පෙමාතුර 12

විසල් මල්වැන්න මා ගැන කොහොම හිතනවා ද ඔහු ට මා කොහොම දැනෙනවා ද කියා මම නො දැන සිටියෙමි. ඔහු ගේ නෙත් සර පහර විටෙක මගේ ගැහැනු ආත්මය දෙදරවා ලන්නට සමත් විය. නමුත් විටෙක ඔහු පුදුම විදිහට මගේ ඇස් මගහැරියේ ය. සැබවින් ඔහු ට කරන්නට සිදු වූයේ කුමක් දැයි මට හිතා ගත නො හැකි වූයේ ඒ නිසා ය. නමුත් මම ඒ ගැන යම් යම් නිගමනයන් ට එළඹුණෙමි. ඔහු දැනටමත් පෙම්වතෙකු බව සිහි වත්දී විසල් මා නො දන්නා කෙනෙකු සේ හැසිරීමේ උත්සාහයක් ගත්තේ ය. ඒ ඔහු ට ඔහු ම අමතක වී යන අවස්ථා, ඔහු තුළ ම ඔහු බිඳ වැටෙන අවස්ථා ඊට වඩා තිබිණ. ඒ දෙකෙන් මා වඩාත් රිසි වූයේ කුමට දැයි වෙන් කොට හැඳින ගත නො හැකි තරම ය. දෙවන තත්වයේ දී මම වැඩි වැඩියෙන් ප්‍රේමයෙන් උමතු වුණෙමි.

විසල් ට දේශපාලන හා සමාජ දර්ශනයක් තිබුණේ ය. මා එවන් කෙනෙකු නොවේ. දේශපාලනය මඩ වගුරක් ය ඉන් දුරස් ව හිඳිනු මනා යයි ද මා නිතර සිතුවත්, ඒ මඩ වගුරෙහි සිදු වෙන දේවල් ගැන මහත් වූ පිළිකුලකින් මම පෙළෙමින් සිටියෙමි. මට ම පැහැදිලි කර ගත නො හැකි වූ, පෙරා වෙන් කර ගත නො හැකි වූ එ් මා තුළ වූ අසහනය, ඔහු පැහැදිලි ලෙස කතා කළේ ය. එතැන්හි දී මම වැඩි වැඩියෙන් ඔහු කෙරේ ආශක්ත වීමි.

මගේ ඇස් ඉදිරියේ කළ සෙල්ලම කෙසේ වී ද විසල් ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් තිදෙනා ගේ සුරතලා බවට පත් වන්නට නම් වැඩි කල් ගියේ නැත. ඔවුන් රාත්‍රී ආහාරය සඳහා දිනපතා අපේ ගෙදර එන ලෙසට ඇරයුම් කළත් විසල් ආවේ නැත.

“ඕක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ”

ඒ ගැන ප්‍රශ්න කළ පුංචී ට ඔහු සිනහ වෙවී සැහැල්ලුවෙන් කීවේ ය. ඒ විදිහට ඔහු ටිකක් ආඩම්බර පෙන්වූ එක ගැන සතුටක් මා තුළ එහෙ මෙහෙ විය. නමුත් ඒ සතුටට ද නිශ්චිත හේතුවක් මම දැන නො උන්නෙමි.

“මොකද හැමදාම කරන්න බැරි…විකාර නැතුව එනව කොල්ලො. මෙයා හරියට කතා කරන්නෙ හාල් සේරුවක විතර බත් කන මිනිහෙක් වගේ”

පුංචි ඔහු ට නෝක්කාඩු කීවා ය.

“අනික ඉතිං විසල් දන්නවනෙ. අපි තුන් දෙනාම දැන් තනිකඩ ගෑනු තරමයි. අක්කටනං ඉතිං කිසා ගෙ බර තියනව. ඒත් එතන ආර්තික ගැටළුවක් නෑ. මගෙ ටීචින් සැලරි එක අපේ ඩැඩී ඉන්නකල් අකවුන්ට් එකෙන් හෙල්ලිලවත් නෑ. එයා නැති වෙලා ගියාට පස්සෙ තමයි මං පඩිය වියදමට ගත්තෙ. අක්කගෙ හස්බන් නැති වෙලා…අක්කයි කෙල්ලයිත් තනි වෙලා මාත් තනි වෙලා ඉද්දි මං මෙහෙටම ආව. ඊට පස්සෙ වුණත් ගෙදර විය හියදං බලා ගත්තෙ අක්කමයි. මං ඔය ඉඳ හිට මොනාහරි ගේනව විතරයි. අපිට කවුරුත් නැති වුණාම සල්ලි කියන්නෙත් වටිනාකමක් නැති දෙයක් වෙලා යනව විසල්. නදීරා අපිත් එක්ක ඉන්න ආවහම අපේ පාළුව හුඟක් නැති වෙලා ගියා. දැන් විසල් නිසා අපි කාගෙත් හිත් වල තිබුණ පාළුවක් නැති වුණා කියලයි මං හිතන්නෙ”

පුංචි ගේ මුවග ඇයට පුරුදු මඳහස ඒ කතාව පුරා ම පැවතී ද ඇගේ හදවත ඇතුළේ හැංගී තිබි ශෝකයක් ඒ ආකාරයෙන් නග්න වූවා ය කියා මම සිතමි. ඒ ශෝකය වූ කලී ගැහැනු ගෙදර ස්ත්‍රීන් ගේ හදවත් තුළ පොදුවේ පැවතියා වූ කළු කුහරයකි. අඳුරු ගුහාවකි. කාලයකදී ඔවුන් විසින් පෙම් කරනු ලැබූ පුරුෂයන් නිසා හදවත් වලින් හිස් වී ගිය ද, ඔවුන් ගේ හිත් ඇතුළේ පිරිමින් කෙරේ දයාර්ද්‍ර බවක් තව දුරටත් ඉතිරි වී තිබිණ. පිරිමි පාර්ශවයේ සමීප ඇසුරක් ජීවිත වල නොවී ද, එවැන්නක් වෙනුවෙන් නොමියෙන ලෝභ කමක් තව දුරටත් ශේෂ ව තිබිණ. විසල් ආවේ අන්න ඒ හිස් තැන් පුරවා ලමිනි.

පුතෙකු ලෙස අයියා සිටියා ට ඔහු විවාහයෙන් පස්සේ අම්මා ගෙන් දුරස්තර වූයේ ය. එය ස්වභාවික ව සිදු වන්නක් ද නැත්නම් තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීමෙන් සිදු වන්නක් ද කියා නිශ්චිත නැති වී ද අම්මා නිහඬ ව පසෙකට වනු විනා ඒ ගැන අරගල කරන්නට ගිය කෙනෙකු නොවේ. අයියා ඈත් වීමේ සංකාවක් අම්මා වෙත වී නම්, විසල් වෙතින් එය සන්සිඳුවා ගන්නට ඇය ද අහිංසක උත්සාහයක් දරන්නට ඇත.

ඔහු ඈතින් හිටියේ මට පමණකි. නමුත් මා තරම් කිසිවෙකු හදවතින් ඔහු ලං කර ගෙන නොසිටින්නට ද ඇත!

කෙසේ වෙතත් හැමදාම නො පැමිණී ද පුංචි ලා විශේෂ කෑමක් හැදූ දවසක ඔහු ට කතා කළහ. එවන් විටෙක ඔහු ගේ පිරිමි සිනහ කතා හඬින් අපේ ගැහැනු ගෙදර පිරී යයි. ගැහැනුන් ගේ ප්‍රීතිමත් සිනහවන් ද ඉතිර යයි. ඒ අතරින්, ඔවුන් ගේ හදවත් වල හිර වී ඇති ගැහැනු සුසුම් හඬ මට ඇසෙයි!

අම්මා ඉක්මනින් පූර්ණ වශයෙන් සුවපත් වෙමින් සිටියා ය. සිදත් අංකල් නිතර ඇය අමතන බව මට සිතා ගත හැකි විය. ඇගේ ඇස් මත්තේ ශාන්ති දායක කාන්තියක් වූයේ ය.

දුරින් ම හිටියත්, කවදාවත් එක් වීමක් ගැන අපේක්ෂාවක් නොවුණත් ප්‍රේමයකට පවතින්නට හැකි බව මා වටහා ගත්තේ අම්මා ගෙනි!

“අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ අනාගතේ ගැන දැන් මට පුදුම බයක් දැනෙනව”

දවසක්, විසල් ද පැමිණි දා ක කෑම කන ගමන් අම්මා කීවා ය. ඇගේ ස්වරයේ හැබෑ සහකම්පනයක් වූයෙන් හැම කෙනෙකු ගේ ම ඇස් ඈ වෙනුවෙන් එකත්පස් වූයේ ය.

“අපි මෙහෙම කනව. ඒත් එදා වේල හොයා ගෙන කාපු මිනිස්සුන්ගෙ ආර්තිකය ගැන අද කවුද හොයල බලන්න ඉන්නෙ…එක සත පහකින් මිනිස්සුන්ගෙ සැලරි වැඩි වෙලා නෑ. ඒත් හාල් කිලෝ එකක් ගන්න අමාරු තරමට බඩු මිල වැඩි වෙලා. දුප්පත් දෙමව්පියො දරුවන්ගෙ මූලිකම ඕන එපාකම් ටිකවත් පිරිමහල දෙන්නෙ කොහොමද ඉස්සරහට..කොච්චර වුණත් අපේ රටේ දුප්පත් කියන මිනිස්සු වුණත් ආත්ම ගෞරවය කියන දේ තියා ගෙන ජීවත් වුණා. තියෙන විදිහකට කාල හිටිය කාටවත් අත පාන්නෙ නැතුව. දුප්පත් කියන එකේ පතුලටම වැටුණ මිනිස්සු මං දැක්කෙ ඉන්දියාවෙදි. දඹදිව වන්දනාවෙදි උතුරු ඉන්දියාව පුරාම ඇවිදිද්දි වැඩිපුර දැක්කෙ ඒ මිනිස්සු. එයාල ඉන්න ගෙවල් අඩි හතර පහක් උස නැති තරං. රිංගල යන්නෙ ඒවට. නාවර පෙරා ගත්තු මිනිස්සු. අවුරුදු ගාණකින් වතුර පොදක් නාල නෑ ඒ මිනිස්සු. නාන්න නෙවෙයි බොන්න හරි වතුර උතුරක් නෑ. වන්දනා නඩ වල මිනිස්සුන්ගෙ ඇඟේ එල්ලිල වතුර ඉල්ලනව. මං අනන්තවත් බොන්න අතේ තියං හිටිය වතුර බෝතලේ ඒ මිනිස්සුන්ට දීල තියෙනව. කන්න දෙයක් ඉල්ලල ළමයි ඇඟේ එල්ලෙනව. දේවදත්ත බුදු හාමුදුරුවන්ට ගලක් පෙරලපු ගිජු කුළු පව්වට යන ගල් පඩි පාර දෙපැත්තෙ තනිකරම ඉන්නෙ ඒ අන්ත දුප්පත් යාචක මිනිස්සු. එයාලගෙන් වැඩි දෙනෙක් අන්දයි. කොරයි. එක එක විදිහෙ විකලංග තියන මිනිස්සුයි ළමයිනුයි. සංසාරෙ මොන තරං භයානකද කියල හොඳටම මට දැනිච්ච තැනක් තමයි ඒ. මිනිස්සු එච්චර දුප්පත් වෙන්නෙ කොහොමද කියල තාම මට හිතා ගන්න බෑ. දෙයියනේ මේ විදිහට ගියොත් මගෙ රටේ මිනිස්සුන්ටත් එහෙම වෙයි ද කියල හිතනකොටත් බයයි. මගෙ වාසනාවන්ත රටට දේශපාලකයො කරපු නස්පැත්තියක්. හරියට සාරය උරල බීල හප කළා වගේ”

අම්මා ගේ මුහුණේ සැබෑ සංවේගප්‍රාප්ත බවක් හා භීතියක් විය. ඇය හැම විට ම ලෝකයේ කොතැනක හෝ මිනිසුන් ඒ ලෙස දුක් විඳිනා එක ගැන සන්තාප වූවා ය. නමුත් අපේ රටේ දිළිඳු ප්‍රජාව ඒ වාගේ තත්වයකට පත් වෙතැයි මනස් රූප ඇඳ ගැනීමක් වේදනාවක් වී තිබේ.

“ආන්ටි එහෙම කියනකොට මටත් ඉන්දියාවෙ යන්න හිතුණා”

විසල් හදිසියේ ම කීවේ ය. මම ඔහු දෙස බැලුවෙමි. ඒ වතෙහි වූයේ මට වටහා ගත නො හැකි ගැඹුරකි.

“තව ටික කලකින් ඔයාට ලංකාවෙන්ම ඒව බලා ගන්න පුළුවන්”

නදීරා විහිළුවක් කළා ය.

“ඕනම මනුස්සයෙක් ජීවිතේ එක වතාවක් හරි ගිහිං ඇවිදින්න ඕන රටක් තමයි පුතා භාරතය. ටික කලක් එහෙ ඇවිද්දහම විශ්ව විද්‍යාලයකින් එළියට ආව වගේ ජීවිත අවබෝධයක් ලැබෙනව. මං හිතන්නෙ බුදු හාමුදුරුවරු භාරතයෙන් ම පහළ වුණේ ඒක නිසා වෙන්නැති. ඒ ජීවිතාවබෝධය එතනින් තරං වෙන තැනකින් ලබන්න බැරි නිසා වෙන්න ඇති”

“අපි යමුකො ඉතින් හෙමිහිට….එහෙ ගිහින් එන්න”

පපුවේ හිර වීමක් මට දැනිණ. විසල් ගේ ඒ යෝජනාව තුළ කිසිදු පිටස්තර හැඟීමක් දැනුණේ නැත.

“විසල් එහෙම කිව්වහම මටත් ගිහිං එන්න හිතුණා”

පුංචි සිය සිහින් සිනහවෙන් යුතුව කීවා ය. අරමුණු ඒකරාශී වෙන විලාශය ගැන මම කල්පනා කළෙමි. දෙතුන් දෙනෙකු එක ම සිතිවිල්ලකට එළඹි කල ඒ සිතිවිල්ල වඩා බලවත් වේ. මා හා විසල් අතරේ ද අප සගවා ගත් ඒ වගේ එක රේඛාවක සමපාත වන සිතිවිලි පරම්පරාවක් නැතැයි සිතිය යුතු ද?

අපේ ගෙදර ආවත්, අනිත් අය සමග කතා කරත්දී හිතා මතා ම ඔහු මා මග හැර සිටියේ ය. අප හමු වුණේ ඇස් වලින් පමණකි. එද මම එවැන්නකට ඉඩ නොදෙන්නට හැකි තාක් වග බලා ගතිමි. ඒ, මගේ යටි සිත්හි ආතුර ප්‍රේමය ඔහු නොදුට මනායි සිතුණ බැවිනි. ඔහු දැනටමත් පෙම්වතෙකඅ වන නිසාවෙන් මගේ හැගීම් මා තුළ පමණක් පැවතීම ප්‍රමාණවත් ය.

“ඔයා වෙනුවෙන්…ඕනනං මං කැමතියි එයා එක්ක ඒ ගැන කතා කරන්න”

දවසක් විරංග කීවේ මා සසලවා ගෙන ය. එතකොට අප සිටියේ මාර්ග අවහිරයකට නතු ව රිය පෝලිමේ ය. මම හිස හරවා විරංග දෙස බලා සිටියෙමි. ඔහු කෙතරම් නම් සුන්දර මිනිසෙකු ද? ආදරය දෙස බොහෝ දෙනෙකු බලනා කෝණය හාත්පසින් වෙනස් ය. තමන්ට හිමි නොවේ නම් ඒ වස්තුව වෙන කිසිවෙකුට හිමි නොවිය යුතු ය යන්න ඔවුන් ගේ අදහසයි. ප්‍රේමය හා වෛරය අතරේ වෙනස කෙස් ගසකට සමයි යනුවෙන් කවි ගී ලියවෙන්නට හේතුව එයයි.

“මුන්ට යන්න මොකටද මේ පාරවල් වහන් ඉන්නෙ…ඇයි යකෝ උන්ට අපිට වැඩිය මොනාද වෙනසකට තියෙන්නෙ. මගු…ල..”

රථ පෝලිම දෙස බලමින් විරංග නො සන්සුන් ලෙස එසේ කීවේ ඔහු ට තිබුණ කලබලය නිසා ම නොව ඔහු කලින් කළ යෝජනාව ගැන හිතේ වන දෙගිඩියාව සමනය කර ගනු වස් බව මට දැනිණ. දේශපාලකයන් ප්‍රභූවරුන් සේ සලකා ඔවුන් ට මහ මගදීත් විශේෂ වරප්‍රසාද හිමි වීම කාලයක සිට ම මගේ ද අප්‍රසාදයට හේතු වී තිබිණ. නමුත් මේ වෙලාවේ ඒ ගැන කතාවකට මාරු විය නො හැකි තරමට මම විරංග ගැන චමත්කාර සිතිවිලි ඇති ව සිටියෙමි. එහෙව් හොඳ හිත් ඇති පිරිමියෙකු කෙරේ පෙම් සිතිවිලි පහල නොවීම ම ගැහැනියක මිට මොලවා ගෙන එන අවාසනාවක් සේ කෙනෙකු සිතුවත් එහි වරදක් නො වනු ඇත.

“මොනාද ඔයා කතා කරන්නෙ…”

මම මෘදු ලෙස විමසුවෙමි. විරංග මදෙසට ඉක්මන් බැල්මක් හෙළුවේ ය.

“ඕන දෙයක්”

මම තරමක් හඬ නගා සිනහ වුණෙමි. ඔහු එහෙම කරන්නට බැරි තරම් පටු හදවතක් ඇත්තෙකු නොවන බව මම දනිමි. මා සිනහ වූයේ එවන් අදහසකින් නොවේ. නමුත් විරංග මවෙත හෙළු බැලුමෙහි වූයේ එවන් නො රිස්සුම් බවකි.

“ඇයි ඔයාට ශුවර් නැද්ද…”

“ඇයි නැත්තෙ…”

මම ලස්සන සිනහවකින් ඔහු වෙතට දයාවන්ත බැල්මක් හෙළුවෙමි. ඉවත බලන්නට ගිය විරංග ඒ බැල්ම දැක නැවතත් මදෙස බැලුවේ ය.

“මට ආදරේ නැති වුණත් ඔයා ආදරේ කෙනෙක් ළඟ ඔයා සතුටෙන් ඉන්නවනං මං කැමතියි”

“මං දන්නව”

“මොනාද…”

“ඒක ආදරේ කියල”

“නෑ..”

ඔහු මගෙන් ඉවත බලමින් ගියරය අල්ලා ගෙන ඉදිරියට නෙතු හෙළුවේ ය.

“ඔයා ඒක දන්නෙ නෑ”

“මං ඒක දන්නව විරංග. ඒත් ඒ විතරක් මදි කියලත් මං දන්නව. මමත් ආදරේ කරන්න ඕන. එහෙම නොවුණොත් ඉක්මනටම මට ඒක එපා වෙනව කියලත් මං දන්නව. ඔයා ශෝක් කොල්ලෙක්. ඔයාට පිස්සුවෙං ආදරේ කරන කෙල්ලෙක් හම්බ වෙයි”

 ඔහු ගේ හිස් මුදුනේ කෙහෙ රැල්ලක් අවුල් කරනා ගමන් මගේ ඇස් පැති වීදුරුවෙන් එපිටට  දිව ගියේ නිරායාසයෙනි. ඒ දුටු දර්ශනයෙන් මුයෙහි වූ සිනහව වියැකී ගිහින් මා එහෙම ම ගල් විය.  අපට දකුණු පසින් නතර වී තිබි කළු පාට ඇක්වා රියෙහි රියදුරු අසුනේ සිට අප දෙස බලා සිටියේ විසල් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles