රිදුණු තටු පිරිමදිමි – 30

“අම්මි කියන්නෙ තාත්ති ආදරේ අපිට නෙවෙයි වෙන කොහෙ හරි ඉන්න ගෑනියෙක්ට කියලයි. ඒක නිසා මටත් තාත්තිගෙ පැත්ත පලාතක් බලන්න එපා කියලයි අම්මි කියන්නෙ”

ළමා හා යොවුන් විය අතර මැද්දේ දෝලනය වන හඬකින් සදෙව්මා එසේ කියත්දී සන්තුෂී සිය පපුව අල්ලා ගත්තේ නිරායාසයෙනි. ඇයට දැනුණේ සිය හුස්ම හිර වුණා සේ ය. දැරියක ගේ හිතට ඒ වාගේ අදහසක් බර වැඩි ය. විශේෂයෙන් ම ඇය ලෝකයේ වැඩිපුර ම ආදරය කරන පිරිමියා වන පියා සම්බන්ධයෙන් එසේ සිතන්නට වන එක ම දරා ගත නො හැකි පීඩනයකි. 

“අනේ එහෙම නෑ පුතේ”

ඇයත් නො දැනී සන්තුෂී ට එසේ කියවී තිබිණ. දුරකතනයේ එහා ඉම ඉන්නා දැරිය තදින් සිය පපුවට තුරුලු කරගෙන ඉන්නා සේ ය ඇයට දැනුණේ. සන්තුෂී හිතින් සදෙව්මා ගේ හිස සිප ගත්තා ය.

“අම්මි කේන්තියට එහෙම කිව්වට ඔයා ඒක විශ්වාස කරන්න එපා. තාත්තිට ලං වෙලා බලන්න. එයා කොච්චර ඔයාට ආදරේද කියල එතකොට තේරෙයි”

“ඔයා කොහොමද දන්නෙ අපේ තාත්තිව…”

සදෙව්මා ගේ ඒ ප්‍රශ්නයෙන් සන්තුෂී අහසින් පොළොවට වැටුණා ය. 

“අම්..නෑ මං දන්නෑ. ඒත් මං හැම තාත්තා කෙනෙක්වම දන්නව. මොන විදිහෙ කෙනෙක් වුණත් එයාල දරුවන්ට ආදරෙයි. දරුවො තමයි එයාලගෙ ජීවිතේ අංක එක. තාත්තල ගෙදර කියල කියන්නෙ දරුවන්ට සදෙව්මා. අම්මයි තාත්තයි අතරෙ තියෙන ප්‍රශ්න වලදි ළමයි කවදාවත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ පැත්ත ගන්න හොඳ නෑ. දෙවිදිහකට වුණත් එයාල එක තරමට තමන්ගෙ දරුවන්ට ආදරෙයි”

සන්තුෂී වචන තෝරා බේරා ගත්තේ ඉතා පරිස්සමට ය. සදෙව්මා වූ කලී වින්දි ගේ අදහස් නිසා සිය යොවුන් සිත කුරුවල් කරගත් දියණියකි. ඒ හිත රිදී තියේ. ඇතැම් විට පිටතට නොපෙනෙන්නාවූ තුවාල ඇතුළත සිදු වී තිබිය හැක. ඒ නිසා එහෙව් හිතකට අත තැබිය යුත්තේ පරිස්සමට ය.

“අම්මි කියන දේවල් පැත්තකින්ම තිබ්බත්…මං දන්නව තාත්ති අම්මිටනං ආදරේ නෑ කියල”

“ඇයි ඔයා එහෙම කියන්නෙ…”

“එයා අර සරස්වතී ස්ටැචියු එකට අම්මිට වඩා ආදරෙයි කියල මට දැනෙනව”

පපුවේ පේශීන් බිඳීමකට ලක් වෙනු සන්තුෂී ට දැනිණ. දැන් ඇය ඔහු ගේ ඒ අතීත ප්‍රේමය ගැන දනී. ඒ සරස්වතිය කවුරුන්ද කියා නො දනිතත් ඔහු ගේ හිත අතීතයේ අතරමං වී ඇති බව ඇය දනී. ඒ ගැන අංජන ට දොස් කියන්නට ඕනෑ ම කෙනෙකු ඉදිරිපත් විය හැකි වී ද එවන් මතක හෙවනැලි මුළුමනින් හිතින් උපුටා දැමිය නො හැකි බව පිළිගන්නට සන්තුෂී කැමති ය. එහෙම සදාකාලික ප්‍රේම කතා මේ විශ්වයෙහි පවතින බව දැන ගන්නට ඇය කැමති ය. සන්තුෂී ගේ මුවගට සිනහවක් ආවේ ය.

“සදෙව්මා”

ඇය හඬ අවදි කළේ ආදරයේ පරිසමාප්තිය එහි තවරා ලමිනි. ලෝකයට ඕනෑ ආදරයට වෛර කරනා මිනිසුන් නොව ආදරය දෙස මෘදු ඇසකින් බලනා මිනිසුන් ය.

“කාට හරි ඇත්තටම ආදරේ කරන කෙනෙක් එයාගෙ අයට එයාට ආදරේ කරන අයට එයාට වගකීමක් තියන අයට වරදක් කරන්න කවදාවත්ම හිතන්නෑ. ඔයා තාම චූටියි. ඔයාට මේව ගැන ලොකු අවබෝදයක් නෑ. කොටින්ම තාම ඔයා ලෝකෙ දකින්නෙ වෙන කෙනෙකුගෙ ඇස් වලින්. ඔයා කියන දේවල් අහං ඉන්නකොට මට තේරෙන දෙයක් තමයි ඔයා හැම දේම දකින්නෙ අම්ම ඔයාගෙ හිතට දාල තියන දේවල් එක්ක අම්මගෙ ඇස් දෙකෙන් කියන එක. ජීවිතේ අත්දැකීම් ලැබිල ඔයාගෙම හිතකින් හිතන්න පටන් ගත්ත දවසක ඒව වෙනස් වෙයි. දැන් තියන ප්‍රශ්නෙ ඒක නෙවේ. මං හිතනව ඔයා තාත්තිට කතා කරල එයා එක්ක යාළු වෙන්න ඕන කියල. අම්මියි තාත්තියි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් තියනව වුණත්…ඒක නැති කරල ඒ දෙන්න සමාදාන කරන්න පුළුවන් ඔයාට…ඔයා ඉතිං ඇයි ඒක නොකරන්නෙ…සදෙව්මා ඔයාට අම්මි වගේම තාත්තිත් ඕනෙ. ඔයා තාත්තිට ගොඩක් ආදරෙයි කියල මං දන්නව. ගෑනු දරුවෙක් තාත්තගෙ ආදරේ විඳින්න ඕන. ඒක තමයි පිරිමියෙක්ගෙන්  මුලින්ම එයාට ලැබෙන ඇත්තම ආදරේ. ඔයා ලොකු නැති වුණත් ඔයා දැන් පොඩි ළමේකුත් නෙවේනෙ. මට හිතෙන විදිහට ඔයාගෙ අම්මිට එහෙම කේන්ති යන එකත් එක්ක සම්බන්ද වෙච්ච හේතුවක් ඇති. පවුලක් විදිහට ඔයාල වෙන් වෙලා ඉන්න එක එයාට තවත් නරකට බලපානව ඇති. මං ගැන වැරදියට හිතන්න එපා. සමහර විට ඒ ප්‍රෙශර් එකත් එක්ක අම්මිට කවුන්සලින් වගේ දෙයක් ඕන ඇති. අම්මිට ඒ වගේ උදව්වක් කරන්න පුළුවන් වෙන්නෙ ඔයා තාත්ති එක්ක මේව ගැන කතා කළොත් නේද…කතා නොකර ඈත් වෙලා ඉන්න එකෙන්…අපි අතරෙ වැරදි අවබෝදයක් තියනවනං ඒක තව තව වැඩි වෙන එක විතරයි වෙන්නෙ. ඒක නිසා මන්නං කියන්නෙ…ඔයා තාත්තිට කතා කරන්න”

ඒ දීර්ඝ වූ දේශනය හිත නිවා සනසා ලන දහම් පදයක් සේ සදෙව්මා ට දැනිණ. ගෙදර ආ වෙලාවේ සිට වින්දි කරන්නේ කෑ ගසනා එක ය. අංජන සමග ඔවුන් ගේ ගෙදර සිටියදීත් දැන් මහ ගෙදර පැමිණි පසුවත්, හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි කේන්තියකින් ඇය පුපුරු ගසනා බව සදෙව්මා දනී. විටෙක අම්මා ගේ මේ කෑ ගැසීම ඇයට වදයකි. නොරිස්සුම කියන්නේ බෝ විය හැකි දෙයක් බව සදෙව්මා දන්නේ නැත ද එවන් පවුලක් තුළ සියළු දෙනා එකී අසහනකාරී මානසිකත්වයේ හවුල් කරුවන් වන්නට පුළුවන.

සදෙව්මා ඒ ගැන දුරට දිගට කල්පනා කළා ය. අම්මා අනිත් අයට වඩා වෙනස් බව ඇයට දැනෙන්නට ගත්තේ ය. සන්තුෂී ඒ ප්‍රශ්නය ගැන කතා කළ සන්සුන් සාමකාමී බව අම්මා ගෙන් කිසි සේත් බලාපොරොත්තු විය නො හැකි බව ඇයට වැටහෙන්නට විය.

වින්දි ඒ දවස ම ගත කළේ අපහසු මානසික තත්වයකිනි. පෙර දා සදෙව්මා ට ලැබුණ තෑගි ගිනි තබා කේක් එක මිදුලට විසි කළ දර්ශනත ද ඒ වෙලාවේ සදෙව්මා සිටි ආවේගශීලී ඉරියව් ද විටින් විට ඇයට මැවී පෙනිණ. එයින් සිදු වූයේ තව තවත් ඇගේ නො සන්සුන් බව වැඩි වෙන එකයි. තමන් වැරදි බව වරෙක ඇයට සිතුණ අතර තමන් කිසි සේත් වැරදි නැතැයි තවත් විටෙක සිතුවා ය. වැඩ ඇරී ගෙදර පැමිණි පසු සදෙව්මා තව දුරටත් ශේෂ වූ කේන්තියෙන් පසු වනු දකිත්දී වින්දි තව තවත් අඳුරු මානසික අගාධයක ගිලී යන්නට වූවා ය. 

“අපි ආයෙ ගෙදර යං”

ඒ රාත්‍රියේ කෑම කමින් සිටියදී සදෙව්මා ක්ෂණික ප්‍රකාශයක් නිකුත් කළා ය. එය සවන් වැකෙත්දී වින්දි කීරි ගැසී ගියා ය.

“මොකද්ද…”

ඒ ප්‍රශ්නය නගන වින්දි ගේ ඇස් ලොකු වී, නාස් පුඬු පුළුල් වී, කම්මුල් වල මස් පිඬු ගැහෙන්නට විය.

“මං කිව්වෙ අපි ගෙදර යං කියල. තාත්තිත් එක්ක ඒ ගෙදර ඉන්න ඕන මට”

එසැනෙන් වින්දි සිය පත් පත ගෙන වේගයෙන් පොළොවේ දමා ගැසුවා ය. එය පොළොවේ ගැටී කැබලි වූ හඬින් සදෙව්මා සේ ම වින්දි ගේ මව් පිය දෙදෙනා ගේ ගැස්සී ගිහින් හුස්ම අල්ලා ගත්හ.

“ඉතිං පලයං. උඹට ඕනනං එයා ළඟට පලයං. පේනව නේද අන්තිමට මේකි මට කතා කරන හැටි…මමයි හැම දේම කළේ. ඒ මිනිහ වෙන ගෑනු එක්ක සම්බන්දකං තියෙද්දි මමයි මේකිව බලා ගත්තෙ. රස්සාව කරල කන්න බොන්න දුන්නෙ..ඒත් අන්තිමට ඒ මිනිහයි හොඳ වුණේ…මීට වඩා හොඳයි මං මැරිල ගියානං දෙයියනේ”

දෑතින් හිස කේ ඇද ගනිමින් වින්දි කෑ ගසා හඬන්නට වූවා ය. එය මහා විකාරයක් සේ සදෙව්මා ට පෙනෙන්නට ගති. අනිත් අතට සන්තුෂී ගේ වදන් ඇයට සිහි විය. ඇය කීවා සේ අම්මා ඉන්නේ උපදේශනය හෝ මානසික ප්‍රතිකාර ලද යුතු තත්වයක නම් ඇයට අනුකම්පා කළ යුතු ය. 

“අම්මි…මං එහෙම කිව්වෙ අපි හැමෝගෙම හොඳට. පවුලක් විදිහට අපි එකට ඉන්න ඕන නේද…මොනා වුණත් තාත්තිත් පව් නේද…ප්‍රශ්නයක් තියනවනං අපි ඒක කතා කරල විසඳ ගමුකො අම්මි”

සදෙව්මා ගේ ඇස් වලින් කඳුළු ගලා යන්නට විය. මහත් ආත්මානුකම්පාවක් ඇය පාරමින් තිබිණ. යම් කිසි දෙයක් මගහැරී ගිය බවක් ඇයට දැනෙන්නට විය. 

“මේ පොඩි එකීට තේරෙන දේ ඔයාට තේරුං ගන්න බැරි ඇයි වින්දි…මෙහෙම මුරණ්ඩු වෙන්න එපා. අංජන කියන්නෙ බොහොම හොඳ කොල්ලෙක්. හැබැයි ගෑනියෙක්ට පුළුවන් කොච්චර හොඳ පිරිමියෙක්ව වුණත් අන්තිම නරක මිනිහෙක් කරන්න. අන්න ඒක මතක තියා ගත්තොත් හොඳයි”

වින්දි ගේ පියා බත් පත මේසය මත තබා නැගිට ගියේ එසේ කියමිනි. 

ඒ රාත්‍රිය වින්දි වෙත නින්ද නො පැමිණි එකක් විය. විකාර සිතිවිලි ඇය වට කොට ගත්තේ ය. ඒ මානසික අවපාතය සහිතව මුළුතැන්ගෙට ගිය ඕ පිහිය ගෙන ඇගේ ම අත කපා ගත්තා ය. ඒ වෙලාවේ වතුර බොන්නට මුළුතැන්ගෙට පැමිණි පියා නොවන්නට එළි වන තුරා ලේ වහනය වීම නිසා ඇගේ ජීවිතයට පවා අනතුරක් වන්නට තිබිණ.

පසු දා සදෙව්මා පාසල් නො ගියා ය. වින්දි සිදු කර ගත් අනතුර නිසා දැරියට ඉන් පසු නින්ද ගියේ ම නැත. නමුත් පමා වී වින්දි රැකියාවට ගියා ය. විඩා පත් ගතකින් ද කෙඩෙත්තු වූ සිතකින් ද යුතුව යහනෙන් නැගිට ගත් සදෙව්මා ජංගම දුරකතනය අතට ගත්තා ය. තාත්තා ට ඇමතුමක් ගන්නා ආශාවක් හදිසියේ ම ඈ තුළ දැල්වුණත් හිතේ එක පැත්තක් ඊට පසුබෑවේ ය. ඇය දිරි වඩා ගෙන “තාත්ති” යනුවෙන් ලියා යැව්වා ය. වට්සැප් තිරයෙහි ඒ අකුරු තුන දකිත්දී අංජන නීලවතුර ට දැනුණ හදිසි ප්‍රහර්ශය ඔහු එතෙක් විඳ නැති එකකි. සිරුරේ රුධිර සංසරණය වේගවත් හා උණුහුම් වූ හැටියක් ඔහු ට දැනිණ. හද ගැස්ම පවා තීව්‍ර වූයේ ය. තොල කට වියළි යාම නිසා කාර්යාල මේසය මත වූ වතුර බෝතලයෙන් හෙතෙම උගුර කට තෙමා ගත්තේ ය. අනතුරුව ලොකු හුස්මක් ගෙන සදෙව්මා ට ඇමතුමක් ගත්තේ ය. එහි නාද වීම් ගණනාවක් සිදු විය. සදෙව්මා ගේ ඇස් කඳුළෙන් පිටාර ගලන්නට විය. පිළිතුරු දෙන්නට බැරි ගැස්මක් ඇය වෙත විය. නාද වීම් දිගට සිදු වෙත්දී දියණිය පිළිතුරු නොදෙනු ඇතැයි බියක් අංජන තුළ ඇති විය. නමුත් අන්තිම මොහොතේ ඇය බිඳුණු හඬකින් ‘තාත්ති’ කීවා ය. ප්‍රථම සූර්ය කිරණ මිහි මතට ළඟා වන, කෝටි ගණනක් මල් සිය පෙති විහිදා හිනැහෙන, දහස් ගණනින් කුරුලු කොබෙයියන් අහසට පැන ප්‍රීති ඝොෂා නංවන ලෝකයක් අංජන ගේ පපුවේ එසැනෙන් මැවිණි.

“පුතේ…සදෙව්මා…”

“තාත්…ති…”

සියල්ල පුපුරා ගියේ ය. ආදරය සොරොව් බිඳගෙන පිටාර ගැළුවේ ය. සදෙව්මා ගේ ඇස් වලින් ගිලිහුණ හැම කඳුළක ම තිබුණේ ආදරය ගැන කතාවකි. මනසින් ඇගේ හිස පිරිමදිමින්, අංජන සන්සුන් ව සිටියේ ය.

“අපිට මෙහෙම වෙන්න දෙන්න බෑ තාත්ති”

“ඔව් පුතේ”

“තාත්ති එනවද මෙහෙ…මට ඔයා එක්ක එළියට යන්න ඕන”

“මං එන්නං”

ලෝකයේ දෙතැනක එක ම අරමුණකින් යම් සූදානමක් වෙත්දී ඒ කිරණ වඩා බලවත් වේ. අංජන පැමිණ සදෙව්මා ව කැටිව යත්දී වින්දි ගේ දෙමාපියන් බලා සිටියේ සතුටු කඳුළු වලිනි.

“ළමයි දවසක ඇත්ත තේරුං ගන්නව. අපේ එක්කෙනාට දැන ගන්න තියන්න ඕන නෑ මේක”

ඒ එකඟතාවයකි. 

සදෙව්මා ට පියා සමග වූ නෝක්කාඩුව අමතක වී යන්නට ඒ හැටි වෙලා ගියේ නැත. ඔහු දියණිය වෙනුවෙන් උපන් දින භෝජන සංග්‍රහයක් ලබා දීමට කටයුතු කළේ ය.

“තාත්ති අකමැති නැත්තං මං මෙතන්ට එක්කෙනෙක්ට එන්න කියන්නද…”

“කාටද…අම්මිටද…”

අංජන මඳ ගැස්මකට ලක් වූයේ මේ සතුට ඇසිල්ලකින් අහිමි වී යනු ඇත්ද යන බියෙනි. සදෙව්මා ගේ මුහුණේ සිනහ මලක් පිබිදිණි.

“නෑ. මං දන්න අක්ක කෙනෙක්ට. මං හෙයා කට් වලට යන්නෙ…සැලෝන් සන්තු එකේ අක්කි”

එසේ කියමින් ම සදෙව්මා සන්තුෂී ගේ දුරකතනය අංකනය කරමින් සිටියා ය. සිදු වෙන්නට යන දෙයට කෙසේ මුහුණ දිය යුතු ද කියා නො දන්නා කලබලයක් අංජන මතින් හමා ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles