සන්තුෂී හා තප්ති අතරේ වූ කතා බහ ඇතැම් තැන් වල දී හිත් රිදවන සුළු වී ද ඒ රිදුම තාවකාලික වූයේ ය. ඉන් පසු ඔවුන් දෙදෙනාට ම දැනුණේ සැහැල්ලුවකි. සන්තුෂී ඇය වෙනුවෙන් ගත හැකි හොඳ ම තීරණය ගත්තායි අන්තිමට තප්ති හිත හදා ගත්තා ය. ඕනෑ ම මිනිසෙකුට තමන් වෙනුවෙන් පෙනී සිටිත යුතු හා නැගී සිටිය යුතු අවස්ථාවක් උදා වෙයි. ඉවසලා ඉවසලා බැරි ම තැනත් ඉවසන්න කියා කතාවට කීවා ට ඒ බැරි ම තැන දී තමන් වෙනුවෙන් නැගී සිටින මිනිස්සු ජීවිතය කියා තමන්ගේ දෝතට ලැබුණු වස්තුව සැබවින් විඳ ගන්නට උරුම කම් ලබන්නෝ වෙති. සන්තුෂී ද සිය ජීවිතයේ ඉතිරි කොටස ඈ රිසි පරිදි විඳ ගනු ඇත.
“මං මෙහෙමම මහරගම පැත්තෙ පොඩි රවුමකුත් දාල යන්නෙ…අලුත් ඇඳුමක් ගත්තෙ නෑ කාලෙකින්”
පිටත් ව යාමට පෙර තප්ති කීවේ ඒ ගමනට යෙහෙළියට ඇරයුම් කළ නො හැකි වීම ගැන සංවේගයෙනි.
“ඉතිං මාත් එන්නං”
සන්තුෂී වහා කීවා ය.
“බෑනෙ…අද සැලෝන් එකට බිසී දවසක්නෙ”
“ඒකට කමක් නෑ. ළමයි දෙන්නා එයාලට කරන්න පුළුවන් ඒව බාර අරං කරයි. ඉතුරු ඒවට හෙට හරි එන්න කියයි. සල්ලි කියල ජීවිතේ එහෙම පිටින්ම අමතක කරල සල්ලි හොයන්න දඟලල බෑ තප්ති. ජීවිතේ මිස් කර ගන්නෙ නැතුව විඳ ගන්නත් ඕන හැම මොහොතකදිම..නැත්තං අපි සල්ලි පස්සෙ දුවල ඉවර වෙලා නතර වෙලා බලද්දි ජීවිතේ අග්ගිස්සට ගිහිං තියෙයි”
ඒ හෝරා කිහිපය සතුට පිරුණු එකකි. දෙමිතුරියෝ කඩ සාප්පු ගානේ ඇවිද ගියේ බරක් පතලක් නැති නව යෞවනියන් සේ ය. සිනා කතා ද කඩචෝරු ද අඩු වූයේ නැත.
“මේ ගණං වලට ඉස්සරහට මිනිස්සුන්ට රෙදි අඳින්නෙත් නැතුව ඉන්න වෙයිද මන්දා. මොකද්ද ඇත්තට මේ වෙන්නෙ…”
“වෙන්නෙ නෙවේ කරන්නෙ කියලයි කියන්න ඕන. රට පාලනේ කරපල්ල කියල බාර දීපු අයනෙ මේ කරන්නෙ”
බඩු මිල අහස උසට නැගී තිබේ. ජනතාව ගේ වැටුප් වලට සාපේක්ෂව ජීවන වියදම් දරා ගත නො හැකි තත්වයක් උද්ගත ව ඇත.. එවන් තත්වයක් යටතේ අංජලීලා වගේ ගෑනු ළමයි පිරිමියෙකු ගේ පිළිසරණ පතා විවාහයකට යොමු වීමේ ප්‍රවණතාව වැඩි විය හැකි යයි සන්තුෂී ට සිතිණ. ජනතාව මත පැටවී ඇති බරත් පීඩනයත් ඔවුන්ට දරා ගත නො හැකි තරම් එකකි.
“මෙහෙම වෙද්දි පුළු පුළුවන් මිනිස්සු රට අතෑරල යන එකයි වෙන්නෙ. අපේ ළමයි එහෙම ආයෙ කවදාවත් මේ රට දිහා හැරිලවත් බලන එකක් නෑනෙ. ඉතින් එහෙම වුණාම ඉස්සරහට මේ රටට මොකක් වෙයිද තප්ති…හිතනකොටත් බයයි”
කුස ගින්නට දරුවන්ට කන්න යමක් සපයා දිය නො හැකි වේදනාවට පවුල් පිටින් දිවි තොර කර ගන්නා මිනිසුන් එන්න එන්න ම වැඩි වෙමින් තිබේ. ආදායමට සාපේක්ෂව වියදම් ඉහළ යත්දී දරිද්‍රතාවයේ නාමයෙන් සොර සතුරන් ඇති වීමේ සම්භාවිතාව ද වැඩි ය. සමස්ථ සමාජය ම දැඩි අස්ථාවරත්වයක් උදා කර ගෙන ඇති අයුරු ගැන ඔවුහු කම්පාවෙන් කතා කළහ.
“ළඟදි මං බඩු වගයක් ගන්න ග්‍රොසරි එකකට ගියා. එක සීයා කෙනෙක් මදුරු කොයිල් දෙකක් අරං…කැශියර් එකේ ඉන්න ගර්ල්ට සල්ලි දීල එයා කියනව මදි කියල. සීයා සාක්කුව ඇතුළටම බැහැල සල්ලි හොයනව. ඊට වඩා සත පහක්වත් ඒ මනුස්සය ළඟ නෑ. අර ගර්ල් අහනව මොකද කරන්නෙ සල්ලි මදිනෙ මේක දෙන්න විදිහක් නෑ සල්ලි අරං එන්න කියල..අර මනුස්සය පුදුම විදිහට අසරණ වෙලා. මට මාර අවුල්..මං ඒ ගර්ල්ට කිව්ව මදි ගාන මගෙ බිල් එකට දාල සීයට කොයිල් දෙක දෙන්න කියල. අනේ ඒ මනුස්සය මං දිහා බලල ස්තූති කරපු ඇස් දෙක මට කවදාවත් අමතක වෙන්නෑ සන්තු”
“මටත් ඔහොම දෙයක් වුණා මාළු කඩේදි. ඇන්ටි කෙනෙක් සෙනග පිටිපස්සට වෙලා ඉඳල ඉඳල මාළු කඩේ මනුස්සයෙක්ගෙං ඇහුව කටු කෑලි නැද්ද කියල. ඒ මනුස්සය අද නෑනෙ කිව්ව. ඒ ගමන අර ඇන්ටි තනියම කියෝනව. වෙනදටනං මං කටු කෑලි දෙසීය පණහක් හරි අරං ගිහිං හොද්දක් හදනවනෙ..දැන් මොකද කරන්නෙ කිය කිය..ටික වෙලාවක් ඔහොම ඉඳල ඇහුව සාලයො දෙසීය පණහක් කීයද කියල. ගාණ කිව්වහම අතේ ගුලි කරං හිටිය ලේන්සුවක් දිග ඇරල ඒකට එබීගෙන ගණං කරනව..මං හිතන්නෙ සාලයො දෙසීය පණහක් ගන්නවත් ඒ මනුස්සය ළඟ සල්ලි නෑ. මගෙ පපුව හෝස් ගාල ගියා. මං මාළු ජාති දෙක තුනකින් දෙසීය පණහෙ ඒව අරං ඒ මනුස්සයට දුන්න. ඒ ඇස් දිලිසුණා තප්ති”
“මේ වෙලාවෙ පුළුවන් විදිහට බැරි අමාරු කෙනෙකුට උදව්වක් කරන එක තමයි කරන්න ඕනෙ. සමහර වෙලාවට අපි ඒ කරන පුංචි දේ නිසා මුළු පවුලකම ජීවිතේ බේරෙන්න පුළුවන්”
“හ්ම්. අපි කාටත් අපේ මට්ටමෙන් ප්‍රශ්න තියනව තමයි. ඒත් කොහොම හරි හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්න ඕනනෙ”
ඒ හැන්දෑව ගැන සන්තුෂී ට දැනුණේ අරුත්බර බවක් ගැන හැඟීමකි. කොහොමටත් තප්ති සමග නිදහසේ කතා බහ කරන්නට ඉඩක් ලැබුණොත් හිත නිදහස් කර ගැනීමට අවස්ථාව උදා වේ.
ඉරිදා වුණත් හැන්දෑව උදා වූ ගමන් රූපලාවන්‍යාගාරය වසා දමා සන්තුෂී ගෙදර ගියා ය. දවල් කාලයේ අම්මා ළඟ නන්දා ඉන්නවා වී ද, ඕනෑ ම අවශ්‍යතාවයකදී ගෙදර දිව ඒමේ සූදානමක සන්තුෂී සිටියා වී ද හැකි තරම් අම්මා වෙනුවෙන් කාලය වෙන් කර ගන්නට ඇය සිතා ගෙන සිටියා ය. කතා කරමින් ඉන්නට ඇය කොයි තරම් ආශා ද යන්න අංජන ඇසුරේ සතුටු වූ හැටියෙන් හිතා ගන්නට පුළුවන. කාලයක් ම ඇයට අම්මා මගහැරිණි. කල්ප සමග විවාහ වීමෙන් පස්සේ බෝ කලක් මහ ගෙදරින් ඈත් වී ඉන්නට ඇය ට සිදු විය. සිරිවර්ධන යුවළ දියණිය ගේ වැරදි අමතක කිරීමෙන් පසු වුව කල්ප සන්තුෂී ට වැඩිපුර මහ ගෙදර ඇසුරු කරන්නට ඉඩ දුන්නේ නැත. මුල දී පවුලේ සාමය වෙනුවෙන් යම් යම් දේවල් වැරදි බව දැන දැන ද ඉවසා ගන්නට ඇයට සිදු විය. බිරිඳ තමන් ගැහැනියක වීම නිසාවෙන් ඒ ආකාරයට පිරිමින්ගේ වැරදි හා පුරුෂාධිපත්‍යය යන ව්‍යාජය ඉවසා දරා ගැනීම, අනාගතයක් ම වැරදී යාමේ ඇරඹුම බව දැන් සන්තුෂී දනී.
කෙසේ වෙතත් පවුල ඇතුළේ දරන්නට සිදු වූ වගකීම් නිසාවෙන් අම්මා හා තාත්තා ගේ ලෝක වලින් ඈත් වෙන්නට ඇයට සිදු විය. ඒ වරද නැවත වරක් නො සිදු විය යුතු ය. දෙමාපියන් කිසි දාක මහ ගෙවල් තුළ තනි විය යුතු නැත.
“චූටි පුතා දැං ගෙදර යන්න. මට මුකුත් අමාරුවක් නෑනෙ. ඕන වුණොත් මං කතා කරන්නංකො”
සන්තුෂී රෑ කෑම පිසිනාතර කුස්සියේ පුටුවකට වී දවසේ ඕපාදූප කතා කරන ගමන් ස්වර්ණකාන්ති ඇඟට පතට නො දැනී කියා දැමුවා ය. සන්තුෂී මඳහසකට තොල් ඇද කළ ද කිසිත් කියන්නට ඉක්මන් වූයේ නැත.ස්වර්ණකාන්ති තවමත් සිතා සිටින්නේ සිය අසනීපය නිසාවෙන් දින කිහිපයක් මෙහි නවාතැන් ගන්නට සන්තුෂී පැමිණ සිටින බවකි. හදවත් රෝගයක් වැළඳුණු අම්මාට ඇත්ත කතාව කියන්නට ඉක්මන් නොවිය යුතු යයි සන්තුෂී සිතා සිටියා ය. කෙසේ වෙතත් මේ කතාව ඉක්මන් දිනෙක ඉදිරියට එනු ඇති බව නම් ඇය දැන සිටියා ය.
“මොනා වුණත් කල්ප කැමති වෙන්නෙ නෑනෙ ඔයා මෙහෙ ඇවිත් ඉන්නවට”
“අනේ එයා කරන්නෙ මං කැමති දේවල්ද අම්මෙ…”
ඒ සන්තුෂී ගේ ප්‍රථම වෙඩි ප්‍රහාරය ය.හෙමිහිට ඕ අම්මා ඇත්ත දැන ගත යුතු ය.
“ඒව ඉතිං එහෙම තමයි. එහෙම වුණා කියල මොනා කරන්නද දරුවො…ඔය මිනිස්සුන්ව දැන් හදන්න යන්න බෑ”
“මං මෙහෙ හිටිය කියල එයාට ගාණක් නෑ”
සන්තුෂී එසේ කෙඳිරුවේ දැනට එපමණක් ඇති කියා අම්මා ට ඉඟි කරනු වස් ය. ස්වර්ණකාන්ති දියණිය දෙස වඩා හොඳින් බැලුවා ය. සිය සැමියා සම්බන්ධයෙන් අසන්නට ලැබෙන දේවල් ගැන දැන් සන්තුෂී ද බිහිරි අලියෙකු වී ඇතැයි මීට පෙර අවස්ථා ගණනාවකදී ම ස්වර්ණකාන්ති සිතා තිබේ. සිද්ධ වෙන දේවල් ඔහේ වෙන්නට හැර සිය සුව පහසු දිවිය ගත කරන්නට ඇය හිත හදාගෙන සිටිනවා විය හැකි යයි සිතු ඕ තොමෝ හදවතින් දියණිය ගැන සංවේග වැඩුවා ය. මේ වෙලාවේ ඇය හොඳින් සන්තුෂී දෙස බැලුවේ කල්ප ගැන ඇය දුකෙන් දැයි පැහැදිලි කර ගනු වස් ය.
“ගාණක් නැත්තං ඇවිත් අඩි හප්පල යන්නෙ නෑනෙ… ගෙදර එන්න කියන්නය කියල”
අකුණු සැර වැදුණා සේ ගැස්සී ගිහින් සන්තුෂී අම්මා දෙස බැලුවා ය.
“කල්ප මෙහෙ ආවද…”
“හ්ම්. ඔය ඇවිත් ගියේ”
“මොකද්ද එයා කියන්නෙ…අම්මට බැන්නද…”
ඔවුන් ගේ විවාහ දිවිය තුළ දී අවස්ථා ගණනාවකදී ම කල්ප විසින් සිරිවර්ධන යුවළ අපහාසයට ලක් කොට තිබේ. මුල දී ඉවසා ගෙන සිටිය ද තව දුරටත් එසේ කළ නො හැකි අවස්ථාවකදී “මගෙ අම්මටයි තාත්තටයි ආයෙ මොනා හරි කිව්වොත් නං…” යනුවෙන් පවසමින් සන්තුෂී ඔහු දෙස රවා බැලුවා ය. ඒ වෙලාවේ ඇගේ අත් මිට මෙළවී තිබූ අතර ඇස් වලින් ගිනි රස්නයක් පිට විය. සමච්චලයට වාගේ කට ඇද කළාට කල්ප තවත් වචනයක් කියන්නට පෙළඹුණේ නැත. ඊට පෙර ඇයත් මව් පියනුත් කල්ප ගේ අපහාස උපහාස වලට ලක් වීම ගැන බලවත් පසුතැවීමක් ඒ වෙලාවේ සන්තුෂී ට දැනිණ. මෙලොව කිසිදු පුද්ගලයෙකු සිය සහකරු හෝ සහකාරිය ගේ නින්දා අපහාස වලට ලක්ව හිත් රිදවා ගත යුතු නැත. එය බරපතල ගණයේ හිංසනයකි.
“නෑ මට බැන්නෙ නෑ…මට බණින්නෙ මොකටද…”
ගාණකට නැතිව ස්වර්ණකාන්ති එසේ කියා ඉවත බලා ගත්තේ සන්තුෂී කුපිත කරන්නට ඕනෑ නැති කමට ය..නමුත් කල්ප එහි ඇවිත් ඇයට ද දොස් කියා සන්තුෂී හැකි ඉක්මනින් ගෙදර එවනා ලෙස දැනුම් දී ගියේ ය.
“මං සන්තුෂී ට කිව්වෙ නෑ මගෙ තනියට මෙහෙ නතර වෙන්න කියල. අනේ මට තනියම ඉන්න පුළුවන්”
සිය ආත්මාභිමානය රැක ගනු වස් ස්වර්ණකාන්ති ද අහංකාර ලෙස කීවා ය.
“එහෙනං ලොකු දෙයක්..එයාටත් තේරුං කරල දුන්නොත් හොඳයි කසාද බැඳපු ගෑනියෙක් ඉන්න ඕන කොතනද කියල. කොහොමත් එයා දැන් දඟලනව වැඩියි වගේ..මගෙ සීමාව පන්න ගත්තොත් ඔය සැලෝන් නෙවෙයි මොකවත් කරන්න දෙන්නෑ. කකුල් දෙක කඩල ගෙට කරල තියනව”
“තමුංගෙ ගෑනිගෙ කකුල් නෙවෙයි බෙල්ල කඩා ගත්තත් මට මොකද..”
ස්වර්ණකාන්ති හිස ගස්සා කීවා ය. කල්ප අඩි පොළොවේ හප්පමින් යන්න ගියේ ය. බාහිරයෙන් සන්සුන් ව කෑම ටික උයා නිම කළ සන්තුෂී කාමරයට ගොස් කල්ප ට ඇමතුමක් ගත්තා ය. ඇගේ හිත චණ්ඩ මාරුතයක් සේ කැළඹී තිබිණ.
“ඇයි මෙහෙට ආවෙ…කියන්න තියන දෙයක් මට කතා කරල කියන්න කල්ප..මෙතන මේ හාට් පේශන්ට් කෙනෙක් ඉන්න තැනකට ඇවිත් අඩි හප්පන්න හදන්න එපා”
“අඩි හප්පනව නෙවෙයි තව දවසක් දෙකක් බලල මං”
ඔහු ගේ ස්වරයේ තර්ජනාත්මක බවක් විය. සන්තුෂී ට පිළිකුල් හැඟීමක් දැනිණ.
“මං ඔයාට කියලයි ආවෙ. මං මෙහෙම ඉන්නං. ඔයා ඔයාට කැමති විදිහකට ඉන්න..මට දැන් ඕන ඔය නාඩගං වලින් ඈත් වෙලා පාඩුවෙ මගෙ ජීවිතේ ගත කරන්න”
“එහෙමද හිතං ඉන්නෙ නෝනා…එහෙමනං එන්නෙ ඩිවෝස් කරල දාන එකයි මං කරන්නෙ හරිද”
සන්තුෂී ට සිනා ගියේ ය. නමුත් ඇය ඒ බවක් කල්පට දැනෙන්නට හැරියේ නැත.
“ඔයාට ඕන ඒකනං…ප්‍රශ්නයක් නෑ. මං ලෑස්තියි. ඔයා නඩු දාන්න”
ඇය එසේ කියා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. මීටර සියය දිව්වා සේ සන්තුෂී ගේ හදවත හති දමමින් තිබිණ.