රිදුණු තටු පිරිමදිමි – 28

ඒ තරම් සියුම් මතක අහුරක් රැස් කළ සාප්පු සවාරියක් ඉන් පෙර ගොස් ඇති බවට මතකයක් සන්තුෂී ට නැත. පිරිමින් සාමාන්‍යයෙන් සාප්පු සවාරියට අකමැති බව ඇය දනී. බිරින්දෑවරු සමග විත් ඔවුන් ගේ අත් බෑග් ද කුඩා දරුවන් ගේ කරදරය ද සමග සාප්පු වල ආසන පේළි මත අපහසුවෙන් කල් මරණා පිරිමින් දකිත්දී සන්තුෂී ඔවුන් කෙරේ අනුකම්පාවෙන් හා ආදරයෙන් තනිව සිනා සී ඇති දවස් ඕනෑ තරම් ය. ඇත්තට ම එවන් පිරිමින් වෙත ගොස් ගැහැනුන් ට දක්වන මේ කරුණාව වෙනුවෙන් ආදරෙයි කියා එන්නට ඇයට ඕනෑ තරම් සිතී ද තිබේ. 

කල්ප එවැනි කටයුතු වලට සම්මාදම් වූයේ විවාහයේ මුල් වසර තුළ පමණි. ඔහුත් එක්ක ඒ වාගේ ගමන් යන්නට සන්තුෂී ද හදවතින් ම අකමැති වූවා ය. ඒ සවාරියක සතුට විඳ ගන්නට නොව හිත කරදර කර ගන්්ට එවන් ගමනක දී ඇයට සිදු වන්නා වූ බැවිනි.

ගැහැනුන් ගැහැනුන් බවත් පිරිමින් පිරිමින් බවත් සිතන්නට සන්තුෂී රිසි වූවා ය. ගැහැනු ලෝකයත් පිරිමි ලෝකයත් පැහැදිලිව දෙකක් ලෙස දකින්නට ද ඇය කැමති වූවා ය. පිරිමින් කැමති දේවල් ද ගැහැනුන් කැමති දේවල් ද පොදුවේ ඔවුන් අකමැති දේවල් ද තිබේ. පිරිමින් ට පිරිමින් ලෙසත් ගැහැනුන් ට ගැහැනුන් ලෙසත් පැවතිය හැක්කේ ඒ රුචිකත්වයන් ද සමග ඔවුන් ගේ ලෝක වල ය. ඊට එරෙහි ව තමන් කැමති දේ වෙනුවෙන් ඔහු හෝ ඇය බලහත්කාරයෙන් ඇද ගැනීම තුළ ඔවුන් ගේ ස්වභාවිකත්වය නැති වී යන්නට පුළුවන. එය ඔවුන් ට මානසික හිරිහැරයක් වන්නටත් පුළුවන. 

සන්තුෂී ඇයත් එක්ක එවැනි කටයුතු වලට සහභාගී වන ලෙස කල්ප ගෙන් ඉල්ලා සිටීම නතර කළේ ඒ අවබෝධය තුළ ය. නමුත් බිරින්දෑවරුන් වෙනුවෙන් ඒ කැප වීම කරනා සමහර ස්වාමි පුරුෂයන් දැකීම ඇයට සතුටක් ගෙනාවේ ය.

“ඔයා ඉඳගෙන ඉන්න. මං ඇඳුං ටිකක් සිලෙක්ට් කරං ඇවිත් ඔයාට පෙන්නන්නං”

ඇඳුම් අංගනයට ඇතුළු වෙත්දී ම සන්තුෂී අංජන ට කීවේ පරණ මතකයන් එක්ක ය. ඇගේ කීමට රිදී පාට පුටු පේළියක කෙළවරට වන්නට හිඳ ගත්තාට දිගට ම එතැන ඉන්නට බැරි නළියෑමක් ඔහු ට විය. අන්තිමට හෙතෙම ඇඳුම් තෝරන සන්තුෂී වෙත ගියේ ය.

“ඇයි…වෙලාව ගත්ත වැඩී වගේද..”

ඇය දඟකාර සිනහවකින් පිළිවිසී ද කට ඇද කරනු විනා අංජන පිළිතුරක් දෙන්නට නො ගියේ ය.

“ගෑනු අය ශොපින් ආවම එහෙමනෙ…ගන්න එකයි නැති එකයි ඔක්කොම බල බල ඉඳල තමයි එකක් තෝර ගන්නෙ. ඒක තමයි මං කිව්වෙ ඉඳං ඉන්න කියල. මේ තෝරපුව බලන්නකො හොඳද කියල”

මල්ලේ ඔබා ගෙන සිටි ඇඳුම් කිහිපය ගෙන සන්තුෂී ඒ අංජන වෙතට දිගු කළා ය. නමුත් ඔහු එක බැල්මක් හෙළුවා මිස ඒවා අතට නො ගත්තේ ය.

“බියුටීශන් කෙනෙක් තේරුවට පස්සෙ මං ආයෙ මොනා බලන්නද…”

අංජන ගේ ඇස් වල විශ්වාසයක් විය. මුළුමනින් විශ්වාස කරනා ගැහැනියක ඉදිරියේ දී පිරිමියෙකු කෙරේ විද්‍යමාන වන රහසිගත සැහැල්ලුව ඒ ය. 

ඒ හැන්දෑව සතුටත් එක්ක ගෙවී ගිය එකකි. සන්තුෂී සදෙව්මා ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පතක් ද ඒ වයසේ දැරියක සාමාන්‍යයෙන් කැමති වන විදිහේ අරුමෝසම් බඩු ටිකක් ද මිල දී ගත්තා ය. ඔවුන් ඒ සියල්ල ඇසුරුම් කළේ අංජන ගේ මෝටර් රථය තුළ ය. ඔහු වඩාත් නිශ්ශබ්ද වෙමින් හා ඇය විඳ ගනිමින් සිටි අතර සන්තුෂී සිය හදවත පිටතට පෙනේවියි බියෙන් වඩ වඩාත් දොඩමළු වෙමින්  සිටියා ය. එහිදී ඇය ද නොදැනුවත්ව ඇය කෙතරම් සතුටෙන් සිටිනවා ද යන්න බාහිරයට ප්‍රකාශ වෙමින් තිබිණ. අංජන දියණිය වෙනුවෙන් කේක් එකක් ද මිල දී ගෙන ඒ සියල්ල කුරියර් සේවයකට භාර දීමෙන් පසු ඔවුන් වෙන්ව ගියේ වෙනදාටත් වඩා තමන්ගේ කියා දැනෙනා හැඟීමක් එක්ක ය. 

එදා සිය දහස් වරක් අංජන ට සිතුණ දෙයක් තිබිණ. ඒ ඇය සරස්වතී දේවිය වූ අලුත බාලිකාවක අතේ ඇගේ ප්‍රේමය පතා හසුනක් එවූයේ ඔහු බව හෙළි කරන්නට ය. නමුත් මොකක්දෝ හේතුවක් මත ඔහු පියවරක් පසු පසට ගත්තේ ය. අප්‍රකාශිත ව පවතින තාක් කල් ප්‍රේමයක සුන්දරත්වය සුරක්ෂිත ය!

ඒ තෑගි පාර්සලය ලැබෙනා විට සදෙව්මා පාසලේ සිට ගෙදර පැමිණියා පමණි. සන්තුෂී ගේ සුබ පැතුම ද සමග වූ තිලිණ නිසාවෙන් දැරිය ප්‍රීතියෙන් පිනා ගියා ය. ඇය වහ වහා සන්තුෂී ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“අනේ තෑන්ක්ස් අක්කි. මේ මට මෙහෙම ස’ප්‍රයිස් ගිෆ්ට් එකක් ලැබුණමයි”

දැරිය ගේ සතුට සන්තුෂී ට ඒ වචන වලින් වටහා ගත හැකි විය. ඒ සතුට එහෙම ම ඇගේ පියාට භාර දිය යුතු ය. නමුත් මේ තිලිණ ඔහු ගෙන් යයි දැන ගැනීම තුළ ඇගේ සතුටටත් ප්‍රතිචාරයටත් කුමක් වනු ඇත්ද කියා සිතා ගත නො හැකි ය. කතා කළ යුතු ම දේවල් පවා නො දොඩා මුණිවත රකින්නට සිදු වන අවස්ථා උදා වේ. මේ ද එවන් මොහොතකි. මතු යහපත හා ජයග්‍රහණයන් වෙනුවෙන් ඒ පසු බෑම පරාජයක් සේ නො තකා හැරිය යුතු ය.

“ඔයා ඒවට කැමතියි නේද..”

“ගොඩක් කැමතියි. ආසම ආසයි”

“එහෙනං කමක් නෑ. මං ඒත් ටිකක් බයෙං තේරුවෙ…ඔයා කැමති වෙයිද දන්නෑ කියල”

“මං කැමතිම විදිහ හරියටම දන්න කෙනෙක් තේරුව වගෙයි. ඒත් ඔයා මට මෙච්චර තෑගි දෙන්නෙ ඇයි…”

සදෙව්මා බුද්ධිමත් ය. තාර්කික ය. නමුත් සන්තුෂී ද සිටියේ සූදානමිනි.

“මං ඔයාට කිව්වෙ ඔයා ටිකක් මගෙ දුව වගේ කියල. එයත් මං ළඟ නැති එකේ…මට හිතුණා ඔයාව ස’ප්‍රයිස් කරන්න. ඇත්තටම ඔයත් එක්ක එළියට ගිහිං ලන්ච් අරගෙන එහෙම ඒක දුන්නනං තමයි හොඳ. ඒත් අද මං බිසී”

“ඔයා කොච්චර ආදරණීය කෙනෙක්ද…මට හිතා ගන්න බෑ”

“එහෙනං සදෙව්මා…අපි ආයෙ දවසක හම්බ වෙමු. කොහොමත් ඊළඟ හෙයා කට් එකට ඔයා සැලෝන් එකට එනවනෙ”

“එනවමයි. ඔයා දැන් මගෙ හොඳම යාළුවෙක් හොඳේ”

සදෙව්මාටත් වඩා සතුටක් සන්තුෂී ට දැනිණ. තාත්තා ඇයට කෙතරම් ආදරේ ද කියා තහවුරු කරන්නට දිනක් ආවොත් සන්තුෂී ට ඒ ඇති ය. මිනිසුන් ගේ සතුට තියෙනා තැන් ගැන ඇය දනී. භීතිකා ඇති තැන් ගැන ද අවබෝධයක් ඇය ට වේ. කල්ප වාගේ ම අංජන ද පිරිමියෙකි. පිරිමි පොදුවේ තනි වෙන්නට බිය ය. ඔවුන් හොඳ ද නරක ද යන කාරණය පසෙකින් තැබුව හොත් ඒ බිය වඩා සංවේදී එකකි. තනි වීමේ බිය නිසා ම ඔවුහු විවිධ මාර්ග ඔස්සේ තනි නොවී හිඳීමට කෙටි ක්‍රම සෙවිය හැකි ය. ඒ ක්‍රම නීත්‍යානුකූල ද නැත්ද, සම්මත ද අසම්මත ද කියා තර්ක කොට පලක් නැත්තේ ය. සියල්ල අවස්ථානුකූල ය. සුදු මිනිසුන් බලාපොරොත්තු වීම විහිළුවකි. ලෝකයේ අති බහුතරයක් අළු පාට මිනිසුන් අතරේ අංජන කියන්නේ කළු අඩු මිනිසෙකු යයි සන්තුෂී ට දැනේ. ඔහුට එහෙම ම පවතින්න ඉඩ හළ යුතු ය. ඒ වෙනුවෙන් වින්දි කෙසේ වී ද සදෙව්මා ඔහු සමගින් සිටිත යුතු ය.

සදෙව්මා සැබෑ සතුටකින් අම්මා ට කතා කළා ය. තාත්තා ළඟ නැති මේ උපන් දිනය ඇයට රිදුමකි. ඔහු පෙර දා මධ්‍යම රාත්‍රියේ එවූ උපන් දින සුබ පැතුම ඇය ඒ වෙලාවේ ම දුටුවා ය. සැබවින් සදෙව්මා ඒ අපේක්ෂාවෙන් ඉන්නටත් ඇත. නමුත් ඇය ප්‍රතිචාර නො දැක්වූවා ය. 

“සැලෝන් එකේ අක්කි තෑගි ගොඩක් එවල”

දැරිය ගේ වචන වල සතුට දෝරෙ ගලමින් තිබිණ. 

“ඒ මොකටද…”

කාර්යාලයේ වැඩ අතරේ වූ නො රිස්සුමත් එක්ක වින්දි නොරිස්සුම් ස්වරයකින් ම විචාලා ය.

“මගෙ බර්ත් ඩේ එකටනෙ අනේ”

සදෙව්මා ට ඕනෑ වූයේ ඒ සතුටත් එක්ක හුරතල් වෙන්නට ය. නැත්නම් හැන්දෑවට අම්මා ගෙන් ඊටත් වඩා ලොකු තිලිණයක් වෙනුවෙන් පිඹුරු පත් සකසා ගන්නට ය.

“ඒ ගෑනි මොකටද ඔයාගෙ බර්ත් ඩේ එකට තෑගි එවන්නෙ..”

“අම්මි මාර කතාවක්නෙ අහන්නෙ…කෙනෙක් තව කෙනෙක්ගෙ බර්ත් ඩේ එකකට ගිෆ්ට් එකක් දෙන්නෙ හිතවත් කමටනෙ”

“ඒ ගෑනිත් එක්ක ඔයාගෙ එච්චර හිතවත් කමක් කොහෙන්ද…මං නැතුව ඔයා සැලෝන් එකට ගියේ එක දවසනෙ”

“එයාගෙ දුව මං වගේලු..ඒ අක්කි දැං ලංකාවෙ නෑ කිව්ව. ඒ ගැන කතා කරද්දි අපි යාළු වුණා ඉතිං..එහෙම වෙන්න බැරි කමක් නෑනෙ”

“කන්නෑ ඔය එව්වයි කියන කේක් එහෙම”

එසේ තර්ජනය කළ වින්දි හැකි ඉක්මනින් කාර්යාලයෙන් පිටත් වූවා ය. ගෙදරට එන තෙක් ඇය සිටියේ දැවෙමිනි. ගෙට ගොඩ වූ ගමන් කේක් එක ගෙන මිදුලට විසි කළා ය.

“අම්මෙ…මොකද්ද ඔයා ඒ කරපු කැත වැඩේ..”

සදෙව්මා ගේ ඇස් වලින් කඳුළු පැන්නේ ය.

“කන්නෙපා ඕව. මොනා දාලද කවුද දන්නෙ…මොකක් හරි හේතුවක් නැතුව ඒ ගෑනි මෙච්චර වියදං කරගෙන මේව එවයිද…මෙහාට ගන්නව ඔය ඇඳුං කෑලි”

“අම්මෙ එපා”

සදෙව්මා ඒවා තුරුලු කර ගෙන රැක ගන්නට හැදුවාට වින්දි ඒවා උදුරා ගෙන මිදුලට දමා ගිනි කූරක් ගැසුවා ය.

“මොකද්ද බං උඹට වෙලා තියෙන්නෙ…මොන යක්ෂණියෙක් වැහිලද..”

ඇගේ මව කෑ ගැසුව ද සැබවින් ඒ වෙලාවේ වින්දි සිටි යක්ෂාවේෂය පාලනය කළ හැකි වූයේ නැත. ඇඳුම් වලට ගිනි ඇවිලිණි. සන්තුෂී විසින් එවනා ලද වෙනත් කුඩා තිලිණයන් ද ඒ ගින්න මත්තේ දැවී අළු වී ගියේ ය. සදෙව්මා ගේ කුඩා සිත දුකින් ආතුර ව තිබිණ. අම්මා ඒ විදිහට උරණ වූයේ ඇයි කියා ඇය ට සිතා ගත නො හැකි ය. වින්දි ගේ ඇස් වල වූයේ ද්වේශී ගින්දරකි. ඒ ගින්නෙන් අසලක සිටින්නෙකු වුව දවාලිය හැකි තරම් වූයේ ය.

“ඔයා හරි නපුරුයි. ඔයා හරි දුෂ්ටයි. තාත්තිත් මට නැති වුණේ ඔයා ඔහොම නපුරුකං කරල තමයි”

පුංචි සිත රිදුණා වැඩි කමට ඒ වචන ඇයත් නො දැනී සදෙව්මා ගෙන් බැහැර විය. අනපේක්ෂිත ලෙස දියණිය වෙත පැන ගත් වින්දි ඇයට පහර දෙන්නට පටන් ගත්තා ය. සදෙව්මා කෑ ගසා හැඬුවා ය. මිණිපිරිය වෙනුවෙන් මිත්තණිය මැදට පැන ඇය බේරා නො ගන්නට වින්දි කවරක් කරනු ඇත්දැයි ඇය ම නො දැන සිටියා ය.

“අම්ම කෙනෙක්ද උඹ යක්ෂණියක්ද…”

ආච්චි අම්මා මිණිපිරිය තුරුළු කර ගෙන හැඬුවා ය. සදෙව්මා ඉකි බිඳිමින් හැඬුවා ය. වින්දි තමන්ව ම පාලනය කර ගත නො හැකි ව වෙව්ලන්නට වූවා ය.

“මං කතා කරන්නංකො දෙකක් ඔය ගෑනිට”

අවසාන වශයෙන් වින්දි ඇගේ අත් බෑගය ඇද ගෙන සැලොන් සන්තු හි දුරකතන අංක සහිත කාඩ් පත සොයන්නට වූවා ය.

“අනේ එපා අම්මි. මං වඳින්නං ඔයාට…ඒ අක්කිට කෝල් කරන්න එපා. අපි ගැන මොනා හිතයිද එයා…ආයෙ කොහොමද සැලෝන් එකට හරි යන්නෙ…”

සදෙව්මා බැගෑපත් වෙමින් ද වැඳ වැටෙමින් ද වින්දි ගෙන් ඉල්ලා සිටියත් ඉන් පලක් වූයේ නැත. ඇගේ ඇමතුම සමග සන්තුෂී සම්බන්ධ වෙමින් සිටියා ය.

“හෙලෝ…”

“තමුන්ට මොකද්ද තියන අයිතිය මේ කොහෙවත් ඉන්න ගෑනු ළමයින්ට තෑගි බෝග එවන්න…ආ…කියනව..මොකද්ද තමුන් මේ කරන්න හදන්නෙ…මගෙ දුවව නරක වැඩ වලට සම්බන්ද කර ගන්න නේද හදන්නෙ…ආ…ඇඳුං කෑලි ටිකක් පෙන්නල මේ පොඩි උං රවට්ටගන්න පුළුවන් වුණාට මේ මං ඒවට අහු වෙයි කියලද හිතන්නෙ…තමුන්ගෙ සැලොන් එකේ කෙරෙන්නෙ මොනාද කියල මට හිතා ගන්න පුළුවන්. ජරා ගෑනි. තමුසෙට ඕන ජරා වැඩක් කරල සල්ලි හොයනව. හැබැයි මගෙ ළමයව ඒවට සම්බන්ද කර ගෙන තිබුණොත් මං බලා ගන්නං හොඳේ. ආයෙ මං නරක ගෑනි කියන්න එපා. පොලීසියට කම්ප්ලේන් කරනව තමුන් ගැන”

වින්දි කියවා ගෙන ගියේ හුස්ම ගන්නේත් නැතිව ය. ඒ කිසිත් ඇය මුලින් කියන්නට සැලසුම් කර ගෙන උන් ඒවා නොවේ. ඒ වෙලාවේ කටට ආ ඒවා ය. සදෙව්මා ගේ ඇස් වලින් කඳුළු උතුරා ගියේ ලැජ්ජාවත් කේන්තියත් යන හැඟීම් දෙකේ ම එකතුවක් ලෙසට ය.

“අනේ දෙයියනේ…මොනාද මේ ඔයා කියන්නෙ…”

තිගැස්මට ලක් වූ මන්ද්‍ර ස්වරයකින් සන්තුෂී ට මිමිණුණි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles