යාලිනී

අයියා දැම්ම  එන්නේ නැති වෙයිද නැන්දේ….
මං එහෙම ඇහුවේ  නැන්දාගේ තඩි බලලා බලල ඉවරයක් නැති හින්දා .
දැන් එයි  බං… යන  දිහාවක් මට කියලා ගියේ නැහැ …මොනවටද උඹ දැන් ඔය ආපු වෙලේ ඉදන් ඌව හොයන්නේ …

දැන් වැඩක් නෑ…. දැන් මම ගෙදර යන්න  යන්නේ ….

එහෙම කියපු මම තඩි පනාව නැන්දාගේ අතට දීලා නැගිටලා යන්න යනකොට නැන්දා මගේ දිහා බලාගෙන හිටියේ මොන යකෙක් වැහිලද යකෝ මේකිට කියනව වගේ මුනකින්.. …

පාර දිගේ බාගයක් දුර මම එනකොට හිත හිර කරගෙන යනවා වගේ තේරුනා … මිහිර අයියව හම්බ වෙන්න දැං මං දවස් කීයක් ගෙදරට ගියාද ..ඇයි එයාට මගේ මූන බලන්න ඕනේ නැත්තෙ …හැමදාම හැන්දෑවට කොහේ හරි ගිහිල්ලා …

ඇවැස්ස මස්සිනා…. බලන්න තේරුම කියන්න ….
එහෙම කියලා  සිංහල ටීචර් පන්තියේ අහනකොට ළමයි හැමෝම මං දිහා බලලා හිනා උනා .ළමයි එහෙම හිනා වෙන්නෙ ඇයි කියලා ටීචර් දන්නවා .
ඒ උනාට හේතුව නොදන්නවා වගේ ටීචර් ළමයින්ට කෑගහනවා හිනා වෙන්න එපා කියලා .

ඇවැස්ස කියන එකේ තේරුම අවශ්‍ය කියන එකයි .අවශ්‍ය මස්සිනා …..ඇයි අවශ්‍ය මස්සිනා කියලා කියන්නේ…මස්සිනා වෙන්නේ  තාත්තාගේ ගැහැණු සහෝදරියන්ගෙ   ළමයි වගේම අම්මගේ පිරිමි සහෝදරයන්ගෙ ලමයි… තේරුණාද ?? පිරිමි සහෝදරයෝ මස්සිනා වෙනවා ගැහැණු සහෝදරියෝ එතකොට නෑනලා වෙනවා… ළමයි  ආපහු මන් දිහා බලලා හිනාවුනා . ඇවැස්ස මස්සිනා නැත්තං අවශ්‍ය මස්සිනා කියලා ඇයි සාහිත්‍යයේදී හඳුන්වන්නේ …පලවෙනි හේතුව ඉස්සර කාලයේ තිබුණු නෑනා මස්සිනා විවාහය ,දෙවැනි හේතුව මාමාගේ හෝ නැන්දගේ මරණය වෙලාවෙදි ඒ දෙනට  ගිනි තියන්න ඕනේ  නෑදෑකමින් මස්සිනා වෙන කෙනෙකුයි . මස්සිනා කෙනෙක් කිව්වට තමන්ගෙ  සහෝදරියක්  විවාහ වෙච්ච කෙනෙක් නෙමෙයි.ඒ මස්සිනා කම ලේ ඥාති කමින් පැවතෙන්න ඕනේ ..
ආපහු සැරයක් පන්තියෙ ළමයි මන් දිහා බලලා හිනා උනා .

මිහිර අයියා …. මගේ අම්මගේ ලොකු සහෝදරයගෙ පුතා .පොඩි කාලේ ඉඳලම නෑදෑයො  අපි දෙන්නට විහිළු කලා .ඒ වෙලාවට මිහිර අයියට නම් හරියට තරහ ගියා .මට තරහ යන්න තරම් තේරුමක් තිබුණෙ නෑ .නෑදෑයෝ  අපිව ජෝඩු කළා කියලා තේරෙන වයසට එනකොට මිහිර අයියා  මට වඩා ගොඩක් ඈතට ගිහින් තිබුණා .එයා එයාගෙ වයස ම පන්තියේ ළමයෙකුට ආදරේ කරන්න පටන් අරන් තිබුණා .උසස් පෙළ ඉවර වෙලා ගෙදර නිකන් උන්නු දවස්වල මං හරි ආසයි නැන්දලාගේ ගෙදර යන්න. අයියගෙ කාමරේ ජනේලයෙන්  පේන්නේ හරි ලස්සන රබර් වත්තක් .ඒ රබර් වත්තෙ කොළ හැලිලා දළු දාන කාලෙට හරි ලස්සනයි .එක දවසක් එයා මගේ කොන්ඩෙන් ඇදල හිනාවුණා .

යාලිනි….. ඔයාට තරහ ගියාම අර රබර් ගස්වල දලු  වගේ මූන කොළ පාට වෙනවා ….තරහ ගියපු මූන  දැකලා නැත්තං මේ ජනේලයෙන් අර රබර් ගස් ටික බලපං …
එහෙම කියපු මිහිර අයියා ජනේලයෙන් මට එළිය පෙන්නනවා .හැමදාම දැකලා තියෙන රබර් දලු එදාමයි මම දකින්නේ වගේ ඒක බලන්න මම ජනේලය ළඟට යනවා .ජනෙල් කූරු දෙකකට මගේ නලල හිරවෙන්න මිහිර අයියා පිටිපස්සෙන් ඔලුව හිර කරනවා .
ආආව්ව්….. මම කෑගහනව …

කෑගහන්න එපා මොට්ටියේ….ගෑනියෙක් උනහම ඔලුව ඔයිට වැඩිය හයියට තියා ගන්න ඕනේ ….. එහෙම කියපු මිහිර අයියා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

යාලිනි…..දන්නවද යාලිනි  කියන්නේ කාටද කියලා …

මං දෙපැත්තට ඔළුව වැනුවේ තේරුම දැන ගන්නවට වඩා උණුසුම් හාදුවක් බලාපොරොත්තුවෙන් .ඒක එහෙම නැහැයි කියලා හිත උඩින් කිව්වත් ඒක එහෙම තමයි කියලා හිත යටින් කෑ ගැහුවා .

යාලිනි….. මහා කලුවර ඝන රාත්‍රිය…… ඔව් මෝඩියේ බස්සෝ හූ කියන ඝන රාත්‍රිය…..
එහෙම කියල මගේ මූණ දිහා බලාගෙන හිටපු මිහිර අයියා හයියෙන් හිනා උනා. උණුසුම් හාදුව රබර් වත්තේ දලු උඩින් ගහගෙන ගියා .

දවසක්  නැන්දා අපේ ගෙදරට ආවෙ මාව හොයාගෙන මයි.

යාලිනි …..මේ බලපං අපේ කොල්ලගෙ සාක්කුවෙ තිබිලා හම්බ වෙච්ච දේවල්…
එහෙම කියලා එයා මගේ අතේ තිබ්බේ මිහිර අයියා යාළුවෙලා හිටපු ගෑනු ළමයා දීපු ලියුම් දෙක තුනක්.මට ඒවා කියවන්න හිතුනෙ නෑ..
ඔන්න බලපන්කෝ… අපේ කොල්ලගෙ වැඩ..
එහෙම කියල නැන්දා හිනා උනා .

අපි හිතන් ඉන්නේ තාමත් උන් පොඩි එවුන් කියලා…ඒ උනාට උන් දීගෙක යන වයසක ටත් ඇවිල්ලා …උඹ  ඇත්ත කියපං පුතේ….  අපේ කොල්ල යාලු කෙල්ල ගැන විස්තරයක් දන්නවා ද…..ඒ ළමයා හොඳද නරකද කියන්න උඹ දන්නේ නැද්ද …

සාගරිකා ගැන මම දන්නවා .සාගරිකා  හොඳද නැද්ද කියන්න මම දන්නේ නැහැ .ඒත් මිහිර අයියා  එයාට කැමති හින්දනේ  කැමති වෙලා තියෙන්නේ.

සාගරිකා….. මම දන්නවා නැන්දේ..අයියට හොඳ නිසානේ සාගරිකා එක්ක යාලු වෙලා තියෙන්නෙ…සාගරිකත් අයියා  වගේම ඉගෙන ගන්න දක්ෂයි……
එහෙම කියපු මම හිනා උනා .හම්මෝ…. ඇති යන්තම්…හොඳ කෙල්ලෙක් නම් එච්චරයි..එහෙම කියපු නැන්දත් හිනා උනා..නැන්දා ගියාට පස්සේ මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කොණ්ඩෙ පීරුවා.අතුගාපු ගේ ආපහු වේගෙන් අතුගෑවා.වැටිලා තිබුණ පොල් අතු සේරම ටික එකතු කළා. ඒව සේරම ටික රැහැලා දර මඩුවේ අඩුක් කළා .

මොකද කෙල්ලේ අද වෙලා තියෙන්නේ….
එහෙම කියලා අම්මා හිනාවුණා.
වරු ගානක් ළිඳ ගාව මම නෑවා..ඇයි ඇයි මට මේ මොකක්ද වෙලා තියෙන්නේ..වචනයක්වත් නොකියපු මම එක කඳුලක් වත්බිම හෙලුවේ ත් නෑ ..
එතකොට මිහිර අයියා රස්සාවට ගියපු අලුත .මගේ උසස් පෙළ විභාගයත් ඉවර වෙලා තිබිච්ච හින්දා ඒ ළඟපාත පැත්තේ  ෆැක්ට්‍රි එකක ලිපිකරු  වැඩකට  මම ගියා. මිහිර රස්සාව කළේ නුවර හින්දා අපි වැඩිය හම්බුනේ නෑ..හිතේ හිර වෙච්ච ඉඳිකටු වේදනාව  මලකඩ කකා මල කඩ කකා ඔහේ තිබුණා. කාලය හැමදේම දරාගන්න පුරුදු කරලා තිබුණා  .රන්සිළු හම්බුනේ මට ඒ කාලෙදි…පුදුමාකාර ඉවසීමක් තිබිච්ච සංවේදී මනුස්ස හිතක්..
රන්සිළු මගේ හිතේ තිබිච්ච වේදනාව  තනිකම තේරුම් ගත්ත  මහා අපූරු මනුස්සයෙක් වුණා .

හදිසියේම මගේ තාත්තා නැතිවෙනකොට මමයි අම්මයි හරිම අසරණ වුණා.කල් යල් බලලා කියන්න හිටපු රන්සිළු ගෙයි මගෙයි සම්බන්ධය එකපාරටම කියන්න වුණා .මිහිර අයියයි මමයි එතකොට අවුරුද්දකින් විතර හම්බ වෙලා තිබුණෙ නැහැ .තාත්තගේ මළගේ දවසේ රෑ මිහිර අයියා මල ගෙදර ආවා.සාගරිකා ත් ආවා .මාව දැකපු මිහිර අයියා
අම්මෝ….. දැක්ක කල්…

කියලා කිව්වා …මට හිනා වෙන්න තරම් හිතක් තිබුනෙ නැහැ.

මෙච්චර දවසක්  අමතක වෙලා උන්නා කියලා හිතුවද …….

කියලා මිහිර අයියා මගෙන්  ඇහුවෙ බොහොම හිමින්…

අමතක වෙච්ච එක ඉවසගන්න පුළුවන් … අවාරේ ආපහු   හම්බෙන එකයි ඉවසගන්න බැරි ……
මම එහෙම කියලා කිව්වත් ඒක එයාට හරියට ඇහුනෙ නෑ …
මොකක්ද …..
කියලා ආපහු මිහිර අයියා මගෙන් ඇහුවා ත් එතනට රන්සිළු ආපු හින්දා  මං රන්සිළුව එයාට අඳුන්වලා දීලා ඇතුලට ගියා . ඊට මාස හතරකට පහකට පස්සේ මිහිර අයියාගේ මගුල් ගෙදර තිබුන.රන්සිළු යි මමයි දෙන්නම මගුල් ගෙදරට ගියා .එතකොට රන්සිළු මිහිර අයියගෙ සෑහෙන්න හොඳ යහළුවෙක් වෙලා හිටපු හින්දා එයාටත් මිහිර අයියා  මගුල් ගෙදරට  ආරාධනා කළා. රන්සිළු ගේ  ෂර්ට් එකේ   පාටටම  ගැලපෙන සාරිය  තෝරලා අරගෙන ඇදගෙන මම ගියා ..හැමෝම ලස්සනයි කිව්වා.මිහිර අයියාගේ  මනමාලි සාගරිකා එදා හරි ලස්සනට හිටියා.ඒ උනාට මටනම් සාගරිකාව  ඒ තරම් ලස්සන කට පෙනුනේ නැහැ .මගේ හිත යටින් මට කිව්වා මම තාමත් මිහිර අයියා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න හින්දා සාගරිකාව  කැතට පේනවා කියලා .
රන්සිළුව මතක් වෙන හැම  වාරයකදීම මට මිහිර අයියව අමතක කරන්න ලේසි වුනා.
අපි දෙන්න ළඟට ආපු මිහිර අයියා කොහොමද මචං කියලා රන්සිළු ගේ  උරපත්ත ට අත තියලා කතා කළත් ඒ වචන වල ඒ කටහඬේ ලෙන්ගතු කමක් තිබුණෙ නැහැයි කියලා ජීවිතේ මට පලවෙනි වතාවට හිතුනා. එයාගෙ ඇස්වල කවදාවත් නැති අමුතු ඉරිසියාවක් තියෙනවා කියලා මට හිතුනා.
මිහිර අයියා සාගරිකා බැඳලා රට ගියා .ඒ ගිහිල්ලා මාසෙකට දෙතුන් වතාවක් මිහිර අයිය මට කතා කළා .මගේ හිතේ තිබුණු කැමැත්ත මම එයාට වචනයෙන් නොකියපු එක කොයි තරම් හොඳද කියල මට හිතුනා .හිතේ ඉපදුනු ආදරය හිතේ ම යට කරගෙන ඉන්න තරම් මම ශක්තිමත් ගැහැනිය කියලා මට සන්තෝස හිතුණා .
උඹ රෑ වෙනකම් කාත් එක්කද ඔය ෆෝන් එකේ ඔන්ලයින් ඉන්නේ….. හිටපං මම රන්සිළු ට කියන්නම්…..
එහෙම කියලා මිහිර අයියා මට සමහර දවස් වලට බනිනවා .ඇත්තටම ඒ බැනුම් වල තිබුනෙ යාළුකමක් ද නැත්නම්  අයිතිකර ගන්න බැරිවෙච්ච තරහක් ද කියන එක මම අදටත් හිතන දෙයක් .ඒ අතරෙ තමයි මිහිර අයියා මට කිව්වේ සාගරිකා එයයි අතරේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පටන් අරන් කියලා .එතකොට මම රන්සිළු ව කසාද බැඳලා යි උන්නේ . මිහිර අයියාගේ ජීවිතේ වේදනාවක්  වෙයි කියලා මගේ හිතේ ලොකු බයක් ඇති වුණා .රන්සිළු ට කියන්නෙත් නැතුව මම සාගරිකා ව හම්බ වෙන්න ගියා .ඒ දෙන්නගෙ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනවට මම මුලින්ම සමාව ඉල්ලුවා .පැය දෙක තුනක්   මම සාගරිකා ට තේරුම් කරල දෙන්න උත්සාහ කළා මිහිර කියන්නේ හොඳ කෙනෙක් කියලා .මගේ කතාව වචනයක්වත් කතා නොකර අහගෙන හිටපු සාගරිකා  මිහිර අයියා ඉන්න රටට යන්න කැමැති වුණා .මිහිර අයියා ඊට දවසකට පස්සේ කතා කරලා මට ස්තුති කළා සාගරිකාට කතා කරලා කැමති කරල දුන්නට.ඒත් ඊට පස්සේ කවදාවත් සාගරිකා මගේ මූණ බලල කතා කළේ නැහැ .පස්සේ දවසක මිහිර අයියා මට කිව්වා සාගරිකා එයා ඉන්න රටට ආවත්  යාලිනි කොහොමද ඔයාගේ හොඳ ඔය තරම් දන්නෙ කියලා නිතර දෙවේලේ එයත් එක්ක රණ්ඩු කරනවා කියලා .

රිදවන තරමට
විදවන හිත තුල
සෙනෙහස පීදෙන
හැටි නොදැනේ
දෑගිලි නොබැදුනු
හිත් සමවෙනවා
නොකියූ තරමට
එය මිහිරියි ……

මටත් නොදනිම අතට අහුවෙච්ච පෑනකින් මම මේස රෙද්දේ කුරුටු ගාලා තිබුණා . 

More Stories

Don't Miss


Latest Articles