“මේ වතාවෙනම් උත්පලාගෙ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න එපා.”
ඒ පණිවිඩය පැමිණියේ ඒ මොහොතේ ම ය.එය පැමිණියේ රුවිනිගෙන් නම් නොපෙනුණා සේ ඉන්නට ද එපා යැයි පැවසූ දේ කරන්නට ද තිබිණ. නමුත් මෙසේ කියන්නේ තුහින ය. ඔහු මේ මොහොතේ හිඳින මානසික මට්ටම ගැන මලිතිට මහත් වේදනාවක් ඇති විය. එය මොනතරමට පීඩාවක් වන්නට ඇතිදැයි ඇයට සිතන්නටවත් නොහැකි ය.
“ඔයා මේවා දරාගෙන ඉන්නෙ කොහොමද?”
ඇමතුමක් ගෙන ඇය ඇසුවේ සැබෑ වේදනාවකිනි. ඔහු හිනැහුණේ සැහැල්ලුවෙනි. මේ මොහොතේදී පවා එසේ සැහැල්ලුවෙන් හිනැහෙන්නට හැකි වීම ගැන මලිතිට වේදනාව වැඩියෙන් දැනේ.
“සමහර දේවල් අපට දරා ගන්නම වෙනවා. ඒ ප්‍රශ්නෙට මුහුණ නොදී අපිට එතනින් ගැලවෙන්න බෑ. ඒක තේරුම් ගත්තාම මේ විදියට දරාගන්න වෙනවා.”
ඔහුගේ කටහඬ පිරී ඇත්තේ දරා ගැනීමෙන් ද ළතැවීමෙන් ද යන්න ගැන පැහැදිලි නැතත් මලිති ඔහුව අසා හුන්නා ය.
“මගෙත් වැරදි තිබුණා නැත්තේ නෑනෙ. එතකොට මට මේ දේවල් මෙහෙම වෙනවා කියන එක හිතන්න තිබුණා.”
ඔහු තවම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි දැයි අසන්නට නොහැකි බව මලිති සිතුවා ය. එය හෙමින් සීරුවේ ඇසිය යුතු ප්රශ්නයකි.නමුත් කිසිදා අසන්නට නොසිතූ ප්‍රශ්නයක් අසන්නට හදිසියේ මලිතිට සිතිණි.
“මං මෙහෙම අහන එක හරිද දන්නේ නෑ. ඒත් ඔයාලට ඔය ප්‍රශ්න විසඳගන්න බැරිද? ශේන්යා හින්දවත්. මේ විදිහට දෙපැත්තට වෙලා මඩ ගහගන්නෙ නැතුව ඔයාලට ආපහු එකතු වෙන්න බැරිද?”
තුහින කළේ හිනැහීම ය.
“මගේ වැරදි තිබුණ නං එයා ඒවා කියන්න ඕනේ කවුන්සිලර් කෙනෙක් ඉස්සරහ.එහෙම නැත්තං ඩිවෝස් වෙන්න උසාවියට ගිහින්.ඔය දෙකෙන් එකක්වත් නොකර ෆේස්බුක් එකේ නඩු විසඳන උත්පලා එක්ක මම සමාදාන වෙන්න ඕන කියලා ඔයාලට හිතෙනවද?”
තමන් මේ මොහොතේ වඩාත්ම ආදරය කරමින් සිටින මිනිසාට බිරිඳ සමඟ සමාදාන වන්නැයි කියන්නට මලිතිට සිතුණේ ආදරය පරිත්‍යාගයක් වන හන්දාම නොවේ. කුඩා දියණියට මේ මොහොතේ වඩාත්ම යහපතක් වන්නේ ඒ බව සිතුණු නිසා ය.
“උත්පලා දරුවා ළඟ ඉන්නවත් උනන්දුවක් දැක්කුවේ නෑ. ෆොටෝ ටිකකුත් ගහගෙන යන්න ගියා. ඔය ගිහින් කරල තියෙන්නෙ.”
ආදරය ද වෛරය ද අතරමැද තැනක නැවතී තිබේ. තුහින උමතුවෙන් මෙන් හිනැහෙන්නේ ඒ නිසා බව මලිති සිතුවා ය.
“ඔයාට නඩුවක් දාන්න බැරිද? හරි විදිහට අයින් වෙන්න මේ විදිහට විකාර කරන එක ශේන්යාට හොඳම නෑ.”
ඇය එසේ උපදෙස් දුන්නා ය. නමුත් මේ මොහොතේ ඇය ද වඩාත් බිය ඔය වචනයට ය. “දික්කසාදය” කියන්නේ පහසු දෙයක් නොවන බව ඇගේ සිතද හඬ තලමින් තිබේ.
මලිති තුහිනට සමු දී කල්පනාවට වැටුණා ය. රුවිනි දරා ගත නොහැකි විවාහයක තැවෙමින් සිටියේ නැත. ඇය ඉන් නික්මී ආවා ය. දැන් ඇය ගෙවන වඩාත් නිදහස් ජීවිතය හිමි වන්නට හේතු වූයේ නික්මී ඒම බව මලිති හොඳින්ම දනියි. නමුත් රුවිනි අදටවත් පැතුම් ගැන නරකක් නපුරක් සමාජයට දෙන්නටත් අකමැති ය. ඔවුන්ගේ වෙන්වීමට හේතුව අතිශය පෞද්ගලික හේතුවක් බව ඇය අසන අයට කියයි. එපමණකි. උත්පලා ඊට වෙනස් ය. සැබෑවටම ඇය දික්කසාදය තෝරා ගන්නට ඉඩ තිබේදැයිවත් මලිති නොදනියි. නමුත් ඇය තුහිනව සමාජ ජාලා හරහා නොනවත්වාම පරිභව කිරීමට ලක් කරමින් හිඳී. ඒ කතාවෙ අවසානය කොතැනක තිබුණද උත්පලා එය විසඳා ගනිමින් හිඳින්නේ තමන්ගේම ආකාරයට ය.
නමුත් ගැහැණු දෙදෙනාටම පවතින ධෛර්යය තමන් සතු නොවන බව මලිති සිතුවේ වේදනාවෙනි. නවීන්ට වෙනත් කාමරයක නිදන්නට යැයි පැවසීම පවා ඇය සිදු කළේ ඉතා අසීරුවෙනි.
“ඉන්න බැරිනම් ඩිවෝස් වෙමු.”
නවීන් අතීතයේ එහෙම කියන්නේ මලිති බියපත් කරන්නට ය. දික්කසාද ගැහැනියක වන්නට බියපත් වූ අන්දම ඇය සිහි කළා ය.නවීන්ගේ නොසලකා හැරීමෙන් මිදෙන්නට ඕනෑ වුව ද ඇය තවමත් ඒ ලේබලයට පුදුමාකාර තරම් බයක් දක්වයි.
ජීවිතය කොහේ කොහොම ගලා යාවිදැයි මලිති සිතුවේ වේදනාවෙනි.