වර්ෂාව ඇද හැලුණේ නොකඩවා ය. දවස පුරාම වැස්සක් වැටීම සාහිත්‍යයේ තරමට සැබෑව තුළ සුන්දර නොවේ. කම්මැලි දවසක් අවසානයේ අත් පොරවාගෙන කාර්යාලයෙන් පිටතට බසින රුවිනිගේ හිතේ වූ නිදහස මලිතිට නොවී ය.
“අපි ගිහින් දාන්නම්”
ඇය එසේ කියද්දී රුවිනි හිනැහුණා ය.
“මං දැන්මම ඇනෙක්ස් එකට ගිහින් මොනව කරන්නද?”
රුවිනිගේ කතාවේ වරදක් නැත.මේ මහා වර්ෂාවේ පවා ඇය කුඩයක් ඉහළාගෙන මාවත් පුරා ඇවිද යන බව මලිති දන්නී ය. නිදහස් ජීවිතය එතරමට මිහිරි ය. සුන්දර ය.එහෙත් ප්‍රේමයක බැඳුණු ගැහැනියකට අසීමාන්තික නිදහසක් ඕනැදැයි මලිති නැවත නැවතත් සිතුවා ය. ආදරය කරන මිනිසාට අවැසි ලෙස හැඩ ගැසීම ද නරක නැත.විඳීම් මෙන්ම රිදීම් ද ගලපා ගනිමින් ජීවත් වන්නට තිබුණානම් ජීවිතය ඉතා සුන්දර වන්නට ඉඩ තිබිණ.
“මං අද එහෙ එන්නං?”
මලිති එසේ අසද්දී රුවිනි හිනැහුණා ය. ඒ සිනාව යට රහසක් තිබෙන්නට හැකි බව මලිති දනියි. කර පියවෙන සේ මහා ගිනි රස්නය දවසට ඇඳුම් ඇඳි දවස් ද අහේතුවක දත් කැක්කුම් ආ දවස් ද සීතල කෑම පමණක් කද්දී පවා ඌෂ්ණ බිබිලි තොල් මතම ආ දවස් ද රුවිනිට තිබිණ. නමුත් දැන් එවැනි දවස් නොවේ. උසාවි වාර කිහිපයක් ගෙවී ගියේ ය. රුවිනි නිදහස් කිරිල්ලක බවට පත්ව තිබිණ. දැන් ඇය කර කැපුණු ඇඳුම් අඳින්නේ සඟවා ගන්නට තුවාල කැලැල් නැති හන්දා ය. මලිති පමණක් දැන සිටි කම්මුල් පහරවල් ගැන හඬමින් පවසන්නට දැන් රුවිනිට සිදු නොවේ. ඒ නිසා ලෝකයට පෙන්වන්නට දත් කැක්කුම් හෝ ඌෂ්ණ බිබිලි ඇයට නොවේ.
“මලීට ගෙදර යන්න තියන හදිස්සියක්.”
අංජලී ද පාරමී ද තරප්පු පෙළ බැස ආවේ එසේ කියමිනි. උසස් පෙළ පන්තියේ කෙල්ලගේ මෙන් හැඩ ඇඟක් ඇති මලිති තිස් විය ඉක්මවූ බව නොපෙන්වයි. නමුත් ඇය ඒ හැඩ ඇඟ පවත්වා ගන්නට හේතු වූ කාරණාව කියමින් රිදවන්නට පාරමීට තැනක් නොතැනක් නොවේ.
“මලීට ඉතිං මොකෝ. ළමයි බමයි ඉන්න එකක් යැ. ගියා. පොඩ්ඩක් රත් වුණා. නිදා ගත්තා. හෙට ලීව් දායිද කියන්නත් බෑ.”
අංජලී එය අසංවර විහිළුවකින් සම්පූර්ණ කළා ය. මේ වර්ෂාව සහ සරාගය ගැන කතාවක් නොවන බව දන්නා රුවිනි දෑස් මත ගිනි සලකුණු ඇඳ ගනිද්දී මලිති ඇගේ අත මෘදුව අල්ලා ගත්තාය.
නැත! ඇවිලිය යුතු තැන ද නිවෙන්නට ඕනෑ ය. මලිති ඒ පාඩම ඉගෙන ගෙන දැන් වසර කිහිපයක් ගෙවී ගොස් ය. එහෙත් නැවත නැවතත් ඒ පාඩම සිහි කරන්නට ඇය කැමති ය.
“මුන් කොච්චර අලුත් පන්නේ ගෑනු වෙන්න ට්‍රයි කරත් ෆේස්බුක් එකේ ලේඩීස් ගෘප්ස් වල ඇට්ටි හැලෙන කතා කිව්වත් සාම්ප්‍රදායික කුහකකම එළියට පනිනව.”
රුවිනි දත් කූරු සපයි. මලිති නිසොල්මන්ව හිනැහුණා ය. ඇය දැන් මේවා ගණනකට නොගනී.කාන්තාවකට ඉතා පහසුවෙන් ඇලවිය හැකි ලේබල් දෙකක් වේ. දරුවෙකු දෝතට ගන්නට නොහැකි වීම නිසා පාරමීලා එය තමන් වෙත අලවන බව මලිති හොඳින්ම දැන සිටියා ය. අනෙක් ලේබලය ඊටත් වඩා දරුණු ය. දුක් කසාදයකින් වෙන් වී ජීවත් වන රුවිනි මත එය අලවන්නටත් පාරමීලා පසුබට වන්නේ නැත.
“නවීන් ආවා.”
වසර කිහිපයකට පෙර අතීතයේ සරසවි මිතුරියන්ට ඒ වචන කිහිපය කියද්දී කටහඬේ වූ සන්තෝෂය මලිතිට සිහිව එයි.ඒ කාලයේ නවීන්ට තිබුණේ මෝටර් සයිකලයකි. එය මාසයට දහ දොළොස් වතාවක්වත් කැඩී යයි.එහෙත් ඔහුගේ ඇඟේ එල්ලීගෙන ඔහේ රස්තියාදු ගැසූ දවස් දැන් අයත් වන්නේ නැවත හමු නොවන අතීතයට ය.
“සීතලයි නවීන්.”
නවීන් රියට ගොඩ වූ මලිති දෙස බැලුවේ සීතල දෑසකිනි.පැය ගණනක් නොදැක සිටීම වෙනුවෙන් ඔහුගේ කම්මුලක් මත හාදුවක් තබන්නට ඇයට සිතේ.එහෙත් එවැනි සිතුවිලි ඔහුගේ හැඟීම් විරහිත දෑස නිසා පිපෙනවාට වඩා වේගයෙන් ඇකිලී යයි.
“රෑට උයන්නනම් බෑ.”
වඩා කෙටි වාක්‍ය වේදනාවකි.එහෙත් දැන් ඉතිරිව ඇත්තේ ඒවා විතරම ය.
“අපි රෑට ආප්ප කමු.අර අපි යන පාරේ තියනව පොඩි කඩයක්.තෝසෙත් තිබ්බද කොහෙද? අහන්නකො. ඔයාට මතකද අපි කැම්පස් ගිහින් එනකොට.. ඉස්සර. අර පොඩි කඩයක් තිබ්බෙ. මට බිත්තර ආප්ප අරන් දීලා ඔයා ප්ලේන් ආප්ප කන්නේ.”
මලිති අතීතයේ ඇවිදින්නට ගත්තා ය. සැබෑවටම එහෙම දවස් තිබී තියේ. එහෙත් ඒවා අයිති අතීතයට ය.
“රෑට ආප්ප කන්න බෑ. මම බලල මොනව හරි ගේන්නං.”
නවීන් රියෙන් බැස ගත්තේ එපමණක් පවසමිනි.ගිලිහී ගිය සුසුමක් රියෙහි වීදුරුවේ තැවරීගන්නා අන්දම මලිතිට පෙනිණ.ඇය එහි අකුරක් ඇන්දා ය.
මේ දැනෙන්නේ නවීන්ගේ ලෝකයෙන් ගිලිහී යන ශෝකය ද නැතිනම් ඔහු දකින්නට නැති ශෝකය ද යන්න මලිතිට අපහැදිලි ය. නැත! එය වඩාත් පැහැදිලි ය.මේ ඔහු දකින්නට නැති ශෝකය මිසක වෙන කිසිවක්ම නොවේ.
වැස්ස වඩාත් තදින් ඇද හැලෙන්නට පටන් ගෙන තිබිණ.
“කොහෙද ඉන්නේ?”
ඒ වට්ස් ඇප් පණිවිඩය රුවිනිට ය. සාමාන්‍ය පිළිතුර කොහේ හිටියාම මොකද යන්න ය. එහෙත් මලිතිගේ මානසික මට්ටම ගැන දන්නා රුවිනි “රණ්ඩුවක්දැයි” අසන්නට ප්‍රවේසම් වූවා ය.
“නෑ. මට කියන්න දෙයක් තියනව.”
මලිති තව මොනවාදෝ ලියන අන්දම රුවිනි බලා සිටියා ය.
“මං කෙනෙක්ට ආදරෙයි.”
සීතල හිම කන්දක් අතැර දමන්නට මලිති හිත හදා ගැනීම ම සතුටකි.රුවිනි වහවහා හදවත් පේළියක් යැව්වාය. එහෙත් හදවත දැදුරු වන කතාව පැමිණියේ ඉනික්බිතිව ය.
(මල් තුහින ප්‍රේමයේ වේදනාව මිස සුන්දර ප්‍රේම කතාවක් නොවේ. අසුන්දර පිරිමින් නිසා විඳවන ගැහැනු ගැන ඔබට හිතෙන දේ පුරුදු ලෙස ලියා යන්න)