බිරිඳගේ අනියම් සැමියා මරා දැමූවත් සිර දඬුවම් නොලැබූ සැමියෙක්

Rustom චිත්‍රපටිය ඔබ අනිවාර්යයෙන් නරඹා ඇති. එහි සිනමාත්මක ගුණයට එහා ගිය සත්‍ය සිදුවීමක් ඇති බව අප කවුරුත් හොඳින්ම දන්නා කාරණාවක්. භාරතයම කැළඹූ නව නීති සැකසුණු ඒ කතාව ගැන අපි අද කතා කරමු.

කවාස් මානෙක්ෂව් නානාවතී ඉන්දියානු නාවික හමුදාවේ සේවය කළ කොමදෝරුවරයෙක්. තමන්ගේ පවුල වූ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු මුම්බායිහි වාසය කළා. නානාවතීට රැකියාවේ ස්වභාවය නිසා නිතරම නිවසින් පිටත ජීවත් වෙන්නට සිදු වුණා.ඒ නිසා බිරිඳ වූ සිල්වියා ඔහුගේ මිතුරෙකු වූ ප්‍රේම් අහුජා සමඟ සම්බන්ධතාවයක් අරඹනවා. මෙය මොනතරමට දුරදිග ගියාද කිවහොත් ඔහු සමඟ විවාහ වන්නට ඇය නානාවතීගෙන් වෙන් වන්නට පවා ඉල්ලා තිබුණා. නමුත් අහුජා ඒ විවාහයට එකඟ නොවූ බවක්ද සඳහන්.

දිනක් ඒ බව සිල්වියා නානාවතීට පවසනවා. දරුවන් සහ බිරිඳ නිවසින් පිට කර අහුජා මුණ ගැසෙන්නට යන ඔහු මත ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අහුජාට වෙඩි තබනවා. නානාවතී මේ සඳහා නාවික හමුදා මූලස්ථානයෙන් අවියක් සහ උණ්ඩ ලබා ගෙන තිබෙනවා. ඉන්පසු ඔහු මූලස්ථානයටම ගොස් ප්‍රධානියාට තම මිනීමැරුම ගැන දන්වනවා. ප්‍රධානියාගේ උපදෙස් මත ඔහු පොලිසියට භාර වන්නට කටයුතු කරනවා.

නානාවතීගේ නඩුව අසන්නේ ජූරිය සමඟ. ඔවුන් සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත ජූරියක්. තමන් හදිසි කෝපය නිසා අහුජාට වෙඩි තැබූ බව නානාවතී පවසනවා. අහුජාගේ සහෝදරිය එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරත් එය සාර්ථක වන්නේ නෑ.

එකල සමාජයේ මත පළ වූයේ සිල්වියා වරදට පොළඹවා ගත් අහුජා මරණයට සුදුසු බවයි. නානාවතී නාවික නිලධාරියෙක් ලෙස සමාජයේ ප්‍රසංසා ලැබූ අයෙක්. ඒ නිසා සමාජ මතය වූයේ ඔහු නිදහස් විය යුතු බවක්. ඒ නිසා ඔහුට ජූරිය මඟින් සමාව හිමි වුණා.  නඩුව විමසූ විනිශ්චයකාරවරයා මෙම තීරණයට එකඟ වුණේ නැහැ. ජූරිය අපක්ෂපාතී නැතැයි පවසා ඔහු නඩුව මහාධිකරණයට ගෙන ගියා. මහාධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන්නේ ඉදිරිපත් වූ ඇපීල් එක පවා ප්‍රතික්ෂේප කරමින්.

නමුත් ඉන්දීය පුවත්පත් මෙහි ගොදුර නානාවතී බව පවසමින් ලිපි පළ කලා. ඔහු මිත්‍ර ද්‍රෝහියෙකු නිසා හිරිහැරයට ලක් වූ අහිංසක මිනිසෙක් බවයි ඔවුන්ගේ අදහස වුණේ. මේ සටහන් මුම්බායේ ජාතිවාදී සටන් පවා ඇති කරන්නට සමත් වුණා.

නානාවතීගේ නඩුව විමසුණු කාලයේ ඉන්දියාවේ අගමැති වුණේ ජවහර්ලාල් නේරු යි. ඔහුගේ සොයුරියක වූ විජයලක්ෂ්මී පන්ඩිත් බොම්බේ වෙත පත්කෙරුණු නව ආණ්ඩුකාරවරිය වුණා. ඇයට බලපෑම් සිදු කරමින් නානාවතීට සමාව ලබා ගන්නට බොහෝ අය උත්සාහ කරා.එය අසාර්ථක වූයේ නෑ. ජනවාර්ගික ගැටලු වලට මුවාවී එය සිදු කරන්නට ආණ්ඩුකාරවරියට හැකි වුණා.

නිදහස් වූ නානාවතී කැනඩාවට සංක්‍රමණය වූයේ පවුලේ උදවිය සමඟයි.Rustom චිත්‍රපටිය තුළ පවා සාධාරණීකරණය වන්නේ නානාවතී සහ සිල්වියාවයි. 

සෑම අසම්මත ප්‍රේම කතාවකම මෙන් අහුජාට සමාජයේ දෝෂ දර්ශනය ලැබීම නිසාම ඔහුගේ මරණයට සාධාරණයක් ඉෂ්ට වූයේ නෑ. පාර්සි සහ සින්ධි ජාතිකයන් අතර වාර්ගික අර්බුදයක් දක්වා වර්ධනය වුණත් එතැනදී ඔහු වරදකරු වන්නට හේතුව අසම්මතය මිස අන් කිසිවක් නොවේ. සිල්වියා පවා නානාවතීගේ පාර්ශවය නිවැරදි බව පවසා තිබුණා.ජූරි තීරණ ලබා දීම ඉන් වසරකට පසු අවසන් වුණ බව සඳහන්.

“මං සමඟ යහන්ගත වෙන හැම ගැහැනියක්ම මම විවාහ කරගන්නේ නෑ. ඒ හින්දා මම සිල්වියා සහ ළමයින්ව බාර ගන්නේ නෑ.”

අහුජා පැවසූ මේ කතාව නානාවතීගේ කෝපය ඇවිස්සූ බව කියැවෙන නිසා අහුජා වැන්නෙකු මරා දැමීම වරදක් නොවන බව තවමත් සමහරෙකු පවසනවා.

නමුත් මේ හදිසි කෝපය හන්දා කළ ඝාතනයක් නම් නොවන බව සැබෑවටම පැහැදිලියි.

Related Articles

Don't Miss


Latest Articles