රිය ඇදී ගියේ පුරුදු පාරේ ය. ඇහැට හුරු ගොඩනැගිලි හා වෙනත් මං සලකුණු පසු විය. ඒ කිසිවක් ගැන සන්තුෂී කිසි ම සැලකිල්ලක් නො කළා ය. සුක්කානම අල්ලා ගන්නේ නැතිව, අනතුරු ගැන වද වීමක් නැතිව, අනුන් ගැන වගකීමක් නැතිව රියක් තුළ ගමන් කරත්දී පා වීමක් බඳු සැහැල්ලුවකට එළඹිය හැක. තමන් තුළ අතරමං වී හිතත් එක්ක කතා කළ හැක. ශරීරය රිය තුළ තිබියදී මනෝ කය ඈත ඈත ඈත දුරකට පා කොට හැරිය හැක.
නමුත් සන්තුෂී කිසිත් කල්පනා කළේ නැත. ඇයට කල්පනා කරන්නට ඕන වුණේ නැත. ඒ අතීතය හිතට එහෙව් සුවයක් දනවන එකක් නොවේ. මතක් වෙන බොහෝ තැන් වල වන්නේ රිදුම් හා අප්‍රසන්න මතක කඳු ය. ඒ නිසා හැකි තාක් අතීතය දෙස නො බලා ඉන්නට සන්තුෂී කැමති ය. එය ඇයට පහසුවකි. නමුත් අතීතයෙන් එන වේදනා සුළං හද බිත්ති මත වැදී රිදවුම් දෙන එක නතර කළ නො හැකි ය.
“කියන්න ඕන කියල හිතෙන ඕන දෙයක්…හිතේ තියෙන ඕනම දෙයක්…ඔයාට මං ළඟ කියන්න පුළුවන්. කියල හිත නිදහස් කර ගන්න පුළුවන්. ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් සන්තු…”
අංජන නීලවතුර හෙමිහිට සිය මුණිවත බින්දේ ය. සන්තුෂී යන්තම් දෑස් හරවා මේ අහම්බෙන් අතර මගක දී හමු වූ මිනිසා දෙස බැලුවා ය. ඔහු ව විශ්වාස කළ හැකි බව ඔහු නොකීවත් ඇය දනී. ඒ කෙසේද කියා පැහැදිලි කරන්නට නො දන්නා මුත් ඇය දනී.
අංජන තීක්ෂණ දෑසකින් ඉදිරිය බලා ගෙන රිය පදවයි. සන්තුෂී මොහොතක් ඒ මුහුණ මත ම නෙතු නතර කර ගෙන සිටියා ය. මේ මිනිසා මේ විදිහට හිත වෙත ගසා ගෙන ආවේ කවර බලවේගයක ඕනෑ කමටද කියා ඇය දන්නේ නැත. හඬන්නට තරම් මහ දුකක් සන්තුෂී ගේ පපුවේ කරක් ගසයි. ඒ දුකට නිශ්චිත හේතුවක් නැත. කල්ප වැන්නෙකුගෙන් සදහට ම වෙන් වීම දුකක් විය යුතු නැතැයි ඇය අදහයි. නමුත් දුකක් ශේෂ ව තියේ.
“ගෞරවනීය විදිහට එකට ඉන්න බැරිනං ගෞරවනීය විදිහට වෙන් වෙලා යන එකයි හොඳ අංජන”
සියල්ල කැටි කොට ඇය කීවේ එපමණකි. අවුරුදු විසි ගණනක් නීත්‍යානුකූල සැමියා ගේ තනතුර දැරූ මිනිසා ගැන මාස දෙක තුනක ඇසුරක් ඇති මිනිසෙකු ඉදිරියේ වැරදි කියන්නට සන්තුෂී ට හිත හදා ගත හැකි වූයේ නැත. අනිත් අතට ඒ කිසිත් පිටස්තරයෙකු සමගින් පවසා දිනා ගන්නට යමක් ඇයට නැත්තේ ය.
“මං මේකට ලෑස්ති වෙලා හිටියෙ අවුරුදු පහළවකටත් එහා අතීතෙ ඉඳන්. ඒක ලේසි නෑ. අන්තිමට අමාරු වුණේ ඒ ගේ අත් ඇරල අපේ ගෙදර යන එක. අම්මගෙ අසනීපෙ මට ඒකට මානසික ශක්තිය දුන්නා. දැන් මට ඕන දේකට ෆේස් කරන්න පුළුවන්”
“ගෑනු ළමයිව තේරුං ගන්න අමාරුයි”
එවර අංජන කීවේ මඳ සිනහවකින් ය. ඒ සිනහව රත්තරං පාට ඉර එළියක් සේ සිය අඳුරු මනෝ භාවයන් අස්සේ රිගා යනු සන්තුෂී ට දැනිණ. ඇය මලක් වගේ පිපුණා ය.
“ඇයි…”
“දුක කප්පරක් හිතේ තියං වුණත් හිනා වෙලා ඉන්නෙ කොහොමද මන්දා”
“පිරිමින්ට වගේ බොන්න ඕන්නැති නිසා නේ…”
ඇගේ සිනහවේ අරුත ඔහු ගේ නෙත් කොනට වුව හැඳින ගත හැකි විය. එදා සැලෝන් සන්තු ඉදිරියේ රිය නවතා ගෙන සිටි මුල් ම දිනයේ අංජන සිටියේ මඳ මත් බවක ය. සිය දියණිය ඔහු ගෙන් ඈත් වෙමින් සිටි දුක අමතක කරන්නට ඔහු ට තිබූ එක ම විසඳුම මතකය අමතක කරනු පිණිස මත් වන එක ය. නමුත් සැබවින් ඇල්කොහොල් වලට කිසිත් අමතක කළ නො හැකි ය. ඇතැම් විට පරණ මතක තව තවත් මතක් කරන්නට ඒ සමත් වන්නේ ය.
“ඇල්කොහොල් නැතුව වුණත් ගෑනුන්ට මත් වෙන්න පුළුවන් අංජන. ඒ ආත්ම ශක්තියෙන්. පිරිමින්ට ලේසියෙන් දේවල් අත් ඇරල අමතක කරල දාන්න පුළුවන්. ගෑනුන්ට එහෙම බෑ. ගෑනුන්ට ඒක ලේසි නෑ. හැබැයි අමතක කරල අත් ඇරිය කියන්නෙ අත්ඇරියම තමයි. ආයෙ ඕන වෙන්නෙ නෑ”
“හම්මෝහ්”
අංජන ගේ මුව මඳහස එහෙම ම මුහුණ මත නතර ව තිබිණ. නමුත් ඔහු ඇසිල්ලකින් කාල තරණය කොට ඔහු ගේ යෞවනය වෙත පිවිසියේ ය. බාලිකාවේ රංග ශාලාවේ පාසල් සිසු සිසුවියන් දහස් ගණනක් මැද ඉදිරි පෙළ ආරාධිත පාසල් අසුනක හිඳ උන් ගැටවරයෙකු හා වේදිකාව මත සරස්වතියට රඟනා දේවතා රූපය පමණක් ඉතිරි ව තිබියදී සමස්තය අතුරුදන් ව තිබිණි.
පිරිමින් ට ලෙහෙසියෙන් දේවල් අත් හැර අමතක කර දැමිය හැකි වනු ඇත. නමුත් ඒ එසේ කරන්නට අවැසි දේවල් ය. එසේ නොවන දේවල් සදහට ම අත් නොහැර හදවත මැද්දේ සුරැකිව තියා ගන්නට ඔවුන්ට පුළුවන.
“ඇයි…”
සන්තුෂී එසේ ඇසුවේ තත්පර වෙමින් සිටි නොදන්නා කාලයකට පස්සේ ය. ඔහු ගේ ඇස් මුළුමනින් පෙනුණේ නැති වී ද ඒවායේ වන ප්‍රභාව ඇයට දැනේ. ඒ ප්‍රභාව යට නළියන්නා වූ අහිමි වීමක් ගැන දුක් කතන්දරය ඇයට දැනේ. නමුත් ඔහු සතුටෙනි. ඒ සතුට මහා පිරිමි පෞරුෂයක් වී ඔහු වෙතින් විද්‍යමාන කෙරේ. එකී පෞරුෂය නමැති හිරු කිරණේ ගැහැනු හද මිටියාවත් වල නම දන්නා සේ ම නො දන්නා මල් ද පිපෙනා එක වැළකිය නොහැකි ය.
“නෑ…අමතක කරන්න ඕනනැති දේවල් පිරිමි කවදාවත් අමතක කරන්නැතුව ඇති. මන්දන්නෑ අනිත් පිරිමි…මන්නං…”
“එයා හරි අවාසනාවන්තයි”
සන්තුෂී ට ඒ වචන තුන කියැවුණේ අනායාසයෙනි. නමුත් එසේ නො කියා ඉන්නට තිබුණා යි ඊළඟ මොහොතේ ඕ පසු තැවුණා ය.
“කවුද…වින්දිද…”
“ම්හු”
“එහෙනං….”
“අර ගර්ල්…ඔයාව මිස් වෙච්ච”
පාර හරහා යන මිනිස් රුව එක්වර ඔහු ගේ ඇස් වලට නො පෙනී ගියේ ය. තත්පරයකටත් අඩු කාලයක දී යළි එය පෙනෙත්දී ඔහු තිරිංග පාගා ගත්තේ උපරිම වෙර යොදා ය. ඒ අවසන් තත්පරය රිය අනතුරක් වළක්වා ගැනීම ගැන දෙවියන් ට ස්තූති කළ යුතු ය. සන්තුෂී පපුවේ දෑත් තබා ගත්තා ය. අංජන යළිත් පුරුදු මඳහස හිතුවක්කාර දෙතොල් මත්තට කැඳවා ගෙන ඇක්සලරේටරයට දකුණු කකුල තැබුවේ ය.
අංජන ගේ මඳහස තුළ කතා ගොඩක් ලියවී තිබිණි. ඔහුට මගහැරී ගිය ගෑනු ළමයා ඇය බව කිව යුතු ද නො කිව යුතු ද කියා ඔහු නොදනී. ඒ ගෑනු ළමයා අවාසනාවන්ත වූවා ද ඊටත් වඩා අවාසනාව ඔහු ලුහු බැඳ ආවා ද කියා මුල සිට ම සිතිය යුතු ය. ඔහු ගේ පපුව දිගේ දැවිල්ලක් ඇතිල්ලී ගෙන යනු අංජන ට දැනිණ. එකතකින් සුක්කානම අල්ලා ගත් වන ඔහු වමතින් යන්තම් පපුව පිරිමැද ගත්තේ ය.
“අපරාදෙ…ඔයාට එයා ලැබෙන්නයි තිබුණෙ. ඒත් ඉරණමට ඕන වුණේ එහෙම නොවෙන්නනං…ඒකට ලොකු හේතුවක් ඇති. රහසිගත හේතුවක්. සමහර විට ඔයාට එයා ලැබුණනං ඔයා ඔයාගෙ දුව සදෙව්මාට මේ තරං බැඳෙන එකකුත් නැති වෙයි”
බැඳීම් වල වන්නේ දුක ම බව අපි හැම දාම ඉගෙන ගන්නෙමු. නමුත් එසේ වීත් අපි බැඳෙන්නෙමු. ගිලිහෙන බැඳීම් අස අකම්පිත විය යුතු යයි අපි කියමු. නමුත් අපි කම්පා වන්නෙමු. ප්‍රේමය යනු හිමි කර ගැනීම නොවේ කියා අපි දන්නෙමු. නමුත් අහිමි යමකට පෙම් කරන්නට අපි බිය වන්නෙමු.
“ගෑනු ආදරේට හරි ලෝබයි අංජන. මොන දාර්ශනික කතා කිව්වත්…වෙන මොනා බෙදා ගත්තත් තමංගෙ ආදරේ බෙදා ගන්න එයාලට ඕන නෑ. එහෙම කරන්න වෙනව කියල දැනෙන තැනදි ගෑනු පිස්සු වැටෙනව. වියරු වැටෙනව. එහෙම කරලත් ආදරේ බේර ගන්න බෑ කියල දැනෙන තැනදි ඔක්කොම අත් ඇරල අයිස් කුට්ටියක් වෙලා මිදෙන්න පටන් ගන්නව. දැන් ඉන්න සන්තුෂී කියන්නෙ එහෙම ගල් වුණ අයිස් කන්දක්…”
මේ මොහොතේ ඒ අයිස් කුට්ටිය දිය වෙන්නට පටන් ගෙන ඇත්තා සේ ඇය සිය ආත්මය විවර කරමින් සිටියා ය. අංජන ගේ රිය කොට්ටාව වට රවුමේ විත් හෝමාගම දෙසට හැරිණ. ඇයට කතා කරන්නට හුඟක් දේ තියෙනා බව ඔහු ට ඉවෙන් වාගේ දැනිණ. රූපලාවන්‍යාගාරය අසල රිය නතර කළ යුතුද කියා නො අසා ම ඔහු ඉදිරියට ධාවනය කළේ එබැවිනි. නතර වෙන උවමනාවක් සන්තුෂී වෙත ද වූයේ නැත. හිතට එන සියල්ල තනිව ම හෝ දොඩවන්නට ඕනේ කියා දැනෙන අවස්ථා උදා වන්නේ ය. මිනිස්සු ගස් ගල් වලට දුක කියන්නේ ඒක ය. පන්සල් පල්ලි කෝවිල් ගානේ ගිහින් හඬා වැටෙමින් දුක කියන්නේ ඒක ය. දුක අහන්නට හදවතක් ඇති මිනිසුන් නොවෙනා කල දුකයි කියා කීවාට පලක් නැත. හදවතක් නැති ගස් ගල් ඉදිරියේ කඳුළු සලන එක ඊට වඩා සුවදායක ය. අම්මා තාත්තා සැමියා බිරිඳ සමග වුව කතා කළ නොහැකි යම් දේවල් හොඳ ම යහළුවන් සමග කිව හැකි යයි කතාවක් තිබේ. මිනිසුන් ට හොඳ මිතුරන් අවැසි ඒක ය. හොඳ ම යාළුවන් ට පවා කිව නො හැකි ඇතැම් පාපොච්චාරණයන්, ළඟ ඇසුරක් පවා නැති සමහර මිනිසුන් ඉදිරියේ කළ හැකි ය. අඬන්නට එපා කියමින් වුව අඬන්නට ඕනෑ තරම් උරහිසේ ඉඩ දෙන්නට සූදානම් මිනිසෙකුට සිය දිවි නසා ගැනීමක් වළකා ගන්නට පිළිවන. ඇතැම් විට සන්තුෂී හමු නොවිණි නම් ඒ අංජන ගේ වෘත්තීය ජීවිතයේ අවසානය වන්නට තිබිණ. ඔහු ගේ උමතුව උච්චස්ථානයේ ඔහු දිවි නසා ගන්නට වුව ඉඩ තිබිණි. මේ ඇයට ඔහු අවැසි මොහොත බව අංජන ට යටි හිත කොඳුරා කීවේ ය. ඇයට කියන්නේත් ඇයගෙන් අසන්නේත් නැතිව ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයට රිය ඇතුළු කරමින් සිටියේ ය. සන්තුෂී ට සැනසීමක් දැනිණ. හිතට එන ඕනෑ ම දෙයක් කියවමින්, කාටවත් නො පෙනෙනා කවුරුවත් නො දකිනා මේ කුඩා අවකාශයේ තනි වීමේ අවශ්‍යතාවයක් ඇගේ ආත්මය ගැඹුරෙන් ම ඉල්ලා සිටියේ ය.
“කන්දකට වුණත් දරා ගන්න පුළුවන් සීමාවක් තියනව. ඒ සීමාව පනින තැනදි කන්දක් වුණත් නාය යනව අංජන. මටත් දැන් ඇති. මට පුළුවන් තනියම ජීවිතේට මූණ දෙන්න. ඒ ගැන බයක් නෑ. ළමයි දෙන්නා වැඩිහිටි ලෝකෙට ඇවිත් ඉන්නෙ…ඒ පැත්තෙනුත් මං නිදහස්. අනිත් අතට හුඟක් අය හිතනව ගෑනියෙක් වුණාම පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න බෑ කියල. ඒත් මං හිතන්නෙ පිරිමියෙක් ඉන්න වහළක් යටම තනි වෙනව කියන දරා ගන්න බැරි අත්දැකීමට වඩා එහෙම නැතුව ලෝකෙට ම පේන්න තනි වෙන එක පහසුයි”
දෙවොලක දුක කියනවාට වඩා හුස්ම ගන්නා මිනිසෙකු ඉදිරියේ දුක කියනා එකේ සජීවී බවක් වේ. අඩු තරමින් අසා සිටිනා බව හැඟවෙන සුසුම් හෙළීමක් හෝ සිදු වන බැවිනි. කුළුඳුළේ ම ඔහු විසින් පෙම් කරනු ලැබූ දෙව් දුවක් බඳු වූ කෙල්ල ඔහු ගෙන් පලා ගොස් රාක්ෂ භවනක දුක් විඳි බව අසා ඉන්නා එක අංජන ට පහසුවක් වූයේ නැත. ඇතැම් අවස්ථා වල ඉරණම පවා දරුණු වැරදි සිදු කරන්නේ ය. නමුත් බරපතල ම අවාසනාව වනුයේ ඒ වැරදි යළි කිසි දාක නිවැරදි කළ නො හැකි වීම ය.
සුසුම් හෙළනවා මිස සන්තුෂී සනසනු වස් කිව හැකි සැනසුම් බසක් ගැන අංජනට සිතා ගත හැකි වූයේ නැත. ඇගේ හිස පිරිමදින්නට, තදින් ඈ සිය ළයෙහි හොවා ගන්නට, ඒත් නැත්නම් අඩුම තරමින් ඇගේ අතක් තදින් අල්ලා ගෙන ඔහු පසෙකින් ඉන්නා බව හඟවන්නට හෝ පුළුවන් කමක් නැති මේ හමු වීම කෙතරම් වේදනා සහගත දැයි ඔහු ඉතා බලවත් ලෙස අත්විඳිමින් සිටියේ ය.