“දැන් තමුසෙ අර ඩයරි එක ලියන් නැද්ද?”
උත්පලාගේ නික්ම යෑමෙන් තෙමසකටත් වඩා ඉක්ම ගොස් තිබූ දිනක රුවිනි ඇසුවේ හදිසියේ ය. මලිති නිස්කලංක සිනාවක් නැඟුවා ය.
“කිසිම දවසක ලැබෙන් නෑ කියලා හිතපු සමහර දේවල් අතටම ලැබුණම අගේ අඩු වෙනවදත් හිතෙනවා. තුහින ඉස්කෝලේ කාලෙට වඩා සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් වෙලා ඉන්නකොට ඒ ඉස්කෝලේ කාලෙදි මගෙ පස්සෙන් ආව රමෝද් කියලවත් අඳුනා ගන්න බැරුව මං එයාට පිස්සුවෙන් වගේ ක්‍රෂ් වුණා. දැන් අපි හොඳම යාළුවො නිසා ඒ හැඟීම තව දුරටත් වලංගු නැද්ද මන්දා.”
මලිතිගේ සහ රුවිනිගේ කුඩා නිවස්න දෙකටම ඇත්තේ එක් සඳැල්ලකි. මලිතිට නිසොල්මන්ව ඉන්නට ඉඩ හැර රුවිනි මලිතිගේ මුළුතැන්ගෙයට ගියා ය.
“ගේ අස් කරගනිංකො බං. අපායක් වගේ. වතුර උගුරක්වත් බොන්න අප්පිරියයි මෙහෙම උනාම.”
නවීන් සහ මලිති එක්ව විසූ නිවසට ගොඩ වූ මොහොතේ පටන් එවකට බැන වදින්නට සිදු වූ අන්දම රුවිනිට සිහි වේ. දැන් මලිතිගේ කුඩා නවාතැන පුදුමාකාර පිරිසිදු ය. පිළිවෙළ ය. ඇය මුළුතැන්ගෙයි ජනේලට මත තබා ඇති පතොක් පැළ කිහිපය ද රුවිනි බැලුවේ අඩ සිනාවකිනි. පතොක් පැළයක කුඩා මලක් පීදෙමින් තිබේ.
“ඔයා කෝපි හදනවද?”
මලිති එසේ අසමින් සමීපයටම එද්දී රුවිනි ඈ දෙස බැලුවේ ද ඒ සිනාවෙනි.
“පතොක් ගස්වලත් මල් පිපෙනවා කියලා තේරුං ගන්න ඔයාගෙම පැළේක මලක් පිපුණු එක හොඳයි.”
මලිති ඒ කතාවට අහිතක් නැතුව හිනැහුණා ය. කෝපි සුවඳ මුළුතැන්ගෙය පුරා පැතිරෙද්දී ඇයට කියන්නට සුවඳ හමන ආරංචියක් තිබිණ.
“නවීන් තාත්තා කෙනෙක් වෙලා. මං අහම්බෙකින් එයාවයි වයිෆ්වයි දැක්කා. ඒ ගර්ල් ප්‍රෙග්නන්ට්.”
අත හැරී යන අතකට දොස් පැවරීම සහ සාප කිරීම වෙනුවට සිනාවකින් බලා සිටීම ප්‍රේමය බව මලිති අවබෝධ කරගෙන තිබේ. රුවිනිගේ සිතේ උත්පලා ඇඳී මැකී ගියේ ය. ඇය ද ඒ පාඩම දැන සිටියා නම් මේ මොහොත වෙද්දී හිත හදාගෙන හිඳින්නට ද ඉඩ තිබිණ.
“මං ඉතිං ආයෙම කියනව.පතොක් ගස්වලත් මල් පිපෙනවා. ශේන්යාට අම්මා නෑ කියන දේ ලොකුවට තේරෙන්නෙ නෑ. හැබැයි එයත් ඉක්මනට අක්කි කෙනෙක් වුණානං දරුවට දැන් දැනෙන සාංකාව වුණත් නැති වෙලා යයි.”
මේ කෝපි හදන්නට පෙර ඇරඹුණු කතාවේ ඉතිරි අඩ ය. තුහින කෙරෙහි ප්‍රේමය ගැන මලිති යළි සිතා බලන්නට වූවා ය.
“මං තුහින රමෝද් කියලා අඳුනා ගත්තේ නෑ. හැබැයි මං එයාට පිස්සුවෙන් ආදරේ වෙලා හිටියේ. ඒ උත්පලා එයාව හොඳ හස්බන්ඩ් මැටීරියල් එකක් කියලා පෙන්නපු නිසාද, තුහිනගේ ඇටිටියුඩ්ස්වලටද, එයා කතා කරන හැටියටද, නැත්නම් මං ශේන්යාට ආස නිසාද කියලා මං තාමත් හිතනවා.”
ප්‍රථම ප්‍රේමය ඇති වේ. සමහර ප්‍රේමයන් දුරදිග ගෙනියන බව නොසිතා ඇරඹුණ ද විවාහය දක්වාම දුර යන්නට ඉඩ තිබේ.නමුත් දික්කසාදයකට පසු ජීවිතය ගැන එතරමට පහසුවෙන් සිතන්නට නොහැකි ය.
“මං ඕනවට වඩා වැඩියෙන් හිතනවද මන්දා. ඒත් තුහිනයි මායි එකට ගමනක් යනවද කියලත් ලක්ෂ වාරයක් හිතලා ඒ තීරණේට එන්න ඕන රුවී.”
ප්‍රේමයක් අවසන් වූ පසු ගැහැනියක පමණක් නොව පිරිමියෙකු පවා වියළි කතරක් වී යාම ස්වභාවයකි. ඒ කාන්තාරයේ යළි මල් පිපිය යුත්තේ සුදුසු බිමක් වීමෙන් අනතුරුව ය. කාන්තාරයේ මල් පුබුදන්නට යාම ඵල රහිත ක්‍රියාවකි.
“හොඳට හිතන්න. අපි තීරණ ඉක්මනින් ගන්න ඕන නෑ. හෙමින් හිතලා ගන්න තීරණ තමා බර වැඩි.”
රුවිනි මිතුරිය අතර කෝපි කෝප්පය තැබුවේම එසේ කියන අතර ය. මලිති දෑසේ කඳුළු සිඳී යන තුරුම හැඬුවා ය. ඇයට තවදුරටත් ප්‍රේමයේ නාමයෙන් හඬන්නට ඉඩ දිය යුතු නොවේ.
“ආදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවං. ඒත් මළ මිනියක් වෙලා ජීවත් වෙන්න බෑ. ජීවිතේ ඔයාගෙ. ඒ ජීවිතේට තව කෙනෙක් ඕනෑද නැද්ද කියලා හරි හෙමින් හිතන්න.”
මලිති ඒ කතාවට හිස සැලුවා ය. නවීන් නැවත විවාහ වී තාත්තා කෙනෙකු වීම ඇයට ඉක්මනින් විවාහ වන්නට හේතුවක් නොවේ. දෙපතුල් මත ඇති තුවාල සුව වන්නට නොදී රේස් දිවීම මහා මෝඩකමක් බව ඇය සිතුවා ය.
ජීවිතය තුළ සිදු වූ එකම වැරදි නැවත නැවත සිදු විය යුතු නොවේ!