රිදුණු තටු පිරිමදිමි – 34

පෘථිවියේ භ්‍රමණයත් පරිභ්‍රමණයත් නතර විය. විශ්වයේ සියල් ක්‍රියාකාරීත්වයන් ඇනහිටියේ ය. කිසිදු හැල හොල්මනක් පරිසරයෙහි නො විණ. කුරුල්ලෙක් කෑ ගැසුවේවත් නැත. ඒ අතිශය නිශ්ශබ්දතාව සන්තුෂී ගේ කන් බෙර පුපුරුවාලන විදිහේ පීඩනයක් ඇති කළේ ය. ඇස් පිය සලන්නේ හෝ හුස්ම ගන්නේ නැතිව, අංජන කී කතාව සවන් වැකුණ වෙලාවේ පටන් ඔහු දෙස විශ්මිත ව බලා උන් ඕ අන්තිමට ඔහු ගේ සුදු කමිසය ඇගේ අතින් තදින් මිරිකා ඇල්ලුවා ය. කමිස බොත්තමක් ද සහිත කොටසක් ඇගේ අත් මිටට හසු වී තිබිණ. ඇගේ ඇඟිල්ලක නියපොතු පහරක් අංජන ගේ පපුවේ සම පසාරු කර ගෙන කුඩා කැපුමක් ඇති කළේ ය. නමුත් හෙතෙම ඒ රිදුමෙන් නො සෙල්වී සිටියේ ය. එතැන කුඩා රුධිර කේෂනාලිකාවක් බිඳී ලේ බිඳුවක් සන්තුෂී ගේ දිගටි නියපොත්තක ගෑවුණේ ය. තවත් රුධිර බින්දුවක් සුදු කමිස පපුව මත රතු පාට රවුම් පැල්ලමක් ඇති කළේ ය. 

අංජන ගේත් සන්තුෂී ගේත් සිව් නෙත් එකට පැටලී තිබිණි. පිරිමි ඇස් රතු වී තෙත පාට ගැන්වී තිබුණේ ය. සන්තුෂී ගේ දෙතොල් ඉසිහින් ව වෙව්ලනු අංජන ට පෙනිණ. ඇගේ මුහුණේ මාංශ පේශියක් සැලී ගියේ ය. තොල් කොනක් ගැස්සිණි. ඒ සියල්ල අවසානයේ ඕ අංජන ගේ පපුව මත කඩා ගෙන වැටුණා ය. 

කඳුළු ගලන්නට පටන් ගත්තේ ඉනික්බිති ය. කමිසය තව දුරටත් ඇගේ අතට මිට මෙලවී තිබිණ. අංජන දෑතින් ම ඇය වැළඳ ගත්තේ ය. සන්තුෂී ගේ කඳුළු ත් අංජන ගේ රුධිරයත් ඔහු ගේ පපුව මත්තේ එකට හමු වී එකිනෙක මුහු විය. 

ඉකි බිඳීම නතර කර ගැනීම සන්තුෂී ට පහසු වූයේ නැත. මේ කඳුළු සංසාරයක් පැරණි ඒවා ය. ඔහු අතීතයකට වඩා පැරණි ආදරයක් පරිස්සම් කර ගෙන තිබේ. ඇය එදා ඒ ලිපිය දිග හරින්නේ හෝ නැතිව ප්‍රතික්ෂේප කළේ කෙතරම් නො වටිනා හැඟීමකින් ද? සිත් පිත් නැති ලෙස ඇය එසේ කළත් ඔහුට ඒ ආත්මයේ කොටසක් වූ ආදරයකි. ඒ ආදරය තමන් බව නො දැන සිටිය ද ඔහුට ඒ ආදරය අතීතය පුරා හෝ වර්තමානය තුළ හෝ එක මොහොතකටවත් අමතක නොවූ බව සන්තුෂී දැන සිටියා ය. සරස්වතී දේවියගේ ප්‍රතිමාවක් නිවසේ තැන්පත් කර ගෙන ඔහු ඒ ප්‍රේමය සදා ජීවමාන කරවූයේ ය. 

“සමාවෙන්න මට සමාවෙන්න…”

හුඟක් වෙලා ඉකි බිඳ හැඬීමෙන් පස්සේ තුනී නොවූ ඉකියක් අතරින් සන්තුෂී කියා ගත්තා ය. අත් හරින්නට ලෝභ කමින් අංජන තව තවත් අඅයව සිය පපුවෙහි තද කොට ගත්තේ ය. ඇයට දැනී හෝ නො දැනී කිහිප වරක් ම ඔහු ඇගේ හිස සිප ගත්තේ ය. අංජන ට දැනුණේ අතීත සුවඳකි. එදා බාලිකාවේ කලා උළෙල ඒ සුවඳ අතරේ විය.

බෝ වෙලාවකට පස්සේ අංජන නීලවතුර ගේ පපුතුර මතින් මෑත් වූ සන්තුෂී සිරිවර්ධන ඔහු ගෙන් ඇස් හංගා ගෙන රියෙන් පිටත බැලුවා ය. ඔහු ගේ ඇඟිලි තුඩු නොකඩවා ඇගේ හිස කේ අතරේ සැරිසැරීම නිසා කොණ්ඩය අවුල් වී තිබිණ. සන්තුෂී සිය දිගටි අතැඟිලි වලින් සකසා වරලස පිළිවෙල කර ගත්තා ය. 

අංජන එක මොහොතකට හෝ සිය දෑස් වෙනතක හැරවූයේ නැත. වසර ගණනාවකට අහිමි වී තිබි ආදරය හදිසියේ ම ඔහු ගේ පපුව මත ජීවමාන වී තියේ. යළි ඉපිද තියේ. ඔහු දෑසින් ම ඇය උරා ගත්තේ ය. විඳ ගත්තේ ය. සිප ගත්තේ ය.

සන්සුන් වූ සන්තුෂී අසුනෙහි හරි බරි ගැහී දෑස් බිමට බර කර ගත්තා ය.

“මං නිසානං අවුල් වුණේ හැම දේම…මං හරි ගස්සන්නං…”

ඒ ඇය ඇයට ම දුන්නා වූ පොරොන්දුවක් බඳු ය. ඒ දේවාත්මීය ස්ත්‍රීත්වය ඉදිරියේ අංජන එකී මොහොත අත් විඳින්නට දෙවරක් හිතුවේ නැත. මේ ආත්ම භවයේ දී ඇයත් එක්ක ඉන්නට ලැබෙනා අවසාන අවස්ථාව මෙය විය හැකි ය. අංජන ඒ අවස්ථාව අපතේ හරින්නට ලෝභ වූයේ ය. 

“කොහොමද ඒක කරන්නෙ…ම්…”

ඔහු ඇය වෙතට නැඹුරු වී මල් පෙත්තක් සේ ඒ කොපුලක් සිප ගත්තේ ය. කඳුළු වල ලුණු රස අංජන ගේ දෙතොලට දැනිණ. ඒ දෙතොල් සිය කොපුලක තැවරෙත්දී සන්තුෂී ගේ ඇස් පියවිණි. ඔහු ගේ දෙතොල් චුම්බනය ගැහැනු පපුවේ ගැඹුරු ම පත්ලක තැන්පත් වන්නට ඇත. නමුත් ඕ පියවි සිහිය රඳවා ගත්තා ය. 

“වන්දි ගෙවන්නෙ කොහොමද අපි…අපේ පපු වල රිදිච්ච තුවාල වෙච්ච තැන් කවදාක හරි සනීප කරන්න පුළුවන්ද දැන්…”

ඒ ප්‍රශ්නයට සන්තුෂී ළඟ පිළිතුරු තිබුණේ නැත. ගෙදර ඇවිදින් වුව ඇය ජීවත් වූයේ අතීතයට එක් වෙමින් පැවති ඒ මොහොත තුළ ය. කාලාන්තරයක් තිස්සේ දැනෙමින් පැවතියා වූ හිස් කමක් අහෝසි වී ගියා සේ ඇයට දැනේ. ඈ තෝරා ගත් පුරුෂයා වූ කල්ප වෙතින් නොපිරුණු ආත්මීය හිස් කමක් සන්තුෂී අත් විඳිමින් සිටියා ය. ඒ හිස් තැන වෙනත් පිරිමියෙකු වෙතින් සපුරා ගන්නට ඇයට කිසි දාක අවැසි වී නැත. හැම පිරිමියෙකු ම කල්ප කෙනෙකැයි සිතන්නට ඇයට ඕනෑ වූ යුගයක් තිබිණ. නමුත් කල්පලාට ස්පර්ශ කළ නො හැකි ගැහැනු ආත්ම වල ඈත ඉසව්වක් සුසර කිරීමේ හැකියාව ඇති අංජන වන් පිරිමි ද ලෝකයේ සිටිති. ඇය ඒ බව ප්‍රත්‍යක්ෂ වශයෙන් හඳුනා ගත්තා ය. මිනිස් සමාජයේ සම්මත  සීමා රාමු ඇතුලේ එවන් සංවේදී හැඟීමකට අත තැබීම වුව අසම්මතයක් විය හැක. අන්න ඒ අසම්මතයට බියක් ඈ තුළ නො වූවා කීවොත් නිවැරදි ය. 

අංජන ට දුරින් ඉන්නට ඇය සිතා ගත්තා ය. නමුත් වෙනදාටත් වඩා ඔහු වෙනුවෙන් තමන් හිඳිනු ඇති බව ඇය දැන සිටියා ය.

අංජන නීලවතුර කාලයකට පස්සේ තෘප්තිමත් මිනිසෙකු ලෙස යළි ඉපිද සිටියේ ය. ප්‍රේමය හා විවාහය කියන්නේ එකක් නොව දෙකක් ම බව ඔහු ඉඳුරා දැන සිටියේ ය. ඒ දෙක එකට හමු වෙනවා නම් හොඳ ය. නමුත් මුළුමනින් එක් ගැහැනියක සමග ජීවත් වෙමින් ද දරුවන් හදමින් ද යුතුකම් ඉටු කරමින් ද තවත් ගැහැනියකට ප්‍රේම කළ හැකි බව ඔහු කාලයක් තිස්සේ දැන ඉගෙන ගෙන තිබිණ. ඒ ප්‍රේමය ශරීරයට නොව ආත්මයට අයිති එකකි. ආත්මීය ව ප්‍රේම කළ ගැහැනියක ශාරීරිකව ස්පර්ශ කරන්නට ලැබීමේ ප්‍රහර්ශය ඔහු දැන් සංවේදනය කරමින් සිටී. එය වූ කලී දිව්‍යමය හැඟීමකි. මේ ආත්ම භවයෙන් කෙළවර වන්නක් නොව සසර දිගු කරනා හැඟීමකි. ජීවිතය අභියස ට එළඹීමට නියමිත ඕනෑ ම අර්බුධයකට හෝ පිරිපතකට සාවධාන ව මුහුණ දීමේ හැකියාවක් මේ හදිසියේ පහළ වූවා සේ ඔහු ට දැනිණ.

දිය නා අලුත් ඇඳුම් හැඳ ගත් අංජන මෝටර් රථයට නැගුණේ ඒ අලුත් ශක්තියෙනි. ඔහු ගියේ වින්දි ගේ මහ ගෙදරට ය. එදා සදෙව්මා ඔහු ව ප්‍රතික්ෂේප කරමින් කාමරයේ දොර වසා ගත් වෙලාවේ අංජන ඒ ගෙදරින් එළියට බැස්සේ යළි එහි නොයමියි සිතිවිල්ලෙනි. නමුත් ඒ අදහස වෙනස් කරන්නට තරම් දැන් ඔහුට දැනෙනා ජීවිතාශාව ප්‍රබල වූයේ ය.

අංජන ගේ රිය ගෙමිදුල නතර වෙත්දී සදෙව්මා සතුටෙන් පිනා ගියා ය. ගෙතුළ සිට ඉස්තෝප්පුව තෙක් දිව ආ ඕ කුළුණක් අල්ලා ගෙන නතර වූයේ වින්දි ගේ රැවුම නිසා ය. රාත්‍රී ආහාර ගෙන ඉස්තෝප්පුවට වී විවේක සුවයෙන් සිටි වින්දි ගේ මව් පියෝ හදවත ගැස්මෙන් උනුන් දෙස බලා ගත්හ. වින්දිත් ගෙදර සිටින මේ වෙලාවේ පැමිණීම මගින් අංජන බලාපොරොත්තු වන්නේ කුමක් දැයි ඔවුන්ට සිතා ගත නො හැකි විණි. මුලදී ඔහු සදෙව්මා බලන්නට පැමිණියේ වින්දි රැකියාවට ගිය වෙලාවට ය. එය දැන ගෙන වින්දි විසින් පෙරළියක් කිරීමෙන් පසු අංජන එහි නො ගියේ ය. සදෙව්මා ද මවගේ කේළාම් බස් අසා පියාව ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් දෙදෙනා සිටියේ කණස්සල්ලෙනි.

“මං ඔහේට කියලයි තියෙන්නෙ මේ ගෙදර පැත්ත පලාතට එන්න එපයි කියල”

වින්දි දුම්මල වරම අතට ගැනීමේ සූදානමෙහි සිටියා ය. ඇගේ මව අසුනින් නැගිට ගත්තේ දැන් මෙතැන කුමකින් කුමක් සිදු වේ දැයි දෙගිඩියාවෙනි. ජීවිතයේ සැඳෑ සමය නිදහසේ ගෙවිය යුතු කාලයේ ඔවුන් ගේ හිස් මත අවැසි නැති ප්‍රශ්නයක් කඩා වැටී තිබේ.

අංජන කිසිදු කලබලයකින් තොර ව ඉස්තෝප්පුවට ගොඩ වී අත වූ චොක්ලට් එක සදෙව්මා වෙත පෑවේ ය. ඇය ආදරණීය සිනහවකින් එය අතට ගත් අතර වින්දි වහා ඒ වෙත පැන්නේ “විසි කරනව ඕක” කියමිනි. නමුත් ඇයට වඩා එක තත්පරයකට අංජන ඉස්සර විය. වින්දි සදෙව්මා අතින් චොක්ලට් එක උදුරා ගැනීමට පෙර අංජන ඇගේ අත ඉතා තදින් අල්ලා ගත්තේ ය. සිය සම්පූර්ණ වෙර යොදා අත මුදවා ගැනීමේ උත්සාහයක් ගත්ත ද එය අසාර්ථක වූයෙන් වින්දි වඩාත් ප්‍රකෝප වූවා ය. 

“තමුසෙට මං කියල තියනව මේ ගෙදර හතර මායිමේ පස් පාගන්න එපා කියල”

“මං ආවෙ මගෙ දරුව බලන්න”

ඇයව පසෙකට කළ අංජන සදෙව්මා ව ඔහු ගේ සිරුරට ලං කොට ගත්තේ ය.

“මං මගෙ දුව බලන්න එන එක නතර කරන්න තමුන්ට බෑ. ඒ විදිහෙ සෙල්ලං දාගෙන ආවොත් මං ළමයව අරං යනව මගෙ ගෙදරට. අන්න ඒක මතක තියා ගත්තොත් හොඳයි”

එය තර්ජනයකි. අංජන ගේ හඬ වෙන කිසි දාකට වඩා ඍජු වූයේ ය. දැඩි වූයේ ය. වින්දි ගේ පියා ගේ තොල් කොනක් සිනහවකට ඇද විය. අංජන නිවැරදි ලෙස ප්‍රශ්නයට අවතීර්ණ වූයේ මේ මොහොතේ යයි මුළු හිතින් ඔහු හිතුවේ ය. සිය දරුවා දකින්නට හෝ ඔහු ට අවසර නොදෙමින් ද අභූත චෝදනා නගමින් ද සිටින වින්දි ගැන පියාට වූයේ නො රිස්සුමක් හෝ කේන්තියකි. ඔහු ඍජු ව පියවරක් ඉදිරියට නොතැබුවේ වින්දි ගේ කේන්තිය මත ඔවුන් ගේ ජීවිත වලට කෙබඳු ඉරණමක් අත් වේ දැයි සිතා ගත නො හැකි නිසා ය. අංජන තද තීරණයක් නො ගැනීම ගැන හෙතෙම කණස්සල්ලෙන් පසු වූයේ ය.

“එහෙමද මහත්තයො හිතං ඉන්නෙ…බලමු එහෙනං තමුසෙද මන්ද දිනන්නෙ කියල. සදෙව්මා..යනව ගෙට”

අතක් වේගයෙන් චලනය කරමින් ඇඟිල්ලක් ද උරුක් කොට වින්දි සදෙව්මා වෙතට කඩා ගෙන පැන්නා ය. සදෙව්මා තවත් ටිකක් තාත්තා ට තුරුලු වූවා ය.

“මොකද්ද වින්දි වෙලා තියෙන්නෙ උඹට…ඒ මනුස්සය ඇවිත් ඉන්නෙ එයාගෙ දරුව බලන්න. ඒක නතර කරන්න උඹට බෑනෙ”

එතෙක් නිහඬ ව උන් පියා ගුගුළේ ය. 

“ඇයි මට බැරි…මං ළමයගෙ අම්ම. අනික ගෑනු ළමයෙක් අයිති වෙන්නෙ අම්මට”

“වින්දි මේ අහන්න. මේ විකාරෙ දැන්වත් නවත්තන්න. මොකද්ද මේක…ඔයා දන්නවද ඔයා මේ කරන සෙල්ලම සදෙව්මාට කොච්චර නරක විදිහටද බලපාල තියෙන්නෙ කියල..ඒ ළමය බයෙන් ඉන්නෙ. ඔයා කෑ ගහන බණින එක එයාට මානසික ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. කරුණාකරල මේ දරුව වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසඳගමු වින්දි”

“ඒ කියන්නෙ උඹ මේ මිනිහට කේළං කිව්වද…ආ…කතා කරපං සදෙව්මා…එතකොට මෙයා මේ ඇවිත් ඉන්නෙ උඹේ කේලං නිසාද…”

එවර වින්දි සදෙව්මා සිය ඉලක්කය කර ගත්තා ය. අංජන වින්දි ව අතකින් ඉවතට තරමින් සදෙව්මා ට ආරක්ෂාව සැපයුවේ ය. අම්මා කියනා දේ අසමින් තාත්තා ගැන කොයි තරම් වැරදි වැටහීමක් ඇති කර ගෙන සිටියාද කියා සදෙව්මා ඒ අව් අස්සේ වටහා ගත්තා ය.

“ඔය ළමය ඉඳ ගන්න පුතේ. අපිටත් ඕනෙ මේ ප්‍රශ්නෙ කෙළවරක් කර ගන්න. මොකද මේගොල්ලන්ට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්ද…අපිට පුළුවන්ද මේගොල්ලො ගැන වගකීමක් ගන්න..”

“මං කැමතියි අම්මෙ දැන් වුණත් වින්දියි දුවයි ගෙදර එක්කං යන්න”

අංජන එසේ කියමින් අසුනකට බර වූයේ සදෙව්මා ද එහි කොනක හිඳුවා ගනිමිනි. ඔහු ගේ ප්‍රකාශය අවංක විය. වින්දි ගැන පැහැදීමක් ඔහු තුළ නොවී ද ඇය සිටින්නේ මානසික ව්‍යාධියක් තුළ නම් ඉන් එතෙර වන්නට උදව් කොට යළි ඒ ජීවිතය පවත්වා ගන්නට හිත හදා ගන්නට අංජනට පිළිවන. ඒ සිය දියණිය වෙනුවෙනි. අම්මලා පමණකුදු  නොව ඇතැම් තාත්තලා ද සිය දරුවන් වෙනුවෙන් අපායක් වූ යුග දිවි අත් නො හැර සිටිති.

“අනේ මේ මගෙ කේන්ති අවුස්සන්න එපා හොඳේ. කවුද තමුසෙ එක්ක යන්න එන්නෙ…මගෙ බල්ලාවත් එවන්නෑ”

“වින්දි. නිකං පිස්සියක් වගේ දොඩවන්නැතුව මට කියහං මේ මනුස්සයත් එක්ක පවුල් කන්න බැරි තරමට  මොකද්ද අංජන ළමයගෙ තියන වරද කියල”

වින්දි ගේ පියා ප්‍රශ්නයට ඍජුව ම මැදිහත් වූයේ ය.

“තාත්තලව රවට්ටල..හැමෝම රැවටෙන විදිහට ලස්සනට රඟපානව. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මට ආයෙ මෙයත් එක්ක කිසිම සම්බන්දයක් නෑ”

“ඔයත් එක්ක සම්බන්දයක් නැති වුණා කියල ඇත්තටම මටනං නැති වෙන්න දෙයක් නෑ වින්දි. මෙන්න මේ කෙල්ල ගැනයි මට දුක”

“අංජන පුතා එහෙනං කැමති තීරණයක් ගන්න. අපිට තේරෙනවනෙ. පුතා තරුණ කොල්ලෙක්. පුතාටත් ජීවිතයක් තියෙන්න ඕනනෙ. අපේ එක්කෙනා මෙච්චර බෑ කියනවනං බලෙං කසාදයක් පවත්තන්න බෑනෙ. පුතා එහෙනං නඩු දාල මේකෙන් නිදහස් වෙන්න”

සදෙව්මා අංජන ගේ ගෙල බදා ගත්තා ය. ඇය දැන් යමක් වැටහෙන යුවතියකි. අම්මා හා තාත්තා සදහටම වෙන් වෙන්නට යනවා කියන දෙය ඇගේ මනසේ කස පහරක් සේ වැදිණි. 

“මං තාත්ති එක්ක එනව”

සදෙව්මා බිඳුණු හඬකින් කීවා ය. වින්දි ගේ ඇස් වල ක්‍රෝධයේ ගින්දර දැල්විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles