දුලන්‍යා ඔහුගේ දුරකථනය අතට ගත්තේ මන්දස්මිතයක් සහිතව ය. ඔහු මුරපදය පවා නොබියව පවසමින් ඇය අත දුරකථනය තබා තිබිණ.නමුත් මන්දහාසය මැකී ඇය තැති ගත් දෑසින් ඔහු දෙස බැලුවේ ඒ පසුතල ඡායාරූපය හන්දා ය.
එහි හිඳින්නී ඈ ය!
එය ඇගේ අනවසර ඡායාරූපයකි.
ඔහුගේ දුරකථනය අගුලු වැටී ඇති විට ඇය එහි මෝඩ සිනාවක් නඟමින් බලා සිටී. අගුලු විවර කළ පසු පසුතල ඡායාරූපයේ සිහිනයෙන් සිනා නඟන කුඩා සූකිරි කැටය තුරුළු කරගත් දුලන්‍යා හිසකෙස් පවා අවුල් කරගෙන බලා සිටියි.
“මගේ ෆෝන් එක තුන්පාරක් වැටිලා ඩිස්ප්ලේ ගියා”
සඳරැස් සරදම් ස්වරයකින් කියයි.ඔහු මේ කියන්නේ මොනවාදැයි ඇය බලා සිටියේ පුදුමයෙනි.
“ගෙවල් හදනකොට යක්කුන්ගෙ රූප එල්ලන්නේ ඉස්සරහින්. මටත් ඕනෑ වුණා ෆෝන් ස්ක්‍රීන් එකට යස්සනියක් දාගන්න.”
නිවසේ සිටින සෑම කෙනකුටම කීකරුව ජීවත්වෙන අහිංසක කෙල්ලක් වූ තමන්ට යක්ෂනියක් බව කියන කොල්ලාට පාඩමක් උගන්වන්නට දුලන්‍යාට සිතෙයි. ඇය ඔහු දෙස බලා සිටියේම තරහ මුහුණකිනි. ඒ තරහ මුහුණ දෙස බලා සිටියදී සඳරැස්ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් පිපී එයි.
“අපෝ මම වෙස් මූණක්ද?”
ඇය වෙස් මුහුණක් හෝ යක්ෂණියක් නොවේ. ජීවිතය කරගන්නට වටිනා සුරඟනක් බව කියන්නට සඳරැස්ට ඕනෑ ය. රිද්මගේ සමහර ගීතවල නැරඹුම් වාර වැඩි කරන්නේ සඳරැස් ය. දුලන්‍යාව සිහි කරමින් ඒවා ඔහේ වාදනය වන්නට ඉඩ දීම ඔහුගේ පුරුද්ද ය. එසේ කරන බව ඇය දන්නේනම් යැයි ඔහු සිතී ය. එක් අතකට මේවා සඟවා සිටීම ද ඵල රහිත දෙයකි.
“විජේවර්ධන ඇයි මල් උස්සන් එන්නේ?”
දුලන්‍යා තෝරා දුන් පීසා වර්ගයට ගෙවීම් කරන අතරේ සඳරැස් ඇසී ය. දැන් ඇය සහස්ව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව ඔහු දනියි. ඒ හන්දාම මේ කතාව බොහෝ නිදහස්ව ගලා යා හැකි එකකි.
“මං ඒ වගේ කපටි මිනිහෙක්ව දැකලම නෑ.”
දුලන්‍යා කියන්නේ තරහිනි. මල් පොකුරක් උස්සාගෙන නිවසට එන්නට සහස් මෙහෙයවූයේ අවංක ප්‍රේමයක් නොවේ. ඔහු ඇයට සැබෑවටම ආදරය කරන්නේ නම් නිවැසියන් ඉදිරිපිට ඇයව අපහසුතාවයට පත් කරන්නට සිතන්නේ නැත.
“සහස්ට ඕනෑ වුණේ මං එයාගෙ කියලා ගෙදර අයට පෙන්නන්න. අපේ අම්මලා මං ගන්න ඕනෑ තීරණයකට කැමති වෙයි.මං දැන් ලොකු නිසා එයාලා මට බලපෑම් කරන්නේ නෑ. ඒත්..”
යන්තමින් හෝ ආදරයක් නොසිතෙන කෙනෙකු ඇගේ ප්‍රේමවන්තයා බව අම්මාත් අක්කාත් සිතා ගත් හන්දා දුලන්‍යාට පුදුමාකාර ලෙස කෝපයක් උපදී. සහස්ට ඕනෑ වූයේ ද ඒ සිතුවිල්ල දෙන්නට ය.
“අනික යාලුවෙක් වගේ හැසිරෙන් නැතුව එයා මෙතන හැසිරුණේම මහ අමුතුවට.ප්‍රබෝධ හරි ලහිරු හරි ආවම කොච්චර කම්ෆටබල්ද? මට අද නම් එපාම වුණා.”
සහස්ට ඕනෑවට වඩා නටන්නට ඉඩ දිය යුතු නොවේ. ඔහුට ඇති අකමැත්ත සෘජුව නොපවසනතාක් මේ ගැටළුවෙන් මිදීමක් නැති බව සඳරැස් දුලන්‍යාට පැවසී ය. දුලන්‍යා හිස වැනුවා ය. එය අසත්‍යයක් නොවේ.කිසිම බයක් සැකක් නැතිව කොල්ලෙකුට මල් පොකුරක් ඔසවාගෙන ගෙදරටම එන්නට ඉඩ දීම තමන් කරගත් අනුවණකමකි.
“මට අම්මයි අක්කයි ගැනනම් බයක් තිබ්බේ නෑ. ඒත් මට අයියලාට කේන්ති යයි කියලා බය හිතුණා.”
දුලන්‍යා වචන ගලපන්නී ය.ඇයට සැබෑවටම බියක් තිබුණේ වෙන කිසිවක් ගැන නොවේ. කිසිවක්ම ගැන නොවේ!! අයියාට මේවා ඉතා සුළු සිදුවීම් ය. නමුත් සඳරැස් කෝප ගන්නටත් ඇය සමඟ උරණ වන්නටත් පෙර සහස්ව නිවසින් යවා ගන්නට හැකි වීමම ජයග්‍රහණයකි.
“ඔය ප්‍රශ්නෙ ඉවර කරගන්න බලමුකො අපි.”
සඳරැස් එසේ කියමින් කාමරයෙන් එළියට යන්නට ගියේ ය. ප්රශ්නය ඉවර කරගන්නට ඕනෑ දුලන්‍යා සමඟ නොවේ. අඳුරේ අතපත ගාන්නට නොයා අක්කා සමඟ මේ ගැන කතා කරන්නට ඔහු තීරණය කළේ ය.
“අද මෙහෙ ආවේ කවුද කියලා අක්කා දන්නවද?”
සඳරැස් ඇසුවේ තොටිල්ලේ සුවසේ නිදාසිටින බිළිඳියගේ අත් ගොබය මෘදුව පිරිමදිමිනි. මාමලාට මහපටැඟිල්ලට කිරි එරෙන කතාවක් ජනප්‍රවාදය කියන්නේ ඇයිදැයි දැන් ඔහුට ඕනෑවටත් වඩා වැටහේ. මේ කුඩා ලෝකය දෙදරන යමක් විජේවර්ධනලාට කරන්නට ඉඩ දිය යුතු නොවේ.
“චූටි පස්සෙන් එන කොල්ලෙක්”
තාරකා කියන්නේ දෑස් සඟවා ගන්නා ගමන් ය. මල්ලීට බොරු පැවසීම පහසු නොවේ. ඒ හන්දාම ඇය කතා කළේ ඉවත බලා ගනිමිනි.
“උගෙ නම සහස් විජේවර්ධන. මගේ රූපෙම තියන විජේවර්ධන කෙනෙක් ගැන මොනවද අක්කා හංගන්න තියෙන්නෙ”
සහස් කියන්නේ තදිනි. තාරකාට හැඬෙන්නට ආ නමුත් ඇය හැඬුම සඟවා ගන්නට තීරණය කළා ය. සැබෑවටම හඬා පලක් නොවේ. ඉවසීමෙන් මේවාට මුහුණ දිය යුතු වේ.
“අර මල් පොකුරත් ඕකගෙ වැඩක්. මේකත් ගේන්න ඇත්තේ ඒක මතක් කරන්න.”
සහස් අහක යන නයෙකු ද බෙල්ලේ ඔතා ගත්තේ එහෙම ය. සඳරැස්ගේ තර්කයට පදනමක් ඇති හන්දා තාරකා කලබල වූවා ය.
“ඔයා කියන්නේ මේවට චූටි නංගිත් සම්බන්ධයිද?”
සමහරවිට සහස් අම්මා ගැන පවසා නංගිව රවටා ගන්නට ද ඉඩ තිබේ. ඒ හැරෙන්නට කැත කුමන්ත්රණවලට දායක වන නරක හදවතක් නම් දුලන්‍යාට නොවේ.
“ඒකි මේ මොකුත් දන් නෑ. සහස්ගේ බලහත්කාර ආදරයක් හින්දා ඒ ළමයා අවුලින් ඉන්නවා විතරයි”
ඊළඟ කඩයිම් ප්රශ්නය නඟන්නට තිබුණේ තාරකාට ය. එය නොඅසාම බැරි ප්රශ්නයකි. සහස් විජේවර්ධන සඳරැස්ගේ ජීවිතයේ වටිනාම ගැහැනිය පැහැරගත් හන්දා ඔහු කෝපයෙන් නම් එහි වරදක් නොවේ. නමුත් සහස් සඳරැස්ගේ අයිති නොවූ වටිනා දෙයකට ඇහැ ගහන තරහක් ඔහු පෙළන බව තාරකාට වැටහේ.
“මල්ලි, ඔයාගෙ හිතේ චූටි ගැන මොකුත් අදහසක් තියනවද?”
සඳරැස් උඩබිම බැලී ය. ඉතා අසංවර ලෙස පවත්වාගෙන ගිය ආදර කතා ගැන පවා ඔහු අක්කාට කියා තිබේ. නමුත් ඔහු මෙතැනදී නිරුත්තර ය.