් තිබුණ එකකි. බේකරියේ සිට පුළුස්සා ගෙනෙනු ලැබූ සුවඳ හමනා වෙඩින් කේක් කැබලි කපා තෙල් කොළ වල දැවටීම මුලින් ම සිදු කෙරිණ. තනි සුදු පැහැති කේක් පෙට්ටි වෙනුවෙන් කැපූ අච්චුවෙන් පෙට්ටි සෑදීම ඊළඟට සිදු විය. ඒ පෙට්ටි මත දම් පාට මලක් හා කොළයක් ඇලවිය යුතු ව තිබුණේ ය.
මම ආශාවෙන් ඒ කටයුතු වල නිරත වීමි. කේක් එක හදන දවසේ මෙන් මධාරා අක්කා ගේ මිතුරියන් පැමිණ සිටියේ නැත. ලෝචන ද ඒ වැඩ වල හවුලට ආවේ එනිසා යි සිතමි.
මල් අලවන කාරිය මධාරා අක්කා මට ම පැවරුවේ ඒ තරම් සියුම් ලෙස අනිත් අය එය නොකරනා බැවිනි. ලෝචන හා සඳනි දාර නවමින් කේක් පෙට්ටි සැකසූහ.
පරණ පුරුදු දඟකාරකමින් ම සඳනි ලෝචන අස හුරතල් වූවා ය. නමුත් ඉස්සර වාගේ නොව මගේ හිත රිදුණු තැන් තිබිණි. ඒ බවක් සඳනිට හෝ ලෝචන ට නොදැනෙනු වස් මා කළේ මල් ඇලවීම වෙතට ම යොමු වූ ඇස් වලින් සිටීම ය. ප්‍රේමයේ ඊර්ෂ්‍යාව කියනා හැඟීමෙහි හැඩ තල මා මීට කලින් හඳුනා ගෙන සිටියේ නැත.
ලෝචන ඔවුන් ගේ කතා වලට මා හවුල් කර ගන්නට විටින් විට උත්සාහ දැරී ද මා ඒ ගැන උනන්දු වූයේ නැත. සඳනි ට නො දැනෙන්නට ද ඔහු ට දැනෙන්නට ද මට ලෝචන හා තරහ වීමට අවැසි විය. මා වටහා ගෙනදෝ තවත් ටික වෙලාවකින් ඔහු එතැනින් නික්ම ගියේ ය. මම මට නොතරම් කුරිරු සතුටක් වින්දෙමි.
“මගෙ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්නත් ඕන ඔයා හරිද…මටත් මේ වගේම උදව් කරන්නත් ඕන”
සඳනි කීවා ය. මම හිස නගා ඇදෙස බැලුවෙමි.
“ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තියනවද සඳ…”
මා සිටියේ මිශ්‍ර වූ සිතිවිලි වලිනි. සඳනි මට කිසිදු වරදක් කර නැත. සැබවින් ම මෙහි වරද කර තිබෙන්නේ මා ය. ලෝචන ට මුලින් ම පෙම් කළේ ඇයයි. ඒ බව දැන දැන ම මම ඇගේ සිහින ප්‍රේමය මගේ කර ගතිමි. ඒ වැරදිකාර හැඟීමෙන් මිදීමට තබා ඊට මුහුණ දීමට ද පහසු නැත. එසේ තිබියදී දැන් මම ඇයට ඊර්ෂ්‍යා කරමි. ඇය ලෝචන අස අනවශ්‍ය ලෙස දැවටීම ගැන ඊර්ෂ්‍යා කරමි. නිරවුල් නොවූ හා පැටළුණ සිතිවිලි ඇති ව සිටීම හදවතට කිසිදු සුවයක් දනවන්නේ නැත.
“ඒත් මට මේ මනුස්සයගෙන් හිත ගලෝගන්න බෑ අප්ප. මොන කරුමයක්ද මන්දා. ඉසුරු කොච්චර ආදරේ කළත් හිතෙන්නෙ ඒක ආදරේ නෙමේ වගේ…අනේ මන්දා මට පිස්සු හැදෙයි”
හිතෙන් කෙනෙකුට පෙම් කරමින් වෙනකෙකු අස රැඳෙන්නට එපා යි ඇයට කියන්නට මට ඕනෑ විය. නමුත් එවැන්නක් කියා ගන්නට තරම් දිරියක් හිතට දැනුණේ නැත. අනිත් අතට ඉස්සර වාගේ ඇගේ හිත ලෝචන කෙරේ උනන්දු කරවන්නට තරම් මට වංක විය නො හැකි ද විය.
මට වෙනදා තරම් ඒ මාතෘකාව ගැන සඳනි සමග කතා කළ හැකි වූයේ නැත. අනිත් අතට හොඳ ම යෙහෙළියගෙන් රහසක් රකිනා පව්කාර වෙහෙසකර අසහනය තදින් මා පෙළමින් තිබුණේ ය. සියල්ල පෙරපර ගලපා ඇය ට කියන්නට මට බැරි නැත. නමුත් ලෝචන මගේ පෙම්වතා වී ඇතැයි දැන ගත හොත් මගේ මිතුරිය කෙබඳු තත්වයකට පත් වනු ඇත්ද? ඇයට ඒ සිතිවිල්ලේ බර පවා දරා ගත හැකි වනු ඇත්ද?
“මං බලල එන්නං අරයව”
කියා ගෙන ඇය නැගිට ගත්තා ය. මම මලත් කේක් පෙට්ටියත් අතරින් පිටතට යන අවසරයක් ඇස් වලට නොදුන්නෙමි. ලෝචන කිසි දා ක සඳනි ට පෙම් නො කළ බව මම ඉර හඳ සේ විශ්වාස කරමි. නමුත් ඒ විනාඩි දෙක තුන තුළ පපුව ඇතුළේ අනේකාකාර විසංවාද පැවතිණ. මම එයින් පීඩා වින්දෙමි. දුක් වින්දෙමි. අසහනයෙන් පෙළුණෙමි. ඒ, හදවතක් තුළ සිදු විය හැකි බරපතල තත්වයේ යුද්ධයකි.
“කෝ…මේ දෙන්නම නැද්ද…”
තේ කෝප්ප තුනක් සහිත බන්දේසියක් ගෙන මධාරා අක්කා එහි ආවේ මා මල් අලවමින් ම හිතින් දුක් විඳිමින් සිටි අතරතුරේ ය. ගෙදර දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේ ම ය.
“අනේ නිබ්බුතා ඔයා එකක් අරං අර දෙන්නට මේ තේ දෙකක් දෙන්න”
කියමින් මධාරා අක්කා තේ බන්දේසිය මගේ අතට දුන්නා ය. ඇයට බෑ කියන්නට බැරි කමට මා එය ගත යුතු වූවත් එය ගෙන ලෝචන ගේ කාමරය වෙත යන්නට මට හිත හදා ගත හැකි වූයේ නැත. ඒ වුණත් එය කළ යුතුව තියේ. මම මගේ තේ කෝප්පය මේසය මතින් තබා අනිත් දෙක සහිත බන්දේසිය ගෙන ලෝචන ගේ කාමරය දෙසට ගියෙමි. ඔහු දිය නා කාමරයට විත් තිබුණේ ඒ වෙලාවේ ම යයි සිතත හැකි වූයේ තවමත් සළුවෙන් හිස තෙත පිසිමින් සිටි නිසා ය.
“නිබ්බුතා එන්න”
මා කාමරයේ දොරකඩ නතර වෙත්දී ලෝචන පුදුම තරම් තමන් ගේ කමක් දැනෙනා හඬකින් මට ඇතුළට කතා කළේ ය. ඔහු ට තරහක් පෙන්විය යුතු වී ද මට එය අමතක ව මම කාමරය තුළ ට ඉගිලී ගියෙමි.
“කෝ ඉතිං ඔයාට තේ…”
සඳනි තේ එක ගත්තේ එසේ අසමිනි. මා ගැන ද සොයා බලනා එක කුඩා කල පටන් ම ඇගේ පුරුද්දක් ව පැවති හැටි මට මතක ය.
” තියනව. ඔයාල බොන්න සඳී..”
ලෝචන ඉක්මන් උගුරු දෙක තුනකින් තේ එක බී කෝප්පය මගේ අතට දුන්නේ ය. එහි තේ අඩක් ඉතිරි ව තිබිණ.
“ඔක්කොම බීල නෑනෙ…”
මා විමසුවේ කුතුහලයෙනි.
“බොන්න”
බඩත් පපුවත් අතරේ අතුණුබහන් ද පේශි ද ඉන්ද්‍රිය හා අවයව ද එක වර සංකෝචනය වෙනවා මට දැනිණ. එය සුඛ වේදනයක් ද දුක්ඛ වේදනයක් ද කියා වෙන් කොට හැඳින ගන්නට පවා මට හැකි වූයේ නැත.
“මට තියනව”
“කමන්නෑ”
මුළු සිරුරේ ම සංසරණය වූ රුධිරය ඒ මොහොතේ උෂ්ණත්වයේ ඉහළ යාමක් අත්විඳින්නට ඇත. මගේ කොපුල් පුපුරු ගසනවා මට දැනිණ. මොන තත්වයක් යටතේ වීද මගේ යටැස සඳනි ව දකිමින් සිටියේ ය. ඇය බලා සිටියේ වෙනත් ග්‍රහ ලෝකයක මිස මේ පොලෝ තල මත සිදු විය නො හැක්කක් සිදු වෙමින් පවතින්නා සේ ය. නමුත් ඇය එක වචනයක් හෝ කතා කළේ නැත. මම බිම බලාගෙන ම ලෝචන අඩක් බිව් තේ එකෙන් උගුරක් බීවෙමි. එතැන සඳනි නො හිටියේ වී නම් මට දැනිය හැකිව තිබූ ඒ ප්‍රණීත රසය, හිතේ වූ බිය හා දෙගිඩියාව නිසා මට නො දැනෙන්නට ඇත කියා සිතමි.
“ඕක බොනව බය නැතුව…මෙයා මහ ලොක්කෙක් වගේ තේ එකෙන් බාගයක් දුන්නෙ…එයා බීපු තේ එකෙන් ඉතුරු ටික බොන එක වාසනාවක් කියල පෙන්නන්න වෙන්න ඇති. හැබැයි අපිට ඔය කවුරුත් ලොකු නෑ නේ නිබූ…”
සඳනි මවෙත විත් මගේ දෙඋරහිසෙන් ම අල්ලා මාව ඇගේ සිරුරට හේත්තු කර ගත්තා ය. පහසුවක් නොව මට දැනුණේ අපහසුවකි. ලෝචන හිමි වෙත්දී මට මගේ ළමා වියේ මිතුරිය අහිමි වූවා වත්ද?
“මං යනව වැඩේ ඉවර කරන්න”
කියමින් මම එතැනින් නික්මුණෙමි. ලෝචන ගේ ඇස්, කාන්දම් සේ මා පසු පස එන බවක් දැනිණ.
මා හිටියේ ගින්දරක ය. දෑත් පුරුද්දට කේක් පෙට්ටි මත මල් ඇලවූවාට හදවත වූයේ දැවුමක ය. ළිපට පිඹිත්දී ගිනි අඟුරු පෑදී ගිනි ඇවිළෙන්නේ යම් සේ ද ගන්නා හැම හුස්මක් ගානේ ම පපුවේ ගින්න ද අලුතෙන් ඇවිළිණ.
දුක කියන්නේ අපට ආගන්තුක වූවක් නොවේ. අම්මා කියා ඇති පරිදි අපගේ තාත්තා එක්ක ගෙවූ වසර දෙක තුන පමණක් ඇය කරදර නැතිව ජීවත් වී තිබේ. මහ ගෙදරදී ළමයෙකු දා පටන් කරන්නට සිදු වූ වැඩ කන්දරාවෙන් ගැලවීමක් හෝ නිදහසක් ලැබී තිබේ. කන්නට බොන්නට අඩුපාඩුවක් නොවූ බව ද මගේ අවශ්‍යතා උපරිමයෙන් සපිරුණ බව ද ඉඳ හිට අතීතය සිහිපත් කරමින් අම්මා පවසයි. යළි මහ ගෙදර දර මඩුවේ පදිංචියට පැමිණීමෙන් පසු දුක් කරදර පොළියත් සමග ම පැමිණියේ ය. කුසගින්න අපට සාමාන්‍ය දෙයක් විය. දරා ගත නො හැකි වූයේ වත්ත පහළ දර මඩුවේ තිත්ත කළුවරේ ගෙවුණ ඇතැම් රැයකි. ලාම්පු තෙල් ටිකක් ගන්නට මුදලක් අම්මා අතේ නැති වූ දාක කුස ගින්නට අමතර ව අප ඝනාන්ධකාරය ද ඉවසා ගත යුතු විය. ඈතින් දිළෙනා පුංචි කණාමැදිරි එළියක් හැරුණු විට සර්පයෙකු ආව ද විපරම් කරන්නට එළියක් වූයේ නැත. එවන් රැයක් පහන් කළා වූ භීතියේත් ශෝකයේත් බලාපොරොත්තුවේත් හෙවනැළි ගැන මා ඔබට වෙන ම කිව යුතු යයි සිතමි.
ලෝකයේ වන භයානක ම සංතාප යනු ඒවා යයි මම සිතා සිටියෙමි. නමුත් මිනිස් සබඳතා අතරේ ඇති විය හැකි පළුද්දක් ගැන හැඟීම ඊට වඩා භයානක ය. ඊටත් වඩා මාරක ය. සඳනි යනු මගේ ළමා වියේ පටන් මිතුරිය ය. ඇය බෙහෙවින් මා විශ්වාස කළා සේ ම මට ආදරය කළා ය. ඇය පෙම් කළ ලෝචන ට මා පෙම් කරන්නට පටන් ගෙන ඇති බව දැන ගත හොත් අපේ මිත්‍රත්වය විනාශ වී යනු ඇත.
මදුරාපුර මැදුර යනු අම්මා ට වසර විසි ගණනක් තිස්සේ මෙහෙයක් කිරීම වෙනුවෙන් වැටුපක් ගෙවූ තැන ය. ඇය සිය දරු දෙදෙනා ජීවත් කරවූයේ ද හැකි පමණින් ඔවුන් ට ඉගැන්වූයේ ද එතැනට පින් සිදු වන්නට ය. ඒ මෙහෙකාරිය ගේ දියණිය සිය රාජ කුමාර පුතු හා ප්‍රේමයෙන් වෙලී ඇතැයි දැන ගත හොත් මැදුරේ අග බිසවුන් වහන්සේ අම්මා ගේ දුප්පත් රැකියාවෙන් ද ඇය පලවා හරිනු ඇතැයි නො සිතිය හැකි ද?
මධාරා අක්කා අප ගැන නො දැන ඉන්නවා විය නොහැකි යයි ලෝචන කීවේ ය. නමුත් තවමත් ඇය මට වන ආදරයේ අංශුවක අඩු වීමකුදු දැනෙන්නට හැරියේ නැත. නමුත් මගේ ප්‍රේමය නිසා ඇගේ සිත ද බිඳී යනු නොවිය හැකි ද?
කල්පනා ලෝකයේ නිමග්න ව මා මල් අලවමින් සිටියදී එක මොහොතක මගේ අතක් ඉතා තද ග්‍රහණයකට හසු විය. මා හිස නගා බැලුවේ සිදු වෙන්නට යන්නේ කුමක් දැයි සිතා ගත නො හැකිව ය. මට මත්තෙන් වූයේ සඳනි ගේ උමතු ඇස් දෙකයි!
ඇය වෙත මා ඇදී ගියේ කවර බලවේගයකට නතුව දැයි කිව නො හැකි ය. සිදු වන්නේ කුමක් දැයි නිශ්චිත නොවී ද එය යහපත් දෙයක් නොවන බව මගේ ගැහැනු ඉව ඒ වෙත්දීත් දැන හැඳින සිටියේ ය. ගෙදොරින් නික්ම ගේට්ටුව දෙසට ද ඉන් පිටතට ද මා ඇද ගෙන ගිය ඕ රළු දෑසකින් මගේ ආත්මයට එබී බැලුවා ය.
“මගෙන් ලෝචනව උදුර ගත්ත නේ…”
එහෙම අසමින් ම ඇය වැරෙන් මගේ කම්මුල හරහා පහරක් එල්ල කළා ය. ක්ෂණික ව ඇසට කඳුළක් ඉනූ අතර මම බිම බලා ගතිමි.
“මං හිතුවෙ නෑ තමුසෙ ඔච්චර චපල ගෑනියෙක් කියල”
අනිත් කම්මුල මත අකුණක් සේ පතිත වූ ඇගේ අත් පහර මට දරා ගත නො හැකි තරම් වූ එකකි. කඳුළ රූරා වට අතර මා වටා ලෝකය ම කැරකෙනවා වාගේ දැනෙන්නට ගති. එසැනෙන් ඇගේ අනිත් අත නැවත ද එසවුණේ ය. මම වහා ඇස් තද කොට වසා ගතිමි. ඇස් පිහාටු වලට මිරිකී තවත් කඳුළු පේළි දෙකක් කම්මුල් මතින් ලිස්සා ගියේ ය. ඒ අකුණ දැන් දැන් පුපුරා යනු ඇතැයි මා බලාපොරොත්තු වී ද තත්පර දෙක තුනකට පසු මා නෙතු හැරියේ එසේ නොවූ නිසා ය. ඉහළට එසවුණ සඳනි ගේ අත ලෝචන විසින් අල්ලා ගනු ලැබ සිටියේ ය. ඔවුන් ගේ ඇස් උනුන් වෙත යොමු වී තිබූ අතර ඒ ඇස් හතරෙහි ම වූයේ වේදනාත්මක කේන්තියකි.
දෙවියනි මම කුමක් නම් කළ යුතු වන්නෙම් ද?