“මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා.”
විශාල ව්‍යාපෘතියක තොරක් නැති වැඩ අතර වුවත් රුවිනි වහා මිතුරිය වෙත හැරුණා ය. නිවාස සැලසුම යකාට යන්නට ඉඩ දී ඇය මලිති වෙත දරුණු රැවුමක් පා කළා ය.
“උඹම නේද මට කිව්වේ නවීන්ට වෙන කාමරේක නිදාගන්න කිව්වා කියල. එහෙම කියලා ආයේ අඬාගෙන තුරුල් වෙන්න ගියාද?”
මලිති නිහඬව හිනැහුණා ය. රුවිනි කියන්නේ නවීන්ගේ දරුවෙක් ගැන ය. නමුත් මලිතිගේ හිතේ ඇත්තේ වෙනත් කතාවකි.
“පවුල් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නනම් දරුවෙක් ලැබෙන්න ඕන කියන කතාව එහෙම විශ්වාස කරන්න එපා. ගිනි ගන්න ගෙයක් මැද්දට මොකුත්ම නොදන්න පුංචි එකෙක් ගෙනත් දැම්මම ඉස්සරලම පිච්චෙන්නේ ඒ පුංචි එකා.”
සාමාන්‍යයෙන් කාන්තාවකට පොදුවේ ලැබෙන අවවාදය ගැන රුවිනි හොඳින් දැන සිටියා ය. ඇය සහ පැතුම් අතර දරුණු ගැටුම් ඇති වෙද්දී පවා බොහෝ අය යෝජනා කළේ දරුවෙකුට උපත ලබා දීමටය. එමගින් පැතුම් වඩා වඩාත් ළතෙත් හදැති මිනිසකු වන්නට ඉඩ ඇති බවත් සියලු ප්‍රශ්න විසඳෙන්නට ඉඩ ඇති බවත් ඔවුන් මත පළ කළ අන්දම රුවිනිට මතක ය.
“කාමර දෙකක ඉන්න වැඩේ මටනම් විස්වාස නෑ. ඔය මොනවා කිව්වත් සිවිලිමේ මීයෙක් නැටුවොත් උඹේ ඔය ස්වාධීනකම් කැලේ යන්න ඉඩ තියනව. අන්න ඒ වෙලාවට මොකක් වුණත් කමක් නෑ. හෙල්ලෙන දත වගේ තියන උඹලගෙ කසාදෙ මැද්දට දරුවෙක් නම් අතෑර ගන්න එපා.”
මිතුරිය පවා තමන්ගේ වෙනස ගෙන සහමුලින්ම තේරුම් ගෙන නොමැති බව මලිතිට තහවුරු ය. නවීන්ට වෙනත් කාමරයක නිදන්නට ඉඩ හැර එකම නිවසක ඔහු සමග වෙන්ව වෙසෙන්නට ගත් තීරණය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව රුවිනි පවා පවසන්නී ය.
“සිවිලිමේ මීයෝ නෙවෙයි. ත්‍රස්තවාදියො ගෙදරට කඩාගෙන වැදුනත් මම ආයෙ නවීන්ගේ උදව් ඉල්ලන්නේ නෑ. එයාට ඕනෙ වෙලාවක යන්න මම දොර ඇරලා තියෙන්නේ.”
නමුත් නවීන් එසේ පිටව යන්නට ද ඉඩ අල්ප ය. ඔහුගේ ජීවිතය සම්පූර්ණ වන්නට හොඳ රැකියාවක් කරන හැඩවැඩ බිරිඳක් ඔහුට උවමනා වූයේ ය. ඔහු අතින් මොන තරම් මානසික සිරකාරියක වුවත් ඇය ඔහු වර්ණනා කිරීම සහ ඔහුගෙන් තොර ලෝකයක් නොපැතීම නවීන්ට මහත් ආඩම්බරයක් විය. දැන් අභිමානය බිඳී ගොස් ය.
“සුදු අම්මා ඇරුණාම මං ගැන හරියටම කියවාගත්තු මනුස්සය ඔයා කියල මම දන්නව. මගේ හැසිරීම් එක්ක කොයිවෙලාවෙම නවීන්ගේ ආදරේ ඉල්ලන් එයා පස්සේ වැටෙනවා කියන ඔයා වගේම සුදු අම්මා වුණත් විශ්වාස කරන්න පුළුවන්. “
නමුත් මෙවර එසේ නොකරන දැඩි තීරණයක ඇය එල්බගෙන සිටියා ය. දික්කසාදය සුන්දර නැති බව මලිති දනියි. නමුත් දුක් කසාදයකට වඩා එය සුන්දර ය. නිදහස් කිරිල්ලක වී රුවිනි ජීවත් වන අන්දමට ලෝබ සිතෙන තරමට මලිති රුවිනිගේ නිදහස අගය කළා ය.
“මම අම්මා කෙනෙක් වෙනව කිව්වේ කසාදෙ රැක ගන්න නවීන්ට කියල දරුවෙක් හදාගෙන නෙවේ.”
මලිති එසේ කියා වීදුරු බිත්තිය වෙත ඇවිද ගියා ය. කරන්නට දහසක් දේ වේ. එහෙත් හිස ඕනෑවට වඩා බර මොහොතකත් හිස ඕනෑවටත් වඩා නිදහස් මොහොතකත් රාජකාරියක අවසන් දිනය නොව අවසන් තත්පරය පවා වැඩකට නැති දේ බවට පත් වී යයි.
“මට ඕන ශේන්යාට හොඳ අම්මෙක් වෙන්න”
මලිතිගේ ඒ කතාව දෙස රුවිනි බලා සිටියේ ළාබාල පාසල් දැරියක හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරියක වන බව කියන අන්දම අසා සිටින ගුරුවරියකගේ බඳු ඉවසීමෙනි.
“මලී, තුහින ඔයාව බාර ගන්න ලෑස්තියක් නෑ තාම. ඔයා තුහින ගැන විතරක් නෙවෙයි. ශේන්යා ගැනත් හීන මවනව. එකක් නම් බැරිය. මහ විශාල හීන දෙකක්. ඔය හීන දෙකම නැතුව ගිය දවසක් ආවොත් ඔයාට මොකද වෙන්නේ?”
ඒ ගැන ඕනෑවට වඩා නොසිතන්නට මලිති තීරණය කළා ය.
“තමන්ගේ රඟපෑම් ඉවර වෙලා හරි නැත්තං ඇත්තටම තුහිනව එපා වෙලා හරි උත්පලාට තුහින අත් අරින එක පහසු වෙන්න ඇති. ඒත් එයා එච්චර ලේසියෙන් එයාගෙ දරුවව අත්හැරියේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.”
නමුත් රුවිනි උත්පලා ව විනිශ්චයට ලක් කරන්නට අකමැති වූවා ය. නිදහස් ගැහැනියක වන්නට තෝරාගත් මාවතේ ගමන් කරද්දී තමන්ගේම ලෙයින් උපන් දියණිය තමන්ට බාධාවක් නම් උත්පලා ඇයව ඇගේ පියා වෙත තබන්නට තීරණය කරන්නට ඇත. එහි අරමුණ දන්නෙ එබැවින් දන්නෙ ඒ බැවින් ඇයව විනිශ්චයට ලක් කිරීම සුදුසු නැති බව රුවිනිගේ අදහස ය.
දෛවය සමහර සිදුවීම් ඇස් ඉදිරිපිටම මවන්නේ ජීවිතය වෙන දිශාවකට කරකවා අත්හරින්නට ය. වීදුරු බිත්තියෙන් පෙනෙන දඟකාර සිඟිත්තිය කෙටි බිත්තියක් මතින් බිමට වැටෙන අන්දමත් ඇය ලෙයින් පෙඟෙන අන්දමත් අත්තම්මා හිස අත් බදා කෑගසන අන්දමත් මලිති දුටුවේ රුවිනිගේ කියවිල්ල අතරිනි.
වඩා පහසුවෙන් විදුලි සෝපානයෙන් යා හැකි ගමනක් තරප්පුපෙළ තරණය කරමින් පපුවට අත තබාගෙන දුවන්නට හේතුව මලිතිට පැහැදිලි නොවුණා ය. නමුත් ඇය මව්වත්කමක වේදනාවෙන් පිරී සිටියා ය.
(මලිති සිටි තැන ඉන්නා බව කියමින් පණිවිඩ එවන ඔබට ආදරයෙනි. මලිතිට ඔබේ ආදරය කමෙන්ට් එකකින්ද තබා යන්නේ නම් ස්තූතිවන්ත වෙමි)