පසුතැවීම

” උඹ ඔය කසාදේ කර ගත්තොත් එහෙම උඹට දේපළවලින් මුකුත් හම්බ වෙන්නේ නෑ තරංග. අන්න ඒක මතක තියා ගනින් ” 

සෝමවීර ගෙදර දෙවනත් වෙන්න කෑ ගහලා පුටුවකින් වාඩි වුණා. මාලනී ත් හිටියේ ඊට නොදෙවෙනි කෝපයකින්.

” එක එක්කෙනා මෙතන ඇවිල්ලා කියද්දී පුතා දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස කරේ නෑ. උඹ මොන හයියක් හිතට අරන් ද ඒකිව මේ ගෙදරටම එක්කගෙන ආවෙ අපිට පෙන්නන්න ” 

” අම්මේ විද්‍යා කියන්නේ හොඳට ඉගෙන ගත්ත වැදගත් පවුලක කෙල්ලෙක්. අනික එයාගේ පෙනුමෙන් වත් පේනවද එයා දෙමළ කියලා. ඒ ළමයා හොඳට සිංහල ත් කතා කරනවා ? ” 

” අනේ මේ තරංග.උඹ මගේන් මුකුත් අහගන්න එපා පුතේ. අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් නෑ වෙන ජාතියක ගෑනු කෙනෙක් කසාද බැඳපු. උඹ හදන්නේ අපේ මූනේ දැලි ගාන්නද ? අපි කොහොමද නෑදෑයන්ට මුහුණ දෙන්නෙ ? ” 

සෝමවීර පුරුදු විදිහට පරම්පරාවේ වර්ණනාව කියවන්න පටන් ගත්තා.

” දැන් ඔය කියන නෑදෑයො එනවද තාත්තේ අපිට කරදරයක් උනාම ? “

” උන් ආවත් නැතත් උන් බලාගෙන ඉන්නේ අපිට හිනා වෙන්න නේ ? උඹට ඒක තේරෙන්නේ නැද්ද ? කරුණාකරලා ඔය සම්බන්ධේ නවත්තල දාපන්. නැත්තං උඹේ අම්මයි තාත්තයි මැරුණා කියලා හිතා ගනින් ” 

ඊළඟට හඬ අවදි කළේ මාලනී. තරංගට දැනුනේ විශාල කලකිරීමක්.

” මම මතක ඇති කාලෙක ඉඳලා කළේ අම්මයි තාත්තයි කියපු දේවල්.ඉගෙන ගත්තේ අම්මාටයි තාත්තටයි ඕන දේවල්. එහෙම කරලා මගේ ජීවිතයට ඕන කෙනා මම තෝර ගත්ත එකේ වැරැද්ද මොකක්ද ? ” 

තරංග ඇහුවෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි පොඩි හරි බුරුලක් ලැබෙයි කියලා හිතාගෙන.

” වැරැද්ද උඹ කෙනෙක් හොයා ගත්ත එක නෙමෙයි. වැරැද්ද උඹ හොයාගත්ත කෙනා ගේ. ආපහු මට කියන්න තියන්න එපා. ඔය දෙමළ කෙල්ල කවදාවත් මේ ගෙදර ලේලි වෙන්නේ නැහැ ” 

සෝමවීර අවසන් තීන්දුව දීලා ගේ ඇතුලට යනකොට මාලනිත් ඒ පස්සෙන් ගියා.

” මං නිසා ඔයා අම්මයි තාත්තයි නැති කරගන්න එපා තරංග. එයාලා හැමදේම කරන්න ඔයාගේ හොඳටනේ. අපි දෙන්න තීරණයක් අර ගමු ” 

දුරකථනයේ දිගේ ගලාගෙන එන විද්‍යාගේ බිඳුනු හඬ තරංග ගේ හිතේ දුක තවත් වැඩි කළා. 

” ඔයා කොහොමද විද්‍යා එහෙම කියන්නේ ? අපි දෙන්න කතා උනේ මොන දේ උනත් එකට ඉන්නවා කියලානේ ? ” 

” එහෙම ඉන්න තිබුන මේ ඔයාගේ අම්මයි තාත්තයි නොවුනානම්. මම නිසා ඔයා ඒ දෙන්න නැති කර ගන්නවට මම කැමති නෑ ” 

” අවුරුදු ගාණක් ආදරය කරලා ඔයාට පුලුවන්ද මාව එහෙම ලේසියෙන් අත ඇරලා දාන්න ? ” 

තරංග ආයෙම ඇහුවා.

” එතකොට ඔයාට පුලුවන්ද මං නිසා ඔයාව ඉපදුන දවසේ ඉඳලා බලා ගත්ත අම්මවයි තාත්තවයි අත ඇරලා දාන්න ? “

විද්‍යාගේ ඒ ප්‍රශ්නයට තරංග නිරුත්තර උනා. දෙමව්පියන්ගේ කැමැත්තට ඉඩ දීලා තමන් ආදරය කරපු විද්‍යාව හිතෙන් ඈත් කරන්න තරංග අමාරුවෙන් හිත හදා ගත්තා.

” මිශෙල්ට ෆැශන් ඩිසයිනින් වලට ඩිග්‍රි එකක් තියෙනවා .තාත්තාටත් හෝටල් දෙකක්ම තියෙනවා .උතුරන්න සල්ලි. මේක නම් පුතාගේ  වාසනාවට ම ආපු ප්‍රපෝසල් එකක් “

මිශෙල් ගැන විවාහ යෝජනාව ආපු දවසේ සෝමවීරයි මාලනියි හිටියේ පුදුමාකාර සතුටකින්. හැබැයි ඒ සතුටෙන් බින්දුවක් වත් තරංගගේ හිතේ තිබුනේ නෑ. 

කොහොමහරි අන්තිමට සෝමවීර ටයි මාලනීටයි උවමනා උන විදියටම තරංගගේ විවාහය මහ ඉහළින් ගත්තා. හැබැයි තරංගගේ හිතේ මිශෙල්ට ඉඩක් වත් , මිශෙල්ගේ හිතේ තරංගට ඉඩක් වත් තිබුනේ නැහැ.

” ඇත්තද අනේ ඔයා ටැමිල් ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙලා හිටිය කියන්නේ ? ” 

විවාහයෙන් දින කිහිපයකට පස්සේ මිශෙල් ඇහුවා

” ඔයාට කිව්වේ කවුද ? ” 

” කිව්වෙ ඔයාගේ අම්මා තමයි ඉතින්. ඒකෙන් ඔයාව ගලවගන්න තමයි ඉක්මනට ඔයාට මාව  බන්දලා දුන්නේ ” 

” ඔයා ඔක්කොම දන්නවනං ආයේ ඉතින් මගෙන් අහන්න දෙයක් නෑනේ මිශෙල් ” 

” මටත් උනේ ඒකම තමයි ” 

මිශෙල් කිව්වේ ඇහෙන නෑහෙන ගානට

” ඒ කිව්වෙ ? ” 

” මටත් affair එකක් තිබ්බා. මාව ඒකෙන් ගලවගන්න අපේ තාත්තිට මාර වුවමනාවක් තිබුණෙ ” 

” දැන් කෝ එයා ? ” 

” ඉන්නවා. අද උදෙත් කතා කළේ ඔය ” 

මිශෙල් හරිම සැහැල්ලුවෙන් දුරකථනය අතට ගත්තා.

” මොකද්ද කිව්වෙ ?” 

තරංග මිශෙල් දිහා බැළුවෙ පුදුමයෙන් 

” අපේ තාත්ති හිතුවේ කසාදයක් බන්දලා දීලා මාව මට්ටු කරන්න පුළුවන් කියලා ” 

මිශෙල් ජීවත් උනේ හරිම සැහැල්ලුවෙන්. ඇගේ ව්‍යාපාර කටයුතු හැරුනම ඇය වෙන කිසිම දෙයක් දිහා වගකීමෙන් බැලුවෙ නැහැ. තමන්ගේ සැමියා උන තරංගට වෙන්න ඕන යුතුකම් පවා ඇය පැහැර හැරියා. ඒ හැම වෙලාවෙදිම තරංගට මතක් උනේ විද්‍යාව. විශ්ව විද්‍යාලයට යන කාලයේදී විද්‍යා තමන් වෙනුවෙන් හැමදාම කෑම පාර්සලයක් අරගෙන එන හැටි තරංගට මතක් උනා.ඒ නිසා තමන්ට තේ එකක් වත් හදලා දෙන්නෙ නැති බිරිඳ ගැන තරංගට දැනුනේ කලකිරීමක්.

” මොකද පුතා මේ ගෙදර හැටි ? ” 

සති අන්තයේ දවසක සෝමවීර මාලනි එක්ක තරංග අලුතෙන් මිලදි ගත්ත ගෙදරට ගොඩ උනා 

” මිශෙල්ට ඕවා අස් කරන්න වෙලාවක් නෑනෙ අම්මේ. බෙඩ් රූම් එක නම් යන්තම් මං අස් කරන් තියාගෙන ඉන්නවා ” 

” උදේට කෑවේ මොනාද අද ? ” 

මාලනී කුස්සියට පුරා ඇස් යැව්වා

” මිශෙල් උදේම ශොප් එකට ගියානේ. මම තේ එකක් හදන් බිව්වා. දැන් කෑම මොනවා හරි ඕඩර් කරලා ගෙන්න ගන්න ඕනේ ” 

තරංග හරිම සාමාන්‍ය දෙයක් විදියට එහෙම කියද්දී සෝමවීරත් මාලනීත් මූණෙන් මූණ බලාගත්තා. පිළිවෙලක් කරන්න ගියපු තමන්ගේ පුතාගේ ජීවිතය අපිළිවෙල වෙලා ද කියලා ඔවුන් දෙන්නටම හිතුණා.

මාස කීපයක් ගත වෙලා ගියත් මිශෙල්ගේ වැඩ වල වෙනසක් දකින්න තිබුණේ නැහැ.එකම ගෙදර ජීවත් වුණත් බොහෝ වෙලාවට ආගන්තුකයන් වගේ මිශෙල් තරංග එක්ක ජීවත් උනා. එක දවසක තරංග ගෙදර එනකොට මිශෙල් ඇගේ අත්‍යවශ්‍යම බඩු කිහිපයක් අරගෙන ගෙදරින් ගිහින් තිබුනා.ගියේ කොහේද කියලා ඇය කෙටි පණිවිඩයකින් තරංගට රෑ වෙනකොට දන්වලා එවලා තිබුනා.

” පුතා දැනගෙන හිටියද මිශෙල් ඒ කොල්ලා එක්ක තාම සම්බන්ධයක් තියෙනවා කියලා ? ” 

සෝමවීර හිටියේ සිද්ධ වෙච්ච දේ හිතාගන්න බැරුව.

” ඔව්. බැඳලා සතියක් යන්නත් කලින් මිශෙල් මට ඒ ගැන කිව්වා. කිව්වා කියන්නේ, ඒ කොල්ල තාම කතා කරනවා කියලා කිව්වා ” 

” ඉතින් මෙච්චර හරියක් වෙනකම් ඔයා දන්නේ නැත්තේ ? ” 

” මිශෙල්ගේ අම්මයි තාත්තයි කරලා තිබුණෙත් ඔය දෙන්න මට කරපු දේමයි ” 

තරංග කිව්වේ තරමක් තදින්.

” අම්මලා හිතනවද මං විද්‍යාව කසාද බැන්දා නම් මේවා මේ විදියට සිද්ධ වෙයි කියලා ? ඔයාලට මෙච්චර ලැජ්ජ වෙන්න වෙයි කියලා ඔයාලා හිතනවද ? දැන් ඔයාලට නෑදෑයෝ හිනා වෙන්නෙ නැද්ද? බැඳලා අවුරුද්දක් යන්නත් කලින් ඔයාලගේ ලේලි මිනිහෙක් එක්ක පැනල ගියා කියල ? ” 

තරංග එක පිට එක අහන ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් සෝමවීර ළඟවත් මාලනී ළඟවත් ඒ වෙලාවේ තිබුණෙ නැහැ. ඔවුන් දෙන්නගෙම හිත් වල තිබුනේ පසුතැවීමක් විතරමයි.

More Stories

Don't Miss


Latest Articles