රිදුණු තටු පිරිමදිමි – 17

කුළ ගෙදර සිට නැවත මහ ගෙදරට දුර සංසාරයක් තරමි. පසු දාට පහන් වන විට සන්තුෂී අසීරුවෙන් මුත් ඒ දුර තරණය කොට සිටියා ය. උදයෙන් පිබිද බතක් මාළු පිණි දෙකක් සකසා ඕ අම්මා ට කන්න දුන්නා ය.

“මොකට මහන්සි වුණාද ඔයා…අපි ටිකක් දවල් වෙලා ඔය මොනා හරි උයාගන්නවනෙ…වේල් තුනටම හරියන්න”

ස්වර්ණකාන්ති අවංක පසුතැවීමකින් කීවා ය. සිය දියණිය වීද සන්තුෂීට වුව කරදර නොකළ යුතු යයි ඇය සිතයි.

“එක සැරයක් උයාගෙන තුන් වේලටම කන්න බෑ අම්ම. අපි හැම දේම කරන්නෙ ජීවත් වෙනකල් කාල බීල සතුටෙන් ඉන්නනෙ. අප්පිරියාවක් නැතුව කන්න පුළුවන් විදිහට ඒ වේලට ඕන තරමට විතරක් පොඩ්ඩ වෙන්න කෑම හදාගමු. ඒ වෙලාවට හදාගෙන එකක් එක්ක හරි උනුවෙන් කන එක හොඳයිනෙ. නන්දා දවල්ට මොනා හරි අලුතෙන් පොඩ්ඩක් වෙන්න හදන්න. මං ඇවිත් රෑට උයන්නං”

සන්තුෂී ඔවුන් ගේ ජීවිත වල පාලන අයිතිය සියතට ගනිමින් සිටියා ය. දරුවන් විදේශ ගත වීමෙන් පස්සේ ඇයට ගත කරන්නට සිදු වූයේ අමුතු දිවියකි. ඇය වෙනුවෙන් බලා ඉන්නට කෙනෙකු සිටියේ නැත. ඇයට ද බලා ඉන්නට කෙනෙකු වූයේ නැත. එතකොට දැනෙන්නේ ජීවිතය ගැන නිදහස් හැඟීමක් නොව අනාථ හැඟීමකි. කාත් කවුරුත් නැති අසරණ හැඟීමකි. ඉකුත් රැය ඒ අසරණ අනාථ හැඟීම අහෝසි කරනා ලද සීමා මායිමක් වූයේ ය. දැන් ඇයට බලා කියා ගන්නට අම්මා සිටී.

කල්ප බණ්ඩාරතිලක ගේ ගෙදරට ඉගිල යන්නට හදනා හිත තටු කපා මෙල්ල කරන්නට සන්තුෂී ට ඕන විය. ඔහු තේ බොන්නට ඇත්ද…ඊයේ රෑ ඔහු ගේ කෑම කෙසේ වන්නට ඇත්ද…ඒ ගැන තැවීමට කාරණා නොවන බව ඇය සිතට අවධාරණය කළා ය.ඒ සියල්ල මුදල් ගෙවා සපයා ගත හැකි සේවා ය. ඔහු ඇයවත් ඒ ගෙදර තියා ගෙන හිටියේ මුදල් ගෙවා ලබා ගත හැකි සේවයක් සේ සලකා ගෙන නොවේ ද?

ජීවිතයේ සතුට තියෙන්නේ තමන් තුළ යයි සිතන්නට සන්තුෂී උත්සාහ කළා ය. එය තමන් විසින් සොයා ගත යුතුව තියේ..තමන්ව සතුටෙන් තැබීම කෙනෙකු ට ජීවිතයේ දී හමු වන වැදගත් ම අභියෝගය වන්නේ ය. අවාසනාවකට බොහෝ මින්ස්සු ඒ අභියෝගය පරාජය වෙති. 

“ගුඩ් මෝනිං ළමයි. සදෙව්මා ආවෙ නෑ නේද…”

ඇය රූපලාවන්‍යාගාරයට ගොඩ වූයේ ඒ ප්‍රශ්නයෙනි. අංජලීත් ලයංගාත් සිනහ වතින් ආසන වලින් නැගිට ගත්හ. සන්තුෂී මේ රූපලාවන්‍යාගාරයට ආවේ දෙදිනකට පස්සේ ය. රෝහලෙහි ගත කළ ඒ දෙදින තුළ සහායිකාවන් දෙදෙනාට කළ හැකි සාමාන්‍ය කටයුතු පමණක් භාර ගෙන කරන්නයි ඇය උපදෙස් දුන්නා ය. ආයතනය වසා තබන්නට ඇය සතුටු නොවූ බැවිනි.

“නෑ මිස්. ආවනං අපි ඒ වෙලාවෙම මිස්ට කෝල් එකක් දෙනවනෙ”

“කොහොමද ළමයි ඉතිං වැඩ කටයුතු…”

“අද මගෙ බර්ත් ඩේ එක මිස්…කිරිබත් ගෙනාව..අපි කාල ඉමුද…මං ඒත් හිතුව අදත් මිස් එන එකක් නැද්ද කියල”

“අනේ…හැපි බර්ත් ඩේ ලයංගා…ගිෆ්ට් එකක් ඉතිං පස්සෙ තමයි දෙන්න වෙන්නෙ. මං දැනං හිටියෙ නෑනෙ”

කෑම කන ගමන් ඔවුන් කතා කළේ සන්තුෂී නොමැතිව ගත වූ දින දෙක ගැන ය. කියන්නට ඕපාදූප කන්දක් ඔවුන් සතුව තිබිණ.

“ඊයෙ ඇඳුමක් බලන්න කියල මහරගම පැත්තෙ රවුමක් ගැහුව මිස්…අම්මෝ…ගිනි ගණං. මිස්ට කියන්න මේ සාමාන්‍ය ගවුමක් ගන්න රුපියල් පන්දාහක් ඕන සයිස් එකක් තියෙන්නෙ. කොහොමද මිස් ජීවත් වෙන්නෙ ඉස්සරහට..”

“අනේ මන්දා ළමයි. මේ සැලෝන් එකට ඕන ප්‍රඩක්ශන්ස් වුණත් පස් ගුණේකිං විතර වැඩි වෙලා. ඒත් අනේ මන්දා අපි කස්ටමරස්ලට එච්චර ගණං කියන්නෙ කොහොමද කියල. මේ රටේ ජීවත් වෙන්න බැරි පාටක් තමයි පේන්නෙ”

“ආවට ගියාට කසාදයක් කර ගන්නෙ නැතුව හොඳට සල්ලි තියෙන එකෙක් හොයල අල්ලගන්න තමයි තියෙන්නෙ”

අංජලී එසේ කීවේ නිකමට ය. නමුත් ඒ කතාව සන්තුෂී ගේ හිතේ කොනිති ගැසීමක් ඇති කරවනා ලදී. ගෑනු ළමයෙකුගේ ප්‍රාථමික සිතිවිල්ලක් එසේ වන්නට පුළුවන. ඔවුන් එසේ සිතන්නේ ධනවත් පුරුෂයෙකු ගේ මුදල් වලින් සැපවත් දිවියක් ගෙවීමේ පහසුව ගැන සලකා ය. එහෙම දිවියක් කාලයක් තිස්සේ සන්තුෂී ට උරුම ව තිබිණි. නමුත් එය ඈ තුළ ඇති කළා වූ සිර ගත වීමක් ගැන හැඟීම ගැන වචන වලින් පැහැදිලි කළ නො හැකි තරමි. 

“සල්ලි තියෙන මනුස්සයෙක් කසාද බැඳ ගත්තට පස්සෙ ජීවිතේ හරි ලේසියි කියල කවදාවත් හිතන්න එපා ළමයි”

සන්තුෂී සුසුමක් ද පිට කරමින් කීවේ ජීවිතයෙන් ඇය ඉගෙන ගත්තා වූ පාඩම තවත් එක්කෙනෙකුට හෝ පාඩමක් කර ගත හැකි නම් එය පින්කමක් සේ සලකා ය. 

“ලංකාව වගේ රට වල සාමාන්‍ය සමාජෙ පවුල් වල දෙමව්පියො යමක් කමක් තියෙන පිරිමියෙක්ට දුවලව කසාද බන්දල දෙන්න ට්‍රයි කරනවයි කියන එක අලුත් දෙයක් නෙවේනෙ. හැබැයි ළමයි මටනං ඒක දැනෙන්නෙ ගෑනු ළමයට කන්න බොන්න අඳින්න දෙනවට හිලව්වට ජීවිත කාලෙටම වහල් කමට ඒ මිනිහට ගෑනු ළමයව බාර දෙනව වගෙයි. කසාදයක් කියන්නෙ කන්න බොන්න දෙනවට සෙක්ස් දෙනව වගේ ගනු දෙනුවක් එතකොට නේ…”

අංජලී විශ්මිත දෑසකින් සන්තුෂී දෙස බලා සිටියා ය. ලයංගී නම් බිම බලා ගත්තා ය. 

“කසාදයක් වෙන්න ඕන ආදරේ කියන දේ පදනම් කරගෙන මිසක් වෙන කිසි දෙයක් මත නෙවේ අංජලී. ආදරේ වුණත් කාලෙත් එක්ක මොන කුණාටු වලට අහු වෙයිද කියන්න බෑ. මොකද හැමදාම මුහුද එකම ස්වභායකින් තියෙන්නෙ නෑ. ඒක නිසා මන්නං ඕන තරුණ ගෑනු ළමයෙක්ට දෙන උපදෙස තමයි හොඳට ඉගෙන ගෙන ආර්ථික සුරක්ෂ්තකමක් හදාගෙන මැරි කරන්නයි කියන එක”

“ඒත් මිස්…කොච්චර ඉගෙන ගත්තත් බැන්දට පස්සෙ ඒවයෙන් වැඩක් නෑ ගෙදරට වෙලා බත් තම්බන්නයි ළමයි බලන්නයි වෙන්නෙ කියලනෙ අම්මල කියන්නෙ”

“ඒ අංජලී අපි හරියට ෆවුන්ඩේශන් එක දාගත්තෙ නැති වුණොත්. ජොබ් එකක් කරල හොඳ සැලරි එකක් ගන්න ගෑනු ළමයෙක්ට මැරි කරන්න පිරිමියෙක් ඕන වෙන්නෙ එයාට ඉස්සරහට කන්න බොන්න අඳින්න දෙන කෙනෙක් විදිහට නෙවේනෙ. ජීවිතේ බෙදා ගන්න කෙනෙක් විදිහට. එතකොට දෙන්නම අර්න් කරනන. ජීවත් වෙන්න දෙන්නටම සල්ලි තියෙනව. ජීවිතේ පැවැත්ම වෙනුවෙන් ගෑනු ළමයට පිරිමියා මත යැපෙන්න හේතුවක් නෑ. ඒ පාට්නර් තමන්ගෙ ජීවිතේ බෙදා ගන්න ගැලපෙන කෙනා නෙවෙයි කියල හිතුණොත් බොහොම පහසුවෙන් ඒ සම්බන්දතාවෙන් අයින් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සෙ කන්නෙ බොන්නෙ කොහොමද ළමයි හදා ගන්නෙ කොහොමද කියල තැවෙන්න ඕන කමක් නෑනෙ. ඒක දෙන්නටම ඒ ඒ අයගෙ වටිනාකම තේරුං ගන්නවන හේතුවක්. ඕගොල්ලො වුණත්…මං කියන්නෙ දැන් මේ ෆීල්ඩ් එකට අඩිය තියලනෙ තියෙන්නෙ. මං කියන්නෙ මේක හරියට ඉගෙන ගන්න. හැම දාම මං ළඟ වැඩ කරන්න ඕන නෑ. හෙමිහිට තමන්ගෙම සැලෝන් එකක් පටන් ගන්න බලන්න..එහෙම කරල ස්ටැබ්ලිශ් වෙන්න බලන්න. එතකොට සල්ලි තියෙන කෙනෙක්ව බැඳගෙන ආස දේවල් කරන්න හිතන්න ඕන නෑ..ඒක ඔයාටම කරගන්න පුළුවන් වෙනව”

කාලයකට කලින් තමන්ට ඒ උපදේශය ලබා දෙන්නට කෙනෙකු නොසිටීම ගැන සන්තුෂී දුක් වූයේ නැත. එදා ඇය සිටියේ කල්ප කෙරේ ප්‍රේමයෙන් ඇස් අන්ධ කර ගෙන ය. ඒ කෙතරම් ද කිව හොත් මව් පියන් අතැර රහසේ ඔහු හා නික්ම යන්නට තරම් දැඩි තීරණයක් ගන්නට ඇයට හැකි විය. තාත්තා ඒ සම්බන්ධයෙන් ඇය මුදා ගන්නට දැරූ තැත එදා සන්තුෂී ට පෙනුණේ ඇගේ සතුට උදුරා ගන්නට දරනා උත්සාහයක් සේ ය. ජීවිතය එහෙම ය. කොතැනක වැරදිය හැකි දැයි පූර්ව නිගමන වලට එළඹිය නො හැකි ය. සන්තුෂී ගෙන් සුසුමක් ගිළිහිණි.

“ඒක තමයි. මට ඒත් හිතිල තියෙනව කල්ප බණ්ඩාරතිලක වගේ කෝටිපති ටියුෂන් මාස්ටර් කෙනෙක්…ෆිල්ම් ප්‍රඩියුසර් කෙනෙක්ගෙ වයිෆ් වෙලත් මිස් ඇයි සැලෝන් එක වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නෙ කියල. දැන් තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණේ”

සන්තුෂී මඳහසක් නගා ගත්තා විතර ය. සෙනසුරාදා වූයෙන් එදා කාර්යබහුල දිනයකි. ඊළඟට පැමිණෙන පාරිභෝගිකයා සදෙව්මා කැටිව එන වින්දි විය නො හැකි ද යන බලාපොරොත්තුව ඇතිව සන්තුෂී ගේ ඇස් නිතර ම දැල්වෙමින් තිබිණ. අංජන ගේ ඇස් වල සතුටක් නංවනා තොරතුරක් ලබා දිය හැකි නම් කියනා පැතුම නිරතුරු ඇය වෙත විය. 

පෙර දා රාත්‍රියේ ඔහු ගේ පණිවිඩ දැකීමෙන් පසු සන්තුෂී ප්‍රතිචාර නො දැක්වීම ගැන අංජන තුළ වූයේ දෙගිඩියාවකි. කෙනෙකු ගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස අත පෙවිය නො හැකි බව දන්නා නිසා ඔහු ඉනික්බිති ඇයට කතා කරන්නට හෝ නො ගියේ ය. නමුත් අමතක කරන්නට තැත් කරනා කටුවක් සේ පැටලි පැටලී සන්තුෂී ගේ සිතේ ඒ මතකය විය. අන්තිමට දිවා ආහාරයෙන් ද පස්සේ මඳක් විවේකී වූ පසු ඇය ම ඔහු ට කතා කළා ය.

“අද දවසම බිසී. ඒකයි කෝල් එකක්වත් දෙන්න බැරි වුණේ. මං ඒත් සැලෝන් එකට ආපු ගමං ළමයින්ගෙන් ඇහුවෙ සදෙව්මා ආවද කියලයි”

අංජන නීලවතුර නිශ්ශබ්ද ව අසා සිටියේ ය. සදෙව්මා කතා කරන්නේ ඊයේ ඔහු විසින් අසා යවන ලද ප්‍රශ්න හා ඒවාට සැපයිය යුතු පිළිතුරු උවමනාවෙන් ම අමතක කරමින් කියා ඔහු ට සිතිණ.

“කොහොමද අම්මට…”

ඔහු ප්‍රශ්නය වෙන තැනකින් පටන් ගත්තේ ඒක ය. 

“දැං හොඳයි. ගෙදර ගියාම ඉතිං කොහොමත් හොඳනෙ. වතුර නැතුව මල් පැළ ටික මැරිල යයි කියල බයේ කියෝ කියෝ හිටියෙ හොස්පිට්ල් එකේදිත්”

“අම්මව මතක් කරා කියන්න”

“ඔයා ගැනනං මතක් වෙන වෙන සැරේට කියෙව්ව. හරිම කරුණාවන්ත පිරිමි ළමයෙක්ය…දැන් කාලෙ එහෙම අය නෑය…වයසක මනුස්සයෙක් එක්ක නතර වෙලා උනන්දුවෙන් කතා කරනවයැ දැන් ගොඩක් ඉලන්දාරි…වගේ ඒව කිව්ව ඉතිං”

“එයාලට ඕනෙ කවුරු හරි එයාල ගැන අටෙන්ශන් දීල කතා කරන කෙනෙක් තමයි සන්තුෂී…අපේ අම්මල වුණත් එහෙම තමයි. ඔයා අකමැත්තක් නැත්තං මට ලොකේශන් දාල තියන්න. මං ඒ පැත්තෙන් යන ගමන් නතර වෙලා අම්ම එක්ක ටිකක් කතා කරල යන්නං”

“අනේ තෑන්ක් යූ අංජන”

ඒ කතා බහෙන් පස්සේ අමතක වෙන්නට පෙර ඇය මහ ගෙදරට යන මාර්ග සිතියම ඔහු ට යැව්වද, හවස් වී ගෙදර යන තුරු ම ඔහු ඇත්තට ම ගෙදර ඒවියි නො සිතුවා ය. වෙහෙස වී ඇවිත් රියෙන් බසිත්දී, අම්මා සමග වැරැන්ඩාවේ අසුන් ගෙන දොඩමළු වෙමින් සිටි අංජන නීලවතුර ගේ රුව සන්තුෂී ගේ විඩාපත් සිතට නිල් දිය දහරක ප්‍රීතිමත් සුවය ගෙන ආවේ ය.

“මෙන්න මෙයා ඇවිත්…”

ඇය ඒ හදිසි සතුටට රිසි සේ ඉගිල යන්නට නිදහස දුන්නේ ය.

“යන්නයි හැදුවෙ. මං මේ බලෙං තියං හිටියෙ…සන්තු දැන් එයි කිය කිය..එහෙම යන්න දෙන්න පුළුවන්ද…බත් ටිකක් හෙම කාලයි අද යන්නෙ”

අංජන ගේ සමාගමය ස්වර්ණකාන්ති ගේ හිතට ද අස්වැසිල්ලක් වී තිබිණ. අංජන නිදහස් ලෙස සැහැල්ලුවෙන් සිනහ වූයේ ය. වචන වලින් කියන්නට නොතේරෙන පිරිපුන් බවක් සන්තුෂී ඒ මොහොත තුළ අත්වින්දා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles