නිම් නැති නිම්නය 34

කාවින්දි ගජධීර සිටියේ හිතේ සැනසුමකින් නොවේ. තාරා වෙතින් දැන ගන්නට ලැබුණ පුවත ඇය වියවුල් කොට තිබිණ. කිසිදු වැඩක් සන්සුන් මනසකින් කර ගත හැකි වූයේ නැත. තාරා කියනා පරිදි ආරාධනා ගේ හා දරුවන් දෙදෙනා ගේ භාරකාරත්වය කවීශ්වර විසින් භාර ගනු ලබනවා කියන්නේ එතැන ඇති වූ විශාල අර්බුධයක් ගේ ඇතුළේ ම විසඳී යනවා කියන එක ය. දරුවන් ට කවීශ්වර තරම් ආදරය කරනා පියෙකු තවත් තැනකින් සෙවිය නො හැකි වනු ඇත. නමුත් ආරාධනා ට කවීශ්වර ට වැඩියෙන් හොඳ සැමියෙකු සෙවිය නො හැකි වනු ඇත්ද?

කවීශ්වර කියන්නේ පාසල් යෞවනයෙකු කාලයේ පටන් ම අනංගයා ගේ චරිතය ඉතා දක්ෂ ලෙස නිරූපනය කළ රංගන ශිල්පියෙකි. එක ම බාලිකා පාසලේ ද එක ම පන්තියේ ද සහෝදර බාලිකාවන් කිහිප දෙනා ඔහු එකවර සිය පෙම්වතියන් ලෙස ඇසුුරු කළේ ය. පාසලෙන් සමු ගත්තා ට පස්සේ ද මේ අනඟ රැඟුම් වල නිමාවක් වූයේ නැත. ඇතැම් විට ඔහු ඇසුරු කළේ ඔහු ට වැඩිය වයසින් වැඩි කාන්තාවන් ය. මේ පුවත් ඔහු ට පමණක් රහස් වූ කාරණා ද නොවේ. පාසල් වල ද පාසල් හැර ගිය තරුණියන් අතරේ ද කවීශ්වර සේ ම ඔහු ගේ අන්තඃපුර පෙම්වතියන් ගැන තොරතුරු පැතිර ගියේ ය. ඔහු සේ ම ඒ ඇතැම් පෙම්වතියක ද කොළඹ තරුණ ස්ත්‍රී සමාජයට කටගැස්මක් වූයේ ය. මේ ගැන හාස්‍යයෙන් වේවා පිළිකුළෙන් වේවා ද්වේශයෙන් වේවා ඊර්ෂ්‍යාවෙන් වේවා කතා කළ අති බහුතරයක් කාන්තාවන්, රහසින් හෝ කවීශ්වර ගේ ඇසුර පැතූ බවට ද සැකයක් නැත. 

කවීශ්වර ගජධීර ගැන පතල වෙන මෙවන් පුවත් නිසා ගජධීර පවුලෙන් වැඩිපුර ම ලැජ්ජාවට පත් වූයේ කාවින්දි ය. පොඩි අයියා නිසා ලෝකය ඇදෙස බලන්නේ ද නරක ඇසකිනැයි ඇය සිතූ වාර ගණන සිහි කොට නිම කළ නො හැකි තරම ය. ඒ කාලේ පටන් ම ඔහු ඇගේ ලේ කෝප කළේ ය. ඔහු නිසා ඇය සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් වූවා ය. අපහසුවට පත් වූවා ය. ඇතැම් විට අවමානයට පවා ලක් වූවා ය. 

ඇය ගෞරවයට බඳුන් වූයේ ලොකු අයියා කාශ්‍යප නිසා ය!

පාසල් වියේ දී කවීශ්වර ගේ ඇස් ආරාධනා වටේ කැරකෙන්නට ගත්දී කාවින්දි වඩාත් තදින් සිටියේ කවීශ්වර ගේ කැරැට්ටුව ඇය තරම් හොඳින් දැන සිටි වෙනකෙකු නැති නිසා ය. පසු කාලීනව ද ඔහු ගේ ස්ත්‍රී සමාගම් ගැන පුවත් වරින් වර කුණාටු සුළං ව හමා ගියේ ය. ඔහු තමන් ගේ කෙනෙකු නොවෙන ගානට ඇතැම් විට ඇය හැසිරුණා ය. මග තොටේ දී හෝ ප්‍රසිද්ධ ස්ථාන වල දී දුටුවොත් ඉවත බලා ගත්තා ය. 

ජීවිතයේ එක යුගයක පොඩි අයියා ගේ ඇස් වලින් මුවහ කොට ගෙන සිටි සමීපතම යෙහෙළියව ඇය ලොකු අයියාට භාර දුන්නේ ආඩම්බරයෙනි. සතුටෙනි. විශ්වාසයෙනි. නමුත් කාශ්‍යප ඒ විශ්වාසය කැඩුවේ ය. ඉතින් කවීශ්වර ගැන කොහොම විශ්වාස කරන්න ද? අන්තිමට ආරාධනා ට සිදු වන්නේ කබලෙන් ළිපට වැටෙන්නට ය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසුන් කණාමැදිරි එළියටත් බිය යයි කතාවක් තිබේ. ආරාධනා ගැන වගකීම වන්නේ සියතෙහි යයි කාවින්දි තදින් සිතුවා ය. එක සැරයක් ඇගේ පවුලෙන් ආරාධනා ට සිදු වූ වරද යළි සිදු වෙන්නට දිය නො හැකි ය. හිතේ එකලාසයක් නැති ම තැන ඇය තාරා ට කතා කොට කෝපි හලක දී ඇය හමු වූවා ය.

“ඔයා මේ බහුබූතයක් කියපු වෙලේ ඉඳන් මට වැඩක් කර ගන්න බෑ. කන්න බෑ. නින්ද යන්නෑ. මොන මගු ල ක්දෝයි…”

ඇය ඒ චෝදනාව කළේ අවංකවම ය. කාවින්දි දෙදිනක් පුරාවට එවන් තත්වයකින් පීඩා වින්දා ය. තාරා ගේ කට කොනක් සිනහවකට ඇද වූයේ ය.

“ඕකට කියන්නෙ කාවි…රැඩිකල් කම රෙද්ද පල්ලෙන් බේරෙනව කියල. උඹ කොච්චර රැඩිකල් වෙන්න හැදුවත් ඇතුළෙ ඉන්නෙ අර ගෝත්‍රික සම්ප්‍රදායික ගෑනිමයි. ඇමෙරිකන් පැටර්න් එකට වැඩ කරන්න හැදුවට හිතන්නෙ දූපත් මානසිකත්වයෙන්මයි. උඹට වෙලා තියෙන්නෙ…අයිය ළමයි දෙන්නෙක් ඉන්න ගෑනියෙක්ට ලං වෙනව බලං ඉන්න බැරි කම. අම්මලත් ඒකට කීයටවත් කැමති වෙන්නෑ කියල උඹ කිව්වනෙ. එහෙනං එතනත් තියෙන්නෙ සම්ප්‍රදායික නැන්දම්මා කතන්දරේමයි. තමුන්ගෙ එක පුතෙක් අර කෙල්ලව අසරණ කරල ගියාට…අනිත් පුතා ඒ අසරණකමින් ඒ කෙල්ලව මුදා ගන්න ලං වෙනවට නැමති නෑ. උඹයි මායි විතරක් නෙවේ හැමෝම දන්නවනෙ. කවීශ්වර කියන්නෙ ගෑනු හුස්මක් වැදිල නැති කොල්ලෙක් නෙවේනෙ. එහෙව් එකාට වුණත් අම්මයි උඹයි කසාද බන්දන්න හොයන්නෙ පිරිමි හුස්මක් වැදිල නැති ශුද්ධ වූ ගෑනියෙක්. මැණිකෙ ආන්ටි සම්ප්‍රදායික නැන්දම්ම කෙනෙක් නොවී අරාට ලව් එකේ හිටිය කියන්නෙ ඒකිට ඇත්තටම ආදරේකින් වෙච්ච දෙයක් නෙවෙයිද එතකොට.. මට තේරෙන්නෑ බං. අපි ආදරේ කියල කියන හැම දෙයක් ඇතුළෙම තියෙන්නෙ අපිට වාසියක් බලාපොරොත්තු වෙන සෙල්ෆිශ් ගතියක් විතරද එතකොට…”

තාරා නැවතිල්ලේ මුත් කියවා ගෙන ගියා ය. මේ එම සිදුවීම වූ අවස්ථාවේ පටන් ඇයට කියා ගන්නට උවමනා වී තිබූ දේ ය. නමුත් කියා ගන්නට අවස්ථාවක් උදා වූයේ නැත. කාවින්දි විසින් ඇය පමණක් නොව රාජිකා මැණිකේ පවා එවැන්නකට අකමැතියි යනුවෙන් පැවසීම තාරා ගේ සිත රිදවා තිබිණ. කිසිවෙකු සමගින් නො පවසා ඇය ඒ හිත් රිදුම හිතේ හිර කර ගෙන ද සිටියා ය.

“ඉවරද…දැන් කියල ඉවරද…”

දෑස් ලොකු කර ගෙන තාරා කී සියල්ල අසා සිටි කාවින්දි, අවසන එසේ ඇසුවේ තවත් තත්පර කිහිපයක් ඉක්මන් හුස්ම ගැනීමෙන් ඉක්බිති ය.

“පිස්සුද හලෝ ඔයාට…”

යළිදු ඇය එසේ ඇසුවා ය.

“මං කිව්වෙ එහෙම මගුල් සම්ප්‍රදායක් ගැන නෙවෙයි. අපේ පොඩී කෙල්ලො කී දෙනෙක් එක්ක මොන වෙඩිමක් කරන්න ඇද්ද කියල මන්නං හිතන්නවත් කැමති නෑ. ඇත්තටම මට ලැජ්ජයි. මට බැරි එහෙම එකෙක්ට මේ පවුලෙ වගකීම බාර දෙන්නයි තාරා අක්කෙ. පොඩි අයිය කියන්නෙ කවදාවත් කිසි දෙයක් ගැන වගකීමක් ගත්ත මිනිහෙක් නෙවෙයි. ඉතින් එයා ලොකු අයියගෙ හිටපු වයිෆ්ගෙයි ළමයි දෙන්නගෙයි වගකීම ගනීද…රාධා කබලෙන් ළිපට වැටෙයි. ඒ කෙල්ලට මුළු ලෝකෙම අවමාන කරයි. හිත හදා ගෙන ජීවිතේ පිළිවෙලක් කර ගන්න හිතුවෙ මොන තරං අමාරුවෙන්ද…ආයිත් සැරයක් ඒකම වුණොත්…මේ යකා වෙන ගෑනු එක්ක නාඩගං නටනව කියල ආරංචි වුණොත්…ඒ කෙල්ලට තවත් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියල හිතන්න”

“කවී අරාට එහෙම කරන්නෑ”

“ඇයි…”

“ඒකා අරාට ආදරේ නිසා”

“මගුලක් කතා කරනව”

කවින්දි ගේ සිනහව සමච්චල් සහගත විය.

“අපේ පොඩී එහෙම දෙයක් දන්නෑ තාරා අක්කෙ. ආදරේ කියන්නෙ සමච්චේදනය කරල බෙදල දෙන්න පුළුවන් දෙයක් නෙවේනෙ. එහෙම පුළුවන් වුණානං මේ අහල ගං හතේ ඉන්න ගෑනු පුදුම වාසනාවන්තියො”

“අරා වගේම උඹත් කවීව අන්ඩර් එස්ටිමේට් කරන්න එපා කාවි. එක ම ගඟ දෙපාරක් ගලන්නෑ කියනවනෙ. හරි කවී අතින් වැරදි වෙලා ඇති. ගෑනු වශී කරන කඩවසමක් එක්ක ඉපදෙන පිරිමියෙක්ට ජීවිතේ ටිකක් තේරුං යනකල් සිල් රකින්න බෑ. ඒත් තමුන්ට දැනෙන තැන නතර වෙන්න ලැබුණනං ඒ හැම දේම වෙනස් වෙනව. දෙයියනේ කියල උඹ මාව විශ්වාස කරං හිටපං. ආන්ටි දවසක මේකට විරුද්ද වුණත් උඹ ඉන්න ඕනෙ මගෙ පැත්තෙ”

“අනේ මන්දා. රාධා ආයෙමත් අමාරුවෙ වැටෙන්නැතුව ඕන දෙයක්”

එදා තාරා සමගින් කතා බහ කළ පසු හිත තරමක් ලිහිල් වෙනවා කාවින්දි ට දැනිණ. නමුත් ඕ කවීශ්වර විශ්වාස කරන්නට ඉක්මන් වූයේ නැත. තාරා ප්‍රශ්නය තුළ සිටිනා නිසාවෙන් විසඳුමක් ගැන ඇගේ බිය තුනී වූවා පමණකි.

ආරාධනා නිවී සැනසෙමින් සිටියා ය. බැඳීම් වලින් නිදහස් වීම යනු නිවීමේ මාර්ගය බව වසර දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ අවබෝධ කර ගත්තකි. නමුත් ඇයට මුළුමනින් නිදහස් විය නො හැකි ය. සසරට අප බැඳ තබනා ඍජු ම පෙකණි වැල දරුවන් ය.

සඳයුරු මාස හතක් පසු කරමින් සිටියේ ය. ඔහු ගේ කිරි සිනහා ද සුරතලය ද දකිත්දී ආරාධනා ගේ හිස් වූ සිත ස්නේහයෙන් පිරේ. දරුවන් කියන්නේ දෙව් ලොවට අයත් මිනිස් ලොවේ නියෝජනය කියා බිඟුනි බිළිඳු කල ද ඇයට කොතෙකුත් සිතී තිබේ. කාශ්‍යප ගැන කිසිදු සිතිවිල්ලකට ඇය හිතේ ඉඩක් නොදුන්නා ම නොව ඔහු සැබවින් ම හිතේ ඉඩක් ගන්නට තරම් ඇයට දැන් විශේෂ වූයේ නැත. සිය ජීවිතය ම කැප කරමින් ආදරය කළ පිරිමියෙකු වුව යන්නට ගිය කල ගැහැනියකට යළි ඔහු අවැසි වන්නේ නැත. 

වෙනදාට වඩා, හිතට වැඩම කොට ඇති මේ නිර්වාන සුවයට ඇය කැමති ය. දරුවන් දෙදෙනා ගේ ද සැනසුම් පායේ ද වැඩ ටික කර ගෙන, උපකාරක පන්තිය ද කර ගෙන ඇය නිශ්චල දිවියකට අවතීර්ණ වෙමින් සිටින්නී ය. පන්තියට සහභාගී වන දරුවන් ගණන එන්න එන්න ම වැඩි වීම ඇගේ ආත්ම විශ්වාසය ද වැඩි වර්ධනය කරවයි. 

“දැන් මට මගෙ ජීවිතේ නැති කර ගන්න කිසිම උවමනාවක් නෑ. ඒක නිසා අම්මලවත් කවීශ්වරවත් මං ගැන බය වෙන්න ඕන නෑ. හොඳ සිහියෙන් මට වැඩ කර ගන්න පුළුවන්. ඒක නිසා කවීශ්වර මාව ක්ලාස් එකට අරං යන්න එන්න වද වෙන්න එපා අනේ”

දිනක් දහවල් ආහාර පිළියෙළ කරනා ගමන්, ලූණු ගෙඩියක් කපමින් සිටින අතරේ ආරාධනා කීවා ය. ඒ වෙලාවේ රාජිකා මැණිකේ ගොටුකොළ ඇහිඳිමින් සිටියා ය. කවීශ්වර මුළුතැන්ගෙට විත් ශීතකරණය හැර ගෙන බොන්නට යමක් සොයමින් සිටියේ ය.

“ඇයි කවුරුහරි ඉන්නවද තනියට යන්න එන්න…”

කවීශ්වර ඒ පැනය නැගුවේ විහිළුවට වාගේ ය. අනිත් අතට ඔහු ට දැනුණ රිදුමට පෙරලා යන්තමින් ඇය කොනිති ගැසීමේ උවමනාවක් ද නො දැනුණා ම නොවේ. නමුත් ඔහු ගේ දෙතොලතර මෘදු පිරිමිකාර මඳහසක් පොපියෑවේ ය.

“ඌහ්…ආව්…”

ලූණු ගෙඩිය පසෙකට  ලිස්සා ආරාධනා ගේ ඇඟිල්ලක් පිහියට කැපී ගියේ ය. ඇය දකුණතින් වමත තද කොට අල්වා ගත්තා ය.

“ඇයි..”

රාජිකා මැණිකේ එහෙම අහනකොට කවීශ්වර ආරාධනා වෙතට සමීප වී අහවර ය.

“ආ…අත කපා ගත්තද..”

ලේ දහරක් ගලමින් තිබුණේ ය. කවීශ්වර ඒ ඇඟිල්ල ගෙන සිය මුවෙහි ඔබා ගත්තේ එසැනෙනි. රාජිකා මැණිකේ ට කර කියා ගත හැකි යමක් නොවී ය. ආරාධනා ට ද කිසිත් සිතා ගත නො හැකි විය. කවීශ්වර ට ඒ කිසිවෙකු ගේ සිතිවිලි වලින් ඇති වැදගත් කමක් ද නොවී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles