කල්ප බණ්ඩාරතිලක ගේ ඇස් උදයෙන් ම විවර විය. ඒ සන්තුෂී සිරිවර්ධන ගේ රිය පණ ගැන්වෙන හඬට ය. ඔහු යහනේ සිට ම තිර රෙද්ද මෑත් කොට බැලුවේ ය. සුදු පැහැති ඇක්වා රිය පිවිසුම් දොරටුවෙන් පිටතට යමින් තිබිණ. රෝලර් ගේට්ටුව හෙමි හෙමිහිට පහළට රූටා ආවේ ය. කල්ප ගෙන් සුසුමක් ගිළිහී ගියේ ය. සන්තුෂී ට රියදුරු බලපත්‍රයක් ගන්නට බල කොට මෝටර් රථයක් ගෙන දුන්නේ අපරාදේ ය යන ඊර්ෂ්‍යාකාර හැඟීම මුල් ම වතාවට ඔහු යට කොට ගත්තේ ය.
සන්තුෂී කියන්නේ පාසල් ගමන නිමා වූ ගමන්, උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන්නටත් පෙර ඔහු හා විත් ඔහු ගේ දිවියත්, යහනත් සැරසීම වෙනුවෙන් පේ වූ ගැහැනියකි. යුග දිවිය වෙනුවෙන් තමන් අමතක කළ ගැහැනියකි. දරුවන් වෙනුවෙන් ජීවිතය ම වුව පරිත්‍යාග කරනා සූදානමක උන් ගැහැනියකි. ඒ කාලේ, දරුවන් කුඩා කාලේ ඔවුන් ව පාසල් ගෙන යා යුතු වූයේ කල්ප විසිනි. දවල්ට ඔවුන් ගෙන ඒම ද ඔහු ට පැවරී තිබිණි. නමුත් කල්ප ටියුශන් ක්ෂේත්රයේ කාර්ය බහුලත්වයට පත් වෙමින් ද දරු දෙදෙනා පන්තියෙන් පන්තිය ඉහළ යමින් ද සිටියදී මේ විදිහට ඔවුන් වෙනුවෙන් මගට වැය වන කාලය අපරාධයක් සේ ඔහු ට දැනෙන්නට ගත්තේ ය.
“ඔයා ඩ්‍රයිවින් ලයිසන්ස් ගන්න. එතකොට ළමයි ගේන ගෙනියන වැඩේ ඔයාට කරන්න පුළුවන්. අනික ළමයි ටියුශන් ඉවර වෙන වෙලාවල් වලට අරං එන්න කියල මට කෝල් කරන්න එපා. මොකද මාත් වැඩ වල ඉන්නෙ”
එදා කල්ප සිතුවේ ඔහු ගේ පහසුව ගැන පමණ ය. සන්තුෂී ළමයින් ගේ වැඩ ටික ඔහු ට කරදරයක් නොකර කර ගැනීම ගැන විතර ය.
“අනේ මට ඩ්‍රයිව් කරන්න බයයි කල්ප”
සන්තුෂී ඇගේ අවංක අහිංසක හැඟීම ඔහු ඉදිරියේ නිරාවරණය කළේ කල්ප ගෙන් සඟවන්නට යමක් ඇය වෙත නොවූ නිසා ය. ඔහු ඒ වෙලාවේ හැකි උපරිමයෙන් ඇගේ හිත හැදුවේ රිය පැදවීම යනු පුහුණුව ලැබීමෙන් පසු බරපතල කාරියක් නොවන බව ඒත්තු ගන්වමිනි.
“ඔටෝ වාහනයක් ගත්තහම ලේසියි. මැනුවල් වගේ කම්ප්ලිකේටඩ් නෑ. ඔය ඕන තරං ගෑනු දැං ඩ්‍රයිව් කරන්නෙ. බලන්නකො ඉස්කෝලෙ ළඟ. අම්මලමනෙ ඇවිත් ඉන්නෙ වාහන වලින්”
එදා එසේ බල කොට රිය පැදවීම කෙරේ ඇය ව යොමු නො කොට සිටියා නම් හොඳ යයි මේ මොහොතේ කල්ප ට සිතෙන්නේ ඇය සෑම අතින් ම නිදහස් කිරිල්ලියක සේ හැසිරෙන නිසා ය. තටු වල හයිය ගැන බෝ කලක් යන තුරු ඇය ට විශ්වාසයක් වූයේ නැත. දැන් ඈ පියාසරන්නේ කිසි සේත් ඔහු ට තටු කපා දැමිය හැකි අහසක නොවේ යි භයංකර සිතිවිල්ලක් කල්ප ගේ සිත වෙලා ගති.
ඔහු යහනෙන් බැස කාමරයෙන් පිටතට ආවේ ය. පෙර දා රාත්‍රියේ සන්තුෂී නිදන කාමරයෙහි නිදන්නට යාමට ඔහු ට ඕනෑ විය. ඒ මුලින් ඔවුන් දෙදෙනා ගේ ම කාමරය ය. නමුත් ක්‍රමයෙන් ගෙදර පැමිණෙන වෙලාව මධ්‍යම රාත්‍රිය පසු වෙත්දී හා ගෙදර නොපැමිණෙන රැයවල් ගණන වැඩි වෙත්දී වෙන කාමරයක් තෝරා ගන්නට සිතුවේ කල්ප ම ය. ඒ මුල් ම දවසේ සන්තුෂී ඇස් වල කඳුළු පුරවා ගත් සැටි ඔහු ට තවමත් සිහි කර ගත හැක.
“මං රෑ වෙලා ඇවිත් කාමරේ ලයිට් දැම්මහම ඔයාගෙ නින්ද කැඩෙනව. ඒක නිසා රෑ වෙලා එන දාට මං ඒ කාමරේ නිදියන්නං”
ඇගේ හිත සනසමින් එදා එසේ කීවාට ඔහු ඉන්පසු වැඩිපුර ඇසුරු කළේ එකී තනි කාමරය ය. ඔවුන් ගේ යුගල යහනට ගියේ ඉඳ හිට ය. මේ බිඳී යාම ගැන මහත් වේදනාවක් සන්තුෂී තනි සිතකින් උහුලා ගත්තා ය. බොහෝ රාත්‍රීන් කඳුළින් දිය කොට හැරියා ය. ටිකක් කල් ගත වූවා වුණත් ඒ කාලය තුළ ඇය ස්ථිර වශයෙන් ඒ තනි ජීවිතයට හිත හදා ගෙන සිටියා ය. ඉන්පසු ඉඳහිට ඔහු කාමරයට ගිය දා ක වුණත් පුරුදු නම්‍යශීලීත්වයෙන් ඔහු පිළි ගන්නා හැකියාවක් ඇය ට වූයේ නැත.
පෙර දා රාත්‍රියේ සන්තුෂී ගේ හිත යළිත් ඔහු ට අවශ්‍ය ලෙස නම්මා ගනු වස් ඒ කාමරයට යන්නට කල්ප උත්සාහ කළේ ය. ඔහු දොර අසලට යන විටත් සන්තුෂී කාමරයේ දොර වසා තිබිණි. ඇඟිලි තුඩින් හෙමිහිට දොරට ගසමින් කල්ප ‘සන්තු’ කියා කතා කළේ ය. නමුත් කාමරය ඇතුළෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. කල්ප ට සිය තනි කාමරයට නැවත ද යන්නට සිදු විය. ඒ වෙලාවේ සන්තුෂී සිටියේ නින්දක නොවේ. නමුත් කල්ප ට සිය නිදන කාමරයේ දොර විවර කරන්නට හිතක් නූපදින තරමට ඇය ඔහු කෙරේ කලකිරී සිටියා ය.
සන්තුෂී ගේ ගමන මෙතෙකින් නතර කරනා හැටියක් ගැන හිතන්නට කල්ප ට ඕන විය. නමුත් ඔහු ගේ සිතිවිලි මුළුමනින් පැටලී ගොස් තිබිණ.
එදාත් සිය රූපලාවන්‍යාගාරය ඉදිරියේ නාඳුනන්නා ගේ මෝටර් රථය නැවතී තිබෙනු දැක කලබල වූ සන්තුෂී පොලීසියට මේ තැනැත්තා ගැන පැමිණිලි කිරීමට සූදානම් වූවා ය.
“අපි පොඩ්ඩක් පහළට ගිහිං බලමුද මිස්..”
යනුවෙන් ඒ දැඩි තීරණය ක්ෂණික ව ගන්නා එක නවතා ලූයේ අංජලී ය. ඒ අනුව අංජලී හා ලයංගී සමගින් සන්තුෂී යළි පහළට බැස්සාහ.
“අපි මේ එයාව බලන්නයි ආවෙ කියල දැනෙන්නැති වෙන්න ඉන්න ඕන”
ඒ යෝජනාව ලයංගී ගෙනි. එසේ කිරීම හොඳ බව ක්ෂණික ව සන්තුෂී ද තීරණය කළා ය.
“අපි එහා පැත්තෙ පේස්ට්‍රි ශොප් එකට ගිහින් කන්න මොනා හරි අරංම එමු එහෙනං”
තරුණියන් ව දුටු ඔහු ඔවුන් දෙස හොඳින් බැලූ බවක් පෙනිණ. නමුත් ඒ මුහුණේ වූ හැඟීම් කිසිවක් කියවා ගත හැකි වූයේ නැත. අඩු තරමින් පෙර දිනයේත් කතා බහක් ඇති වූවා කියා හෝ ඔහු සන්තුෂී ව හුරු පුරුදු බවක් හැඟවූයේ නැත. තරුණියන් තිදෙනා ගේ ම ඇස් ඔහු වෙත යොමු වී ඇති බව දැනෙත්දී ඔහු හෙමිහිට ඉවත බැලුවේ ය.
“අපි පොලීසියට කම්ප්ලේන් කරන්න ඉක්මන් නොවී ඉමු මිස්”
පාර පනින ගමන් අංජලී සන්තුෂී ගේ අතක් අල්ලා ගනිමින් කීවා ය. ලයංගි අතින් කට වසා ගෙන සිනහ වූවා ය.
“මං කියන්නෙ…එයා එහෙම ඔත්තුකාරයෙක් අපරාදකාරයෙක් වගේ පේන්නෑ මටනං…ඇස් වල තිබුණෙ මොකක් හරි අසරණකමක් එක්ක අහිංසක කමක්…”
එවර ලයංගි ගේ සිනහව වක්කඩ කැඩුවා සේ ඉහිරිණි. සන්තුෂී ද දෙතොල් තද කර ගෙන සිනහවකට ඉඩ නොදී සිටියා ය.
“හත්තික්කේ…මේකා ඒ කොල්ලගෙ ඇස් දෙක කියෝල තියෙන තරං මිස්…මේ තත්පර තුන හතරට”
“අනේ ද කියන්නෙ”
“අනේ මං ඇස් කියවන්න ගියේ නෑ. මට පෙනුණ දේයි කිව්වෙ”
අංජලී මඳක් නෝක්කාඩු වූවා ය. ඇගේ කම්මුල් වලට ලේ පුරා ලා රත් පැහැයකට හැරෙන්නට ගත වූයේ සුළු වෙලාවකි. ගෑනු හිතක් පිරිමියෙකු ගැන තීන්දු තීරණ ගන්නට ඉක්මන් වන බව සන්තුෂී ඉතා හොඳින් දනී. අංජලී තුළින් ඇය ට ඇගේ ම යෞවනය නැවත උපදවා ගත හැක. කල්ප ගැන ඈ තුළ වූ අදහස ද ඔය වාගේ ම ය. ඒ හින්දා ම දැන් නම් ඇය පිරිමින් විෂයේ ඉක්මන් චරිත සහතික දීමකට පෙළඹෙන්නේ නැත.
“අපි කිසි කෙනෙක් ගැන එහෙම ඉක්මන් නිගමන වලට එන්න හොඳ නෑ අංජලී”
පේස්ට්‍රි ශොප් එකට ගොඩ වෙන ගමන් සන්තුෂී නිවුණු මෙහෙණක ගේ ස්වරයකින් මිමිණුවා ය.
“විශේෂයෙන් ම ගෑනු විදිහට පිරිමි ගැන…”
බේකරි නිෂ්පාදන කිහිපයක් ඇනවුම් කරනාතර වාරයේ ඔවුන් අතර නිහඬ බවක් ඇති විය. යළි ඒ මාතෘකාව මතු වූයේ පේස්ට්‍රි ශොප් එකේ පිය ගැට කිහිපය බසිත්දී ය.
“මට හිතෙන දෙයක් තියෙනව”
අංජලී මඳ සිනා වතකින් සන්තුෂී දෙස බලා කීවා ය. සන්තුෂී වෙත වූයේ ඇය ට හිතෙනා ඕනෑ ම දෙයක් දෙගිඩියාවකින් තොර ව ප්‍රකාශ කිරීමේ නිදහස තිබේ ය වැනි බැල්මකි.
“මිස් පිරිමිංව එච්චර විශ්වාස කරන්නෑ”
එවර සන්තුෂී දෙතොල් තද කර ගෙන මඳහසක් පානා ගමන් ඍජු බැල්මකින් සිය සහායිකාවන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය. පාර පනින්නට පෙර ඇය ඔවුන් දෙදෙනා ගේ ම අත් දෙකෙන් අල්ලා ගත්තා ය. ඒ වෙලාවේ ඇය දෙස බලා සිටි තුන් වන පාර්ශව කරුවෙකුට දැනිය හැකි හැඟීම වනුයේ, ඇය ඒ මොහොත ඉතා ප්‍රීතියෙන් ගත කරනා පාසල් දැරියක බවයි.
“අංජලී කියපු දේ ටිකක් හරි. ලයංගිට කියන්න පුළුවන්ද ඒක හරියටම…”
කෙල්ලන් දෙදෙනා ම එක වර සිනහ වූහ. ඒ ඔවුන් දෙදෙනාට සන්තුෂී අදහස් කරන දේ ගැන ඉඟියක් හෝ සැපයිය නො හැකි වනු ඇති බවට හැඟීමකිනි. නමුත් රූපලාවන්‍යාගාරය ඉදිරියේ දී සතුටු පෙති ගිල දැමූ අවුරුදු පහලොවේ පොඩි කෙල්ලන් දෙදෙනෙකු සේ ඔවුන් දෙදෙනා නළියන්නට ගත්තේ නාඳුනන කාර්කරු ගේ ඇස් මානයට ප්‍රවිෂ්ට වී සිටි නිසා ය. දඩබ්බර හෝ මුරණ්ඩු පිරිමි ඇස් ඉදිරියේ අහිංසක වෙන්නට ගෑනු ළමයින් වඩා රිසි වී ද ඔවුන් කැමති අහිංසක හෝ ශෝකී පෙනුමක් ඇති පිරිමි ඇස් ඉදිරියේ දඟකාර වන්නට ය. කිකිණි සිනහ නගමින් ද නලියමින් ද ඔහු දෙස හොරෙන් බලමින් ද යන යෞවනියන් දෙදෙනා අතරේ, සිංහ ධේනුවක සේ හිස කෙලින් තබා ගෙන ද ඍජු බැල්ම ඇතිව ද මනා පෞරුෂයකින් යුතු අහංකාර බැල්මකින් ඇවිද ගොස් පිය ගැට පෙළ වෙත සමීප වන සන්තුෂී ව ඔහු වඩා හොඳින් දුටුවේ මේ වෙලාවේ ය. ඊයේ ඔහු සිටියේ මඳ බමන මතකින් බව අංජන නීලවතුර ට මතක ය.
“මිස්ම කියන්නකො ඉතිං…අපිට හිතාගන්න බෑ හරිම එක මොකද්ද කියල. මං කිව්වෙ මිස් පිරිමිංව එච්චර විශ්වාස කරන්නෑ කියලනෙ…”
අංජලී නැවත ද මුල් කතාව සිහිපත් කළේ ඔවුන් පියගැට පෙළ නැගෙත්දී ය.
“මං පිරිමින්ව කොහොමවත් විශ්වාස කරන්නෑ. ඒකයි හරි ම විදිහ”
ක්ෂණික නිශ්ශබ්දතාවයක් ඔවුන් අතරේ ඇති විය. ඇය කී කතාවේ ඒ තරම් බය බිරාන්ත වන්නට හේතුවක් ඇත්දැයි සිතුණ සිතිවිල්ල ද සන්තුෂී ගේ මුහුණට මඳහසක් ගෙනාවේ ය. මේ ගෑනු ළමයින් ඉතාමත් නිවැරදි හෝ ඊට ආසන්න තත්වයකින් ජීවිතය දෙස බලන්නට ගන්නේ තවත් වසර කිහිපයක් මේ යෞවනෝදයෙහි මත් බව තුළ කිමිද සිටීමෙන් පසුව බව සන්තුෂී අත්දැකීමෙන් පසක් කොට ගෙන තිබේ.
“අපේ සීසීටීවී කැමරා ඔක්කොම වැඩ කරනව නේද…පහළ කැමරා විශන් එක ගැන නිතර කල්පනාවෙන් ඉන්න ඕන ළමයි. මේ මනුස්සය හේතුවක් නැතුව මෙතන කාලෙ මරණව වෙන්න බෑනෙ. බලමු. තව දවසක් දෙකක් බලල ඇක්ශන් එකක් ගන්නම වෙනව”
සන්තුෂී සීසීටීවී කැමරා දර්ශනය ඔස්සේ පහළ රථ ගාල හොඳින් නිරීක්ෂණය කළා ය. ඔහු තවමත් සිටියි!
“මිස් එච්චර පිරිමි අවිශ්වාස කරන්නෙ ඇයි…කල්ප බණ්ඩාරතිලක වගේ ප්‍රසිද්ද ප්‍රඩියුසර් කෙනෙක්…එතකොට ජනප්‍රිය ඉකෝන් සර් කෙනෙක්ව මැරි කරල ඉන්න මිස් වගේ කෙනෙක් එහෙම කරන්න හේතුවක් හිතා ගන්න බෑ”
උදේ කෑම ගන්නා අතරේත් ඔවුන් ගේ මාතෘකාව ඒ අවට ම කැරකෙමින් තිබිණ. සන්තුෂී ගැඹුරැති සිනහවක් නගා ගත්තා ය.
“අපි මැරි කරන්නෙ කාවද අපි ආදරේ කරන්නෙ කාටද..එතකොට අපේ දෙමව්පියො කව්ද අපේ දරුවො කව්ද වගේ කාරණා අපි අපිවම අඳුන ගද්දි අදාල වෙනවයි කියල මං හිතන්නෑ ළමයි. මං කියන්නෙ මං. ඔයා කියන්නෙ ඔයා. හැබැයි ඒ මම කියන මනුස්සය බිහි කරන්න අපි අවට ඉන්න අයගෙ ජීවිත බලපාන්න පුළුවන්. ඒ වුණත් කාගෙවත් ජීවිතේ දිහා බලද්දි අර එයාට සම්බන්ධ අයගෙ ඡායාවල් ඇස් වල තියාගෙන බලන්නෑ මමනං”
තරුණියන් දෙදෙනා ට මුව විවර කර ගත නො හැකි වූයේ සන්තුෂී ගේ පැහැදිලි කිරීම වුව නිරවුල් ව වටහා ගන්නට ඔවුන් සමත් නොවූ නිසා ය.
එදා දවස තුළ කිහිප විටක් ම සන්තුෂී සීසීටීවී තිරය ඔස්සේ නාඳුනන කාර් කරු ගේ රිය නිරීක්ෂණය කළා ය. ඇතැම් විටෙක ඔහු රියෙන් බැස ඊට හේත්තු වී ගෙන සිටියේ ය. ඒ ඇස් වල යමක් ගැන විමසිලිමත් වන උකුසු බැල්මක් ඇතැයි ඇය ට සිතිණි. නිල් හා කොළ පාට කොටු වැටුණ කමිසයක් ද ලා නිල් පැහැති ඩෙනිම් කලිසමක් ද හැඳ සිටිනා ඔහු මනා දේහ ධාරී පුරුෂයෙකි. පෙර දා වාගේ කාර්යාලීය ඇඳුම් කට්ටලයකින් නොව අද ඔහු සැරසී සිටින්නේ සාමාන්‍ය සැහැල්ලු ස්වභාවයකිනි. නොසන්සුන් ඉරියව්වක්, සීසීටීවී කැමරාව ඔස්සේ ද ඔහු වෙතින් සන්තුෂී නිරීක්ෂණය කළා ය. ඔහු නික්ම ගියේ හැන්දෑවේ පහ පසු වූ විට බව ඇය තදින් මතකයේ රඳවා ගත්තා ය. විටින් විට වතුර බෝතලයක් බීවා මිස කෑමට හෝ රිය නික්ම යන බවක් නො පෙනිණ. ඉරිදා දිනය ද එලෙස ම ගත විය. සන්තුෂී ගේ ඉවසීමේ සීමාව ද ඉක්ම යමින් තිබිණ. නමුත් ඇය නාඳුනන මිනිසා ට කිසිත් නො කියා ඉන්නට සිතට ගෙන සිටියා ය. ඉරිදා හවස වෙහෙස වී ඔවුන් තිදෙන පිය ගැට පෙළ බැස එත්දීත් ඔහු රිය තුළ සිටි අතර කේන්තිය දරා ගෙන සන්තුෂී රිය වෙතට ඇවිද ආවා ය. තරුණියන් දෙදෙනා බස් රියක නැගීම සඳහා ඇවිද යන්නට වූහ. සන්තුෂී රියට ගොඩ වෙත්දී ම “මිස්” කියා දකුණු පසින් කතා කරනා පිරිමි හඬක් ඇසිණ. ඇය රිය දොර අල්ලා ගෙන ම විමසුම් දෑසකින් බැලුවා ය. නාඳුනන රියදුරා උමතු දෑසකින් ඇදෙස බලා සිටියේ ය.
“ඇයි…”
සන්තුෂී තියුණු ස්වරයකින් ප්‍රශ්න කළා ය.