අන් අයගේ කතා මැදට අනාරාධිතවම කඩා වැදීම නරක පුරුද්දක් බව ඉගෙන ගත්තෙ ප්‍රාථමික පන්ති වලදී ය. දැන් කාලය බොහෝ ගෙවී ගොස් තිබේ. ඒ හන්දා ඒ පාඩම අමතක කරන්නට සඳරැස් ඉටා ගත්තේ ය. ඔහු අක්කාගේත් දුලන්‍යාගේත් කතාබහ මැද්දට ආවේ ඒ හන්දා ය.
“ඔය නවල්ස්වල තියන ආදරේ ඇත්ත ලෝකේ නෑ. ලියන මිනිස්සුන්ට පුළුවන් මේ ලෝකෙ වෙන්නේ නැති දේවල් මවලා පෙන්වන්න.”
සඳරැස් එසේ කියද්දී තාරකාට සිනාවක් ඉපදිණ. කෙල්ලන්ගේ කතා අහගෙන ඉන්නට කාරණාව අසා මල්ලීට ටොක්කක් ඇනීම ඇය පසුවට කල් තැබුවා ය. ඒ වෙනුවට දුලන්‍යා ද හවුල් කරගෙන මල්ලී සමඟ වාදයක් ඇරඹීමට ඇය සිතා ගත්තා ය.
“ඔයා කොහොමද එහෙම කියන්නේ? අනිත් අයට වඩා රයිටර්ස්ලා ලෝකේ ලස්සනට දකිනවා. ඒ වගේම අපිට වඩා දුක සතුට ගැන එයාලට තේරෙනවා. ඒකයි මිනිස්සුන්ගේ හැඟීම් ලියවෙන්නේ. ඒවා නැති දේවල් මවලා පෙන්නන එකක් නෙවේ. ශාන්ති දිසානායක, සුමිත්‍රා රාහුබද්ධ වගේ ලේඛිකාවන්ගේ පොත්වල තියන දුක් ඇත්තටම ගෑනු විඳිනවා මල්ලි. මං හිතන් නෑ රයිටර්ස්ලා නැති දේවල් මවලා පෙන්නනවා කියලා.”
එහෙත් සඳරැස්ට කියන්නට දෙයක් තිබිණ.ආදරය ගැන වැඩිපුර ලියැවී ඇති නවකතාවල හිඳින කොල්ලන් මෙන් ආදරය කරන්නට තමන්ට හැකිදැයි ඔහුට විශ්වාසයක් නැත. ඒ හන්දා දුලන්‍යාගේ ෆැන්ටසි ලෝකය විනාශ කර ඇත්ත ගැන කියා දෙන්නට ඔහුට සිතිණ.
“ඔය ලස්සනට ආදරේ ගැන ලියන මිනිස්සුන්ට එක්කෝ සිරා ලව් එකක් තියනවා, ලක්ෂෙකට එකක් මිනිස්සුන්ට ලැබෙන ජාතියේ. එහෙම නැත්තං ඒ මිනිස්සු ආදරේ හින්දා සෑහෙන්න විඳෝලා තියනවා. ඔය අන්ත දෙකම ඇත්ත ලෝකෙට ගැළපෙන් නෑනෙ.”
සඳරැස් එසේ කියද්දී දුලන්‍යාට කෝපයක් ඉපදිණ. ඇගේ ප්‍රියතම ලියන්නියන් දෙදෙනාගේ අකුරක්වත් නොකියවා ඔවුන්ට අපහාස කරන්නට සඳරැස්ට ඉඩ දිය යුතු නොවේ.
“මට එයාලාගේ පර්සනල් ලයිෆ් වැඩක් නෑනේ. ලියන අයගෙ පර්සනල් ලයිෆ් එකයි එයාලගේ ලියවිල්ලයි සසඳන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ.”
දුලන්‍යා කියන්නේ තද ස්වරයකිනි. තද හිරු රැස් ඇති මොහොතක හඳ එළිය සුන්දර නේදැයි අසද්දී හිස වනා කොමල කරමින් එකඟ වන රිද්මි වැන්නියන් සඳරැස් සිහි කළේ ය. තමන්ගේ සිත්ගත් තරුණයා කියන සෑම කාරණාවක්ම පිළි ගනිමින් ඔවුන් රඟ දක්වන නාටක ගැන ඔහුට ඇත්තේ අප්‍රසාදයකි. එහෙත් මේ කුඩා යුවතිය ඇගේ මතය වෙනුවෙන් සටන් කරන්නියකි.
ඇය පොඩියට හිටියාට ගම්මිරිස් ඇටයකි.
“යසයි. ඔය අහගත්තේ. මිනිස්සු දිහා ඕනෑවට වඩා සැකෙන් බලන්න ඕනෑ නෑනෙ. කවුරු දිහා වුණත් නරක විදියට නපුරු විදියට නොබලා සැකෙන් නොබලා ඉන්න කියලා මං ඔයා පොඩි කාලේ ඉඳන් කියනවා නේද?”
තාරකා අසන්නේ සරදම් ස්වරයකිනි. රාජකාරියේදී පවා ගැහැනු පරාණවලට ඉස්මතු වන්නට ඉඩ නොදෙන තමන් මේ පුංචි කෙල්ල ඉදිරියේ මෝඩයෙකු සේ හැසිරීම ගැන සඳරැස්ට ද පුදුමයක් දැනේ.
“දැන් ඔයා ඔය කතාවල ඉන්න ගෑනු ළමයි වගේ ආදරේ කරන්න ලෑස්තිද?”
තමන් අසන දේ ගැන තමන්ට ම ලැජ්ජා හිතුණත් සඳරැස්ට මේ කතාව අත් හරින්නට හිතක් නොවේ.
“ඔව්, මමත් එහෙම හිතන් ඉන්නවා.”
ඒ මොන කතාවක කවුරුන් වාගේදැයි ඇය නොපැවසී ය.මඳ වෙලාවකට පෙර ඇය පැවසූ වෙබ් අඩවියේ ආදර කතා විස්සකට වැඩි ප්‍රමාණයක් තිබේ. කෙල්ලන් අල්ලේ නටවන ආකාරය පමණක් ප්‍රගුණ කරමින් සිටි කොල්ලෙකුට ආදර කතා කියවන්නට හිතෙන හේතුව ගැන සඳරැස්ට ලැජ්ජාවක් දැනේ.
“ඕනෑතරම් හොඳ කෙල්ලො ඉන්නව කියලා මං ඔයාට කියන්නෙ අපේ චූටි කෙල්ල වගේ අය ඉන්න නිසා. ලෝකේ කාලා වතුර බිව්ව කෙල්ලො හැමතැනම නෑ. අනික ලෝකේ කාලා වතුර බොන අයට වුණත් ඒවට සාධාරණ හේතු තියනවා. කොහොමහරි මේ වගේ ලස්සනට ආදරේ කරන්න බලන් ඉන්න කෙල්ලොත් ඉන්නව හොඳද?”
අක්කා එසේ කියද්දී බලාපොරොත්තුවක සේයාවක් පැන නැංගේ සඳරැස් ගේ හිතේ පමණක් නොවේ, දුලන්‍යා ද එය අසා මිහිරි තිගැස්මකට ලක් වූවා ය.නමුත් ඇති කළ බලාපොරොත්තුව තත්පර කිහිපයක් ඇතුලත උදුරා ගන්නට තාරකා වග බලා ගත්තා ය.
“එහෙමයි කියලා තමුසෙ මේ පොඩි කෙල්ලගෙ හිත නාස්ති කරන්නෙ එහෙම නෑ හොඳද? දුලාජ් අයියගෙන් මාත් බැනුං අහන වැඩ.”
අක්කාට එසේ නොකියා ඉන්නට තිබූ බව සඳරැස් සිතුවේ සාංකාවෙනි. අයියා කොහොමටවත්ම කැමති නොවන දෙයක් මේ පොඩි කෙල්ල කීයටවත්ම නොකරන වග දැන් ඔහු හොඳින් දනියි. අක්කා මේ එල්ල කළ බෝම්බය හොඳ එකක් නොවේ.
දුලන්‍යා හීන් සීරුවේ නැගිට ගත්තේ හිත තද කරගෙන ය.අක්කා මෙවැනි තීරණයකට එන වගක් ඇය නිකමටවත් සිතා තිබුණේ නැත.එහෙත් සත්‍ය තත්ත්වය මෙවැන්නකි.
“පොඩි එකී ලැජ්ජා හිතිලා ගියා. මඟුල් නොකියා ඉන්නවකො හලෝ.”
සඳරැස් අක්කාට තර්ජනය කළේ ය. එහෙත් තාරකා එවැනි තර්ජන වලින් සසැලෙන්නේ නැත.
“ඇත්තටම ඔයාට ප්‍රපෝසල් කීපයක්වත් බලන්නද මල්ලි. හෙමින් හොඳ කෙල්ලක් හොයා ගමු.”
තාරකා කියන්නේ ආදරයෙනි. අක්කා ගර්භනි වීම හන්දා ඇය සමඟ ගැටුම් ඇති නොකර ගැනීමේ ප්‍රතිපත්තිය වහා බිඳ දමන්නට සඳරැස්ට ඕනෑ විය. ඔහු හඬ උස් කළේ ම ඒ හන්දා ය.
“අනේ මේ අක්කේ! මට මඟුල් හොයන්න එපා. මං තිස් එකක් දෙකක් වෙනකම් බඳින්නේ නෑ.”
එතරමට කාලය ගෙවෙන්නට තව වසර පහ හයක් තිබේ. ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකය සුපුරුදු වන්නම් නොනටන්නේ නම් ඕනෑවට වඩා නිවාඩු කාල ගත නොවී දුලන්‍යාට උපාධිය නිම කරන්නට ඒ කාලය ප්‍රමාණවත් ය.
“අනික මං වෙන කම්පැනීස් කීපයක් බැලුව. මට මෙතන සෙට් නෑ.”
සඳරැස් එසේ කියද්දී තාරකා හිනැහුණේ ඔලොක්කුවට ය.
“ඇයි ඉන්න තරමක් කෙල්ලො යාළු කරන් ඉවරද ඔතන”
එහි ඇත්තක් නැතුවා නොවේ. එහෙත් ඔහුට දැන් අවශ්‍ය වෙනත් දෙයකි. සෙල්ලකාරකම් නොකර කොතැනක හෝ වෙනස්ම මිනිසෙකු ලෙස ජීවිතය ඇරඹීමට ඕනෑකමක් සඳරැස්ට දැනෙමින් තිබේ.