ආරාධ්‍යා, විහාරාගේ මේසය මත වූ පොත් පත් එකින් එක ගෙන පෙරළා බැලුවේ අරමුණකින් නොවේ. ඇය විසින් අඳින ලද නොයෙක් සටහන් සහිත කඩදාසි රැසක් ලිපි ගොනුවක් තුළ දමා තිබුණ අතර, ඒවායේ දිනය ද සටහන් කර තිබිණ.
ඔබ නැතිව ගියේ මටමයි – මේ රටට නොවේ
මහ පොළවට මිස මිනිස්කමට
පෙම් නොකරන රටට නොවේ
නැගිටින්න එපා… නැගිට කොහේ යන්නද අපි…
පාලු පාරක ඇවිද යන යුවතියකගේ චිත්‍රයට යටින් විහාරා ලියා තිබිණ. එය ගීතයක කොටසක් බව ආරාධ්‍යාට සිහියට නැගිණ. විහාරාගේ අත් අකුරු මුතු ඇට මෙන් සුන්දර නොවේදැයි ආරාධ්‍යා කල්පනා කළාය. මලීෂ මෙන්ම ඇය ද විවිධාකාර වූ හැකියාවන්ගෙන් යුක්ත වූ අයෙකි. පාසල් යන සමයේදී ඇය වර්ෂාවසාන විවිධ ප්‍රසංග වලදී නාට්‍ය වල චරිත රඟ දැක්වූවාය. ගීත ගායනා කළාය. සුහේල් ඇයට මුණ ගැසී තිබුණේද එවන් එක් නාට්‍යයකට සංගීතය සපයන්නට පාසලට පැමිණි ගමනකදීය. ඔහු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනිද්දී ඇය වයස දහ හතක, දහඅටක පමණ වියක පසු වුවද, ඇය තුළ වූ සතුට දකිද්දී විහාරාට අඩුම තරමේ අවවාදයක් දෙන්නට තරම්වත් නොසිතිණ.
“හරි.”
යමක් සිහිපත් වූ ආරාධ්‍යා තමාටම පවසා ගත්තාය.
“රංජනී පෙන්නපු ගවුමත් එහෙම එකක් වෙන්න ඇති. හිතේ දුක නැති කර ගන්න නංගි නාට්‍යයක චරිතයක් පුහුණු වෙනවා වෙන්න බැරිද?”
ආරාධ්‍යාගේ සිතට සැනසීමක් දැනිණ.
“එහෙම එකක් නම් කොච්චර හොඳද?”
ආරාධ්‍යා සිතිවිල්ලේම පොත් අතර වූ දිනපොතක් අතට ගත්තාය. කෙනෙකුගේ දිනපොතක් කියවා බැලීම සදාචාරසම්පන්න නොවුව ද, විහාරා එහි තම ජීවිතයේ යම් යම් සිදුවීම් සටහන් කර ඇත්දැයි සොයා බලන්නට ඇයට සිත් විය. එය වසර දෙකකට පමණ පෙර දිනපොතකි. දිනපොත පෙරලත්ම ඇය එහි දුටුවේ පැන්සලෙන් අඳින ලද විහාරාගේ සහ සුහේල්ගේ රූපයකි. එයට යටින් දිනය ද, විහාරාගේ අත්සන ද යොදා තිබිණ. හිස මුදුනට වන්නට බඳින ලද කොණ්ඩයක් සහිතව ඇය සුහේල් ඇඳ තිබූ අතර, ඔහු සිනමා නළුවකු මෙන් මනා කඩවසම් රූපයකින් යුක්ත විය.
ආරාධ්‍යා සෙමෙන් සෙමෙන් දිනපොතෙහි පිටු පෙරලන්නට වූවාය.
“ජීවිතේ කොච්චර සුන්දරද?”
දිනපොතෙහි එක් පිටුවක විහාරා ලියා තිබිණ.
“අද මට සුහේල් හමු වුනා. අපි දෙන්නා අද ෆිල්ම් එකක් බලන්න යන්න කතා වෙලා හිටියත් අන්තිමේදි අපි තීරණය කරේ බීච් එකට යන්න. අපේ ගෙදර තියෙන්නෙත් මුහුද කිට්ටුව කියලා මම කිව්වම සුහේල් හිනා වුනා. මුහුද කිට්ටුව ඉන්න නිසා ඔයාට මුහුද ගැන ආදරයක් නැතිව ඇති. දෙවේලෙ දකින කුකුළගෙ කරමලෙත් පේන්නෙ සුදු පාටටලුනෙ කියලා සුහේල් කිව්වා. දවස පුරාම දැක්කත් මම ආදරෙයි කියලා කිව්වම එයා ඇස් දෙක පුංචි කරලා හිනාවුනා. මටද කියලා. ඇත්තටම මම සුහේල්ට ආදරෙයි. ඒ ආදරේ මෙච්චරයි කියන්න මම දන්නෙ නෑ. ඒ වුනාට මගේ මුලු හිතම පිරිලා තියෙන්නෙ සුහේල් ගැන සුන්දර සිතිවිලි වලින්.”
ආරාධ්‍යා විහාරා විසින් ලියන ලද සටහන කියවන්නට වූවාය.
“අපි මුහුදු වෙරළෙ වාඩි වෙලා හිටියා. මම වැලි වලින් මාළිගාවක් හැදුවා. සුහේල් සිප්පි කටු එකතු කරලා ඒ මාළිගාව ලස්සන කළා. අනේ ඒත් එකපාරටම ආව රළ ගෙඩියක් අපේ මාළිගාව සුනු විසුනු කරලා දැම්මා.
“අයියෝ…”
මම කිව්වෙ දුකෙන්.
“අපේ මාළිගාව විනාශ වුනා සුහේල්.”
“වැලි වලින් හදන මාළිගා එහෙම තමයි. අපි බාහිර බලවේග වලට කඩා දාන්න බැරි ශක්තිමත් මාළිගාවක් හදන්න ඕන විහාරා.”
සුහේල් කිව්වා.
“අහසෙද?”
මං ඇහුවෙ විහිලුවට.
”ඔයා එක්ක යාලු වෙන්න කලින් නම් අහසෙ මාළිගා හැදුවා. දැන්නම් මම හිතන්නෙ මහ පොළවෙ මාළිගාවක් හදන්න. ඒත් ප්‍රශ්නයක් තියෙනවා විහාරා.”
“ඒ මොකක්ද?”
කතා කර කරම ආයෙත් ටිකක් එහායින් වැලි මාළිගාවක් හදන්න පටන් ගත්ත මම ඇහුවා.
“ඔයාගෙ ගෙදරින් අපි දෙන්නා ගැන දැනගත්තොත් ප්‍රශ්නයක් වේවි.”
“ඇයි?”
“මම සල්ලිකාරයෙක් නෙමෙයි. අහිංසක කලාකාරයෙක් විතරයි. මගේ අම්මයි, අප්පච්චියි ගොඩක් අසරණයි.”
මම කතා නැතිව බලා හිටියා. කියන්න දේවල් මහ ගොඩක් හිතට ආවත් ඒ කිසිම දෙයක් කියන්න මට හිතුනෙ නෑ. මම සුහේල්ගෙ අතින් ඇදගෙන මුහුදු වෙරළේ ඈතට දිව්වා.
විහාරාගේ සටහන් නවකතාවක් තරමටම රසවත් නමුත් ආරාධ්‍යා දිනපොත වසා තැබුවාය.
“වෙන වෙලාවක කියවනවා. මේ සටහන් කියවද්දි මට දැනෙන්නෙ කියාගන්න බැරි දුකක්.”
දිනපොත නිසි ස්ථානයෙහි තැබූ ආරාධ්‍යා කාමරයෙන් පිට වූයේ විහාරා ගැන උපන් ශෝකයෙන් යුතුවය.
*
උසාවියේ සිට තමා සමගම කාර්යාලයට පැමිණියද මොනාලි කතා බහ කළේ වෙනදාට වඩා අඩු වචන සංඛ්‍යාවකි. වෙනත් දින වල උසාවියේ සිට කාර්යාලයට පැමිණෙන ගමනේදී තමා පෙනී සිටින නඩු පිළිබඳව කතා කරමින් යම් යම් උපදෙස් ලබා ගත්තද, අද ඇයට ඒ සියල්ල අමතක වූ සේය. නීතීඥ කාර්යාල පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිරියෙහි මෝටර් රථය නතර කිරීමත් සමගම මොනාලි කතා බහකින් තොරව ඉන් බැස කාර්යාලය දෙසට දිව ගියාය.
“පිස්සු.”
කවීන් තමාටම පවසා ගත්තේය.
“කිසිම අයිතියක් නැති දේකට අයිතිවාසිකම් කියන්න එයාට ඇති අයිතිය මොකක්ද?”
තම කාර්යාලයට යාම සඳහා පියගැට පෙළ නගින් කවීන් කල්පනා කළේය.
“මොනාලි මාව ආශ්‍රය කරන්නෙ මට ඇති ආදරේකට නෙමෙයි. වාසියට. ඔහොම ගියදෙන්. මං මොනවට එයාගෙ පස්සෙන් යනවද? මම තාත්තා කෙනෙක්.”
තමා තාත්තා කෙනෙක්ය යන අභිමානය කිසිදිනෙක නොවූ අයුරෙන් කවීන්ගේ සිතට දැනිණ. ආරාධ්‍යාගේ මුදු කටහඬ තම ජීවිතයේ වෙනසක් සිදු කර ඇතැයි ඔහු කල්පනා කළේය.
“සර්…”
කාර්යාලයට පිවිසි සැනින් අමර් නැගී සිටියේය.
“මොනාලි මැඩම් මටත් මුණ පුම්බගෙන මෙතනින් යන්න ගියා සර්. මුකුත් නමුත් ප්‍රශ්නයක්ද?”
“ඔව්. ප්‍රශ්නයක්.”
කවීන් සිනාසුනේය.
“හැබැයි මට නෙමෙයි එයාට. මං දැන් ගෙදර යනවා අමර්. තුනහමාරට විතර මගේ ක්ලයන්ට් කෙනෙක් ඒවි. මං කෝල් එකක් දීලා එයාට කියන්නම් අමර්ට ඩොකියුමන්ට්ස් ටික භාර දෙන්න කියලා.”
“හොඳමයි සර්.”
අමර් හිස සැලුවේය. කවීන් කාර්යාලයෙන් පිට වූයේ හැකි ඉක්මනින් නිවසට යාමේ උවමනාව ඇතිවය. මොනාලිගේ කාර්යාලය අසළින් යද්දී ඔහු පුරුද්දට මෙන් එදෙස හිස හරවා බැලුවේය. ජංගම දුරකතනයෙන් දීර්ඝ කතා බහක නිරතව සිටි ඇය තමා නොදුටුවාද, එසේත් නැත්නම් නොදුටුවා සේ සිටින්නේද යන්න සිතමින් ඔහු පියගැට පෙළ බසින්නට විය.
කවීන් නිවස බලා රිය පදවන්නට වූයේ කල්පනාවෙනි. වෙනත් දින වල නම් වේලාසනින් නිවසට යාම දඬුවමක් මෙනි. කලින් නිවසට ගිය ද සුහර්ෂා දිවා කාලයෙහි නිවසෙහි නොවූ හෙයින් නිවස පාලු හුදකලා තැනක් බවට පත්ව තිබිණ. දරුවන් පසුවන්නේ ඔවුන්ගේ ලෝක වලය. තම සිතට දැනෙන හුදකලාව සමනය කර ගැනීමේ අදහසින් ආලින්දයෙහි වූ තම සුපුරුදු පුටුව මත වැතිර ගීත ඇසීම හෝ නිදා ගැනීම හැර වෙනත් කළ යුතු දෙයක් නොවීය.
“සුහර්ෂාට වරදක් කියන්නත් බැහැ. ඔය විදියෙ ආයතනයක් පිහිටුවා ගන්න එකට වඩා අමාරුයි පවත්වාගෙන යන එක. ඒත් මගේ හිතට දැනෙන හුදකලා හැඟීම…?”
කවීන් දිගු සුසුමක් හෙලුවේය. පෞද්ගලික පන්තියකට සහභාගි වූ තරුණ දියණියක අතින් අල්ලාගෙන කහ ඉර හරහා ගමන් කරන පියෙකුගේ දසුන ඔහුගේ සිත කළඹාලන්නට සමත් විය. දියණිය පැවසු කිසිවකට සිනාසුණ පියාට යළිත් දියණිය දැක්වු ප්‍රතිචාරය දැක ගන්නට නොහැකි වූයේ කොළ එළිය දැල්වීමත් සමගම මෝටර් රථය ඉදිරියට ධාවනය කරන්නට සිදු වූ හෙයිනි.
“මගේ දරුවොත් එහෙම යන්න ආස ඇති. තුන්දෙනාම ඉස්කෝලෙට අරන් ගියේ මංවත් සුහර්ෂාවත් නෙමෙයි. ඩ්‍රයිවර්. දරුවන්ගෙ හිත් තේරුම් ගන්න මටවත් සුහර්ෂාටවත් බැරි වුනේ දරුවන්ගෙ අවාසනාවටමත් නෙමෙයි. අපේම අවාසනාවට. දැන් දරුවො අපි දිහා බලන්නෙ හරියට අපි තරහකාරයො කියලා හිතාගෙන. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.”
සිතිවිල්ලේ රිය පදවන කවීන්ගේ දෙනෙත් ‘බොම්බෙ ස්වීට්ස්’ යනුවෙන් සටහන් කර තිබූ පුවරුවක් වෙත යොමු විය. පාර අයිනට වන්නට රථය නතර කළ ඔහු ඉන් බැස ගත්තේය. ආරාධ්‍යා ද, විහාරා ද මේවා කෑමට රුචි කරනු ඇතැයි ජීවිතයේ ප්‍රථම වතාවට ඔහුට සිතිණ. සාප්පුව තුළ වු නා නා වර්ණ වල ඉන්දියානු රසකැවිලි වර්ග දෙනෙත් ඇද ගනියි. ගිතෙල් සහ රෝස් සිරප් මිශ්‍ර සුවඳ මෙවන් දෑ අලෙවි කරන ස්ථාන වලටම ආවේණික නොවේදැයි ඔහුට සිතිණ. වෙළඳ සේවකයාට රසකැවිලි වර්ග රැසක් පෙන්වා ඒවා පාර්සල් කර දෙන්නැයි පැවසූ ඔහු එයට මුදල් ගෙව්වේය. රසකැවිලි දුටු සැනින් ආරාධ්‍යාගේ මුහුණ සතුටෙන් විකසිත වන අයුරු ආපසු මෝටර් රථයට නැගී එය ධාවනය කරන ඔහුට මැවි මැවී පෙනිණ.
*
සුහර්ෂා තමා ඉදිරියෙහි සිටගෙන බිම බලා සිටි දිසාලා දෙස බලා සිටියාය. සිහින් සිරුරකින් යුත් ඇය බොහෝ රූමත් වුව ද, බියපත් බව විසින් ඇගේ රුව යටපත් කර තිබිණ.
“මැඩම්… මට එන්න කිව්වෙ?”
බොහෝ වේලාවක් බලා සිටි දිසාලා සුහර්ෂාගෙන් ප්‍රශ්න කළේ සැක සිතින් යුතුවය. තමා අතින් කිසියම් වරදක් සිදු වී ඇති බව තේරුම් ගිය ද, එය කුමක්ද යන්න වටහා ගැනීමට ඇයට නොහැකි වූ සේය.
“එන්න කිව්වෙද?”
සෘජු ලෙස හිඳගෙන සිටි සුහර්ෂා ප්‍රශ්න කලේ සරදම් සිනාවකින් මුව සරසා ගනිමිනි.
“එන්න කිව්වෙ. මේ සභාපති පුටුව භාර ගන්න කියලා කියන්න.”
දිසාලාගේ දෙනෙත් වලට කඳුලු පිරිණ. ඇය කඳුලු වළක්වා ගැනීමට මෙන් තදින් ඇසිපිය සැලුවාය.
“තමුන්ට භාර දීලා තියෙන වැඩ කටයුතු හැමදෙයක්ම ඉවර කරලද තියෙන්නෙ?”
“ඔව් මැඩම්. තව එක ෆයිල් එකක් ඉවර කරන්න තියෙනවා.”
“ඒක කරන්න කොච්චර වෙලාවක් යනවද?”
“හැන්දෑ වෙනකොට ඉවර කරන්න පුලුවන් වෙයි මැඩම්.”
සුහර්ෂා හිස සැලුවාය. ඒ හා සමගම සහකාර මුදල් කලමනාකරු වන වරුණ කාර්යාලයට පිවිසියේය. සුහර්ෂා ඔහුට හිඳ ගන්නා ලෙස අතින් සංඥා කළාය.
“වරුණ… අද අතේ කොච්චර මුදලක් තියෙනවද?”
සුහර්ෂා විමසුවාය.
“උදේ මාරු කරපු ටෙන් මිලියන් එහෙමම තියෙනවා මැඩම්.”
“හොඳයි.”
සුහර්ෂා හිස සැලුවාය.
“දැන්මම මේ ළමයගෙ මාස දෙකක පඩිය අතට දෙන්න. මෙයාට භාර දීලා තිබුන හැමදෙයක්ම අත්සන සහිතව භාර ගන්න කියලා අදාළ අයට කියන්න.”
“මැඩම්…”
දිසාලාගේ දෑසින් කඳුලු ගුලියක් පිටතට පැන්නේය.
“ඇයි මැඩම්?”
“මගෙන් ප්‍රශ්න කරන්න තමුන්ට කිසිම විදියක අයිතියක් නෑ. සේවකයින් බඳවා ගන්නත් සේවයෙන් ඉවත් කරන්නත් සභාපතිට අයිතියක් සහ බලයක් තියෙනවා. තමුන්ගෙ ගම බදුල්ල කියලා කිව්වා නේද?”
දිසාලා හිස සැලුවාය.
“රෑ වෙනතුරු බදුල්ලට බස් තියෙනවා නේද වරුණ?”
“මං හිතන්නෙ අන්තිම බස් එක තියෙන්නෙ හතට මැඩම්.”
“තමුන්ගෙ ගමට යන්න රෑ වුනා කියලා ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නයක් වුනත් ඒක මට අදාලත් නෑ. මාස දෙකක පඩියයි තමුන්ගෙ ඇඳුම් කැඩුමුයි අරගෙන තමුන්ට ගෙදර යන්න පුලුවන්.”
“මං වරදක් කළේ නෑ මැඩම්…” යි පවසන්නට උත්සාහ කළ ද දිසාලාගේ මුවට නැගි වදන් ගොලු වූවාක් මෙන් විය. සුහර්ෂාගේ ස්වභාවය හොඳින් දැන සිටි ඇය වදනක් මුවට නගා ගැනීමට අපොහොසත් වූවාය.
“හරි. දෙන්නටම දැන් යන්න පුලුවන්.”
හිස නැමූ වරුණ නැගී සිටියේය. අතිශයින් කැළඹීමට පත්ව සිටි දිසාලාට කාර්යාලයේ දොරකඩ සොයා ගැනීමට අපහසු විය. ඇය වරුණ පසුපසින් සෙමෙන් පිය නැගුවේ හඬමිනි.
“වරුණ… හෙට උදේ දහයට ප්‍රගති සමාලෝචන රැස්වීමක් ගන්න තියෙනවා. හැමෝටම දහයට කොන්ෆරන්ස් හෝල් එකට එන්න කියලා නෝටිස් එකක් යවන්න.”
සුහර්ෂා වරුණට ඇසෙන සේ හඬ නගා පැවසුවාය.