නොසැලකිල්ල

” මම දවස් දෙකකින් නිදාගෙන නෑ… වේල් හයකින් කාලා නෑ…. ඒ අස්සේ ඔයා මේ මැසේජ් එකක් ගැන කියෝනවා….මේ වැඩ ඔක්කොම ඉවර කරලා දවසක් දාගෙන ඔයා එක්කම මැසේජ් කර කර ඉන්නම් හරිද ?..” 

සන්තුකගේ හඬ වෙඩිල්ලක් වගේ ඇහෙනකොට මම  ජංගම දුරකථනය දිහා බැලුවා.  ඒ එයාම බව පෙනුනාට පස්සේ ඇස් වලට කඳුළු එන එක නවත්තගන්න මට පුළුවන් වුණේ නැහැ. 

“සොරි..බායි…”

මම එහෙම කියලා ඉවර වෙන්නත් කලින් ඇමතුම විසන්ධි වුනා. මම මේසය උඩ තියෙන ජංගම දුරකථනය දිහා බලාගෙන හිටියා. ඉතා ප්‍රේමාන්විතව ඇරඹුම, ඉතාම ප්‍රේමාන්විතව අවසාන වුන සංවාද මට ඇහුණා.  මගේ කාර්‍යබහුල දවස් වල සන්තුක වෙනුවෙන් කාලය වෙන් කරගන්න මම කොයි තරම් නම් වෙහෙසෙනවද කියලා මට මතක් වුණා. සමහර වාර්තා වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලයෙන් විනාඩි පහක් ඉතුරු කරගෙන සන්තුකට අවැසි වෙන වෙලාවට ඔහු ළඟ ඉන්න මම වෙලාව වෙන් කරගන්න බව මට මතක් වුණා.  ඒ වගේම සන්තුක මගේ අමාරු කාල දරාගන්න මට කොච්චරක් උදව් කරලා තියෙනවාද කියලා මට මතක් වුණා.

“මිනිස්සු ජීවිතේ ප්‍රයෝරිටි හදාගන්නවා.. ඒ ඒ ප්‍රයෝරිටි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. සමහරවිට අපිට වෙනවා අපිව නොසැලකෙන බව දැනෙන දවස් දරාගන්න… එහෙම දවස් පහු කරන්න… අපිට ඒ දරාගැනීම කරන්න බැරි නම්, හොඳම දේ අපිව නොසැලකෙන තැන් වලින් ඉවත් වෙන එක…”

රූපවාහිනී සංවාදෙක ඇහුණ කතාවක් මට මතක් වුණා. 

සම්බන්ධතාවයක් නවත්තලා දානවා කියන්නේ සම්බන්ධ කරගන්න තියෙන හැම තැනකින්ම අවහිර කරලා දාලා නිහඬ වෙන එක වගේ තැනකට අපි හුරු වෙලා තියෙනවා. සම්බන්ධතා ඒ තරමට සරළ විදියට සලකන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මම සන්තුකව එහෙම අවහිර කරලා දැම්මොත් සමහරවිට සන්තුක ආයේ කවදාවත් මාව හොයාගෙන එන එකක් නැති බවට සැකේකුත් මගේ හිතේ නැතුවම නෙවෙයි. ඒ නිසාම, මේ අවුරුදු ගානටම සන්තුක මාව කොයි තරම් අවහිර කලත්, මගේ අතින් සන්තුකව අවහිර වෙලා ගිය දවස් ඇත්තේම නැති තරම්.

මම කණ්ණාඩිය ඉස්සරහ හිට ගත්තා. ඇස් රතු වෙලා, කොණ්ඩේ මූණ පුරාම ඉහිරිලා, කඳුළු වලින් කම්මුල් තෙමිලා ගිහින්. මම මේ විඳින්නේ මම තෝරාගත්ත ජීවිතය ඇතුලේ තියෙන විඳවීමක් බව මට තේරෙනවා. ජීවිතේ හැම අමාරු කාලෙකම සන්තුක ළඟ ඉඳීවි කියලා හිතන එක නිකම්ම හිතලුවක් වෙන බවත් මට හිතුණා. 

මම සේවය කරපු ආයතනය අ මාස තුනක වැටුප් ගෙවීමකින් පස්සේ කාර්‍යමණ්ඩලයම විසිරුවා හරින බව කිව්වේ අද උදේ. අපේ ආයතනයේ උන්න පහලොස් දෙනාගෙන්ම ඒ තීරණය ලොකු බලපෑමක් කරන්නේ මට විතරයි. එතැන උන්න බොහෝ දෙනා රැකියාව කලේ ඔවුන්ගේ ඒකාකාරී ජීවිත වලට අස්වැසිල්ලක් වෙන එක වෙනුවෙන්. ඔවුන්ට ඇති වෙන්න මුදල් තිබුණා. ඔවුන්ගේ පවුල් වල අයට ඔවුන්ව රැක බලාගන්න පුලුවන් කම තිබුණා. ඒත්, මගේ පැත්තෙන් කතාව වෙනස්. මගේ පඩියෙන් මට කරන්න දේවල් නොසෑහෙන්න තිබුණා. අම්මගෙයි තාත්තාගෙයි බෙහෙත් වියදම් වගේම මල්ලිගෙ කැම්පස් ගමනත් මගේ වැටුප මත මම පටව ගත්ත වගකීම් වෙලයි තිබුණේ. 

මාස තුනට වැටුප එක්ක ඊටීඑෆ් මුදලත් ලැබෙන නිසා ඉස්සරහට මාස තුන ගැන කලබල නොවෙන්න ඕනි බව මට තේරුණත්, මට ඕනි වුණේ සන්තුක එක්ක මේ කලබලය බෙදාගන්න. එයා එක්ක කතා කලාම හිතට දැනෙන සැහැල්ලුව  එක්ක  මේ ප්‍රශ්නෙ පිලිගන්න. ඒත් දවසක්  උත්සාහ කරලා අවසානේදි එයා මට දුන්න පිළිතුර තමයි ඒක.  කලකිරීමක් වගේම මගේ ගැනම දැනෙන වේදනාවක් විතරයි ඉතුරු.

 මම  රෑ දහයයි කියලා බලන්නේ නැතුව හොඳට නා ගත්තා. ඊට පස්සේ උණුවෙන් කෝපි එකක් බිව්වා. සන්තුකව සම්බන්ධ කරගන්න පුළුවන් හැම මාර්ගයක්ම අවහිර කලා. 

මගේ සීවී එක ආයෙම අලුතෙන් හැදුවා. රැකියාවක් වෙනුවෙන් උත්සාහ කරන එක පහුවෙනිදා ට ඉතිරි කරලා මම නිදාගත්තා. 

උදේ ඇහැරෙනකොටම මතක් වුනේ සන්තුකව. වෙනදාට  ඇඳේ ඉඳඟෙනම සන්තුකට යවන කෙටි පණිවිඩය යවන්නම හිත ආයේ ආයෙම රණ්ඩු කරන ගමන් හිටියේ. ඒත් මම ජංගම දුරකථන අතටවත් නොගෙනම ඇඳෙන් බැස්සා.

කාර්‍යාලයට ගිහින් ඒ කටයුතු අවසාන කරගෙන මම බෝඩිමට එනකොට හිත තිබුණේ හේතු තේරෙන් සාංකාවක.  සන්තුක ජීවිතේ ඇතුළේ නැති බවට දැනෙන හිස් තැන සෑහෙන්නම රිදුමක් විදියට දැනෙන්න පටන් අරගෙන තිබුණේ. 

“කමක් නැහැ.. එයාට එයාගේ ජීවිතේ ගෙවන සැහැල්ලුව මගෙන් අවහිර වෙන්න දෙන්නේ නෑ මම… මට පුළුවන් මේක තනියෙන් කරගන්න…”

මම ආයේ ආයෙම හිතුවා. ඊළඟ දවස් දෙකම මම බෝඩිමට වෙලා හිටියෙ. ඒ අතරේ යාලුවන්ට කතා කර කර නව රැකියාවක් වෙනුවෙන් මම ඉඩ හෙව්වා. 

සන්තුක මගේ ජීවිතේ කොයි තරම් ඉඩක ඉඳලා තියෙනවාද කියන එක මට තත්පරයක් පාසා  දැනෙන්න පටන් අරගෙන තිබුනත්, මම හැම තිස්සේම උත්සාහ කලා මාව නොසලකා හැරෙන තැනක රැඳෙන්න ඕනි නැති බව ඒත්තු ගන්වා ගන්න. 

එකපාරටම මම ඇහැරුණේ නන්නාදුනන ,අංකයකින් ආව ඇමතුමකින්. වෙලාව මැදියම් රෑ දොළහත් පහු වෙලා තිබුණ නිසා මම ඒ ඇමතුම මඟ හැරියා. දිගින් දිගටම ඒ අංකයෙන් ඇමතුම් එනකොට මම ඇමතුම ට පිළිතුරු දුන්නා. 

” ළමයෝ.. මොකක් වෙලාද මේ…”

නුහුරු අංකෙකින් ඇහෙන හුරු හඬ එක්ක මම  ගැස්සිලා ඇහැරුණා 

“කතා කරන්න චායා.. කොහෙද ඉන්නෙ?”

“බෝඩිමේ…”

“බෝඩිමේ කියන්නේ ? මං ඔයාලගේ ඔෆිස් ලයින් එකටත් ගත්තා.. ඒකත් වැඩ නෑ…”

“ඔව්… “

“ඒ මොකද ඒ ?”

“කම්පැනි එක වැහුවා.. අපිව අයින් කලා…”

ඊට පස්සේ මුකුත් ඇහුනේ නැහැ. 

“අවුලක් නෑ.. මම ජොබ් එකක් හොයාගන්නවා… ඔයාට කරදර වෙන්නෙ නෑ…”

මගේ හිතුවක්කාර කම එහෙම එලි බැස්සා. මට ඇහුණා මහ හඬින් වැටුණ සුසුමක්. 

“මං උදේ එන්නම්… දැන් මේ වැඩ ටික ඉවර කරගෙන කෝච්චියට නැග්ගා විතරයි …”

“ඕනි නැහැ එහෙම.. ඔයාගේ වැඩ කරගන්න ..”

“චායා… අයිම් සොරි… වැඩ ටික බැලන්ස් කරගන්න බැරුව මම පිස්සු වැටිලා හිටියේ .. මට එදා එහෙම නොකියා ඉන්න තිබුණේ..”

“හරි.. ඒකට කමක් නැහැ.. මං ඒවා අමතක කලා…”

“මට සමාව දෙන්න බැරිද ?”

“ඔයා ඔයාගේ වැඩ කරගන්න…. “

සන්තුක පහුවෙනිදා එන බව ආයේ ආයෙම කියලා ඇමතුම විසන්ධි කලා. 

ඇමතුම විසන්ධි කලාට පස්සේත් සන්තුකගෙන් පණිවිඩ ඉවරයක් වුණේ නැහැ.  ඔහු ඉතාම සීරුවෙන් මාව සුවපත් කරන්න අටන් අරගෙන බව මට වැටහුණා.

ඒත් , මම ඇත්තටම කරන්න ඕනි දේ ගැන මට අදහසක් ඇති වුනේ නැහැ. 

සමහරවිට මම සන්තුකට ආයෙම අවස්ථාවක් දේවි. 

ජීවිතේ එහෙමයි…!

ආදරේ එහෙමයි….!!

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles