බිම්මල් – 12

මා තමා දෙස විමසිල්ලෙන් බලා සිටින බව අරුණෝදි දකින්නට ඇත. හිස එසවූ ඇය මදෙස බලා මඳ සිනා නැගුවාය.

“ඔයා මේ දවස් ටිකට ගොඩක් ලස්සන වෙලා.”

මම පැවසුවෙමි.

“මම මේ දවස් වල ඉන්නෙ හිත සතුටෙන්. ඒ නිසා වෙන්න ඇති.”

“හිත සතුටෙන්? එහෙමනම් මොකක් හරි විශේෂත්වයක් ඇති.”

“මං කිව්වෙ ඩිනාලි. පුංචි ලංකාවට ආවා. පුංචි එක්ක ගත කරන හැම තත්පරේම ගත වෙන්නෙ හිනාවෙන්. සතුටෙන්.”

“මටත් ආසයි ඔයාගෙ පුංචිව දකින්න.”

“එයා ඩිනාලි ගැන දන්නවා. මං දවසක එයාව එක්ක එන්නම්.”

අරුණෝදි වෙනුවෙන් කේක්, කෙසෙල් ගෙඩි සහිත තේ බන්දේසියක් රැගෙන ආවේ වජිරා නොව අම්මාය. අරුණෝදි කේක් කෑල්ලක් අතට ගත්තාය.

“ආන්ටිගෙ කේක් නම් ලෝක ප්‍රසිද්ධයි. ලස්සනම දේ තමයි අපේ ඩිනාලිගෙ නමත් ඒකට සම්බන්ධ වුනු එක. නේද ආන්ටි?”

සෙමෙන් සෙමෙන් කේක් කැබැල්ලෙහි රස බලන අරුණෝදි පැවසුවාය.

“අපේ සීයා මේ ෂොප් එක කරද්දිත් මේ නමම තමයි තිබිලා තියෙන්නෙ. සීයා තරුණ කාලෙ සීයගෙ පෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියලු ඩිනාලි ජෑන්ස් කියලා. එයා තමයි මේ විදියෙ කේක් ෂොප් එකක් දාන්න කියලා සීයට කියලා තියෙන්නෙ. එයා අපේ සීයව ඒ රටට ගෙන්නගෙන කේක් ගැන ගොඩක් දේවල් ඉගැන්නවලු. එයාට ගෞරවයක් විදියට තමයි සීයා මේ ෂොප් එකට ඩිනාලි කේක්ස් කියලා නම දාලා තියෙන්නෙ.”

අම්මා මීට පෙර අප දැන නොසිටි රහසක් හෙළි කළාය. කේක් සාප්පුවට මගේ නම දැමීම සම්බන්ධයෙන් සුදු නංගී ඇතැම් අවස්ථා වල අම්මා සමග රණ්ඩු කළ ද මීට පෙර කිසිවිටෙක අම්මා අප සමග මේ බව පවසා නොතිබිණ.

“ඒකනම් මාර ලව් එකක් වෙන්න ඇති. ඉතින් ඇයි සීයා ඒ ඩිනාලිව කසාද නොබැන්දෙ?”

දෙවන කේක් කැබැල්ල ද අතට ගත් අරුණෝදි ඇසුවාය. අම්මා මඳ සිනා නැගුවාය. 

“ඒවෙනකොටත් මගේ ආච්චි අම්මව මැරි කරන්න සීයා පොරොන්දු වෙලාලු හිටියෙ. සීයා ඒ පොරොන්දුව කඩ කළේ නෑ. අනික ආදරේ කියන්නෙ කසාද බඳින එකම නෙමෙයි. දන්නවද අරුණෝදි? මේ තරම් වයසට ගිහිල්ලත් ඒ දෙන්නා තවමත් හොඳම යාලුවෝ… සතියකට දෙකකට සැරයක් ඒ ඩිනාලි සීයට කතා කරනවලු.”

“ඩිනාලි ආච්චි?”

අරුණෝදි පැවසුවේ හඬ නගා සිනාසෙමිනි. 

“ඔව්. එහෙම කියමුකො. ඩිනාලි ආච්චි තවමත් සීයට කෝල් කරනවා.”

“ආච්චි ඒ ගැන තරහක් නැද්ද ආන්ටි?”

අරුණෝදි ඇසුවේ මා අසන්නට සිටි පැනයමය. අම්මා සිනාසුනාය.

“කවදාවත් නෑ. ආදරේ එක පැත්තක් තමයි අවබෝධය. හිතේ පුංචියට හරි සැකයක් තිබුනොත් පස්සෙ කාලෙක ඒක මහා විෂබීජයක් වෙනවා. ආච්චි අම්මට සීයගෙයි ඩිනාලිගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන ලොකු අවබෝධයක් තිබුනා කියලා අදටත් සීයා කියනවා.”

“ලස්සන කතාවක්. ඩිනාලි කේක්ස් තරමටම ඒ කතාවත් හරිම රසවත්.”

අරුණෝදි බන්දේසිය මත වූ තේ කෝප්පය අතට ගත්තාය.

“මට ඩිනාලි එක්ක ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒත් ගොඩක් වැඩ තියෙනවා ආන්ටි. මං වෙන වෙලාවක එන්නම්.”

ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවුඩයක් කියවා බැලූ අරුණෝදි හදිසියේම නැගී සිටියාය. මා ඇය දෙස බැලුවේ විමතියෙනි.

“කාලෙකට පස්සෙ ඇවිත් ඉක්මනටම යන්න? අනේ අරුණෝදි… හවස් වෙනකල් ඉඳලා යන්න.”

මම ඉල්ලා සිටියෙමි.

“වෙන දවසක එනවා ඩිනාලි. අහස උසට වැඩ තියෙනවා. අම්මට විතරක් තනියම කරගන්න බෑනෙ. අම්මා කිව්වෙත් පැයයි කාලය දෙන්නෙ කියලා. දන්නවනෙ ප්‍රින්සිපල්ලගෙ හැටි? දැන් පැය  ගත වෙලත් ඉවරයි. අපි දෙන්නටයි පුංචිටයි අද පොඩි ගමනක් යන්න තියෙනවා. අම්මා ඒක මතක් කරලා මැසේජ් එකකුත් එවලා.”

අරුණෝදි නැගිට සෝෆාව මත වූ ඇගේ බෑගය අතට ගත්තාය. මගේ දෙනෙත් කඳුලින් පිරුණද, තව ටික වේලාවක් හෝ රැඳී සිටින්නැයි ඇයට ආයාචනා කිරීමට මට නොසිතිණ.

“සතුටින් ඉන්න කෙල්ල. හැමදෙයක්ම හොඳම විදියට සිද්ද වේවි.”

මගේ දෙකොපුල සිප ගත් අරුණෝදි පැවසුවාය.

“මං යනවා ආන්ටි. සුදුට කියන්න මං ගියා කියලා.”

අරුණෝදි පිටව ගියේ කලබලයෙනි. ඇගේ වෙනස් හැසිරීම මගේ සිතට ගෙන ආවේ මහත් පීඩාවකි.

“මොකක්ද අරුණෝදිට වෙලා තියෙන්නෙ?”

අම්මා ඇසුවාය.

“කලබලෙන් ආවා. කලබලෙන් ගියා. මොකක් නමුත් වෙනසක් මට පේනවා.”

“ඒකම තමයි මාත් කල්පනා කළේ අම්මා. මේ දවස් ටිකට එයා ගොඩක් වෙනස් වෙලා.”

“එහෙම තමයි ඩිනාලි. සමහර හේතු නිසා ගොඩක් ළඟින් ඉන්න අයත් හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා. ඒ දේවල් ගැන අපි දුක් වෙන්න ඕන නෑ. ඇත්තටම එහෙම වෙනස් වෙන්න තරම් එයාට මොකක් නමුත් හේතුවක් ඇති.”

“අරුණෝදිගෙ අම්මා ප්‍රින්සිපල් කෙනෙක්නෙ. හරි වසයි. අරුණෝදිත් එයාගෙ ඉස්කෝලෙ ළමයෙක් කියලා තමයි ගෙදරදිත් හිතන්නෙ කියලා ඒ දවස්වල එයා කියනවා.”

“ඒ බව නම් ආරංචියි. ඒකනෙමෙයි. මං ආයෙම ෂොප් එකට ගිහින් එන්නම්. පරෙස්සමෙන් ඉන්න. අනවශ්‍ය දේවල් හිතලා හිත රිද්දගන්න එපා. හෙට ඩොක්ට හම්බ වෙලා ආවට පස්සෙ ඔයාට හිත සතුටින් ඉන්න පුලුවන් කියලා මට විශ්වාසයි.”

අම්මා මගේ මුහුණ සිප නික්ම ගියාය. සුදු නංගී ඒ වනතුරුත් පිටතට නොපැමිණියෙන් මගේ සිතට මහත් තනිකමක් දැනිණ. මම හේෂාන්ගේ දුරකතනයට ඇමතුමක් ගතිමි.  එම දුරකතනය ආවරණ කලාපයෙන් බැහැරව ඇතැයි යන හඬ පටය ඇසිණ. මා දුරකතනය පසෙකට දැමුවේ රිදුනු සිතින් යුතුවය.

මම සෝෆාව මත දිගා වීමි. පවසා ගත නොහැකි තරමේ දුකක් මගේ සිතට දැනිණ. හේෂාන් දින ගණනාවකින් මා දකින්නට නොපැමිණියේ ඇයි? මගේ දුරකතන ඇමතුම් වලට පිළිතුරු නොදී මග හරින්නේ ඇයි?

“ඇත්තටම වැඩ වෙන්න ඇති.”

මම සිත හදා ගැනීමට උත්සාහ කළෙමි.

“මොන දේ වුනත් හේෂාන් එහෙම වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. මට එයා විශ්වාසයි.”

නිවසෙහි විදුලි සීනුව නාද වන හඬ ඇසිණ. මුලුතැන්ගෙය තුළ සිටි වජිරා අත් පිස්නාවක දෑත් පිසිමින් ඉදිරියට දිව ගියාය. පැමිණ ඇත්තේ හේෂාන්ද?

මා නැගී සිටිත්ම අඳුරු කරගත් මුහුණින් යුතුව වජිරා මා අසළට දිව ආවාය.

“අරයා ඇවිත්.”

වජිරා පැවසුවේ රහස් හඬිනි.

“අරයා? කවුද අරයා?”

මා ඇසුවේ කුතුහලයෙන් යුතුවය.

“ලොකු බබාගෙ නැන්දම්මා.”

දෙපතුලෙන් පටන් ගත් දැවිල්ලක් මගේ හිස් මුදුන කරා දිව යන අයුරු මට දැනිණ. හේෂාන්ගේ මවට මුහුණ නොදී කාමරයට යන්නට මට සිතිණ. මගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් වජිරා තවදුරටත් මා අසළ රැඳී සිටියාය.

“දොර අරින්නද බබා?”

මගේ නිහඬතාවය දරා ගත නොහැකි තැන වජිරා ඇසුවාය.

“අරින්න. එන්න කියන්න එයාට.”

“එන්න කියන්නම්. බබාට හයියට මම ඉන්නවා. කිසිම දේකට බය වෙන්න එපා.”

වජිරා ඉදිරියට දිව ගියාය. මා අසනීප වන්නට පෙර හේෂාන්ගේ මවගේ පැමිණීම මගේ සිතට මහත් සතුටක් වූ අයුරු මට මතකය. මා වෙනුවෙන් කුමක් හෝ ත්‍යාගයක් ද රැගෙන පැමිණෙන ඇය මා බදා වැළඳ ගන්නා ආදරණීය ලීලාව මට සිහිපත් වූයේ නිතැතිනි.

“මගේ පුතාගෙ ඇහැල මල.”

ඇය මා අමතන්නේ එවන් වූ ආදරයකිනි.

“කෝ සකුන්තලා නැද්ද?”

හේෂාන්ගේ මවගේ කටහඬ මා සමීපයෙන් ඇසිණ. මම හිස ඔසවා බැලුවෙමි. කලු පැහැයත්, දුඹුරු පැහැයත් මිශ්‍ර වු අලංකාර සාරියකින් සැරසී සිටි හේෂාන්ගේ මව මා දෙස බලා සිටියාය.

“මැඩම් ෂොප් එකට ගියා.”

මා වෙනුවට පිළිතුරු දුන්නේ වජිරා ය. 

“වාඩිවෙන්න මැඩම්. මං අපේ මැඩම්ට කෝල් එකක් දීලා කියන්නම් මැඩම් ඇවිත් ඉන්නවා කියලා.”

“අවශ්‍ය නෑ.”

හේෂාන්ගේ මව අනාරාධිතවම මා ඉදිරියෙන් හිඳ ගත්තාය. ඇය මගේ හිසේ සිට දෙපතුල දක්වා බැලූ බැල්ම මගේ සිත් නොගත්තේය.

“මට සකුන්තලා එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මට ඕන ඩිනාලි එක්ක කතා කරන්නයි.”

“මැඩම්ට බොන්න තේ හදන්නද? කූල් ඩි්‍රන්ක් එකක් ගේන්නද?”

වජිරා ඇසුවාය.

“තේ නෙමෙයි. වහ බොන තැනට තමයි හැමෝම එකතු වෙලා වැඩ කළේ.”

“අනේ මැඩම් හිත රිදෙන්න කතා කරන්න එපා. ලොකු බබා තවම ඉන්නෙ අසනීපෙන්.”

වජිරා ඉල්ලා සිටියාය.

“එව්වා ඉතින් විහින් හදාගත්ත ඒවා මිසක් අපි කරපු දේවල් නෙමෙයිනෙ.”

මොහොතක් බලා සිටි වජිරා ඉවත්ව ගියද, ඇය දොර තිරයට මුවා වී බලා සිටින අයුරු මම දුටුවෙමි.

“වැඩි කතාබහක් ඕන නෑ ඩිනාලි. මං ආව කාරණේ කෙලින්ම කියන්නම්.”

“කියන්න ආන්ටි.”

මම පැවසුවෙමි.

“නියම කරගත්ත දවසට වෙඩින් එක කෙරෙන්නෙ නෑ.”

“ඇයි ආන්ටි?”

මට ඉබේටම ඇසිණ.

“හේතුව ඔය ළමයා දන්නවනෙ. වෙඩින් එකට තව තියෙන්නෙ මාසයයි.”

පැවසිය යුතු බොහෝ දෑ සිතට නැගුණද ඒවා වදන් බවට පත් කිරීමට මම බිය වීමි. සුදු නංගී පහත මාලයට පිවිසෙන පියගැට පෙළ මුදුනෙහි සිටගෙන බලා සිටින අයුරු මා දුටුවද, පිටුපා සිටි හේෂාන්ගේ මව ඇය නොදුටුවාය.

“දන්නවනෙ. වෙඩින් සාරි එකට ලක්ෂ එකහමාරක් ගියා.”

“ඔව් ආන්ටි.”

මා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි. 

“ජුවෙලරි වලට විතරක් ලක්ෂ දහයකට අඩු වුනේ නෑ වැඩි වුනා මිසක්.”

“ඔව් ආන්ටි.”

“කෝ දැන් ඒ සාරියයි, රත්තරං බඩුයි?”

“අල්මාරියෙ තියෙනවා ආන්ටි.”

සුදු නංගී පියගැට පෙළ බැස අප අසළට ආවාය. ඇය සෝෆාවෙහි මා පසෙකින් හිඳගත්තේ සිනාවෙන් තොර මුහුණින් යුතුවය.

“එව්වට වියදම් කරේ මගේ පුතා. මට ඒ හැමදෙයක්ම ඕන.”

මගේ ගත වෙව්ලන්නාක් මෙන් මට දැනිණ. මම සුදු නංගීගේ මුහුණ දෙස බැලුවෙමි. එක්වරම නැගී සිටි ඇය වේගයෙන් දිව ගියේ අසල බිම තබා තිබූ පිත්තල මල් පෝච්චිය ද පෙරළාගෙනය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles