මම වෙනම මලක් – 22

අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ ගැහැනු සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින්නන් මොන තරම් මානසික සහ කායික පීඩා විඳින්නට සිදු වුවත් හැර නොයන බව විශ්වාස කරන්නට ඔවුන් සතුටු ය. නිමේෂා ජීවත් වූයේ ඒ ෆැන්ටසියේ ය.

ඇගේ දෑසට පෙනුණු කඩවසම් ම තරුණයා දිනා ගන්නට ඇයට උවමනා විය. ඒ දිනවල ඔවුන් සමීප මිතුරන් වූ හන්දා ඇයට වැඩි වෙහෙසකින් තොරව ඔහු දිනා ගත හැකි විය. මිත්‍රත්වය ප්‍රේමයෙන් කෙළවර වූ පසු ඇයට ඔහු වෙනුවෙන් කාලය දෙන්නට සිතුණේ නැත.දැන් ඔහු ඇගේ ය. ඔහුට ඇත්තේ ඇය සමඟ ජීවත් වන්නට ය. ආදරය කරනවාට වඩා කරන්නට අප්‍රමාණ වැඩ ඇතැයි සිතන්නට නිමේෂාට ඕනෑ විය. ඔහු නිකම්ම නිකම් බැංකු කාඩ්පතක් පමණක් වී තිබිණ. ආලයක් සහ තාලයක් නැති ජීවිතයක් පිරිමියෙකු ප්‍රතික්ෂේප කරන දවසක් පැමිණෙන බව නිමේෂා නිකමටවත් සිතා තිබුණේ නැත.

ඒ දවස් පැමිණ තිබේ!

නිමේෂා නිහඬ නොවූවා ය. ප්‍රතික්ෂේප කළේ ඈ ය.නමුත් ඔහු ප්‍රතික්ෂේප කිරීම ඇරඹූ දා සිට ඇය හඬ නඟන්නට පටන් ගත්තා ය. රූපලාවණ්‍ය ක්‍රම සහ ඇඳුම් පැළඳුම් ගැන කියන ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ජනප්‍රියත්වය ද මිතුරන් සමඟ කරන හාස්‍යමය යූ ටියුබ් නාලිකාවේ ජනප්‍රියත්වය ද ඇය විකුම්ව විනාශ කරන්නට යොදා ගන්නට සිතුවා ය.

“ගෑනියෙක්ගෙ කඳුළුවලට කරන්න බැරි දෙයක් නෑ හොඳේ. මං ඔයාව නැත්තටම නැති කරනවා.”

ඇය වහසි බස් දොඩන්නට සිතුවා ය. සෙමින් ගොඩ නැඟෙමින් සිටි විකුම් කළේ හිනැහීම ය.

“ආදරේ කරන කාලෙකට ජීවත් වෙන කාලේ තමන්ගේ පාට්නර් තරම් හොඳ මනුස්සයෙක් නෑ කියලා ඔප්පු කරන්න අපි සෑහෙන්න වද වෙනවා.දාලා ගිය දවසට එක අනිත් පැත්ත. ජීවිතේ ටික කාලයක් හරි බෙදාගත මනුස්සයෙක් ගැන රටට ලෝකෙට ඇහෙන්න කෑගහලා වැරදි කියන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. ඔයාගේ සතුට ඒකනම් කරගෙන යන්න.මම මොකුත්ම කියන්නේ නෑ.”

ඔහු පැවසුවේ උපේක්ෂාසහගත සිතකිනි.සැබෑවටම ඇයට ඕනෑ එකක් කර ගන්නට දෙන්නට තරම් ඔහු සැකසෙමින් සිටියේ ය. මල් පොකුරු පොළොවේ ගැසූ තරුණයා එතැන වූයේ නැත.

“මං කියන්නේ මගේ වේදනාව”

නොසලකා හැරීම් මඟින් ප්‍රේමවන්තයා නොමරා මැරූ බව අමතක කළ යුවතිය වගකට නැතුව පැවසුවා ය.

“ඔව් අපි හැම වේදනාවක්ම හිතේ හිරකරගෙන ඉන්න ඕනි නෑ. ඒත් ඒ හැම දෙයක්ම වත්තවටේ කිය කිය යන්න ඕනෙත් නෑ. විශ්වාසවන්ත යාළුවෙක් නැත්තං දෙන්නෙක් ඉන්නවනේ අපිට.ඒවා එයාලත් එක්ක බෙදා ගත්තාම ඇති. ඒ නැතුව තමන් ආදරය කරපු මනුස්සය ගැන දන්නා අයයි නොදන්නා අයයි ගැන වැරදි කිය කිය යන එක මොන තරම් ජරා වැඩක්ද?”

විකුම් අවසාන වශයෙන් එසේ පැවසුවේ ඔහුගේ නම්බුව රැක ගැනීමට සිතා නොවේ. නිමේෂා සියතින්ම ඇගේ ගෙල සිඳ ගන්නා බව පෙනෙන හන්දා ය. ඇය ගල් ගසන්නේ වීදුරු මාළිගාවක් තුළ හිඳිමිනි. ඇය නොදන්නවාට ඇගේ මාලිගාව කුඩු වී බිම වැටෙමින් තිබේ.

“මේ මිනිහා කොහොමද එහෙම දුක ඉවර කර ගත්තෙ? දුකෙන් පිරිලා මං පස්සෙ වැටෙන මිනිහෙක් මට ඕනෑ වුණේ”

දේවල් බෙදාගන්නට මිතුරියක නොසිටීම හේතුවෙන් ඇය තමන්ටම කියා ගත්තා ය. ජීවිතයේ සන්තෝෂය කෙසේ වුවත් වේදනාව බෙදාගන්නට හොඳ යහළුවෙකු සිටීම අත්‍යවශ්‍ය දෙයක් බව නිමේෂා දනී. නමුත් ඇයට එවැනි කිසිවෙකුත් නැත.

“මගේ හොඳම යාලුවා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්”

නිමේෂා  එසේ කියන්නට  පුරුදු වී සිටියාය.ලෝකයේ ජීවත්වන සන්තෝෂ දායකම ගැහැනිය බවට රඟපාන්නට පුරුදු වී සිටි නිමේෂාට තමන් විඳින සැබෑ හැඟීම් කා සමඟවත් බෙදා ගැනීමට උවමනා වූයේ නැත. දුක කියන්නේ කුමක්දැයි නොහඳුනන ගැහැනියක ලෙස ඇය පෙරදී සමාජ මාධ්‍ය වල හැසිරුණා ය. දුක බෙදාගන්න  කෙනෙකු වූවා නම් එය මෙසේ නරක ලෙස පුපුරා නො යන්නට ද ඉඩ තිබිණි.දුක බෙදාගන්නට එක් හොඳ යහළුවෙකු නොසිටීම හන්දා ඇය ලෝකයටම තමන්ගේ වේදනාව කියා හමාර ය. ඒවා තළු මරන උන් ඕනෑවටත් වඩා බිහි වන්නට ද පටන් ගෙන තිබිණ.

විකුම්ට ජීවිතය අපහසු බව හැඟිණ. එහෙත් ඔහු ජීවිතය අල්ලා ගන්නට සිතුවේ ය.

“විලේ විල් දිය රැළේ රැලි පිට

හිතේ සිතිවිලි පාවෙන්නට හැර 

ඔබේ සුසුමේ මුසුවෙන්නට මට 

ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන

හෙවනක හෙවනැලි ගලපන දවසක”

ඔහුට ඒ ගී පද සිහි ව ඒ. කදුළ මිදුල කෙළවර වළලා දමන දිනක් එන බව ඔහුට විශ්වාස ය. ඒ විශ්වාසය සමඟ “ආදරේ නාමෙන් විනාස වෙන්න එපා” යැයි පැවසූ යුවතිය සිහි වන්නේ ඇයිදැයි විකුම්ට නොවැටහේ. නොවැටහෙනවාමත් නොවේ. ඔහු එය නොදන්නා ගාණට ඉන්නට සතුටු ය.

ඒකපාර්ශවික ආදරයක් වේදනාවක් කිව්වට ඇත්තටම ආදරේ කරනව තරම් වේදනාව අඩුයි කියලත් මට හිතෙනව.”

මේවා සිතෙන්නේ ඇයි කියාවත් නොදැන විකුම් එසේ සිතන්නට වූයේ ය. ඔහු ඒ සිතන්නේ නිල් මානෙලක හැඩ සිහි කරමින් වග ඔහුට විශ්වාස ය.

“බලාපොරොත්තු පුරවගෙන ආදරේ කරනවට වඩා කිසිම බලාපොරොත්තුවක් නැතිව ආදරේ කරන එකත් සහනයක්. අපි එයාට ආදරේ බව දන්නෙවත් නැති කෙනෙක් දිහා බලන් ඉන්න එක ඇත්තටම සහනයක්.”

එය සහනයක් නොවේ. ආදරය ගැන නොදන්නා ආදරය බව නොදන්නා කෙනෙකුට ආදරය කිරීම කිසිම අයුරකින් පහසු නොවේ. නමුත් විකුම් කැමති ඒ හැඟීම සරල බව සිතන්නටය. ප්‍රේමය අහිමි ලෝකයක සිර වී සිටි ඔහු තමන්ට ආදරය කරන්නට මතකදැයි නැවතත් සිතුවේ ය. හරිහැටි ආදරය කරන්නට පුලුවන් වගක් ඔහුටම විශ්වාස නැත.ඒ හන්දා ඉන්නා තැනක්වත් නොදන්නා යුවතියකට අප්‍රකාශිත ප්‍රේමයක් දෙන්නට ඔහු සිතා ගත්තේ ය.

හැම හමුවීමක් ම හිමි වීමක් තිළිණ නොකරන බව ඔහු දැන් අවබෝධ කරගෙන හමාර ය. නමුත් ප්‍රේමය බූවල්ලෙක් මෙන් විනාශකාරී නොවිය යුතු බව දැන් ඔහු සිතයි. සිලිලාරයක් බඳු ගැහැනු ලෝකයේ හිඳින්නට ඉඩ තිබේ. එවැන්නියක ළඟ දිනයක සැනසෙන්නට විකුම්ගේ සිත තුළ ඉසිහින් සිහිනයක් ඉපිදෙම්න් තිබිණ. 

“ලිලී ෂේඩ්ස් එක පැත්තේ යන්න ඕනෑ”

මුණ ගැසෙන මුල්ම මොහොතේ කන රත් කරන බවට රදීෂ් අයියා පිළිණ දී තිබුණ ද විකුම් එසේ සිතුවේ සිනා මුවකිනි.

“මං ඔය පැත්තේ එනවා.”

ඔහු රදීෂ්ට ඇමතුමක් දී එසේ කීවේ ය. නිලුපුලී ඉන්නවාදැයි අහන්නට ඕනෑ වුවත් අසන්නට නොහැකි ය. රදීෂ් අයියා එක කනක් නොව කන් දෙකම රත් කරන්නට ඉඩ තිබේ.

“ළමයින්ට කේක් එකක්වත් අරන් වරෙං බූරුවා. එදා නටපු නාඩගම හන්දා උන් සෑහෙන ෂොක් වෙලා හිටියා.”

රදීෂ් ඥාති සොයුරාට එසේ බැන වැදුණේ අහිතකින් නොවේ. නදීෂ් ලියනාරච්චි වැනි රස්තියාදුකාර මලයෙක් සමඟ සසඳද්දී විකුම් රන් වටිනා කොල්ලෙකි.

කේක් එකක් පවා රැගෙන එන්නැයි කියන රදීෂ් ගැන විකුම්ට ආවේ ආදරයකි. කොහොමටත් ඉදිරි දවස් ලිලී ෂේඩ්ස් වෙතම ඇදෙන දවස් වෙන්නටත් බැරි නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles