‘ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට්’ තුළට පිවිසෙත්දී මගේ හදවතට කුමක් හෝ සිදු වෙනු මට දැනිණ. එය රිදීමක් ද පෑරීමක් ද විඳීමක් ද විඳවීමක් ද කියා වෙන් කොට හැඳිනිය නො හැකි ය. විදුලි සෝපානය අපගේ තාවකාලික නිවස්නය පිහිටන නව වැනි මහලේ නතර වන විටත් ඒ අමුත්ත හදවතෙන් බැහැර වී නො තිබිණ. අවට කිසිදු මිනිස් රුවක් දක්නට නොවූ තරම ය. ඔප දමනා ලද වීදුරුවක් සේ දිස්න දෙන්නා වූ බිම වදිනා මගේ ම පියවරක දීත් මගේ හදවත යළි යළිත් පෙර කී අමුත්තෙන් අලුත් වෙනු මට දැනිණ. නමුත් එය කිසිවෙකුට පැවසිය හැකි දෙයක් නොවේ. වෛද්‍ය විද්‍යාවට හසු කර ගත හැකි රෝගයක් නොවේ.
මට නවාතැන පෙන්වා ශාම් දිසානායක රෝහල වෙත ගියා ය. මට අවශ්‍ය කරන ආහාර පානත් විවේක ගැනීමට අවශ්‍ය නිදහසත් එහි තිබිණ. උණු දිය ස්නානයක් ලැබීමෙන් පසු කෝපි එකක් සාදා ගෙන බී මම මගේ අවශ්‍ය ලියකියවිලි ගැන විමසිලිමත් වීමි. මගේ විශේෂඥ පුහුණුවේ ආරම්භය සිදු වීමට නියමිත වූයේ ඉන් දෙදිනකට පස්සේ ය. විවේක ගැනීමට අවශ්‍ය තරම් කාලය තිබිණ. වෙහෙසකර බවක් ගතෙහි ද විය. නමුත් හදවත ඇතුළේ මා නොදැන උන් විමසිලිමත් බවක් නොතේරෙන කැළඹුමක් ඇති කොට තිබිණ. කෝපි එක බීමෙන් පසු ඇඳට වැටුණාට නිදි මතක් ඉක්මනින් පැමිණියේ නැත. එ් ශීතල, ඝර්ම කලාපීය රටක ගැහැනියකට නුහුරු එකක් බව දැන සිටිය ද එතරම් ම කටුක ශීතලක් මම බලාපොරොත්තු නොවුණෙමි. නමුත් ඊට මම රිසි වීමි. උණුහුම් කබා කිහිපයකින් ගත වසා ගෙන සයනයෙහි ගුලි වූවා ට හීටර ක්‍රියාත්මක කිරීමට මම පැකිළුණෙමි. කාත් කවුරුත් නැති ශීත රටක සීතලෙන් මිය යාමේ උමතුවකින් මා පෙළුණාවත් ද?
යළි මා අවදි වන විට හෝරා කිහිපයක් ගත වී තිබිණ. ශීතල අඩු වී තිබුණාද නැත්නම් ඒ ශීතල මගේ ඇඟට උරා ගෙන තිබුණාද කියන්නට මම නො දනිමි. සැන්ඩ්විච් හා පළතුරු ටිකකින් කුස සනහා ගත් මම අපේ නවාතැනෙන් පිටතට ආවෙමි. ගල් ගැසී ඇති අතැඟිලි ශීත කබා සාක්කු වල ඔබා ගෙන නාඳුනන නිවාස සංකීර්ණයේ නව වැනි මහලේ ඒ මේ අත ඇවිද යන්නට පටන් ගතිමි. හැම දොරක් වැසී තිබුණේ ය. අපාට්මන්ට් එකට පැමිණෙත්දී දුටුවාට වඩා වැඩි පිරිසක් මා ඉදිරියට ඇවිද එනුත් මා පසු කොට ඇවිද යනුත් දැක ගත හැකි විය. නමුත් ඒ කිසිවෙකුට මා කවුරුත් ම නොවී ය. ලංකාව වන් රටක නම් විදේශීය පෙනුමක් ඇති තැනැත්තෙකු නොව ඇහැට හුරු නැති ආගන්තුක රුවක් ඇති මිනිසෙකු වුව විපරම් කොට බලන්නට ප්‍රමාණවත් වන හේතුවකි. නමුත් ඔවුන්ට මා බලන්නට තරම් කෙනෙකු නොවී ය. එය එක අතකට හිතට පහසුවක් දැනවී ය. හත් පෙති මල සුරංගනා කතාවේ පාන් වළළු ගැන සිහියක් නැතිව මග තොට විපරම් කරමින් ඇවිද යන ගෑනු ළමයා සේ මග තොට විසිතුරු නරඹමින් මම ඔහේ ඇවිද යන්නට වීමි.
අපේ නවාතැන අයත් නව වැනි මහලේ ඇවිදීමෙන් පසු විදුලි සෝපානයෙහි නැගී හිතට නැගෙන අංක සනිටුහන් කරමින් ඒ ඒ මහල් වල නැවතී ඇවිදීම මට සතුටක් ගෙනාවේ ය. සාමාන්‍යයෙන් මා තුළට ම හැරී මගේ හිතත් එක්ක ම හැකි හැම විට තනි වන්නට රිසි වූ කෙනෙකු වී ද ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට් එක ඇවිදින ලෙස මට බල කොට සිටියා වූ හේතුවක් විය.
එක්තරා මහලක දී මගේ ඇස් එක අපූරු තැනක නතර විය. ඒ ඈතට පෙනුණ කහ පාට මල් බඳුනකි. කහ පාටින් මල් පිපුණ එකී බඳුන තිබුණේ නිවාසයක ජනේල කණ්ඩියක් මත ය. කොරිඩෝවෙහි නතර වී මම එදෙස වඩාත් හොඳින් බලන්නට වීමි. ඒ කී වෙනි මහලට අයත් ජනේලයක් දැයි එතැන සිට බලා නිශ්චය කර ගත නො හැකි වූ අතර, එසේ පෙනුණේ කිසිදු මහලක මුහුණතට අයත් ජනේලයක් ද නොවිණ. ඒ කහ පාට මල තාරකා මල් සේ සිතන්නට තරම් උගත් විශේෂඥ වෛද්‍යවරියක් වීමට සූදානම් වන නිබ්බුතා ගෝතමී ට තිබූ උන්මාදය කුමක්ද කියා මා දන්නේ නැත.
එතැන කොරිඩෝරය අසල තවත් බෝ වෙලා ගෙවා දැමීමෙන් අනතුරුව මම නව වෙනි මහලේ අපේ නිවාසයට පැමිණියෙමි. ඒ වන විට ශාම් අක්කා සේ ම අපේ අනිත් හවුල් කාර ඉන්දියානු වෛද්‍යවරිය දර්ශනා ද පැමිණ සිටියහ. ශාම් අක්කා මුලින් ම මට දර්ශනා ව හඳුන්වා දීමෙන් අනතුරුව සිංහලයෙන් බණින්නට පටන් ගත්තා ය.
“පිස්සෙක් වගේ ඇවිදින්න යනවද ආපු ගමං. ෆෝන් එක අරං ගිහිනුත් නෑ. මං හොඳටම බය වුණා”
“මං නැති වෙයි කියලද…”
මම බොරුවට සිනහ වීමි. ඇය මට රැව්වා ය. අපේ වෘත්තීය තත්වය ඒ වෙලාවේ අප දෙදෙනාට ම අමතක ව තිබිණ. මගේ පාසලේ සොයුරියක ලෙසත්, වෛද්‍ය පීඨයේදී ඉතා සුළුවෙන් කෙරුණ නවක වදයේදී පවා මා රැක ගත් අක්කෙකු ලෙසත් ඇය මා ගැන කරදර වීම මට අරුමයක් නොවේ. ඇතැම් විට ඇය එකල එසේ මා ගැන සැලකිලිමත් වන්නට ඇත්තේ මගෙන් විද්‍යමාන වූ දිළිඳු පෙනුම නිසා ම වන්නටත් ඇත.
“දැං මං ලොකුයි. ඉස්සර වගේ අහිංසකත් නෑ”
මගේ ඇස් වල දඟකාර බැල්මක් සනිටුහන් වන්නට ඇත.
“ඒත් උඹ තාම ඉස්සර හිටිය පොඩි එකීමයි හිතෙන්. තාමත් තනිකම හිතේ තනියට ළඟින් තියන් ඉන්න…මට කේන්තිත් ඒකමයි. ගිය එකෙක්ට යන්න ඇරල ඉන්න එකෙක් එක්ක ජීවිතේ ඉස්සරහට යනව මිසක්…”
“බණින්නෙපා ඉතිං”
“බණින්න හිතෙන්නෑ මූණ දැක්කහම”
“තාරකා මල් මෙහෙත් හැදෙනවද…”
“මොකක්…”
මා ඇසූයේ කතා කරමින් සිටි මාතෘකාවට කොහෙත් ම අදාල නොවන ප්‍රශ්නයක් බව දැනුණේ ශාම් අක්කා ගේ ඇස් කුඩා වූ හැටියෙනි. සිදු වූ වරද වහා මට සිහි විය. නමුත් එය නිවැරදි කිරීමකින් තොර ව සාමාන්‍ය එකක් ලෙස පැවතෙන්නට හැරිය යුතු ලෙසක් මට දැනිණ.
“මං ඇවිදිනකොට දැක්කා එක වින්ඩෝ එකක් ළඟ කහ පාට මල් පිපිච්ච පොට් එකක්. හරියට ලංකාවෙ තියෙන තාරකා මල් වගේ”
“ආ…”
ඉතා ම කුඩා දැරියක ගේ බරපතල ප්‍රශ්නයක් අතිශය සුළුවෙන් භාර ගත් මවක සේ ශාම් අක්කා මගේ පැනය හෑල්ලුවට ලක් කළා ය. එක අතකට මට එය සහනයක් විය.
“මතක නැද්ද ඒ ලෙවල් බොට්නි වලට ඉගෙන ගත්තා ශාක විවිධත්වය ගැන…ඒක දේශික ශාක තියෙන්නෙ හරි අඩුවෙන්. අනිත් කොයිවත් හුඟක් රටවල පැතිරිල තියෙනව. සමහර විට ඔය කියන එක ලංකාවෙ තියන එක වෙන්නත් පුළුවන් ඒ වගේ වෙන එකක් වෙන්නත් පුළුවන්”
“හ්ම්”
තාරකා මල් ගැන කතාව ඒ විදිහට නිමා වූයේ ය. ඒ හා බැඳුණු අතීත කතාව කියන්නට ගියෝතින් මා නොස්ටැල්ජියානු උන්මන්තකාවක සේ ඇය සිතන්නට බැරි නැත. කොහොමත් මා හදවත විවර කරන්නට තරම් සමීප වන්නේ ඉතා කලාතුරකින් කෙනෙකුට පමණකි. සඳනි හැරෙන්නට පහසුවෙන් එය මට කළ හැකි වෙන කෙනෙකු ගැන සිතිය නො හැකි ය. ශාම් අක්කා කෙතරම් මට ආදරේ වී ද මේ වගේ කාරණාවක දී මගේ හැසිරීම ඇය වුව අනුමත නොකරන බව මම දනිමි. එක් පිරිමියෙකු පතා සිටීමේ හේතුවක් ගැහැනියකට වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් නොපවතින බව ඇය තරයේ කියා සිටිනු ඇත. ආත්මය හා බැඳුණු ව්‍යාධීන් ගැන වෛද්‍ය විද්‍යාවේ තබා මනෝ විද්‍යාවේදී ද විග්‍රහ කිරීමක් සිදු නොවේ.
පුහුණු කටයුතු ඇරඹීමෙන් පසු මා අවිවේකී වූයේ ඉබේම ය. එක්තරා ආකාරයකට එය වූ කලී දැහැනකට සම වැදුණා බඳු වූ ව්‍යායාමයකි. දරුවන් සම්බන්ධ කාරණා වලදී වඩාත් සංවේදී විය යුතු ය. ළමා රෝග සම්බන්ධයෙන් කියා එහි වෙනසක් සිදු නොවේ. නමුත් නිරන්තර මගේ මනසේ ජනේල කණ්ඩිය මත තිබූ තාරකා මල් වැනි ව දුරට පෙනුණ මල් බඳුන හොල්මන් කළේ ය. විවේකය ලද දිනෙක ඇවිදින්නට යන මුවාවෙන් මා යළිත් නිවාස සංකීර්ණය තුළ ඇවිද ගියේ ඒ මල් බඳුනට සමීප වීමේ අරමුණෙනි. ඒ තාරකා මල් ද නැත්නම් ඒ වාගේ වෙනත් විශේෂයක් ද කියා නිශ්චිත වශයෙන් දැන ගන්නට මට ඕනා විය. කහ පාට මල් බඳුන සහිත ජනේලය ගැන විපරමින් විදුලි සෝපානය භාවිතා කරමින් ගොස් අවසන මට ඒ මහලෙහි නතර විය හැකි විය. නමුත් එද මල් වල සමීප දසුනක් ලද හැකි වූවා නොවේ.
“අර කහ පාට මල් බඳුන තියන ජනේලය අයිති ගේ ගැන මට හෝඩුවාවක් දැනගන්න පුළුවන් වෙයිද..”
යනුවෙන් මම ආරක්ෂක නිලධාරියෙකු විමසීමි. මදෙස විපරම් බැල්මක් හෙළුවා වී ද ඔහු ඒ නිවසට ළඟා විය හැකි මඟ ගැන ඉඟියක් දුන්නේ නැත. එය සිය රාජකාරියට අදාල කටයුත්තක් නොවන බවත් මට උදව් කළ නො හැකි වීම පිළිබඳව කණගාටු වන බවත් හෙතෙම ආචාරශීලී ලෙස දැනුම් දුන්නේ ය. හිස නවා ඔහු ට ආචාර කරමින් මම එතැනින් නික්ම ගියෙමි. එතැනට ළඟා වී මිස මගේ උත්සාහය අත් නො හරින බවට දැඩි ආත්ම ශක්තියක් මා තුළ ඇති ව තිබෙන්නට හේතුවක් මා දැන සිටියේ ද නැත.
අවසන මම එහි ළඟා විය හැකි උපරිමයට ළඟා වීමි. නමුත් මල් බඳුන සහිත ජනේලය වූයේ එම නිවසෙහි පැති දර්ශනය දැකිය හැකි කෝණයක ය. ඒ කෝණයට කිසි සේත් නිවසේ ඉදිරි පස දැකිය නො හැකි ය. ඉදිරිපසින් නිවස වෙත සමීප වූවාට කිසි සේත් මල් බඳුන සහිත ජනේලය නොපෙනේ. එනම් එක වර එම නිවසේ එකී පාර්ශව ද්විත්වය ම දැකිය නොහැකි ය.
විවේකය ලැබෙනා වෙලා වලට එතැනට සමීප වී ඒ ජනේලය විවර විය හැකි මොහොතක් ගැන තේරුම් ගත නො හැකි බලාපොරොත්තුවක් දරා ගෙන බලා ඉන්නට මම පුරුදු වීමි. එහෙම ඉන්නා විට මට ලෝචන සිහි වෙන එක වැළකිය නො හැකි ය. ඔහු මා දා ගියේ ඇයි කියා දැන් මා සිතන්නේ නැත. නමුත් මේ මොහොත වන විට ලෝචන මදුරාපුර කොහේ කොතැනක සිටිනු ඇත්ද? කවුරුන් අසල කාගේ වී සිටිනු ඇත්ද? එසේ සිතත්දී සිහින් රිදුමක් පපුවේ පැතිරී යයි.
මේ කහ පාට මල් බඳුනට තාරකා මල් කියා නම දෙන්නට මම කැමැත්තෙමි. එය තාරකා මල් වුණත් නොවුණත් එය එසේයි සිතීම හදවතට පහසුවකි. එතකොට මට ලෝචන වැඩි වැඩියෙන් සිහි වේ. වැඩි වැඩියෙන් හිත රිදේ. අතීත කාමය නමැති අගාධයෙහි ගිලෙමින් ගොඩ එමින් අසීරුවෙන් හුස්ම අල්ලා ගෙන හිඳීමෙහි ද යම් රසයක් වන්නේ ය.
“රස්තියාදු කාරයෙක් වගේ අපාට්මන්ට් එකේ තැන් තැන් වල රස්තියාදු ගහන්නෙපා. බෝක්කු උඩ කල් මරන ගමේ කොල්ලෙක් වගේ අපාට්මන්ට් එකේ වැරැන්ඩා වල ඉඳන් කල්පනා කර කර ඉන්න එපා. මෙහෙට ආවෙ ස්පෙශලිස්ට් ට්‍රේනින් එකට මිසක් මනෝ පාර ගහං ඉන්න නෙවේනෙ”
මා නොසිතුවාට ශාම් අක්කා මා ගැන අවධානයෙන් හිඳ තිබිණ.
“මං හිතුව ෆැකල්ටි අවුට් වෙනකොට වෙන කාව හරි සෙට් කරං ඉඳී කියල. අපි ෆැකල්ටි ඉන්න දවස් වල දැක්කනෙ. කෙල්ලො ඒක ඇතුළෙම වුණත් කොල්ලො දෙතුන් දෙනා මාරු කරපු හැටි. ඔයා තාමත් ඉංජිනේරු කොල්ලව හිතේ තියං ඉන්නව වගෙයි නිබ්බුතා”
“හිතේ තියං හිටිය කියල මොනා කරන්නද…”
මා අඩ සිනහවකින් කීවේ දුර්වල ලෙස ය. නමුත් මගේ ඇස් වල දීප්තියක් වන හැටි මට දැනිණ.
කහ පාට මල් පිපෙන මල් ගස තාරකා මල් වූව ද ඊට සමාන වෙන මලක් වූව ද එහි හිමිකරු දැක ගන්නා ආශාව දිගින් දිගට ම මගේ සිත්හි ලියලන්නට විය. නමුත් මා කල් මැරූ කිසිදු අවස්ථාවක ඒ ජනේලය විවර වී මට කිසිදු රුවක් දැකිය හැකි වූයේ නැත. විශේෂඥ පුහුණුවේ කාර්ය බහුලත්වයන් අතරේ මගේ උමතුව ද දිනෙන් දින වර්ධනය වන්නට විය. උමතු මිනිසෙකුට වන, එසේ නොවන තැනැත්තෙකුට නැති එක ම දෙය අභිමානයයි. ලෝකයට බිය අභිමානයක් ඇති මිනිසුන් ය. අනෙකා කුමක් සිතාවිද කියා වද වන්නේ අභිමානයක් ඇති මිනිසුන් ය. උමතු වූවෙකුට තමන් රිසි ඕනෑ ම දෙයක් ඕනෑ ම කැනකදී කිසිවෙකු ගැන බිය සැකෙන් තොර ව කළ හැකි වන්නේ ය. එක්තරා තැනකදී මම අන්න ඒ සීමාව අතික්‍රමණය කරමින් සිටියෙමි. තාරකා මල් බඳුන සහිත ජනේලය අයිති නිවස ඉදිරි පසට ගොස් මා එහි දොර සීනුව හැඬවූයේ මඳ උමතු බවකින් කියා දැන් මම පිළිගමි. ඕනෑ ම දෙයක් වුණාවේ යන අභීත කම ඒ වෙලාවේ මා තුළ විය. පිස්සෙකු ගේ ලොකුම අවිය වන ලැජ්ජා නැතිකම ඒ වෙලාවේ ලොකුවට ම මා තුළ විය. මල් බඳුනේ අයිතිකාරයා කවුද කියා දැන ගැනීමේ උවමනාව ඉතා දැඩි ලෙස මා තුළ ඔඩු දුවා තිබිණ. හිතිවිලි වෙනස් කර නොගෙන මම දොර ඉදිරියේ ඍජුව සිට ගෙන සිටියෙමි. කවුරුන් දොර හැරියද ඒ මල් බඳුන මට එක මොහොතකට සමීපව දැකිය නොහැකිදැයි ඉල්ලීමක් කිරීමේ ශක්තිය වර්ධනය කර ගන්නට මම යත්න දැරීමි. ඒ ශීතලේ පවා මට දාහය දැනුණේ ය.
එක වරක් සීනුව හැඬවූවා කියා දොර විවර නොවුණෙන් මම කිහිප වරක් එක දිගට සීනුව හඬවන්නට පටන් ගතිමි. මගේ සිරුර වෙව්ලමින් පවත්නා බවක් ද දැනෙන්නට වූයේ ය. දෙතොල් කට කට ගා ගැහිණ. නමුත් මම අඩියක් පසු පසට නො ගතිමි. දොර හැරුණොත් මිස ආපසු නොයන්නෙමියි මා තරයේ සිතා ඉන්නට ඇත.
අවසන අගුල විවර වන බවට හඬක් නැගිණ. මම නො ඉවසිලිමත් ව දොරට අත තැබුවෙමි. යන්තම් විවර වූ දොරතරින් මා දුටුවේ කෘෂ වී ගිය සිරුරක් ද ගිලී ගිය දෑසක් ද හිමි මිනිසෙකි. ගැඹුරු ළිං පත්ලක වන දිය පොදක් වන් බලාපොරොත්තුවක් ඒ ඇස් වල ගැඹුරේ දිස්න දුන්නේ ය. නාඳුනන ඒ දුෂ්කර ක්‍රියා කළ සිදුහත් බෝසතානන් ගේ වන් සිරුරට පිටුපසින් මම හුරු පුරුදු යමක් දුටිමි. ඒ කෘෂ වූ කය ඇතුළේ ජීවත් වන මිනිසා විශ්මිත ව මදෙස බලා සිටියේ ය. ඒ බැල්ම තුළ තත්පර කීයෙන් පංගුවකට පස්සේ ද මන්දා මම ඔහු හැඳින්නෙමි.
ලෝචන මදුරාපුර!