ව්‍යායාම කරන්නෙ ඇයි කියල ඇහුවොත් අපි බොහෝදෙනෙක්ට හිතෙන සහ අපි බොහෝදෙනෙක්ගෙන් ලැබෙන්නෙ ශරීරයේ හැඩය පවත්වා ගන්න, අනවශ්‍ය බර අඩු කරගන්න වගේ පිළිතුරු කියල ඔබ දන්නව.
මේ ප්‍රශ්නෙ ඔබගෙන් ඇහුවත් ලැබෙන්නෙ ඒ වගේ පිළිතුරක් වෙන්න පුළුවන්.
හැබැයි, අපි වැඩිය නොහිතුවට ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.
ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න සහ ශරීරයේ හැඩය, නම්‍යශීලි බව පවත්වා ගන්න බොහෝදෙනෙක් ව්‍යායාම වල නිරත වුනත් ඉරියව් නිවැරදි කරගන්න, අත් පා වල අහිමි වූ චලනයන් නැවත ලබාගන්න වගේ සෞඛ්‍යමය හේතු වගේම ක්‍රීඩා කරද්දි ශාරීරික යෝග්‍යතාව ක්‍රමවත්ව පවත්වා ගන්න වගේ හේතු නිසා ව්‍යායාම වල නිරත වෙන අයත් ඉන්නව.
ඉතිං, මේ මොන මොන හේතූන් නිසා ව්‍යායාම කරත්, අවසානයේ අපි හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනව කියන දේ නම් කාටත් පොදුයිනෙ.
ඒත්, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන කාලයේදී නොලැබුනොත් ඒ ගැන අපිට ගැටළුවක් ඇතිවෙනව වගේම නැවත නැවත ව්‍යායාම කිරීමට ඇති කැමැත්තත් ටිකෙන් ටික අපෙන් ඈත් වෙනව කීවොත් පුදුම වෙන්න කාරණාවකුත් නෙමෙයිනෙ.
අන්න ඒ නිසා ඔබ කොයිතරම් ව්‍යායාම කරත් ප්‍රතිඵලයක් නොලැබෙන්නෙ ඇයි කියල ඔබත් එක්ක කතා කරන්න smart lady අපි අද තීරණය කරා.
හොඳට නිදාගන්නවද?
සාමාන්‍යයෙන් ව්‍යායාම කරද්දි අපේ ශරීරයේ බර පාලනය වීම සිදුවෙනවනේ.
හැබැයි ඔබ ඔබේ වයස, සෞඛ්‍ය තත්වය මත ඔබ ලබාගත යුතු ක්‍රමවත් සහ සුවපහසු නින්දක් නොලබනවා නම්, ව්‍යායාම වලින් විතරක් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කිරීම ප්‍රතිඵලදායක වෙන්නෙ නැහැ.
අක්‍රමවත් නින්ද සහ නින්ද නොයාම ආහාර රුචිය පාලනය කරන හෝමෝන වලට බලපෑම් එල්ල කර කෙටි ආහාර වර්ග අනුභව කිරීම මඟින් ඉක්මණින් ශක්තිය ලබා ගැනීම සඳහා ඔබව පොළඹවනව කියල සඳහන් වෙනවා.
එමඟින් පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කර එදිනෙදා වැඩ කිරීමට පමණක් ප්‍රමාණවත් කුඩා ශක්තියක් ඔබේ සිරුර තුළ ඉතිරි කිරීමත් වක්‍රාකාරව සිදුවෙනවා.
ඒ නිසා ක්‍රමවත්, සුවපහසු සහ ප්‍රමාණවත් නින්දක් ලැබීම අනිවාර්ය බව ඔබ හොඳින් මතක තබාගත යුතුමයි.
වෙනස් කරන්න
සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යායාමක් කිරීම මුලින්ම ඔබේ සිරුරට අපහසු වීම ඉතාම ස්වභාවිකයි. ඒ වුනත් දීර්ඝකාලීනව එකම ව්‍යායාමයක් හෝ ව්‍යායාම කීපයක් සඳහා ඔබේ සිරුර පුහුණ කළ විට සෙමින් සෙමින් ශරීරය එම ව්‍යායාමය සඳහා අනුවර්තනය වීම සිදුවෙනවා.
එවිට තවදුරටත් එම ව්‍යායාමයේ නිරත වීම ඔබේ සිරුරට අපහසු වෙන්නෙවත් අභියෝගාත්මක වෙන්නෙවත් නැහැ.
ඒ නිසා තවදුරටත් එම චලනයන් මඟින් ප්‍රතිඵල ඇති කිරීම සිදුවෙන්නෙත් නැහැ.
මේ හේතුව නිසා ඔබ ව්‍යායාම කරන අරමුණ කුමක් වුනත් ඉතා හොඳ උපදේශකයෙකු හෝ වෙනත් විශ්වාසදායක මාර්ගයකින් දැනුවත් වී කාලයෙන් කාලයට ඔබ කරන ව්‍යායාම වෙනස් කිරීමත් අනිවාර්ය බව සඳහන් වෙනවා.
පුංචි වුනත් නොසලකා හැරිය නොහැකි දේවල්
ව්‍යායාම වෙනස් කරනව කියන්නෙ, ඔබ දැන් කරමින් ඉන්න ව්‍යායාමය සම්පූර්ණයෙන්ම නතර කරල වෙනස්ම ව්‍යායාමයකට යන්න කියන කාරණාවම නෙමෙයි කියලත් අපි මතක් කළ යුතුමයි.
උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ, ඔබ දවසකට ට්‍රේඩ් මීල් යන්ත්‍රය මත දුවන වේගයක් හෝ ඔසවන බරක් තියෙනව කියල අපි හිතමු.
මේ වේගය පැයට සැතපුම් එකක හෝ දෙකක වේගයකින් වැඩි කිරීම වගේම ඔසවන බර ප්‍රමාණය පොඩි ප්‍රමාණයකින් හෝ වැඩි කිරීමත් වෙනසක් විදිහට අනිවාර්යෙන් සළකන්න පුළුවන්.
හැබැයි, ව්‍යායාම කරන කාලය, වේගය, දුර, තීව්‍රරතාව වගේ එක් සාධකයක් පමණක් එක් වරකට විතරක් වෙනස් කරන්න කියලත් සඳහන් කරන්නෙ අපි කරන වෙනස්කම් සමහර විට ශරීරයට දරා ගැනීම තරමක් අසීරු වෙන්න පුළුවන් නිසයි.
Active recovery වෙන්න
ශරීරය චලනය කරනව වුනත් අපේ මාංශපේෂි සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කරවන ඉඩ සලසන ඕනෑම ව්‍යායාමයක් active recovery කියල හඳුන්වාදෙන්න පුළුවන්.
අධික දහනයෙන් යුතු වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් තොරව අපේ ශරීරයට සහ මනසට විවේකයක් ලබාගන්න මේ ව්‍යායාම වලින් ලැබෙන්නෙ ඉතාම හොඳ සහ වටිනා සහයක්.
උදාහරණයක් විදිහට, සරල යෝග අභ්‍යාස, මන්දගාමීව දිවීම සහ ඇවිදීම වගේ සරල ක්‍රියාකාරකම් හඳුනාගන්න පුළුවන්.
කෑම කන්න
Smart lady වෙබ් අඩවියට මම මීට කලින් ජපන් ජාතිකයන්ගෙ ආයුෂ වැඩිවෙන්නෙ ඇයි කියල ලිපියක් ලීව සමහරවිට ඔබ කියවන්න ඇති.
ඒ ලිපියෙදිත් මන් සඳහන් කරපු කාරණාවක් තමයි ජපන් ජාතිකයෝ කෑම වගේ කෑම වෙනුවට කෑම කන එකත් ඔවුන්ගේ නීරෝගී බවේ එක් තීරණාත්මක කරුණක් බව.
ඒ නිසා අධික මේදය,සීනි සහ පිෂ්ඨය සහිත කෘ තිමව නිපදවූ සහ රසකාරක, වර්ණක සහ කල්තබා ගැනීමේ නිෂ්පාදන අඩංගු ආහාර වර්ග වෙනුවට පෝෂණ ගුණය ආරක්ෂා වෙන විදිහට පිළියෙල කරපු ස්වභාවික ආහාර වර්ග අඩංගු සමබර ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්.
ඔබ ව්‍යායාම කිරීමේ අරමුණ කුමක් වුනත් මේ කරුණ ඔබ සිහිතබා ගත යුතුමයි කියලත් අපි මතක් කරන්න කැමතියි.
ඔබ ව්‍යායාම කරන්නෙ උපදේශකරවයෙක්, චිකිත්සකවරයෙක් හෝ වෛද්‍යවරයෙක් යටතේ නම් ඔවුන්ගෙන් උපදෙස් ගෙන අවශ්‍ය කැලරි ප්‍රමාණය සමබර වෙන විදිහට ආහාර වේලක් සකසා ගන්න ඔබට පුළුවන්. ආහාර වේලේ අඩංගු පෝෂක වගේම ආහාර ප්‍රමාණයද ඉතාම වැදගත් කියලත් අනිවාර්යෙන් සඳහන් කළ යුතුමයි.
විවේක ගන්න
ඔබ නිතරම වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක් නම්, ව්‍යායාම වලින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා.
ඔබේ ශරීරයට ප්‍රකෘතිමත්ව ඔබේ ව්‍යායාමය නිසිපරිදි කිරීමට හැකියාවක් නොලැබීම ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනවා.
ඔබ සෑම දිනකම ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් වෙහෙසවී ව්‍යායාම කරනවා නම්, දිනක් ඇර දිනක් ව්‍යායාම සඳහා යොමුවී වෙනසක් තිබේදැයි නිරීක්ෂණය කරන්න ඔබටම පුළුවන්.
මානසික යහපැවැත්ම පවත්වා ගැනීමත් ඒ සඳහා ඔබ කැමති හානිකර නොවන විනෝදාංශ වැනි ක්‍රියාකාරකම් වල යෙදීමටත් අමතක කරන්න එපා.
ඔබ කවුද?
අපි අපේ ශරීරය මොන විදිහට වෙනස් කරන්න හැදුවත් ජානගතව අපිට ලැබෙන ලක්ෂණ අපිත් එක්කම තියෙනව කියලත් ඔබ හොඳ වැටහීමක් ලබා තිබිය යුතුමයි.
ඒ ලක්ෂණ සම්පූර්ණයෙන් මකා දමන්න අපිට හැකියාවක් නැති වුනත් ව්‍යායාම, ආහාර රටාව සහ මානසික යහපත්බාවය පවත්වා ගැනීම තුළින් ඒ තත්වයන් පාලනය කරගන්න අපිට හැකියාව තියෙනවා.
වඩාත්ම සුදුසු වෙන්නෙ අපිට සපුරාගත හැකි, ඉක්මණින් ලඟා විය හැකි සහ පියවරෙන් පියවර සාර්ථක කරගත හැකි ඉලක්ක ගොඩනගා ගනිමින් ව්‍යායාම කිරීම බවයි මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
ඔබ අන් සියල්ලන්ටම වඩා වෙනස්, ඔබ ඔබම පමණයි. ඒ නිසා තවත් කෙනෙක් තුළින් ඔබව දකින්න උත්සහ නොකර ඔබට ගැළපෙන ඔබේ ඉලක්ක පිහිටුවා ගැනීම ව්‍යායාම වගේම සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගන්නත් ඔබට මනා පිටිවහලක් ලැබෙන බව අපිට විශ්වාසයි.
එහෙනම්, මේ වගේම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |