Miss Netherlands කිරුළ හිමිවුනේ පිරිමියෙක්ටද?

“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට”

මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ.

රූප රැජිණ තරගයක් දිනන්න පුළුවන් කාන්තාවකට විතරයි.

මම මෙහෙම කිව්වොත් ඔයාලා මාත් එක්ක එකඟ වෙනවද?

අපි දන්න ඉතිහාසය තුළ නම් ඒ කතාවට එකඟ වෙන්න පුලුවන් වුණාට මේ අවුරුද්දෙ ඉඳලනම් අපිට ඒක එහෙමමයි කියල කියන්න බෑ.

ඒකට හේතුව මේ අවුරුද්දෙ Miss Netherlands කිරුළ හිමිවුනේ උපතින්ම කාන්තාවක් වුණු කෙනෙක්ට නම් නෙවෙයි,  Transgender කෙනෙක්ට වීම. එහෙමත් නැත්තම්  පසුකාලීනව ස්ත්‍රිත්වය තෝරාගත්ත අයෙකුට වීම.

වසර 94 ක නෙදර්ලන්ත රූ රැජිණ තරග ඉතිහාසයේ සංක්‍රාන්ති ලිංගිකයෙකු කිරුළ හිමිකරගත් පළමු අවස්තාව මෙය වගේම විශ්ව රෑ රැජිණ තරගයට සහභාගි වන දෙවන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා වන්නෙත් ඇයමයි.

ඒ තමයි මේ Miss Netherlands විදියට කිරුළ පළඳපු රිකී වැලරි කොලේ.

මුල්ම දවස්වල නම් හැමෝම මේක දැක්කෙ සංක්‍රාන්ති ලිංගිකයන් ලබපු ජයග්‍රහණයක් විදියට. 

අපේ රටට මේ සංක්‍රාන්ති ලිංගිකයන්ව අලුත් මාතෘකාවක් වුණාට ලෝකයට නම් මේක ඒතරම් අලුත් මාතෘකාවක් නෙවෙයි.

හැබැයි රිකී වැලරි කොලේ Miss Netherlands කිරුළ දිනාගත්ත එක මේ මාතෘකාව ආයෙමත් මුලු ලෝකෙම කතා බහට අරගෙන එන්න හේතුවක් වුණා.

මුල් දවස්වල මේ සිද්ධිය මිනිස්සු මොන තරම් වර්ණනා කරත් පස්සෙ සමාජ ජාල වෙබ් අඩවි වල නම් රිකී වැලරි කොලේට සෑහෙන ප්‍රහාර එල්ල වුණා.

“මම හිතුවේ නෙදර්ලන්තය සංක්‍රාන්තිලිංගිකයන්ව හදවතින්ම පිළිගන්නවා කියලා. ඒ වුනාට සමාජ මාධ්‍යවල දකින්න ලැබෙන දේවල්වලින් ඒක එහෙම නෑ කියල තේරෙනවා” කියල රිකී මේ ගැන අදහස් දක්වලා තියෙනවා.

හැබැයි කවුරු මේ ගැන මොන දේ කිව්වත් තමන් නම් ගන්න තියෙන හොඳ අරගෙන නරක දේවල් අතෑරල දානව කියල තමයි රිකී නම් කියන්නේ.

පිරිමියෙක්ව ඉපදුණු පුද්ගලයෙක් පසුව ගැහැණියක් බවට සැත්කම් වලින් පත්වෙලා, රූප රැජිණ තරගයකට සහභාගී වීම මොනතරම් දුරට අනිත් කාන්තා තරගකරුවන්ට සාධාරණයක්ද කියන ගැටලුව අපිටත් තියෙන්න පුළුවන්.

ඒ වූණත් විනිශ්චය මඬුල්ලක අවසාන තීරණයෙන්, අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරලා තරගය ජයගත්ත සංක්‍රාන්ති ලිංගිකයෙක්ට වුණත් සමාජ මාධ්‍යා භාවිතා කරලා මඩ ප්‍රහාර එල්ල කිරීම නම් අපිට අනුමත කරන්න බෑ.

මොකද සංක්‍රාන්ති ලිංගිකයෙක් තරගයට ඇතුළත් කරගැනීමේ සාදාරණීයත්වය ගැන හිතන්න ඕන තරගයට ඇතුළත් කරගන්න වෙලාවෙදි මිස තරගය අවසාන වුණාට පස්සෙ නෙවෙයි නෙ.

කාන්තා තරගයකදි ජයගත්ත සංක්‍රාන්ති ලිංගිකයෙක් වුණු රිකී මේ වගේ ප්‍රහාර ඉදිරියෙත් නොසැලී ඉන්න එකෙන්ම ඇය ඇත්තටම රැජිණක් වෙන්න සුදුසු කෙනෙක් කියන එක ආයෙමත් ලෝකයක් ඉදිරියේ ඔප්පු කරනවා.

කවුරු මොන දේ කිව්වත් “මගේ ගමන මම යනවා” කියල රිකී විශ්ව රූ රැජිණ තරගයට යන්නත් සූදානම් වෙනවලු. ඉතින් ඇය විශ්ව රූ රැජිණ තරගයෙන් දිනුවොත් ඒ වගේ තරගයක් දිනපු පළමුවන සංක්‍රාන්ති ලිංගිකයා වෙන්නෙත් ඇය තමයි.

“මට ඕන වුණේ රිකී කියන පුද්ගලයගේ ඇයගේ සංක්‍රාන්ති ලිංගික කතාව ලෝකය ඉස්සරහ කියන්න. ඒත් ඒ වෑයම වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තටම මම දුක් වෙනවා” කියලත් රිකී අදහස් දක්වලා තිබුණා.

අවුරුදු 22 දි මෙහෙම තරගයකින් ජය ගැනීම ගැන තමන්ට තවමත් පුදුමයි කියල රිකී කියනවා.

“තරගය අවසාන මොහොතෙදී මගේ නම ප්‍රකාශ කරාම ඇත්තටම මට හිතාගන්න බැරි වුණා.

දෙවියනේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? කියල මම මගේ හිතෙන්ම ඇහුවෙ මම ඒ තරම් පුදුම වුණ නිසා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට තියෙන සීමාවන් බිඳ දමන බලාපොරොත්තුවෙන් තමයි මම ඇත්තටම මේ තරගයට ආවෙ.

ඒ කිසිම වෙලාවක මට කිරුළ හිමිවෙයි කියල මම හිතුවෙම නෑ”

තමන් පුංචි කාලේ ඉඳලම මේ වගේ තරගයකින් දිනන්න හීන මැව්ව බවත් රිකී News Beat වෙබ් අඩවියට කියලා තිබුණා.

පුංචි කොල්ලෙක් විදියට දැකපු හීනෙ ශක්තිමත් ගැහැණියක් විදියට හැබෑ කරගන්න පවුලේ අයගෙන් සහ හිතවත් අයගෙන් ගොඩක් උදව් උපකාර ලැබුණා කියල රිකී කියනවා.

“ඒ තමයි මට තිබුණ ලොකුම හයිය. මගේ පවුලේ අය, මට ආදරේ කරන අය මාව හදවතින්ම පිළිගත්තා. ඒ හයිය තමයි මාව මෙච්චර දුර අරගෙන ආවෙ”

ඕනම දෙයක් ගැන මිනිස්සු විවේචනාත්මකව කතා කරන නිසා රිකී නම් ඒව ගැන ඒ තරමට හිතන්නේ නෑ.

“මිනිස්සු මට කිව්වා ඔයාට සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් තියෙන තරගයකට යන්න පුලුවන් ඒත් මේ වගේ තරගයකට යන එක වැරදියි, මොකද රූප රැජිණ තරග තියෙන්නේ කාන්තාවන්ට පමණක් නිසා” කියලා.

“මට ඒක දැනුනෙ කවුරුවත් තාම මාව නියම කාන්තාවක් විදියට පිළිගන්නෙ නෑ කියල පෙන්නනවා වගේ

ඒ නිසාම තමයි මම මේ තරගයට අයදුම් කරේ”

සමාජයේ වෙනස් වෙන්න ඕන දේවල් ගැන මුලු නෙදර්ලන්තයටම ඇහෙන්න කතා කරන්න පුළුවන් වේදිකාවක් මේ නිසා නිර්මාණය වීම ගැන රිකී ගොඩක් සතුටු වෙනවලු.

“මිනිස්සුන්ට අනුව මම තවත් එක් සංක්‍රාන්ති ලිංගිකයෙක්. එයාලට අනුව මම මේ වගේ තරගයට අයදුම් කිරීම අනිත් අයදුම් කරුවන්ට කරන අසාධාරණයක්. 

ඒත් එයාලා දන්නෙ නැහැ මේ ගමන මේ තරම් දුර එන්න අනිත් අයදුම්කරුවන් වගේම මමත් මහන්සි වුණා කියලා. මමත් ඒ හා සමානවම කැප කිරීම් කරා කියලා”

මිනිස්සු තමන්ට මොනතරම් වෛර කරත් රිකී නම් ඒ ගැන ඒ හැටි හිතන්නේ නෑ කියල තමයි ආරංචිය. රිකී හැම තිස්සෙම හිතන්නෙ නෙදර්ලන්තයේ මිනිස්සු එයාට මොන තරම් වෛර කරත් ලෝකයේ අනිත් සංක්‍රාන්ති ලිංගිකයන්ව පිළිගන්න රටවල් තමන්ව ආදරයෙන් වැළඳගනීවි කියල තමන් බලාපොරොත්තු වෙන බව.

මේ දවස්වල රිකී ගොඩක් මහන්සි වෙනවලු දෙසැම්බර් මාසේ තියෙන විශ්ව රූ රැජිණ තරගයට යන්න.

ඒ ගැනත් විශේෂයෙන්ම යමක් කියන්න ඕන.

පසුගිය අවුරුද්දේ ඉඳල විශ්ව රූ රැජිණ තරගය සංවිධානය කරන්නේ තවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන Anne Jakapong Jakrajutatip විසින්. 

ඉතින් තමන් වගේම තවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් විසින් සංවිධානය කරන විශ්ව රෑ රැජිණ තරගයේදිනම් කිරුළ හිමි වුණත් නැතත් රැජිණක් වගේ ඔලුව කෙළින් තියාගෙන, කිසිම කෙනෙක්ගෙ වෛරයට පාත්‍ර නොවී තරග කරන්න රිකීට ඉඩ ලැබේවි කියල අපි විශ්වාස කරනවා.

දවසෙන් දවස තප්පරෙන් තප්පරේ හැමදේම වෙනස් වෙන ලෝකෙක, අවුරුදු ගාණක් තිස්සෙ එකම විදියට පවත්වගෙන ආව රූ රැජිණ තරගවලත් වෙනසක් දකින්න ලැබෙන එක සාමාන්‍ය දෙයක්.

හැබැයි කළින් පිරිමියෙක් වෙලා ඉඳල, සැත්කම් වලින් කාන්තාවක් වුණු කෙනෙක් කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන රූ රැජිණ තරගයකින් ජය ගැනීම සාදාරණ ද නැද්ද?

ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ?

මූලාශ්‍රය:  nbc news වෙබ් අඩවියෙන්

සටහන් – උදතාරි

Related Articles

Don't Miss


Latest Articles