ඔබට ලියන වගනම්

දයාබර ඔයාට..

සමහර දේවල් වෙනස් වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි.මට  හිතුණා මම අලුත් ලෝකෙක දරුවෝ තුන්දෙනත් එක්ක අතරමං වුනා කියලා.වෙනදට මට වෙන හැම දෙයක්ම අකුරක් නෑර ඔයාට කියන්න පුළුවන්කම තිබුනත් එදා ඉඳන් මගේ කිසිම කතාවක් ඔයාට කියන්න බැහැයි කියල හිතුනහම මට මොන වගේ හැඟීමක් ද දැනෙන්නෙ කියන එක ඔයාට තේරෙනවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. ඔයාගේ හොදම යාලුවෝ වෙච්ච නිශ්ශංක ,දේවක, චාරුක හත් දවස ඉවර වෙනකන් බර කරට අරගෙන වැඩ කළා.අපේම කියල හිතපු අපි ගොඩක් ආදරේ කරපු මගේ මල්ලි  ජයම්පති හත් දවසේ වැඩ කටයුතු වලින් පස්සෙ මේ වෙනකන් ඇහැටවත් දැක්කේ නැහැ. හත් දවස ඉවර වෙලත් අපි දෙන්නම  ගොඩක් ම ලඟින් ආශ්‍රය කරපු චාරුක නිතර දෙවේලේ අපේ දුක සැප බලන්න අපේ ගෙදර ආවා. සමහරවිට ඔයා හිටියා නම් මේ දේවල් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ.දරුවෝ තුන් දෙනෙක් එක්ක ගැහැණියෙක් තනි උනහම මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද බැරිද කියන එක තේරෙන්නේ තමන්ගෙ වටේ ඉන්න පිරිසත් එක්කයි. ඉස්සර වගේම රෑට කෑම කාලා  මේසේ ඉන්නකොට ඔයත් එක්ක මේ දේවල් කතා කරන්න මම තාමත් ආසයි. ඔයාට මතකයි නේද අපි අපේම වෙලා තනියම ජීවත් වෙන්න ඕනේ කියලා තීරණය කරලා මේ ගේ පොඩ්ඩ හදාගෙන ලොකු දුවව කුසේ දරාගෙන මේ ගෙදරට පදිංචියට ආපු දවස..එදා ඉඳන් පොඩි එකා හම්බ වෙලා  පොඩි එකා 3වසරට යනකම් ඔයා රස්සාව කරලා හම්බ කරල අපිත් හතර දෙනාටම කන්න අදින්න අරගෙන දුන්නා. කවදාකවත් බැරි අඩුපාඩු කමක් දරුවන්ට ඇහෙන්න කියන්න ඉඩ දුන්නේ නැහැ.ඔයා  නැති වෙලා සති තුනක් විතර යනකොට කවදාවත් නැති විදිහට ගෙදර එක එක අඩුපාඩු පිරෙන්න ගත්තා .පොඩි පුතා ඉස්සර වගේම කිරිතේ ඉල්ලලා අඩන්න ගත්තා.ලොකු පුතා කුකුල් මස් නැතුව බත් කන්න බැහැයි කියලා රණ්ඩු කරන්න පටන් ගත්තා.දරුවෝ තුන් දෙනාව ළඟට කරගෙන අපි දැන් වැටිලා ඉන්න තත්ත්වය ගැන තේරුම් කරන්න මම දවස් ගාණක් මහන්සි වුණා.ලොකු දුවයි  ලොකු පුතායි ඒ ප්‍රශ්න තේරුම් අර ගන්න උත්සාහ කළා.පොඩි පුතා ඒ දේවල් තේරුම් ගන්න  උත්සාහ කළේ නැහැ.දරුවෝ තුන් දෙනාව බලාගන්න එන්න ඔයාලගේ අම්මා කැමැති වුණා.ඔයා අකමැති වුණත් මට කරන්න දෙයක් නැහැ දර්මාද… දැන් මම චිත්‍රසේන දොස්තර ගේ බෙහෙත් සාප්පුවේ බෙහෙත් දෙන වැඩෙට යනව. ඒක තියෙන්නේ හැන්දෑවේ . ඒ හින්දා උදේ වරුවේ රත්නසේකර ඉන්ඩස්ට්‍රීට් එකේ ලියන කියන වැඩ වලට යනවා. බයවෙන්න එපා ඔයා නැහැයි කියලා මම දරුවන් අනාත වෙන්න දෙන්නෙත් නැහැ. ඔයා නැහැයි කියලා මම පැටවුන්  බඩගින්නෙ තියන්නෙත් නැහැ.ඔයා මම දුක් විඳිනවට  මහන්සි වෙනවට අකමැති උනේ ඔයාට පුලුවන් කාලෙදි .ඒත් දැන් වෙන කරන්න දෙයක් නැහැ.ඔයා නැති වුණයි කියලා නිශ්ශංක මට පණිවිඩය ගෙනාපු වෙලාවේ මම හිතුවේ ඒක බොරුවක් කියලයි.මම හයියෙන් හිනා වුණා .හිනාවෙලා නිශ්ශංකට කිව්වා ඔයිට වඩා හොඳ විහිළුවක් කරන්න කියලා.නිශ්ශංක මගේ මූණ දිහා  බලාගෙන ඉඳලා පොඩි පුතා තුරුල් කරගෙන කෑගහලා හයියෙන් අඬනකොට මගේ හිනාව ටිකෙන් ටික… ටිකෙන් ටික මූනේ මැකිලා ගියේ නිශ්ශංක කරන්නේ බොරුවක් නෙමෙයි කියලා මට තේරෙන්න ගත්ත හින්දයි.ඒ වෙලාවේ මම දන්නේ නැහැ මම කොහොමද ඒක දරා ගත්තෙ කියලා.ඔයාව ගෙදරට ගෙනාවට  පස්සෙ මම තනියම තීරණය කළා දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මම වැල පෙන්නෙ නැහැ, මම ඔයා වෙනුවෙන් උන් තුන්දෙනාව කොහොමහරි  රැක බලා ගන්නවා කියලා.මම කුස්සියට ගිහිල්ලා හදලා තිබිච්ච තේ එකක් අරගෙන බොනකොට ඔයාලගේ රත් ගම්පොල නැන්දා අපේ සාගරී අක්කට කියලා තිබුණා හරි ලස්සනයි මිනිහා මැරිච්ච ගමන් ගෑනි තේත් බොනවයි කියලා..සාගරී අක්කා මගේ අත් දෙක අල්ලගෙන ඒ කතාව කිව්වේ මගේ රත්තරන් නංගියේ උඹ මේ දේ දරා ගත්ත විදිහ ගැන මට තියෙන්නේ ආඩම්බරයක් කියලා කියන ගමන්.රත් ගම්පොල නැන්දා දානෙට වත් ආවෙ නැහැ.  අපි උන්නද මළාද කියල අද තව වෙනකන් බැලුවෙත් නැහැ.ඔයා ඉන්න කාලේ මාත් එක්ක එක එක දේවල් වලට ඇනුම්පද කිය කිය ඔයාලගේ අම්මා පුළුවන් තරම් රණ්ඩු කලත් ඔයා නැති වුණායින් පස්සේ පුදුම විදිහට අපේ ගෙදරට ඇවිල්ලා දරුවො තුන්දෙනා බලාගන්නම් කියලා කියද්දි මට හිතා ගන්න බැරි වුනා.ඔයා ඉස්සර කියනවා මට මතකයි ජීවිතේ සමහර දේවල් හැමදාම  එකම විදිහට තියෙන්නෙ නැහැයි කියලා. ඒ වගේම ඔයා කියනවා නේ එක දොරක් වැහෙනකොට තවදුර දොරවල්  කීපයක් ඇරෙනවා යි කියලා.ඒ උනාට ඔයා ඉන්න දොර වැහිලා මට දොරවල් දාහක් ඇරුණත් ඇති වැඩක් නැහැ දර්මාද..ඔයා වැඩ කරපු වැඩපොලේ ජීවිත වන්දි කියලා සෑහෙන මුදලක් ලැබුණු බව ඇත්තයි.සමහර සිද්ධි විශ්වාස කරන්න බැරි විදිහට සිද්ධ වුණා.අපේ මල්ලි ජයම්පතී හැමතැනම කිය කිය ගියා ඔයාගේ වන්දි මුදල ලක්ෂ ගානක් මට ලැබුණ හින්දා මම දැන් හරිම සන්තෝසෙන් ඉන්නේ ඒ හින්දා අමුතුවෙන් කියලා මං ගැන බලන්න දෙයක් නැහැයි කියලා  .එච්චර කාලයක් සහෝදරයෙක් වගේ අපේ දුක සැප හෙව්ව නිශ්ශංක දුරකතනයට උත්තර දෙන එකත් නැවැත්තුවා .නිශ්ශංක ඇයි දර්මාද එහෙම කලේ….. පිස්සු මට…ඔයා කොහොමද ඒවා දන්නේ නේද …
ඔයාලගේ නංගි නර්මදා එයාගේ රත්තරං බඩු සින්න වෙන්න යනවා කියලා මගෙන්  හම්බවෙච්ච වන්දි මුදලෙන් ලොකු ගානක් ඉල්ලුවා . ඉක්මනින් දෙන්නං කිව්වා. මං දන්නවා …මං මැරිලා ඔයා උන්නනම් ඒ වන්දි මුදල හම්බුනේ ඔයාටනං ඔයානං ඉල්ලන පමාවෙන් දෙයි….. ඔයා වෙස්සන්තර නේ…. ආ..හ්.. අනේ සොරි දර්මාද ….මට හැමතිස්සෙම හිතෙන්නේ ඔයා ලග ඉන්නවා කියලා . මට දැන් තරහ යනවා හරියට… ඉස්සර වගේ මගේ හිතේ තරහා නිවාගන්න ඔයාට බනින්න ඕනේ…. ප්ලිස් … ඉතිං අර කට කොනින් හිනාවෙන ලස්සන මං ආස හිනාව හිනාවෙන්න ..
ඕ…. ශික්…සොරි   ඔයා ඔයා…
ඒකනෙමේ ඉතිං නංගිට මං කිව්වා ඒ සල්ලි හරියට තුනට බෙදලා ලමයින්ගේ නං වලට මං ස්තාවර තැන්පතු දැම්මා ,ඒවා ආයිත් ගන්න පුලුවන් උන්ට අවුරුදු දාසය පිරුනම කියලා .. හොඳට හිනා වෙලා  කතා කරලා එදා දවල්ට   බතුත්  කාලා ගිය ගෑනි ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනකින් අම්මව ගෙන්න ගත්තා. අනුන්ගේ ලමයි බලන්න අම්මා වැඩ කාරයෙක් නෙමේ කියලා . ඊට පස්සේ මම උදේ වරුවේ industry එකේ ලියන කියන වැඩ වලට විතරයි ගියේ. හවස බෙහෙත් සාප්පුවට යන එක නැවැත්තුවා ළමයිත් එක්ක කවුරුත් නැති හින්දා.ඊට පස්සෙ නම් ජීවිත අරගලය හරි අමාරු වුණා. හොඳ වෙලාවට මම සල්ලි මගේ නමට ස්ථාවර තැන්පතු දාලා ආරක්ෂා කර ගත්තේ.;ඒවල ආපු පොලිය හින්දා මට කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් වුණා.ඔයාලගේ අම්මා නංගිට හොරෙන් නිතර දෙවේලේ ඇවිල්ල දරුවෝ  බලලා ගියා.
ඔෆිස් එකේදි ඔයාගේ හොඳම  යාලුවා විදිහට ළඟින්ම ආශ්‍රය කරපු නන්දන ඔයාගේ වන්දි මුදල ගන්න ගොඩක් උදව් කළා. දරුවන්ගේ ප්‍රශ්න  වලදි ගොඩක් මැදිහත් වෙලා මට උදව් උපකාර කළා.නන්දනගේ ගෑනි ඔයාට මතකද අර කොන්ඩේ  පාට දෙකක් ගාලා ඉන්නේ . ආ.. හරි උත්තර දෙන්න ඕනෙ නෑ අහගෙන ඉන්නකෝ… හරිද…
චිත්‍රා.. මට කතා කරලා කිව්වා මිනිහා මැරුණා නං මැරුණ විදිහට ඉන්න.අනිත් මිනිස්සුන්ගේ පවුල් කඩලා මිනිසුන්ව දැලේ දාගන්න හදන්න එපා කියලා. මම චිත්‍ර ට කිව්වා මගේ දැලේ   ලොකු හිලක් තියෙනවා ඒ හිලෙන් තමයි ධර්මාදවත්  වැටුණේ ඔයාගේ මහත්තයා චණ්ඩියෙක් නම් හිලෙන් වැටෙන් නැතුව එල්ලිලා ඉඳියි කියලා.. ඊට පස්සේ  දවසකත් නන්දන අපේ ගෙදර ආවා.මට නන්දන ගැන හරි දුක හිතුනා.ඒ වගේ යහපත් මනුස්සයෙක්ගේ  ගුණයහපත්කම තේරුම් ගන්න බැරි ගෑනියෙක් චිත්‍රා කියල මට හිතුනා.චිත්‍රා මට කියලා  බැන්නා දේවල් මම නන්දනට කිව්වා. ඒ නිසා ආපහු මෙහෙ එන්න එපා කියලත් මම කිව්වා.

නිශාදි  නංගි කැමතිනම්…. කැමතිනම්… මට නිශාදි නංගියි දරුවො තුන්දෙනයි බරක් නෙමෙයි..
කියලා නන්දන මට කිව්වේ ඔයා ලස්සනට හිනා වෙලා මං දිහා බලාගෙන ඉන්න පොටෝ එක ඉස්සරහදිමයි. චිත්‍රා හරි දර්මාද.. ගෑනිට තියෙන්නේ බලල් ඉව.. මම වචනයක්වත් කතා නොකර මගේ ඇස් දෙකෙන් නන්දන ට ගෙදර  දොර පෙන්නුවා. නන්දන ගෙන් හිස්වෙච්ච අපේ පුන්චි සාලේ ඔයා මං දිහා බලාගෙන උන්නා . මං කෑගහලා ඇඩුවා. ඔයාව ගෙදරින් ගෙනියනකොට වත් මම ඒ විදිහට ඇඬුවෙ නැහැ. ඔයා මට ලොකු අසාධාරණයක් කළා. ඔයා මට පොරොන්දු උනා මාව කවදාවත් අසරණ කරන්නේ නැහැයි කියලා. කොහේවත් නැති රටේ බල්ලො ගෙදරට ඇවිල්ලා අපේ නම්බුකාර ජීවිතේට ඒ විදිහට ඇඟිලි ගහන්න හදන්නේ මම දුරුවලයි කියලා හිතන නිසා වෙන්න ඇති. දන්නවා ද දර්මාද.. ඒ මීට අවුරුදු විස්සකට කලින්.. දැන් ලොකු දුවට බබාලා දෙන්නෙක් ඉන්නවා . ලොකු පුතා පකිස්තානයේ වාහන ගෙන්වන තැනක වැඩ කරනවා. ඉන්දියානු කෙල්ලෙක් බැන්දේ.. කරන්නේ පොඩි රස්සාවක් උනාට සතුටින් ඉන්නවා . පොඩි පුතා උසස් පෙල පාස්. විද්‍යාපීට යනවා කිව්වා. දර්මාද .. ඔයා ඉස්සර පොරොන්දු උනා නේද දරුවො තුන් දෙනාගේ වැඩ කටයුතු ඉවර වුණහම මාව අනුරාධපුර එක්කගෙන යනවා කියලා.  දවස් දෙක තුනක්ම එහෙ ඉඳලා වැවකින් නාලත් එමු කියලා කතා වුණා නේද..ඉතින් දැන් යන්න පුළුවන්නේ..
ඕ ශික්.. දර්මාද සොරි සොරි සොරි 

More Stories

Don't Miss


Latest Articles