අනියම් ප්‍රේමය නිසා අකාලයේ විනාශ වී ගිය ජීවිත තුනක්

විශාල සුවිසල් මැදුරක සුව පහසුවෙන් ජීවත්වෙන්න කවුද අකමැති ? ඒත් එවැනි නිවසක සැඟවිච්ච අභිරහසක් තියෙනවා කියලා ඔබට දැනගන්න ලැබුනොත් ? මේ කියන්න යන්නේ ලෝකයම කම්පාවට පත්කළ එවැනි සුවිසල් මැදුරක සිදුවුන ඛේදවාචකයක් ගැනයි.

මොකක්ද මේ සුවිසල් මැදුර ? 

මේ සුවිසල් මන්දිරය පිහිටලා තියෙන්නෙ මැලේසියාවේ. මෙය හඳුන්වන්නේ SG House කියලා. 2000 වර්ෂයේ මුල් භාගයේ දී මේ මැදුර අතහැර දැමීමට පෙර එහි ජීවත් වුණේ ඉතාම සුප්‍රසිද්ධ සහ ධනවත් ව්‍යාපාරිකයෙක් වන සන්ජේ ගිල් සහ ඔහුගේ බිරිඳයි. මෙම විශාල නිවස ඉදිරිපිට අදටත් ඔවුන් භාවිතා කල පැරණි Alfa Romeo රථයක් සහ Porsche නවත්වා තිබෙන ආකාරය දැක ගත හැකියි. 

ඇත්තටම මේ සුවිසල් මැදුරේ සිද්ධ වුණේ මොකක්ද ? 

විවාහයෙන් පසුව තරමක් කල් ගත වන විට ධනවත් ව්‍යාපාරික සන්ජේ ගිල් සහ ඔහුගේ බිරිඳ අතර ඒ තරම් හොඳ සබඳතාවයක් පැවතුණේ නැහැ. තමන්ගේ බිරිඳ එක්ක ඉතාම සුන්දර ජීවිතයක් ගත කරන්න ඕනෑ තරම් අවස්ථාව , සැප පහසුකම් සහ මිල මුදල් තිබුණත් සන්ජේට ඕන වෙලා තිබුනේ ඕනෑවටත් වඩා මුදල් උපයමින් විනෝදයෙන් කාලය ගත කරන්නයි. මේ අතරේ ඔහු අනියම් සබඳතාවයක් පටන් ගන්නවා. එය මහා ඛේදවාචකයකින් අවසන් විය හැකි බව ඔහු කිසිම විටෙකත් විටෙක නොසිතන්නට ඇති. තමන්ගේ බිරිඳට හොරෙන් මේ සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියලා සන්ජේ හිතුවත් ඔහුට ඒ දේ කරන්නට ලැබෙන්නේ නැහැ. 

සන්ජේගේ බිරිඳ ඔහුගේ අනියම් සම්බන්දය ගැන දැන ගන්නවා. ඕනෑම බිරිඳක් වගේ ඇය ඉතාම කෝපයට සහ දුකට පත් වෙනවා. තමන්ගේ සැමියා තවත් කාන්තාවක් හා එක්ව තමන්ව රැවටීම ඇයව ඉතාම කම්පනයට පත් කරනවා. ඒ නිසා තම සැමියා කෙරෙහි ඇති ආදරය පරදා ඇගේ හිත පුරා වෛරය දළුලනවා. 

ඉන්පසුව සන්ජේගේ බිරිඳ විසින් සන්ජ්ගේ අනියම් පෙම්වතියව සොයා ගොස් ඇයව ඝාතනය කර ඇගේ හිස කඳින් වෙන්කර ගෙන නිවසට පැමිණෙනවා. කඳසුන් හිස නිවසේ ප්‍රධාන දොරට ඉහළින් එල්ලා තබන ඇය තම සැමියා නිවසට එනතුරු බලා සිටිනවා. නිවසට පැමිණෙන සන්ජේ තම පෙම්වතිය ගේ හිස නිවසේ ප්‍රධාන දොරට ඉහළින් එල්ලා තිබෙනු දැක දැඩි කම්පනයකට ලක් වෙනවා. ඒ මොහොතේම හෘදයාබාධයක ට ලක් වෙන ඔහු අවසන් හුස්ම හෙලනවා. 

ඉන් අනතුරුව සන්ජේගේ බිරිඳ එම සුවිසල් මැදුර තුළදීම ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගන්නවා. සඳලුතලයෙන් පහලට එල්ලෙමින් තිබූ ඇගේ සිරුර පොලිසිය විසින් සොයාගන්නේ එදිනම සවස් කාලයේ දීයි.

අනියම් ප්‍රේමයක අවසාන ප්‍රතිඵලය 

සන්ජේ ගිල් , ඔහුගේ බිරිඳ සහ අනියම් පෙම්වතිය යන තිදෙනාම එකම දිනයක තම ජීවිත වලට සමු දෙන්නේ අනියම් ප්‍රේමයක අවසාන ප්‍රතිඵලය කිසිම විටෙකවත් සුන්දර නොවන බව ලෝකයට ම පසක් කරමින්. එකම දිනයක , එකම නිවසක ඝාතනයක් , ස්වභාවික මරණයක් සහ සියදිවි නසා ගැනීමක් සිදු වූ අතිශය දරුණු ඛේදවාචකයක් ලෙස මේ සුවිසල් මැදුරේ ඛේදවාචකය හැඳින්වෙනවා. 

ආදරයට කොතෙකුත් නිර්වචන තිබුනත් ඊට වංචා කළ විට එය වෛරයක් බවට පෙරලීමට ගතවන්නේ සුළු මොහොතක් පමණයි. SG House හි ඛේදවාචකය එතකින් නිමා වුනත් එයින් ලොවට දෙන පණිවිඩය අමතක කළයුතු නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles