සඳ ගංතෙර – 03

“තරූ අක්කලගෙ අම්මා ඉන්නෙ කොහෙද අයියේ?”

දුලන්‍යාට ඒ ප්‍රශ්නය අයියාගෙන් අසන්නට සිතුණේ රාත්‍රියේ ය. මුළු දවසක්ම ඇගේ හදවතේ කටුවක් ඇනී තිබිණ. සඳරැස් වේදනාවෙනි. දුලන්‍යා අනාරාධිතවම ඒ වේදනාව බාර ගෙන තිබුණා ය.

“අක්කා අම්මා ගැන හිතනවද සුදු මැණික?”

දුලාජ් කලබල විය. ඒ කලබලය අතර පවා ඔහුට නැගණියගේ ප්‍රියතම සුරතල් නාමය අමතක නොවී ය. ගෙදර හැම කෙනෙකුටම දුලන්‍යා සුදූ වෙද්දී දුලාජ් කුඩා කාලයේ පටන්ම නංගී සුදු මැණික කරගෙන සිටියා ය.

“ඔච්චර ආදරේ කරලා කවදහරි කොල්ලා හිත රිද්දුවම නංගිට වැඩිපුර දුක හිතෙයි.”

අම්මා අනතුරු හඟවන්නී ය.

“ඌ දත් හලා ගන්න තමයි.”

දුලාජ් කියන්නේ කෝපයෙනි. මල්ලී, දුමිඳු කියන අන්දම අවකාශයේවත් නොපවතින මස්සිනා කෙනෙකුට එසේ බැන වැදීම විහිළුවකි. නමුත් නංගිගේ දෑස කිසිම කොලුවෙකුට කඳුලින් පුරවන්නට නොදෙන්නට දුලාජ්ට විශාල බලාපොරොත්තුවක් තිබේ.

“අක්කා එයාලගෙ අම්මා ගැන වොරි වෙනවද?”

අයියාගේ ප්‍රශ්නය දුලන්‍යා නැවත පියවි ලෝකයට රැගෙන ආ අතර ඇය මන්දහාසයක් නැඟුවා ය. අක්කා එතරමට විස්සෝප නොවී ය. නමුත් සඳරැස් අම්මා ගැන කතා කළේ තරහකිනි.

“සඳරැස් අයියා, එයා ආවනෙ. ආන්ටිට බනිනව ඇහුණා.”

පුංචි කාලයේ මල්ලි ගැන කේලමක් පැවසූ අන්දමටම දුලන්‍යා පැවසුවා ය. කට රවුම් කරමින් මෙවැනි කේලම් කියන්නට ඇය තරම් සමතියක නොවේ. ඒ වග දන්නා දුලාජ්ට සිනාවක් ඉපදිණ.

“සඳරැස් එයාලගෙ අම්මට තරහයි. ඇත්ත තමයි ඉතිං. අම්මා එයාලව දාලා යනකොට සඳරැස් හුඟක් පුංචිනෙ.”

දුලාජ් කියන්නේ ළතැවිල්ලෙනි. දුලන්‍යා ඒ දුක ගැන ශෝක වූවා ය. අක්කාටනම් අම්මා කෙනෙකු වේ. සඳරැස්ට කවුරුත්ම නැත.

“මල්ලි හෙට ඉඳන් මෙහෙ එනවා කිව්වා.”

තාරකා පැමිණියේ එසේ කියාගෙන ය. ගීතයක සඳහන් පරිදි “හිත ඇතුළෙන් පන්තේරු නැටුම් නටන” අන්දම ගැන දුලන්‍යාට වැටහුණේ ඒ මොහොතේ ය. ඇගේ හදවත පන්තේරු නැටුම් පමණක් නොව දන්නා සියළුම නැටුම් නටමින් තිබිණ.

“ඒක හොඳයි. නැත්තං ඔය යකා නිකං නාස්ති වෙනවා.”

අයියා එසේ කියද්දී දුලන්‍යාගේ නැටුම් නැවතිණ. ඔහු එතරමට නාස්ති වී ඇතැයි සිතීම ම ශෝකයකි. ඒ ශෝකය අධික වූයේ තාරකා ඉන්පසු පැවසූ කාරණාව හන්දා ය.

“මට හරිම බයයි මල්ලි අර රිද්මි කියන එකී එක්ක පැටලිලා කියලා.”

අක්කාගේ මුහුණේ ශෝකය දුලන්‍යාට ද බෝ විය. අයිතිකාරයෙකු නොමැතිව ආදරය කිරීම ඉතා වේදනාකාරීව ය.මේ ඒ වේදනාවදැයි ඇය සිතුවා ය.

“නෑ! මං ඔයාව ක්‍රෂ් එකක් කරගන්නේ නෑ. ඒක හරි අමාරු හැඟීමක් වෙයි. මං ඔයාව හොඳ මනුස්සයෙක් කරනවා.”

ඇය තනි සිතුවිල්ලකට ආවා ය. නමුත් රිද්මිගේ කතාව දැන ගැනීමේ සහජ ගැහැනු ඉවක් ඇයට පහළ විණ.

“මං කියන්නේ මේකයි, රිද්මි කසාදයක් බැඳලා ඉන්න එක නැති එක ආදරේ කරන්න බාධාවක් නෙවෙයි. මිනිස්සුන්ට ආදරේ පහළ වෙන්නේ බාහිර සාධක බලලා නෙවේනෙ තරූ. ඒත් නරකම දේ තමයි මල්ලි ඕවා කරන්නෙ ආදරෙන් නොවීම.ආදරයක් නැතුව ඔහොම රිලේෂන්ශිප් කරන්න යන එක ඒ ළමයා එයාටම කර ගන්න විනාසයක්.”

අයියාගේ කටහඬ බැරූරුම් ය. සඳරැස් ඔහුගේ අම්මාගේ මිම්මෙන් හැම කෙනෙකුම මනින්නට යාම අසාධාරණයක් බව කියන්නට දුලන්‍යාට ඕනෑ විය. නමුත් ඒවා කියන්නට තබා ඔහුගේ මුහුණ දෙස කෙලින් බලන්නට පවා බියක් ඇයට දැනේ.

සඳරැස් ද සිටියේ අමුතුම හැඟීමක ය. යුවතියකගේ ඇස් ඇත්තේ සසලවන්නට නොවන බව ඔහු සිතා සිටියේ ය. ඒවාට කඳුළු එන්නට ඕනෑ පිරිමින් රැවටීමට දඬුවමක් ලෙස ය.

“මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී

මාගේ සිනා මැවේ

අද රෑ වුණාවේ, හෙට එළි වුණාවේ

මිහිරේ යළි හමු වේදෝ”

ඇසෙමින් තිබූ ගීතය ඔහුව සසල කළේ ය. මලින් උපන් ලියක්වදෝ ඇසෙන වාරයක් පාසා පෙරදී ඔහු කළේ හිනැහීම ය.

“මලින් උපන්න ගෑනු කොහෙද බං රිද්ම ඉන්නේ?”

ඔහු ගායකයාගෙන් අසන්නේ සරදමට ය. නමුත් මේ වතාවේ තත්ත්වය වෙනස් ය. හෙට එළි වී ඇය දකින්නට ඔහුට නොතිත් ආශාවක් ඇති වේ. සමහරවිට ඇය මලින් උපන් කෙල්ලක වන්නට බැරිකමක් නැත. දුලාජ් අයියා පමණක් නොව දුමිඳු පවා ඇය දෙස ඇස ගසා සිටියදී ඈ නරක් වන්නට හේතුවක් නොවේ.

“සමහරවිට මං ඔයාට ආදරේ කරයි.”

සඳරැස්ට සිතිණ. දෑස් උස්සා බලන කුඩා මල් කිරිල්ලියට සඳරැස් නම් සෙල්ලකාරයෙකු දරා ගන්නට හැකිදැයි ඔහු අනතුරුව සිතී ය. බැරිකමක් නැත. ඇය දොස්තර නෝනා කෙනෙකු වන්නට තව වසර කිහිපයක්ම තිබුණ ද තමන්ගේ අසනීප වලට ඈ සතුව බෙහෙත් තිබෙන්නට ඉඩ තිබේ.

“මං වගේ එකෙක්ට දුලාජ් අයියා ඔයාව දෙන එකක් නම් නෑ.”

ඊටත් පසු සඳරැස් සිතුවේ ය. ගැහැනුන්ට ආදරය කිරීම සෙල්ලමක් නොව කලාවක් බව දුලාජ් අයියා අනන්ත වාරයක් ඔහුට කියා තිබේ.

“උඹ කැමතිද මං උඹ වගේ මිනිහෙක් වුණානං?”

දිනක් දුලාජ් එසේ ඇසූ අන්දම සඳරැස්ට මතක ය. ඔහු එදා පිළිතුරු නැතිව උඩබිම බැලී ය. අක්කාව ඉමහත් ප්‍රේමයකින් රැක ගන්නා දුලාජ් අයියා වැනි මිනිසෙකු ඇයව අයත් කරගැනීම ම සතුටකි.

“උඹ වගේ මිනිහෙක්ට සුදු මැණික දෙන්න මමයි පොඩ්ඩයි කැමතිත් නෑ. අන්න එහෙමයි ඕන සහෝදරයෙක්. ඒ නිසා කවදහරි දවසක අයියෙක්ගෙන් මල්ලියෙක්ගෙන් කන පලා ගන් නැතුව මනුස්සයෙක් වෙයං”

සඳරැස් සිටියේ කාමරය තුළ ගලා යන දුමින් මත් වෙමිනි. අක්කාගේ ගෙදර ගිය පසු මේවාගෙන් ඈත් වන්නට සිදු වේ. එහෙත් ඒ ඔහුව මාමා කෙනෙකු කරමින් උපදින බිළිඳාගේ සෞඛ්‍ය වෙනුවෙන් බව ඔහුට සිතන්නට ඕනෑ විය. එක් එක් මත්ද්‍රව්‍ය පාවිච්චියට ගන්නෙකු ලෙස ඇගේ ඇස ගැටීමේ ගැටළුවක් නැත. එකම හේතුව අක්කාගේ ගර්භනී භාවය ය.

සඳරැස් කැඩපතෙන් ඇඳෙන රූපය දෙස බලා සිටියේ ය. ඒ තරුණයා ඕනෑවටත් වඩා හිනැහෙන්නේ දුමෙහි බලයෙන් නොව ඈ සිහි වීම නිසා බව සිතන්නට ද ඔහුට ඕනෑ ය. ඇය ද එක්තරා ආකාරයක ඇබ්බැහියකි.

“අනේ මේ ඊයේ පෙරේදා ඉස්කෝලේ ගිය කෙල්ල. මං මුලින්ම දකිද්දී නවයේ පන්තියෙද කොහෙද හිටිය ඇට ගෙම්බියක්.”

සඳරැස් ළාබාල ප්‍රේමවන්තයෙකු වී තමන්ටම තරවටු කරමින් සිටියේ ය. දුමෙහි අළු වැටෙන තැන ඩී අකුරක් අඳින්නට සිතුණු කාරණාව සිහිව ඔහු නැවතත් තනිව හිනැහුණේ ය.

ප්‍රේමය ඔහුව වඩවඩාත් මෘදු කරමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles