හොඳටෝම අත රිදෙන නිසා බත් කන්නට නොහැකි බව පවසා පීසා ගෙන්වා ගත් යුවතියට එකම එක පීසා කැබැල්ලක්වත් කන්නට හැකි වූයේ නැත. සුරංගනා කතාවල කුමරියන් හාද්දකට පසු දීර්ඝ නිද්‍රාවකින් අවදි වේ. එහෙත් දුලන්‍යා වහා යහනේ ගුලි වූවා ය. ඒ බලහත්කාරයෙන් ලැබුණු හාද්දක් නොවේ. ඇය ඇගේ ආදරය සෑහෙන කාලයක් තිස්සේ ඔහුට හැඟෙව්වා ය. දැන් ඔහු එය පිළිගෙන තිබේ. නමුත් ආදරය මේ තරමට බරැති බව දුලන්‍යාට වැටහෙන්නේ දැන් ය.
ප්‍රේමය ඕනෑම තැනෙක තිබෙන්නට හැකි බව ද එය මුණ ගැසෙන්නේ අහම්බකාරකයක් ලෙස බව ද හඳුනා ගත්තේ දෙතොල් ලිහෙමින් පිපෙන සිනාවක පැටලෙද්දී බවද ඇසක කිමිදෙන්නට හැකි වෙද්දී බව ද සිතා සිටි දුලන්‍යා දැන් එය එසේ නොවන බව දන්නී ය. ඔහු ආදරය කම්මුලක සටහන් කර අවසන් ය. සමහරවිට ඒ ජීවිතයේ ප්‍රථම සහ එකම හාදුව පවා වන්නට හැකි බව ඇය සිතුවා ය. සහස්ගේ ආගමනය හන්දා කෝපයට පත් සඳරැස් මේ ප්‍රේමය පළ කිරීම කරන්නට ඇත්තේ ඒ හන්දා නම් මේ ආදරය සදාකාලිකදැයි ඇය නොදන්නී ය.
අලුත් ආදරවන්තියකට ආශිර්වාද කරන්නට මෙන් කවුළුවෙන් එපිට වැසි වසිමින් තිබිණ. ප්‍රේමය මන්මත් හැඟීමක පැටලේ.ප්‍රේමය දරා සිටීමකි. බලා සිටීමකි. වෙන් වීමකි. පරිත්‍යාගයකි.
නැත!!
ප්‍රේමය මත් වීමකි.ඒ මත් වීම කදුළු අමතක කර හිනැහෙන්නට හේතුවක් බව දුලන්‍යා සිතුවා ය.
කාමරයේ දොර වසා දැමූ දුලන්‍යා නොඉවසිල්ලෙන් සහ නොසන්සුන්
එහෙත් අප්‍රමාණ සැනසීමකින් නින්දට වැටුණා ය. මේ ඔහු ගැනම සිහින දකින්නට ඕනෑ රාත්‍රියකි.
“මං ඔයාට ආදරේ දුලාජ් අයියා වගේ නම් නෙවෙයි.”
එහෙම කතාවක් නොපවසා ඒ ආදරයේ තරම කියන්නට ඔහුට හැකි වූවානම් මේ ප්‍රේමයට මීට වඩා බරක් ඇති බව ඇයට සිතේ. ආදරය ගැන මීට වඩා මිහිරිව කියන්නට ඔහුට තිබිණ.එසේ නම් එය මීටවඩා සුන්දර අත්දැකීමකි.එහෙත් ඔහු ආදරය බව කියා අවසන් ය! දුලන්‍යා අහේතුකව වැටෙන කඳුලකට හේතුව ගැන සිතුවා ය. ආදරය කියන්නේ කඳුලක්දැයි ඈ නොදනී. නමුත් ඇයට අඬන්නට ඕනෑ විය.
“කෙල්ල නිදාගෙන නිසා බලන්න ගියේ. සහලෝලා උණනෙ දුලාජ්.”
වර්ෂාව හන්දා විදුලි බලය ඇණ හිට ඇති මොහොතක තාරකාගේ හඬ ඇසුණු සඳරැස් වහා කාමරයෙන් පිටතට ආවේ ය. කුඩා සූකිරි අසනීපයෙන්නම් රෝහලකට යා යුතු වේ.
“නංගිට උණ. අපි හිනා වුණාට අත අමාරුත් ඇති අනේ.”
තාරකා නැවත පවසයි. නිවසේ හුරතල් කෙල්ලන් දෙදෙනෙකු වන බව ඇයටද සිහි වන්නට ඇතැයි සඳරැස්ට සිතිණ. දුලාජ් වහා නංගී වෙත ගියේ ය. ඔහු එහෙම අයියා කෙනෙකි. ඔහුට තවමත් දුලන්‍යා ළදැරියක ගාන ය. ඇය උණ ගත්තේ හාද්දටදැයි සඳරැස්ට සිතේ. කුඩා සිප ගැනීමක් උණ ගන්නට හේතුවක්දැයි අසා වාක්‍යයේ ඉතිරි අඩ සම්පූර්ණ කරන්නට තරම් ඇය පැහුණු කෙල්ලක නොවන වග ඔහු අනතුරුව සිතී ය.
“ස්කෑන්වල අවුලක් තිබ්බේ නෑනෙ. යන්තම් හීරුණත් බය වෙන කෝලමනෙ. ඔය බයට. යස දොස්තර නෝනා.”
දුලාජ් නැවත ආවේ එසේ කියමිනි. ඔහු පීසා පෙට්ටිය රැගෙන විත් කෑම මේසය මත තැබී ය. ඒ ඇය කෑල්ලක්වත් කා නැතැයි කියන අතරේ ය.
“නංගි ඔයා එක්ක වගේම සඳරැස් පුතා එක්කත් හුරතල් වෙන්න තියාගෙනනෙ ලොකූ. කන්න බෑ කියලා පුතා ලවා පීසා ගෙන්නනකම් මං දන්නෑ. බලන්නකො දැන් කාලත් නෑ.”
අම්මා එහෙම කියද්දී දුලාජ් මස්සිනා වෙත විමසුම් බැල්මක් හෙළී ය. ඔහු මත් වී නිවසට ආ දවසක් මතකයේ නැති තරම් ය. ඔහු ඕනෑවට වඩා හොඳ කොල්ලෙකු වෙමින් සිටින බව දුලාජ්ට සිතේ.
හරියට බලද්දී එය ද ගැටළුවකි.
“මම තව ටිකකින් ඇහැරවලා මිල්ක් කොෆී එකක් හදලම කන්න දෙන්නං.ඔයාලා රෑට කන්නකො. කරන්‍ට් එනපාටක් නෑ”
සියවෙනි වතාවටත් විදුලි බල මණ්ඩලය අමතන සඳරැස්ටත් දුලාජ්ටත් තාරකා එසේ පැවසුවා ය. මල්ලීත් සැමියාත් කන තුරුම ආහාර නොගත් දවස් අයත් අතීතයට ය.දැන් තාරකා කිරි දෙන අම්මා කෙනෙකි.ඇය ආහාර ගන්නා වෙලාවන් ගැන වද වන්නේ ඇගේ ආදරණීය නැන්දම්මා ය.සඳරැස්ට කෑම කන්නටවත් හිතක් නැත. ඇය බඩගින්නේ ය.ආදරය දුලන්‍යාට මෙපමණ වේදනාවක් සහ බියක් ගෙන එන්නක්දැයි ඔහුට සිතේ.
“අර අද ඇවිත් ගිය කොල්ලා ගැන ටිකක් හොයලා බලන්න පුතේ. නංගි ඔහොම ඒවට බයයි. ඒ ළමයා එක්ක මෙලෝ සම්බන්ධයක් නෑ කියලා මට කීප පාරක්ම කිව්වා.”
අම්මා එසේ කියද්දී දුලාජ් හිස වැනී ය. ඒ කතාව පුතාලා දෙන්නාටම බව අම්මා යළි කියද්දී සඳරැස් කළේ හිනැහීම ය.
“මං නංගිව හැමදාම කැම්පස් එක ගාවට දාන්නං”
දුලාජ් එසේ පිළිණ දීම සඳරැස්ට දුකකි. දුලන්‍යාගේ සුවඳ උදෑසනම මෝටර් රථයේ දැවටීම තරමට සතුටක් නොවේ. නමුත් දුක වැඩි වෙලාවක් තිබුණේ ද නැත.
“මල්ලි. හවසට එයාව ගන්න බලන්න. මං ඔයාට වඩා රෑ වෙනවනෙ. අඩුම තරමේ ඔය කොල්ලගෙ කරදරේ ඉවර වෙලා හොඳ කොල්ලෙක් එයා බාර ගන්නකම් අපි එයා බලා ගමු.”
වෙන හොඳ කොල්ලන් ඕනෑ නැත. ඈ ඔහුගේ ය. එසේ කියන්නට සිතුණත් සඳරැස් නිශ්ශබ්ද වූයේ ය.ඔහුට ඇය දකින්නට ඕනෑ ය. හිස අත ගා අමාරුදැයි අසන්නට ඕනෑ ය. ඉතා දුර හිඳින පෙම්වතියකට ආදරය කරන්නට බොහෝ අසීරු බව කියමින් නාහෙන් අඬන මිතුරන් ඔහුට ඕනෑතරම් වේ.
නමුත් වඩා අසීරු එකම වහලක් යට හිඳ ආදරය කිරීම බව ඔහු සිතී ය.එය ලෙහෙසි වැඩක් නොවේ.