රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන් පසු මධාරා අක්කා ගේ ගෙදර තාප්පය අයිනේ බෝඩරයක් ලෙස ද මම තාරකා මල් වැව්වෙමි. දවසේ කොයි වෙලාවක හෝ ඒ මල් යාය දකිත්දී මගේ හිත චමත්කාරයෙන් පිරී යයි. සියල් දුප්පත් කම් අමතක කරවන පොහොසත් කමකින් එතකොට මගේ හිත පිරී යයි.
මධාරා අක්කා ගේ ගෙදර බාර දී මල්ලී මේ ව්‍යාපාරික නිවස කුළියට ගත්දී මා සිටියේ වෛද්‍ය පීඨයේ අවසන් වසර වල කාර්ය බහුලව ය. හේතුව එය ම කර ගත්තා ට ලෝචන මදුරාපුර මගෙන් වෙන් ව ගිය වේදනාවේ තුවාල වල තාවකාලික බෙහෙත් ගැල්වීමක් වශයෙන් මම වැඩිපුර ගෙදර නෑවිත් නේවාසිකාගාරයට වී සිටියෙමි. මට ඕන වී තිබුණේ හේමන්ත නිද්‍රාවට එළඹ කාල තරණය කරන්නට පමණකි. වතුර වීදුරුවක දමා අධිශීත කරන ලද තාරකා මලක් සේ මහද අධිශීත තත්ව යටතේ පැවතිණ.
ගෙවල් මාරු කරත්දී මම එහි නොසිටියෙමි. මල්ලී එක්ක මධාරා අක්කා ගේ ගෙදරට ගොස් යතුර භාර දෙන්නට මා ආවේ මගට ය. ගෙදර තිබූ මගේ පොත් පත් සමග තාරකා මල් පැළයක් බඳුනක සිටුවා ගෙන අම්මා අලුත් ගෙදරට ගෙන ගොස් තිබිණ. ඒ තාරකා මල් පැළය මල්ලී ගේ ව්‍යාපාරික නිවසේ උඩු මහලේ කුඩා සඳැල්ලෙහි කොනක එක ම මල් බඳුන ලෙස විරාජමාන වූයේ ය. එයට වතුර හා පොහොර දමමින් බලා කියා ගන්නට ඇත්තේ අම්මා ය. මා ඉඳ හිට හොරෙන් එදෙස බැලුවා පමණකි. තාරකා මල් දැන් ඉස්සර වාගේ මා චමත්කාරයට පත් කරන්නේ නැත. හුරු පුරුදු රිදුමකින් මා දවාලයි. තාරකා මල් හා බැඳුණු මගේ යෞවනයේ චමත්කාරය හොරු අරගෙන ගියේ ය. දර මඩුවක ජීවත් වුණත් මම වරලේ තාරකා මල් ගවසා ගෙන නිරන්තර සැහැල්ලු මඳහසකින් ජීවත් වූයෙමි. අන්තිමට සියල්ල ලැබුණත් ඉරණම මගෙන් ඒ සැහැල්ලුවත් චමත්කාරයත් යන දෙක ම උදුරා ගෙන තිබිණ.
“ඔක්කොම ලෑස්තිද සුදූ…”
කියාගෙන විත් මල්ලී මා ළඟින්, සඳැල්ලට ගොඩ වන දොර පඩිය මතින් වාඩි වූයේ ය. ඔහු ගේ වදන් පෙළෙහි අග සුසුමක් තිබූ බව මට දැනිණ. මල්ලි ගේ සිරුරේ උණුහුම මට දැනිණ. මම එහෙම ම දෑත් ඔහු වටා යවමින් මල්ලී තුරුලු කොට ගතිමි. නැතිනම් ඔහු ට තුරුලු වුණෙමි.
“පරිස්සමෙන් ඉන්න. අම්මව බලා ගන්න. මං එනකං ඉන්නැතුව අර ළමයව බැඳල ගෙදර එක්කන් එන්න”
ඉතාමත් මන්ද්‍ර ස්වරයකින් මම කොඳුළෙමි.
“ඒව වෙලාවට වෙයි. සුදූ ඒ ගැන හිතන්න ඕන නෑ”
මල්ලී ඉන්නේ හිත හයිය කර ගෙන බව මම දනිමි. කොහොමටත් පොඩි කාලේ සිට ම ඔහු හයිය කොල්ලෙකි. ඉරණමට ඉඩ දී බලා ඉන්නේ නැතිව තමන් ගේ අතින් ම ඉරණම ලියා ගනු වස් අරමුණු හඹා ගිය කොල්ලෙකි.
“අලුත් ගෙදර ඉක්මන්ට පදිංචි වෙන්න හොඳේ”
ඔහු හිස සැළුවේ ය. මම උළුස්සට පිට දී ගෙන තාරකා එක දෙක දිළිසෙන අහස දෙස බැලුවෙමි. නගරයේ අහස රාත්‍රියටත් සුදු පාට ය.
මල්ලී මහ ගෙදර ඉඩමේ අයිතිය නඩුවෙන් දිනා ගත්තේ ය. මහ ගෙදර ඇත්තෝ තම තමන්ට ගෙවල් හොයා ගෙන නික්ම ගියහ. දැන් ආච්චි මමී සිටින්නේ වසන්ති පුංචි සමගිනි. ඇය නිතර ම ලෙඩ වේ. අම්මා දවසක් ඈ බලන්නට අඩු වැඩිය ද සමග ගොස් තිබූ අතර ආච්චි මමී අම්මා ව පන්නා ගෙන ඇත. ජීවිතය අගිස්සේ එල්ලී සිටිය ද ලෙඩ ඇඳට වැටී සිටිය ද ඔවුන් ජීවිතය අවබෝධ කොට ගෙන නොමැත.
කොට්ටාවේ අලුතෙන් මිල දී ගත් ඉඩමක මල්ලී අලුත් ගෙයක් ඉදි කරවමින් සිටී. එය මදුරාපුර මැදුර වාගේ ලස්සන අලුත් ගෙයකි. සුදු ගෙදි එලුවා වාගේ සුදෝ සුදට දිස් වන එහි බිත්ති අතරේ අලුත් සුවඳින් පෙනහලු පුරවා ගෙන මම කිහිප දිනක් ම හෝරා කිහිපයක් ගත කළෙමි. ඉරණම පුදුම සහගත ය. කිසිවක් ස්ථිර ලෙස සැම දා එකම කෙනෙකු අස තබන්නට එයට උවමනා නැත. අද කෙනෙකු අත ඇති දේ හෙට තව කෙනෙකු අත ය. දෛවය එහෙම ය!
“සීනි සම්බල් එක අහුර ගත්ත නේද සුදූ”
කියා අසා ගෙන අම්මා ද අප වෙත ආවා ය. අපි උළුවස්සේ පසෙකට ගුලි වී අනිත් කෙළවරින් අම්මා ට ඉඩ දුන්නෙමු. මට මතක් වුණේ දර මඩුවේ ගෙදර උළුවස්ස උඩ මේ විදිහට ම ගුලි වී ඉඳ ගෙන ගණ අන්ධකාරය හා හිනැහෙන තරු පිරි අහස දෙස බලා ගෙන අප පහන් කළ අනන්ත රාත්‍රීන් ය. අදත් ජීවිතය එතැන නතර කර ගත හැකි නම්! නමුත් කිසිවක් එක තැනක නතර වී තිබෙන්නේ නැත. මිනිසුන් ගේ ඉරණම තීරණය කරනවායි ජ්‍යොතිෂයේ විශ්වාස කෙරෙන තාරකා පවා එක තැනක නතර වී නො සිට අහස පුරා ගමන් කරයි.
එදා බොහෝ රෑ බෝ වන තුරු අපි ඒ විදිහට අඳුරේ උනුන්ට ගුලි වී ගෙන සිටියෙමු. අපේ අතීතය ගැන දොඩමළු වෙන්නට ඕනෑ තරම් කාරණා අපට තිබිණ. නමුත් අපගේ ජීවිත මත වැතිර ගත්තා වූ දැවැන්ත ම සෙවනැලි සහිත මදුරාපුරලා ගැන වචනයක් හෝ කතා නොකරන්නට අම්මා පවා පරිස්සම් වූවා ය.
අප ගුවන් තොටුපළ කරා ගියේ මල්ලි ගේ මෝටර් රථයෙනි. ඒ මගේ ප්‍රථම ගුවන් ගමනයි. පරිස්සමෙන් යන්න හා පරිස්සමෙන් ඉන්න යනුවෙන් අම්මා සිය දහස් වරකට වඩා කියන්නට ඇත.
“අනේ අම්මෙ සුදූ පොඩි ළමයෙක් නෙවෙයි. ඩොක්ටර් කෙනෙක්. ස්පෙශලිස්ට් කෙනෙක් වෙලා එන්නයි මේ යන්නෙ. ඉස්පිරිතාලෙ ඉන්න ලොකු දොස්තර නෝනා කෙනෙක්. ඈතින් එනව දකිනකොටම මිනිස්සු ඉඳගෙන ඉන්න තැන් වලින් නැගිට ගන්න ලොකු දොස්තර නෝනා කෙනෙක්”
මල්ලී අඩ සිනහවකින් කීවේ ය. මම අම්මා ගේ ඉපල් ගැහුණ අතක් පිරිමැද්දෙමි. ඒවා ඒ තරම් කෘෂ ව ගියේ අප දෙදෙනා ව ජීවත් කරවන්නට ම වැඩ කිරීමෙනි.
“අනේ දෙයියන්ගෙ පිහිටයි. උඹල දෙන්නම ගැන මට හරි සතුටුයි”
“ඇයි මට…එතකොට මට සතුටු නැද්ද…”
ඒ සඳනි ය. මම නිදහස් අතින් ඇය ව අල්ලා ගතිමි.
“අනේ ඇයි දරුවො නැත්තෙ…ඔය දරුව නොහිටින්න සුදූ ගැන මගෙ හිත මොන තරං වද වෙන්න තිබුණද…මං දන්නව අපි කාටත් වැඩිය පොඩි කාලෙ ඉඳන්ම ඔයා එයා එක්ක හිටයා කියල”
ඇය මා වෙනුවෙන් සිය ප්‍රේමය පවා අත් හළ බව මා හා ලෝචන මිස වෙන කිසිවෙකු දන්නේ නැත. අවසන ඇයට පමණකුදු නොව මට පවා ඔහු අහිමි විය. මට පෙම් නො කොට සඳනි ට ලං වුණේ වී නම් ලෝචන අදටත් පෙර ලෙස අප අතරේ රැඳෙන්නට තිබිණි ද ? මම නො දනිමි.
කියන්නට බොහෝ දේවල් තිබුණත් මම නිහඬ ව මුණිවතින් සිටියෙමි. කතා කරන්නට ගියේ වී නම් මට හැඬෙනු ඒකාන්ත ය.
ඒ සමු ගැනීමේ දී හිතේ සන්තාප සාගරයක් රැළි නැගුවාට අප කිසිවෙකු කඳුළක් හෙළුවේ නැත. දන්නා කියන තමන්ගේ අයගෙන් ඈත් වී ඉන්නට සිදු වීම දුකක් ද නැත්නම් තාවකාලික සැනසුමක් ද කියා හෝ මම නො සිතුවෙමි. ගුවන් යානයේ කවුළුවක් ළඟ අසුනක් මා වෙනුවෙන් බලා සිටියේ ය. සියල්ල නිවැරදි දැයි විමසා මම හිතත් එක්ක එකත්පස් වීමි.
මට ඉහළින් පමණක් එතෙක් දැක තිබි වලාකුළු වියන් මට පහළින් ද මුල් වරට දකිමින් සිටියෙමි. ඕනෑ ම දෙයක් දකින කෝණය අනුව එහි පෙනුම වෙනස් වේ. මට ඒ බව කියා දෙමින් සිටියේ වලාකුළු ය. කුඩා කල පටන් ම වලාකුළු හා බැඳුණු සමීප බැඳීමක් මට වේ. ඒවායේ හැඩය හා පෙනුම ගැන චමත්කාරයට පත් වෙන හිතක් මට තිබිණ. ඒවායේ වේගවත් ගමන ගැන ද මන්ද්‍ර චලන ගැන ද එක නතර වී පාන ප්‍රාතිහාර්ය ගැන ද විශ්මිත විය හැකි සිතක් මට තිබිණ. මේ ගමන ඒ චමත්කාරය දෑස් ඉදිරියේ දල්වා තබා ඇත. අත පොවන මානයේ රඳවා තබා ඇත. මේ වීදුරු කවුළුවෙන් අතක් පිටතට දමන්නට අවසර වේ නම් මට මේ වලාකුළක් අල්ලා ගත හැකි ද?
ගුවන් ගමනක් යනු ජීවිතයේ සිවිශේෂ ගුප්ත හෝරා කිහිපයක් කියා මට සිතේ. ඒ මායාමය හෝරා කිහිපය තුළ උඩු ගුවන මත දී සිදු වෙන්නට බැරි කුමක් ද? එය වූ කලී ජීවිතයේ ස්වභාවය වඩාත් නග්න ස්වරූපයකින් දෑස් ඉදිරියට පමුණුවාලන අවස්ථාවකි.
හෝරා ගණනක ගමන වෙනුවෙන් යානයේ විදුලි පහන් නිවුණ ඉක්බිති සියල්ලෝ අසුන් මත නිදන්නට සැරසුණහ. මම ද පොරෝනාව තුළට ගුලි වීමි. නමුත් නින්ද කියන දේ වසර ගණනාවක් තිස්සේ සිට සිටින්නේ මට තරමක දුරිනි.
මගේ අතීතය ගැන තැන් තැන් වලින් මා මතක කැබලිති එක්කාසු කරන්නේ මෙලෙස උඩු ගුවනේ සිට ය. ගුවන් යානය පැයට ගුවන් සැතපුම් සිය ගණනක වේගයෙන් ගමන් කරමින් තිබුණේ වී ද එය ගුවනේ එක තැනක නතර වී ඇති සැටියක් මට දැනේ. ඇස් දෙක පියවා ගත් කල පා වීමක් බඳු ආකාශ හැඟීමක් මිස ගමන් කිරීමක් ගැන අදහසක් හෝ මට දැනුණා නොවේ.
මෙය තැන් තැන් වලින් පිළිවෙලකින් තොර ව කරනා මතක ආවර්ජනයක් බව මුලදී ම මම ඔබට කීවෙමි. මගේ දිවියෙහි මට අමතක වී නො කියවුණ තැන් ඕනෑ තරම් පවතින්නට පුළුවන. නමුත් අමතක කළ නො හැකි තැන් බොහොමයක් මෙසේ උඩු ගුවනෙහි හිඳ මම ආවර්ජනය කළෙමි.
යාම් ඊම් කියන්නේ ත් හමු වීම් වෙන් වීම් කියන්නේ ත් අතිශය සාමාන්‍ය ජීවන සිදුවීම් බව මා නො දන්නවා නොවේ. නමුත් ලෝචන මදුරාපුර මදිවියෙහි වන වැදගත් ම හමුවීම ය. ඒ හමු වීම නිසා එහි එක් පරිච්ඡේදයක් කිසි දා මා නො සිතූ නො පැතූ තරම් වර්ණවත් වූයේ ය. කළුයි සුදුයි ජීවිතයක් කදිමට වර්ණ ගැන්විය හැකි සිත්තරෙකු සේ මට ඔහු නම් කළ හැකි ය. එසේ ම ඔහු මගේ කවුරුවත් නොදන්නා ජීවිතය මත සුව නොවෙන රිදුමක් ඉතිරි කළ වෙන්වීම ය. සත් සමුදුරු තරණය කොට විශේෂඥ පුහුණුව සඳහා ගිය ද මා යන්නේ ඒ රිදුම දරා ගෙන ය. මා යන්නේ ඔහු නැති හුදෙකලාවත් එක්ක ය. මිනිස් චිත්ත සන්තාන වල ඇති වන්නා වූ බැඳීම් මහා සාගර හෝ මහා ද්වීප වලට වෙන් කළ නො හැකි එකකි.
එසේ ම මා විශේෂඥ වෛද්‍යවරියක වී යළි මව් බිම පැමිණීමට නියමිත ව ඇත්තේ ද සුව කළ නො හැකි හෘද හිස් වීම නමැති ව්‍යාධියෙන් පෙළෙනා රෝගියෙකු ලෙස ය. ඒ රෝගය උත්සන්න වූ රෝගියෙකු ජීවිත කාලය පුරාවට සුව කළ නො හැකි බව මට කියා දුන්නේ මදුරාපුර මැතිණියයි.
යානය ලන්ඩන් නාගරික ගුවන් තොටුපළෙහි ගොඩබිම මත පතිත වත්දී හදවත ඇති වූ ගැස්ම කුමක්ද කියා මම නොදනිමි. මීට පෙර ගුවන් ගමන් අත්දැකීමක් නො තිබූ මම අනිත් මගීන් අනුගමනය කරමින් යානයෙන් බැස ගුවන් තොටුපළ පිට වීමේ පර්යන්තය කරා ළඟා වීමි. මගේ වෛද්‍ය පීඨ වැඩිමහල් සොයුරියක් මා කැටිව යන්නට ගුවන් තොටුපළට එන්නට නියමිත වූවා ය. ඇය හමු වීමට පෙර මම මල්ලීටත් අමමාටත් සඳනිටත් දුරකතන ඇමතුම් ගතිමි.
“මට නින්ද ගියේම නෑ නිබූ…මේ කෝල් එක එනකල්”
සඳනි උගුර යටින් කීවා ය. මගේ ඇස් වලට දැවීමේ සංවේදනයක් දැනිණ. මම ඉක්මන් ඇස් පිය කිහිපයක් ගැසුවෙමි.
“ශාම් අක්කා ඇවිත් ඇති. මං පස්සෙ ඔයාට දිග කෝල් එකක් ගන්නං”
කියා මම ඇගෙන් සමු ගෙන ශාම් දිසානායක සෙව්වෙමි. ඇය අප පාසලේ ම මට වඩා පන්ති දෙකක් ඉහළින් සිටි සොයුරියකි. වෛද්‍ය පීඨයේ දී මට අහිංසක නවක වදයකට හෝ ලක් වන්නට නොදී මා රැක ගත් අක්කා කෙනෙකි. ඇය පසු ගිය කාර්තුවේ දී විකිරණවේදය පිළිබඳ විශේෂඥ පුහුණුව සඳහා පැමිණියා ය.
“නිබ්බුතා. වෙල්කම් ටු ලන්ඩන්”
කියමින් ඕ මා වැළඳ ගත්තා ය. මට සැනසිලි හැඟීමක් දැනිණ. ඇය ඉන්දියානු වෛද්‍යවරියක සමග මහල් නිවාසයක් බෙදා ගනිමින් සිටියා ය. ඒ ලන්ඩන් නුවර ‘බියමවුන්ට් අපාට්මන්ට්’ ලෙස නම් දරන මහල් නිවාස සංකීරණයට අයත් නිවසකි. මා නවාතැන් ගන්නට නියමිත එහි ය. අපි ටැක්සි එකකට මගේ බැගේජ් දෙක දමා ගෙන එහි නැගුණෙමු.
“මෙහෙ ටැක්සි ගමන් එක්ස්පෙන්සිව්. පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නෙ. ඒත් ඔයාගෙ බැගේජසුයි ලෝං ජර්නි එකක ටයර්ඩ් ගතියයි නිසා මං හිතුව ටැක්සියක් හයර් කරන එක වැඩිය හොඳයි කියල”
නන්නාඳුනන මහා නගරයක අභිමානවත් මං සලකුණු පසු කරමින් රිය වේගයෙන් කාර්යබහුල මාර්ගයේ ඇදී යමින් තිබිණි. අපි දෙන්නා ලංකාවේ දේශපාලන ආර්ථික හා සමාජයීය තත්වය ගැන කෙටි පිළිසඳරක යෙදුණෙමු. ඇගේ අවධානය වැඩි පුර යොමු වූයේ සෞඛ්‍ය අංශය කෙරෙහි ය.
‘කිංග්ස් කොලේජ් හොස්පිට්ල්’
වේගවත් රිය ගමනේ දී මම ඒ නාම පුවරුව දුටිමි. මගේ විශේෂඥ පුහුණුව සිදු වෙන්නට නියමිත තැන! ඉරණම ඔබ අද මා ගෙනැවිත් දමා ඇති තැන!!