ගමනේදී බබාගේ ආරක්ෂාව තහවුරු කරන baby seat

මෝටර් රථවල පුංචි දරුවන් රැගෙනයාම පුංචි සටනක්. මේ පුංචි දඟමළු හරි විදිහට රඳවා නොගත්තොත් ඔවුන්ට හානියක් වීමේ අවස්ථාව වැඩියි. රිය අනතුරකදී රියදුරු අසුනේ සිටින වැඩිහිටියා ආසන පටි පැළඳ සිටියද, දරුවා අසන පටි පැලඳ නොසිටි නිසා අනතුරට ලක්වීමේ ප්‍රවණතාව ඉහළයි. මේ නිසාම ළදරු කාර් සීට් (Child Car Safety Seat/baby car seat) භාවිතය ඉතාම වැදගත්.

ලංකාවේ ප්‍රචලිවතව නොමැති නමුත් බොහෝ රටවල නීතියට අනුව වයස අවුරුදු 7ට අඩු සියලු ළමුන් මෝටර් රථයක ගමන් කිරීමේදී baby seat එකක් භාවිත කිරීම අනිවාර්යයි. එසේම ළමා ආසනය රථයේ ඉදිරි අසුනේ නොව, පසුපස අසුනේ තිබිය යුතුයි. මෙසේ සිදු කිරීම අවශ්‍ය වන්නේ හදිසි අනතුරක් සිදු වුවහොත් ඉන් වන හානියෙන් දරුවාව ආරක්‍ෂා කර ගැනීමටය.

අදාළ ළමා ආසනය සහ එය පසු පස අසුනේ තැබිය යුතු ආකාරය තීරණය වන්නේ දරුවාගේ වයස සහ බර හා උස අනුවය. ළමා ආසනය දරුවාගේ ප්‍රමාණයට සරිලන එකක් විය යුතුය අතර එය මනාව සකසා සහ ආසන පටිවලින් තද කොට රථය තුළ මනා ලෙස සවි කොට තිබිය යුතුය. වයස අවුරුදු 8න් ඉහළ දරුවන් බොහෝ විට උසෙන් සහ බරින් වැඩි හෙයින් සාමාන්‍ය පසුපස අසුනේ  ආසන පටි පළඳවා ගමන් කල හැක.

දරුවාගේ වයසට හා බරට සරිලන ළදරු කාර් සීට් එකක් මිලදී ගත හැකි නම් වඩාත් සුදුසුයි. ලංකාව පුරා ළමා භාණ්ඩ අලෙවිසැල් වලින් මෙවැනි ළදරු මෝටර් සීට් මිලදී ගත හැකි  අතර එසේ නොමැති නම් වෙබ් අඩවි ඔස්සේද මිලදී ගත හැකියි. මිලදී ගැනීමට පෙර baby seat එක  උපරිම ආරක්ෂාව ලබා දෙන උසස් ප්‍රමිතියකින් යුත් එකක් දැයි පරීක්ෂා කර බලන්න.

ළදරු කාර් සීට් භාවිතය දරුවා උපන් මොහොතේ පටන්ම කිරීම ඉතා වැදගත්. ඇතැම් බටහිර මෙන්ම මැද පෙරදිග රට වලද දරුවා ඉපිද රෝහලෙන් පිටව යන මොහොතේ පටන් ළදරු කාර් සීට් එකක දරුවා ගෙන යාම අනිවාර්යවේ. ඔබේ දරුවා ද උපන් මොහොතේ පටන් baby seat එකට හුරු කිරීමෙන් දරුවා එයට සතුටින් හුරු වන අතර පසු කාලීනව හුරු කිරීමට අවශ්‍ය වන්නේ නැත. අනතුරකදී ළමා ආසනය ඔබේ දරුවාගේ දිවිය සුරැකීමට මහඟු මෙවලමක් වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles