සඳ ගංතෙර – 17

කියන්නට හිතෙන හැමදෙයක්ම ඒ මොහොතේම කියන්නට අවශ්‍ය නැති බව සඳරැස් ඉනික්බිතිව සිතී ය. අද අපූරු දවසකි. ඒ අපූරු දවසේ සතුට මේ ආකාරයට ඉතිරි වී තිබීම ම සෑහේ.ඇතැම්විට හිතේ ඇති ආදරය ඇයට කියන්නට යාමම අද දවසේ සන්තෝසය උදුරා ගන්නට හේතුවක් වන්නට පුළුවන.

“ඇත්තටම ඇයි ඒ රිලේෂන්ශිප් එක නැති වුණේ?”

දුලන්‍යා අසන්නේ උනන්දුවෙනි. යූ ටර්න් එකක් ගන්නා අතරතුර සඳරැස් කල්පනාකාරී සිනාවක් හෙළුවේ ය.

“කෙල්ලෝ වශී වෙන්නේ මගේ හිනාවට.එයාලට ඕනේ මම හිනා වෙවී ඉන්න. මට දුක හිතුණට එයාලා මගේ කඳුළු බලන්න කැමතිම නෑ. ඊට පස්සේ දාලා යනවා.”

එසේ පැවසුවේ වැඩි ලෙස හිතන්නේ නැතිව ය. නමුත් දුලන්‍යා වහා ඔහුව ප්‍රශ්න කරන්නට  සිතුවා ය.

“ඇයි ඉතින් ඔයා ඔයාගේ ඇත්ත මූණ එයාලට නොපෙන්වා ඉන්න හිතුවේ. බොරුවට හරි කපටිකමට හරි හිනා වෙන්න ගත්තට පස්සේ එයාලා හිතන්න ඇති ඔයා අඬන්න නොදන්න මනුස්සයෙක් කියලා.”

ඇය මෙතරමට වාද කරන්නේ ඇයිදැයි සඳරැස්ට සිතා ගන්නට නොහැකි ය. අයියා සහ මල්ලී සමඟ නිරන්තරයෙන්ම රණ්ඩුවට පුරුදු වී සිටි කෙල්ලකට එය එතරමට අසීරු නොවන්නටත් පුළුවන. නමුත් ඇය ඇස් කරකවමින් වාද කරද්දි මොනවා හෝ කියමින් ඒ වාදය දුරදිග ගෙනියන්නට සිතෙන කාරණාව ගැන සඳරැස් සිතුවේ තනියම හිනැහෙමිනි. තනිවම සිටියදී පවා මතක් වී හිනැහිය අන්දමේ කතන්දර ඇය පවසන්නී ය.

” හැබැයි එයාලා අන්තිමට තීරණය කලා මම අඬවන්න දන්න මනුස්සයෙක් ය කියලා.”

අඳුරේ අතපත ගාන්නට කිසිම තේරුමක් නැති වැඩක් බව දුලන්‍යා හදිසියේ සිතුවා ය. දැනෙන ඇත්ත නොපවසා ඉන්නට හේතුවක් නැත. ඇය දිගින් දිගටම කතා කරන්නට ගත්තා ය. කතා කරද්දි විරාමලක්ෂණ පාවිච්චි කරමින් කතා කරන්නැයි අයියා ඇයට හිනැහෙන අන්දම සිහි කරගත් දුලන්‍යා ඉතා සීරුවෙන් කතාබහ ආරම්භ කළා ය.

“එහෙම වෙන්නේ  ඔයාගේ නරුමකමක් විතරක්ම එයාලට පෙන්නන හින්දා. මට තේරෙන්නෙ නෑ අයියා හරිම නපුරු නරක කෙනෙක් කියලා ගර්ල්ස්ලට පෙන්නන්නෙ ඇයි කියලා? ඔයා යමි නපුරු නම් නරක නම් මට, චූටි දුවට, අක්කට ආදරයෙන් සලකන්නෙ කොහොමද? “

ඒ කතාවට දෙන්නට හොඳ උත්තරයක් සිහි වුවද සඳරැස්ට මහත් සන්තෝසයක් දැනිණ. ඇයට ඔහුගේ ආදරය දැනී තිබේ. දැන් මොන කෙහෙල්මලක් වුණත් කමක් නැත.   

“එක එක්කෙනාගේ තේරුම් ගැනීම තමයි.”

නැත!

ඔහු මෘදු තරුණයෙකු බව ඔහු සිතා මතාම සඟවන බව සත්‍යයකි. ඒ මෘදු ගුණය පෙන්වීමට තරම් ගැහැනුන් වටින්නේ නැති බව ඔහු සිතයි. සඳරැස් ඒ රහස ඇගෙන් සගවන්නට තීරණය කළේ ය. එවැනි ඇත්තක් පවසන්නට ඔහුට ශක්තියක් නොමැත.දියණියගේ අඩුපාඩු මිලට ගනිමින් හිඳිද්දී දුලන්‍යා හදිසියේ කම්පනයකින් ඔබමොබ බලන අන්දම සඳරැස්ට පෙනිණ. ඔහු වහා ඇය වෙත ආවේ ය. ඇය කොහොමත් අද දවස පුරාම තිගැස්මෙන් සිටි වග ඔහුට අමතක කරන්නට කොහොමත්ම නොහැකි ය.

“අර ඉන්නේ සහස්!”

ඇගේ හඬ සසැලේ. ඒ කොලුවාට එතරම් බියක් දක්වන්නේදැයි සඳරැස් ඇසුවේ තරහිනි. දුලන්‍යා හිස සැලුවා ය.

“බයක්ම නෙවෙයි. නිකං විකාර රණ්ඩු ඇති කරනවනෙ. අයියා මගේ සහෝදරයෙක් කියලා ඒ මනුස්සයා පිළි ගන් නෑ. විකාර කතා හදනවා.”

ඇත්තම කතාවනම් සඳරැස්ට ඇගේ දෙවැනි අයියා වන්නට කොහොමටත්ම ඕනෑ නැත. දුලාජ් අයියා සමග සම ස්ථානයක සිට ගන්නට ඔහුට ඕනෑ වූයේ නැත. ඔහුට උවමනා දුලාජ් සමඟ ඇති මස්සිනා බැඳීම තවත් වර්ධනය කරගන්නා ගැටයක් පටලවා ගන්නට ය. මීට ස්වල්ප මොහොතකට පෙර සඳරැස්ගේ ආදරය දැනෙන බව පැවසූ යුවතිය දැන් ඔහු සහෝදරයකු බව පැවසීම ම සඳරැස්ව අවුල් කරන්නට සමත් ය. ආදරය කරමින් සිටින යුවතිය සහෝදරියක හෝ මිතුරියක කරගන්නට කිසිම තරුණයකුට ඕනෑ නැති බව කියා ඇයට හොඳ ටොක්කක් අනින ආවේගයකින් ඔහු දැවී ගියේ ය. නමුත් ඇය හිඳින්නේ වරින්වර ඔවුන් වෙත එල්ලවෙන දෑසකින් මිදීමේ උවමනාවකිනි.

“ආ දුලන්‍යා ෂොපින් ඇවිල්ලා වගේ”

සහස්ගේ මිතුරා සරදම් හඬින් විමසද්දී අක්කාට දියණියක ලැබුණු බවත් අත්‍යවශ්‍ය උපකරණ ගෙන යන්නට පැමිණි බව දුලන්‍යා පැහැදිලි හඬකින් ප්‍රකාශ කර සිටියා ය. තමන්ගෙ ලෝකයට අයිති නැති මිනිසුන්ට ඕනෑවට වඩා හේතු කියන්නට යා යුතු නොවේ. ඒ වග කියා ඇයට බැන වදින්නට මෝටර් රථයට යනතුරුම ඉවසන්නට සිදු වේ. නමුත් සහස්ගේ කලබලයට පත් දෑස සහ හැසිරීම සඳරැස්ව අවුල් කර දැමී ය. ඔහුගේ පීඩනය මුදා හැරියේ නැවත මෝටර් රථයට පැමිණීමෙන් පසුව ය.

“සහස්ගෙ ගම කොහෙද නංගි?”

ඔහු කොළඹ උපන් කොලුවෙකු බවත් කොළඹ ප්‍රධාන පිරිමි පාසලක අධ්‍යාපනය හැදෑරු බවත් දුලන්‍යා පැවසී ය. ඒවා ඇය ඔහුගෙන් විමසා නැත. ෆේස්බුක් හරහා ඒ ඕපාදූපය සොයා ගත් බව ද දුලන්‍යා ඌනපූර්ණය කළා ය. අනවශ්‍ය තරම් හේතු කියන්නට හිතෙන කාරණාව ගැන ඇයට සැබෑවටම වැටහීමක් ද නොතිබිණ. එහෙත් මේ මොහොතේ එවැනි සුළු කාරණාවක් සම්බන්ධයෙන් වද වීමට  

සඳරැස්ට නුවුමනා ය.

“සහස්ගේ සර්නේම් එක මොකක්ද නංගි?”

ඔහු හදන්නේ සරසවියේ සිටින දන්නා කියන මිතුරන්ට කියා සහස්ට සබ්බුව දෙන්නටදැයි දුලන්‍යා බියට පත් වූවා ය. සඳරැස් රැකියාවක නිරත වූවාට වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නා ඔහුගේ පාසල් මිතුරන් තවම අවසන් වසරේ සිසුවන් ය. රණ්ඩුවලට පැටලීමට වඩා ඔවුන්ට කරන්නට අධ්‍යාපන කටයුතු බොහෝ බව ඔහුට කියන්නට දුලන්‍යා සිතුවා ය. නමුත් ඇයගේ දිව නැමුණේ වෙනත් දෙයකට ය.

“විජේවර්ධන”

රියෙහි තිරිංග තදවන අන්දම සඳරැස්ටම දැනිණ. අක්කා සහ බිලිඳිය සිහි කරගත් ඔහු වහා එළඹි සිහියට පිවිසියේ ය. කෝපයෙන් දැවෙන බව ඇත්තකි. නමුත් දුලන්‍යාට එය පෙන්විය යුතු නොවේ.

“අයියලගෙ නෑයො එහෙම නෙවේ නේද? මගෙ යාලුවෙක් කිව්වා සහස් ටිකක් අයියා වගේ කියලා.”

සඳරැස්ගේ රිය පැදවීමේ වේගය වැඩි විණ. ඔහු ඇය දෙස් නොබලාම ආවේගය සඟවා ගන්නට උත්සාහ දැරී ය.

මේ ඒ ආවේගය පෙන්වීමට මොහොත නොවේ! 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles