මල් තුහින -52

“තුහින, උත්පලාගේ අපාට්මන්ට් එකට එනවද?”

ඒ ඇමතුම ආවේ තුහින මිතුරන් හමු වන්නට යද්දී ය. ඔහු රිය මහා මාර්ගය පසෙක නතර කර ඇමතුමට පිළිතුරු දුන්නේ ය. ඒ දිල්මිගේ සැමියා ය. ඔහු මේ හදිසියේ ඇමතීමට හේතුව තුහින ට සිතා ගන්නට නොහැකි විය.

“කරදරයක්ද?”

ඔහු එසේ අසද්දී දිල්මිගේ සැමියා සන්සුන් ස්වරයකින් කීවේ තොරණකින් කීවේ උත්පලා නැවත රෝගී වී ඇති බව ය. සාදයක් පැවැත්විය යුතු බව ඇත්තකි. නමුත් මේ රෝගී වී හිඳින්නේ දියණියගේ අම්මා බව ඔහුට අමතක කරන්නට නොහැකි ය. ඇය වෙත නොයා සිටීමට තුහින ට හැකියාවක් තිබුණේ නැත.

උත්පලාගේ නවාතැනට ඇතුළු වූ මොහොතේ සිට සිදුවූ සියල්ල අපැහැදිලි කළු සුදු චිත්‍රයක් ලෙස තුහිනට දැනෙන්නට විය.උත්පලාගේ ඇගේ යහන මත වැටී සිටියා ය. දිල්මි සිටියේ වැළපෙමිනි.සියල්ලම අවසන් බව තේරුම් ගැනීමට නොහැකි තරමට තුහින හිස් වී ගියේ ය. ඔහු ඇගේ නිසල බව නොතේරෙන සිරුර අසල දණ ගසා ගත්තේ ය. යහන කෙළවර ලිපියකි. ඒ අකුරු ඔහු වෙනුවෙනි. 

“ජීවිතේ කිසිම දවසක හොඳ වයිෆ් කෙනෙක් වෙන්න බැරි උනාට මට සමාවෙන්න. කිසිම දවසක ඔයාට ආදරේ නොකළට හොඳ ෆැමිලි ලයිෆ් එකක් හදාගන්න හිතාගෙන මයින්ඩ් ගේම් එකක් ප්ලේ කරාට මට සමා වෙන්න.මගේ දුව බලා ගන්න.මම යනවා.”

විවාහය ගින්දරක් වූ බව සැබෑවකි. එහෙත් මේ ගැහැනිය කාලයක් තිස්සේ ජීවිතේ කොටසක් වී සිටි අන්දම ඔහුට අමතක කරන්නට නොහැකි ය. තමන්ට දියණියක දුන් ගැහැනිය සියදිවි නසා  ගැනීමකින් ජීවිතය අවසන් කර ඇති බව  සිතද්දී තුහිනට දෙපා අවසඟව ගියේ ය.

“හොස්පිටල් අරන් ගිහින් වැඩක් නෑ මචං. උත්පලාලගෙ ගෙදර අයට කියන්න වෙයි. නීතියෙන් දැන් උඹටත් අයිති නෑනේ.”

දිල්මිගේ සැමියා තුහිනගේ උරහිස මත අතක් තබා කතා කළේ ය. දුරකථන අංක කිහිපයක් ඔහු අත තැබූ තුහින තරප්පු පෙළ තරණය කළේ සිහිනයකින් වාගේ ය.

ඇය තවදුරටත් නොවේ. ඇය ඇගෙන් පලි ගත්තාද නැතිනම් ඔහුගෙන්ද දියණියගෙන් පලි ගත්තාද යන්න ගැන නොසිතාම ඔහු මෝටර් රථය වෙත ආවේ ය. ඇගේ හිස මත අත තබද්දී දැනුණු සීතල ඔහුගේ හිස හිරි වට්ටමින් තිබිණ. රිය ධාවනය කරන්නට නොහැකි ය. දියණියට අම්මා අහිමි වී තිබේ. ඇයට තාත්තාව ද අහිමි කරන්නට නොහැකි ය.

රුවිනිගේ ඉල්ලීම් කිසිවක්ම අත නොදරා ත්‍රීරෝද රථයකින් බැස තුහින ඇවිද එන අන්දම මලිති බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ මුහුණ මහත් සංවේගයකින් පිරී තිබේ. ඒ දික්කසාදය නිසා වන්නට ඇතැයි ඇයට සිතිණි. උසාවියෙන් පිටතට එද්දී  හදවත හඬා වැටෙමින් තිබුණ ද මලිති සිනාවක් පැළැන්දා ය. පිරිමින්ට ගැහැනුන්ට මෙන් බොරුවට සිනාසෙන්නට නොහැකි බවත් ඔහු අත් හැරුණු විවාහය ගැන වේදනාවෙන් බවත් ඇය තීරණය කළා ය.

“මේ යකා අපිට නොදීම බීලා එනවා වගේ. වාහනෙත් නෑ. ගේන්න පොරොන්දු වෙච්ච දේවල් එකක්වත් ඇත්තෙත් නෑ.”

රනුකගේ උස් සිනා හඬ මැද රුවිනි දෑත් ඉඟෙහි ගසාගෙන නැගිට්ටේ එසේ කියමිනි. තුහින ඇයට වචනයකින්වත් ප්‍රතිචාර නොදැක්වීය. ඔහු මලිති වෙත ඇවිද ගියේ සිහිනයකින් වාගේ ය. එක් වරම ඇය වැළඳ ගත් ඔහු හඬන්නට පටන් ගත්තේ ය. ඉකි ගැසීම මහා හැඬුමක් වී තිබිණ. කිසිවක් ම නොතේරුණද මලිති ඔහුගේ හිස පිරිමදිමින් ඔහුව දරා සිටියා ය.

“මිනිස්සු කතා කරන්න අකමැති කිසිම වෙලාවක ප්‍රශ්න අහන්න එපා.”

රුවිනි එක්තරා දිනයක දුන් උපදෙස මේ මොහොතේ පවා ඇයට සිහි විය. ඇය ඔහුව දරා ගනිමින් සිටියා ය. රුවිනි ද රනුක ද පුදුමයෙන් බොහෝ දේ අසද්දී පවා මලිති වචනයක් නොපවසා ඔහුගේ හිස පිරිමදිමින් සිටියා ය.

ඔහු වේදනාවකිනි. ඒ වේදනාවෙන් විනිර්මුක්ත වන්නට ඔහු තෝරා ගත් උරහිස ඇගේ ය. එසේ නම් ඇය ඔහුව දරා ගත යුතුම ය.

“උත්පලා ගිහින්”

මලිතිගේ තුරුලෙන් මිදී පුටුවක් මත ඇද වැටුණු තුහින හදිසි ප්‍රකාශයක් නිකුත් කළේ ය.ඒ වචන වල සීතල හන්දාම සිදුවන්නට ඇති දේ වැටහුනද රුවිනි හානියක් නොවන යමක් ගැන අසන්නට සිතුවා ය.

“එයා ෆ්ලයි කරනවද?”

නැත! තමන්ගේ දියණියගේ අම්මා ජීවිතය අත්හැර ගොස් තිබේ. දික්කසාද නඩුව අහවර වන තුරුම නොනවත්වාම තමන් සමග දබර කර ගනිමින් තමන්ගේ ආත්ම ගෞරවය විනාශ කරමින් සිටි ඇය නීතියෙන් වෙන් වූ දිනයම අත්හැර යන්නට තෝරාගෙන තිබේ. සමහරවිට තනිකමේ කටුක පාළුව ගැන ඇයට දැනෙන්නට ඇත්තේ ඒ මොහොතේ වන්නට ඇතැයි ඔහු කියන්නේ හඬමිනි. මිතුරු හදවත් තුනක් ඔහු දරා ගන්නට විය. ඔහු අසල හිඳින්නට විය.

(ඔබට ප්‍රේමය දැනෙන දවසක් වේවා! ප්‍රේමයෙන් වැඩෙන්න! ආදරෙන් ජීවත් වෙන්න. ප්‍රේමය උපදින දවසක අත් හරින ලද බෝම්බය ගැන මට සමා වෙන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles