මුත්‍රා කිරීමේදී අපහසුවක් ඇත්නම් ඒ මුත්‍රා ආසාදනයක ලක්ෂණ විය හැකියි

කාන්තාවන්ගෙන් 60% ක් , පිරිමින්ගෙන් 12 % ක්  අවම වශයෙන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් එක් වරක් හෝ මුත්‍රා ආසාදනයකට ලක්වෙන බව ඇතැම් සමීක්ෂණ වාර්තා වල සඳහන් වෙනවා.මුත්‍රා ආසාදනයක් කියන්නේ ඔබේ මුත්‍රා මාර්ගයට , මුත්‍රාශයට හෝ වකුගඩු වලට බැක්ටීරියා ඇතුල් වීමෙන් ඇතිවන ආසාදන තත්ත්වයයි.සාමාන්‍ය මුත්‍රාවල බැක්ටීරියා අඩංගු නොවන අතර බැක්ටීරියා මුත්‍රා මාර්ගය හරහා මුත්‍රා වලට ඇතුළු වී මුත්‍රාශය තුළට ගමන් කළ හැකියි. මෙවැනි ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා හානිදායක තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට පුළුවන් නිසා මුත්‍රා ආසාදනයක් කලින් හඳුනා ගන්නට හැකි ලක්ෂණ පිළිබඳව අපි ඔබට කියන්නම්

උදරයේ පහළ හෝ පිටුපස වේදනාව

මුත්‍රා ආසාදන වල ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස මේ ලක්ෂණය හැඳින්වෙනවා .මුලදී එය වරින් වර දැනීම සිදු වුණත් දින කිහිපයකින් පසුව එය නිරන්තර තියුණු වේදනාවක් දක්වා වර්ධනය විය හැකියි.

මුත්‍රාවල පැහැය සහ ස්වභාවය 

ඔබ මුත්‍රා පිටකිරීමේ දී එය වළාකුළු සහිත ස්වභාවයක්,  තද පැහැයක් ගන්නවා හෝ රුධිරය සහිතව පිට වෙනවා නම් එය ද ඔබ සැලකිලිමත් විය යුතු කාරණාවක්. සාමාන්‍යයෙන් මුත්‍රා තද කහ පැහැයක් ගන්නේ ඔබ ප්‍රමාණවත් තරම් වතුර පානය නොකළ විටයි. නමුත් මුත්‍රා ආසාදනයකදී පවා ඒ ආකාරයට මුත්‍රාවල පැහැය වෙනස් වීමේ හැකියාව තියෙනවා. 

නිතර මුත්‍රා කිරීමට පෙළඹීම 

මෙය මුත්‍රා ආසාදනයක දී ඇතිවන එක් කරදරකාරී රෝග ලක්ෂණකයක්.එහිදී ඔබට නිතර නිතර මුත්‍රා කිරීමට පෙළඹීම සහ අධික ලෙස මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.නමුත් ඇතැම් අවස්ථාවල ඔබට එසේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වුණත් මුත්‍රා පිට වන්නේ ද නැහැ

මුත්‍රා කුඩා ප්‍රමාණයක් පිටවීම

ඔබට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවීමෙන් පසුව ඔබ මුත්‍රා කිරීමට උත්සාහ කළ ද ඔබට මුත්‍රා ආසාදනයක් තිබෙනවා නම් පිටවන්නේ කුඩා මුත්‍රා ප්‍රමාණයක් පමණයි.

අධික දුර්ගන්ධය 

මුත්‍රා පහ කිරීමෙන් පසුව ඔබට එහි අධික දුර්ගන්ධයක් දැනෙනවානම්  ( සාමාන්‍ය දුර්ගන්ධයට වඩා වෙනස් දුර්ගන්ධයක් ) එය සැලකිය යුතු කාරණාවක්. 

වේදනාව සහ දැවිල්ල 

ඔබට මුත්‍රා ආසාදනයක් ඇත්නම් ඔබට මුත්‍රා පිට කිරීමේදී අපහසුවක් , වේදනාවක් හෝ දැවිල්ලක් ම්ඇතිවීමේ විශාල ඉඩකඩක් තිබෙනවා.එම වේදනාව හෝ බැවින් ද ඉතා ඉක්මනින් වර්ධනය වීමේ හැකියාවක් ද තිබෙන නිසා සුදුසු වෛද්‍යවරයකු හමු වේ ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි .

මේ රෝග ලක්ෂණ වලට අමතරව ඔබ මුත්‍රා ආසාදන තත්ත්වයේ තරමක අවදානම් තත්ත්වයක සිටිනවා නම් පහත රෝග ලක්ෂණද ඇතිවිය හැකියි

අධික උණ

වෙව්ලීම

ආහාර රුචිය නැතිවීම

ශරීරයට තෙහෙට්ටු ගතියක් දැනීම

දුර්වල බව දැනීම

පාචනය වැනි තත්වයන්

ලිංගික අවයව අවට වේදනාව සහ අපහසුතාව

මුත්‍රා ආසාදන ඇති වීම වලක්වා ගන්නේ කොහොමද ? 

හොඳින් වතුර පානය කිරීම

ලිංගික අවයව පිරිසිදුව තබා ගැනීම

දැඩි සුවඳක් සහිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන කිරීමෙන් වැළකීම 

උපත් පාලන ක්‍රම පිළිබඳව සැලකිලිමත් වීම

මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විටදී සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් වන තුරු මුත්‍රා පිට කරන්න 

මුත්‍රා ආසාදනයක් ඇති වීම සුලුවෙන් තැකිය තත්වයක් නොවේ.එය ජීවිත අවධානමක් දක්වා පැතිරිය හැකි තත්වයක්.එම නිසා ඔබ මෙවැනි රෝග ලක්ශන පිළිබඳව සැලකිලිමත් වී නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගත යුතුයි

Related Articles

Don't Miss


Latest Articles